තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ 288 කිලෝ මිටර් කණුව ප්රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා අද (03) අළුයම රෝහල් ගත කර ඇතැයි තණමල්විල මුලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්රදේශයේ ඇගළුම් ආයතනයක රාජකාරී කටයුත්තක් ගොස් යළි බුත්තල ප්රදේශයට එමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකි.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් ඩී 04,ඇල අතුපාර යාය, දඹුල්ල ලිපිනයේ පදිංචි කේ.ආර්.වංශතිලක නැමති 56 හැවිරිදි අයෙකු මියගොස් තිබේ.ඔහු ඇගලුම් ආයතනයේ තත්ව පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කල අයෙකි.
අනතුරින් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කල බිබිල කොටබෝව ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි සසංක උදුල චින්තක නැමති අය ඇතුළු වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 05 දෙකෙකු තුවාල ලබා තණමල්විල ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ පසු වු තිදෙනෙකු වැඩිදුර ප්රථිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.තුවාල ලැබූවන් අවුරුදු 23,35 හා 49 වයස්වල පසුවන පුද්ගලයන් බවයි පොලිසිය පැවසුවේ.
රියදුරුට නින්දයාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවන්නට ඇති බවයි මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විමර්ෂණ ආරම්භ කර තිබේ.
ණුවන් ජයසේකර





