රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ආපදා තත්ත්වයෙන් විවිධ ලෙස පීඩාවට පත්වූ ප්‍රදේශ ගනනාවක ජනතාවට නිවාස පිරිසිදු කිරීම සඳහා රජය විසින් ලබා දීමට යෝජනා කළ රු.25,000 ක දීමනාව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිතෝකඩවල ග්‍රාම නිලධාරී වසමේ පවුල් 15 ක් ප්‍රතික්ෂේප කර ඇතැයි මහව ප්‍රාදේශීය ලේකම් නදුන් ආර්.සම්පත් මහතා සදහන් කළේය.
ආපදා හේතුවෙන් නිවාස ජලයෙන් යටවීම, මැටි හා කසල පිරීම වැනි ගැටලු රැසකට මුහුණ දුන් මෙම ජනතාව පවසන්නේ, රු.25,000 ක මුදල නිවාස යථා තත්ත්වයට පත් කිරීමට තමන්ට ලබා දුන්නත් ඊටත් වඩා හානියට පත් ප්‍රදේශවල ජනතාවට ලබා දීම ට එම මුදල නොගැනීමට තීරණය කළ බවයි.
හිතෝකඩවල ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල් 25ක පුද්ගලයින් 78 දෙනෙකුට හිතෝකඩවල සමිති ශාලාලාවේ ආරක්ෂිතව රඳවා තැබීමටද පියවර ගෙන තිබූ අතර ඔවුන් සඳහා පිසූ ආහාර ලබා දීමට දේශවාසීහු නිරන්තරයෙන් කටයුතු කර තිබුණි.
ආපදාවට පත් පවුල් 25 න් පවුල් 10 ක් මෙම මුදල ලබා ගැනීමට කටයුතු කළ අතර, පවුල් 15 ක් මෙම මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. මෙම පවුල්වල සාමාජිකයින් පවසන්නේ, තමන්ට සිදුවූ හානි තත්ත්වය සීමිත වන අතර, තව දුරටත් දැඩි අසරණභාවයට පත් වූ පවුල් රැසක් විවිධ ප්‍රදේශවල සිටින බවයි. එබැවින් තමන්ට හිමි වූ දීමනාව එවැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා ඇති පිරිසට ලබාදීම, වඩාත් සාධාරණ හා මානුෂීය ක්‍රියාවක් බව ඔවුන් අවධාරණය කරති.
“අපේ නිවසටත් හානි වුණා. නමුත් තව පවුල් තියෙනවා සම්පූර්ණයෙන්ම ජීවිතේ නැතිවුණු. ඔවුන්ට මේ මුදල අපට වඩා අවශ්‍යයි,” යනුවෙන් එක් පවුල් සාමාජිකයෙකු කීය.
මෙම ක්‍රියාව සම්බන්ධයයෙන් ප්‍රදේශවාසීන්ගෙන් එම පවුල්වල සමාජිකයින්ට ප්‍රශංසා ලැබුණු අතර එය ආපදා අවස්ථාවකදී සමාජ එකමුතුභාවය සහ එකිනෙකාට උපකාර කිරීමේ වැදගත්කම පෙන්වන්නක් ලෙසද සැලකේ.
ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ මෙම මුදල් වඩාත් අවශ්‍යතාවය ඇති ආපදා පීඩිත පවුල් හඳුනාගෙන ඔවුන් වෙත යළි බෙදා හැරීමට රජය කටයුතු කරනු ඇති බවයි. ජනතාවගේ මෙම මානුෂීය ක්‍රියාව රජයේ සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ද සලකා බැලිය යුතු ආදර්ශයක් බවද පෙන්වා දුන්නේය. ආපදා සමයේ මුදලට වඩා වටින්නේ මනුස්සකම බව මෙම සිදුවීම නැවත වරක් සමාජයට මතක් කර දෙන බවද හෙතෙම කීය.
ආපදාවට පත් පිරිස රැස් කරවා ග්‍රාම නිලධාරී, අර්ථික සංවර්ධය නිලධාරී විසින් ආපදාව පිළිබඳව කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව තමාට හිමි මුදල් වෙනත් ප්‍රදේශවල ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස දන්වමින් එම මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කිරීම ද විශේෂත්වයකි.
මහව සජීවා කෝට්ටගොඩ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

