දෙමාපිය-දූදරු සබඳතා කළමනාකරණයේදී ජීවන කුසලතා හිඟය අද විශාල ගැටලුවක්
අප රටක් ලෙස මුහුණදෙන බොහෝ අභියෝගයන්ට දීර්ඝකාලීන හා හොඳම විසඳුම් සොයාගත හැකිවන්නේ අනාගත පරපුර නිවැරදි දිශානතියකට යොමු කිරීම තුළය. එහෙත්, ඒ අනාගත පරපුර අයාලේ යන පිරිසක් බවට පත්වීම වළක්වා ගැනීමේ දැවැන්ත අභියෝගයක් සහ වගකීමක් අප සියලුදෙනා වෙත අද දවසේදී පැවරී ඇත. මෙහිදී, මූලික වශයෙන් දරුවන්ගේ අනාගතය යහපත් කරමින්, ඔවුන්ට යහපත් සමාජයක් තනන්නට නම්, දෙමව්පියන් හා දරුවන් අතර ශක්තිමත්, විවෘත සහ ආදරණීය සබඳතාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම අප තේරුම්ගත යුතුය. එම සබඳතාව දුර්වල වීමෙන් ඇතිවන සන්නිවේදන හිඟය සහ ඒ තුළින් උපදින ප්‍රතිවිපාක පිළිබඳව අප දැඩිව අවධානය යොමු කළ යුතුය. එබැවින්, මෙවැනි සබඳතා ශක්තිමත් කිරීමේදී දෙමව්පියන්ට, ගුරුවරුන්ට, මාධ්‍යයට මෙන්ම පාසල් පද්ධතිය තුළ සිටින උපදේශකවරුන්ටද විශාල කාර්යභාරයක් ඉටුකිරීමට පැවරෙන බව සඳහන් කරන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මානසික සෞඛ්‍ය සරසවියේ ගරු සභාපති ඥානදාස පෙරේරා මහතාය. එතුමන් සමග කළ මෙම සංවාදය, මෙම කතිකාව වඩාත් ගැඹුරින් විමසා බැලූ අවස්ථාවකි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පෙන්වා දෙන්නේ, අද ශ්‍රී ලංකාව තුළ සබඳතා පිළිබඳව යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. සබඳතා කළමනාකරණය නම් විෂය ක්ෂේත්රය තුළ මෙම ගැටලුව පැහැදිලිව දැකිය හැකි බවත්, විවිධ සබඳතා අතරින් පවුල් සබඳතා වඩාත්ම වැදගත් වන බවත් ඔහු අවධාරණය කරයි. දෙමව්පියන් සහ දරුවන් අතර ඇති සබඳතාව පලුදු වීමට හේතු රැසක් ඇති බවද ඔහු සඳහන් කරයි. ඒ හේතු අතර ප්‍රධානතම කරුණක් ලෙස තාක්ෂණය සඳහන් කළ හැකිය. අද බොහෝ දරුවන් තාක්ෂණයට ඇබ්බැහි වී සිටියි. එම තාක්ෂණ ඇබ්බැහිය නිසා දරුවන් හුදකලා වී ඇති බව පෙනේ. එමෙන්ම, වසර විස්සකට පෙර සිටි දෙමව්පියන්ට වඩා අද දෙමව්පියන්ද හුදකලාභාවයට පත්ව සිටින බව සත්‍යයකි. රැකියාව, ආර්ථික පීඩනය, තමන්ටම ආවේණික වූ ගැටලුවලින් මිරිකී ජීවත්වීම වැනි කරුණු නිසා දෙමව්පියන් හා දරුවන් අතර විශාල දුරස්ථභාවයක් අද දක්නට ලැබේ.
ළමා ලෝකය ගැන විමසූ විට, විශේෂයෙන් 2010න් පසු උපන් දරුවන් සම්බන්ධයෙන් අර්බුද රැසක් පවතින බව පෙනේ. මෙම දරුවන් අතර ආත්මාර්ථකාමීත්වය, මුහුණදීමේ කුසලතා අඩුවීම, තාක්ෂණ ඇබ්බැහිය, නිර්මාණශීලීත්වයේ දුර්වලතා, චින්තන ගැටලු, ස්වාධීන පරිකල්පනයේ අඩුව, යැපෙනසුළුභාවය, හිතවත්කම සහ සබඳතා පවත්වාගෙන යාමේ අපහසුතා වැනි තත්ත්වයන් දක්නට ලැබේ. එසේම, එකට වැඩ කිරීමේ හැකියාවද බොහෝ දරුවන් තුළ අඩුවෙමින් පවතින බව පෙනේ. 21 වැනි සියවසට අත්‍යවශ්‍ය කුසලතාවක් වන සහයෝගීතාවයද අද බොහෝ දරුවන් තුළ අඩාල වී ඇති බව මෙහිදී පෙනී යයි.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවා මීට වසර දහයකට පෙර සිටි සිසුන් සහ අද සිසුන් අතර ප්‍රබල වෙනසක් දැකිය හැකි බවද මහාචාර්යවරයා පවසයි. පෙර කාලයේ දරුවන් සහ ගුරුවරුන් අතර ඉතා ශක්තිමත් බැඳීමක් පැවතිණි. විවිධ උත්සව, ප්‍රියසම්භාෂණ, චාරිකා, ගුරු-සිසු සබඳතා තුළ දුකසැප විමසීම් වැනි දේ උසස් අධ්‍යාපනය තුළද ජීවමානව පැවතිණි. නමුත් අද වනවිට ඒ සියල්ල බොහෝ දුරට වෙනස් වී ඇත. විභාග මානසිකත්වය, පන්ති සාමාර්ථ ලබාගැනීමේ උනන්දුව හා කාර්ය සාධනය මත පමණක් අවධානය යොමුව ඇති අතර, ගුරු-සිසු සබඳතා බොහෝ අවස්ථාවලදී දුරස් වී ගොසිනි.
පාසල් අධ්‍යාපනය තුළද දරුවන් වැඩි වශයෙන් ප්‍රචණ්ඩකාරී වන තත්ත්වයක් දැකිය හැකිය. එයද දෙමව්පියන් හා දරුවන් අතර සබඳතා දුරස්වීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. මිත්‍ර කණ්ඩායම්වල බලපෑමෙන් දරුවන් ප්‍රචණ්ඩත්වයට ඇදී යන අවස්ථා අද බහුලය. මහ පාරේ සිසුන් අතර ඇතිවන ගැටුම්, හෙල්මට්වලින් පහර දෙන ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා වැනි අවාසනාවන්ත සිද්ධීන්ද දැකිය හැකිය. මෑතකදී එවැනි ප්රචණ්ඩ හැසිරීමක් හේතුවෙන් එක සිසුවෙකුට ජීවිතය පවා අහිමි විය. එබැවින් පාසල් පද්ධතියේ ගුරු-සිසු සබඳතා, දෙමව්පිය-දූදරු සබඳතා සහ සමස්ත සමාජ සබඳතා කළමනාකරණය පිළිබඳ ගැටලු පිළිබඳව ගැඹුරින් සිතා බැලීම අත්‍යවශ්‍ය වේ.
දරුවන් හුදකලා වීමේ තවත් ප්‍රධාන හේතුවක් නම් දෙමව්පියන් සහ දරුවන් අතර සබඳතා දුරස්වීමය. මේ තත්ත්වයට හේතු වූ සමාජ පරිවර්තනයන්ද බොහෝය. පෙර කාලවලදී දරුවන් දෙමව්පියන් සමඟ විවිධ චාරිකාවලට සහභාගී වූහ. වසරකට දෙතුන් වතාවක් වන්දනා ගමන් හෝ විනෝද ගමන් යාම සම්ප්‍රදායක්ව පැවතිණි. ඒ ගමන් සෑමවිටම ආරක්ෂිතව, බස්රථවලින් හෝ දුම්රියෙන්, දෙමව්පියන් සමඟම සිදු වූ අතර, එවැනි ගමන්වලින් පවුල් බැඳීම් ශක්තිමත් විය. අද වනවිට එම ස්වභාවය බොහෝ වෙනස් වී ඇත. විනෝද ගමන් බොහෝවිට අවසන් වන්නේ මත්පැන්, අපරික්ෂාකාරී හැසිරීම් හෝ අනතුරුවලිනි. දරුවන් දැන් බොහෝවිට ඔවුන්ගේම කණ්ඩායම් සමඟ චාරිකා යන තත්ත්වයක් පවතී. පාසල්වලද අධ්‍යාපන චාරිකාවන්ට වඩා විනෝද චාරිකා වැදගත් වී ඇති බව පෙනේ. මේ පරිවර්තනය පවුල් සබඳතා පලුදුවීමට දැඩි ලෙස බලපා ඇත.
තවත් වැදගත් කරුණක් වන්නේ, දරුවන්ගේ ප්‍රශ්න දුරස්වීමත්, දෙමව්පියන්ගේ ප්‍රශ්න හුදකලා වීමත්ය. ඒවාට පවුල තුළින් විසඳුම් සෙවීම බොහෝ අවස්ථාවලදී සිදු නොවේ. දෙමව්පියන් දරුවන් සමඟ ගැටලු කතා නොකරති. දරුවන්ද දෙමව්පියන් සමඟ කතා කර ගැටලු විසඳා ගැනීමට උනන්දුවක් නොදක්වති. එහි ප්‍රතිඵලයක් ලෙස අද සමාජය තුළ හුදකලාභාවය පොදුවේ පවතින ඛේදවාචකයක් බවට පත්ව තිබේ.
මෙම ගැටලුවේ තවත් දුක්බර පැත්තක් වන්නේ දරුවන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහන් ඉතා අඩු වීමය. දෙමව්පියන්ට දරුවන් පිළිබඳව දැනුවත් විය හැකි මාධ්‍ය වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන් සහ උපදේශන වැඩසටහන් ප්‍රමාණවත් නොවේ. දරුවන්ටද පවුල තුළ, පාසල තුළ සහ සමාජය තුළ දැනුවත්භාවය ලබාදෙන වැඩසටහන් අවමය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ දරුවන්ට අධ්‍යාපන ඉලක්ක පමණක් නොව, කුසලතා සහ අවබෝධයද අවශ්‍ය වීමය.
සෑම දරුවෙකුටම තමන් පිළිබඳ අවබෝධය, දෙමව්පියන් හා ගුරුවරුන් පිළිබඳ අවබෝධය සහ සමාජය පිළිබඳ අවබෝධය යන තුනම ඉතා වැදගත් වේ. සන්නිවේදනය තුළින් සබඳතා ගොඩනැගීමට නම් මෙම අවබෝධය හා ඒ සම්බන්ධ කුසලතා අත්‍යවශ්‍යය. දෙමව්පියන්ටද එය එසේමය. එම අවබෝධය අඩු වූ විට දෙපාර්ශ්වය අතර ගැටුම් නිර්මාණය වීම සාමාන්‍ය දෙයකි. ඒ ගැටුම් අවසානයේදී දරුවන් දෙමව්පියන්ගෙන් දුරස් වීමටත්, දෙමව්පියන් දරුවන්ගෙන් ඈත්වීමටත් හේතු වේ.
අද බොහෝ දරුවන් දෙමව්පියන් සමඟ සිටීමට නොහැකි බව කියමින් ඉගෙනගැනීම සඳහා බෝඩිම්වල නතර වෙති. ඒ වෙනුවෙන් දෙමව්පියෝ දැඩි කැපවීමක් කරති. මුදල් සොයති. කුලී වැඩ කරති. මහන්සි වෙති. ඉඩකඩම් පවා විකුණති. එසේ කළද දරුවන්ගෙන් හොඳ ප්‍රතිඵල නොලැබෙන අවස්ථා බොහෝය. මෙය සැබවින්ම ඛේදවාචකයකි. දරුවන්ට දෙමව්පියන්ගේ දුක තේරෙන්නේ නැත. දෙමව්පියන්ගේ ඉලක්ක හා කැපවීම තේරෙන්නේ නැත. ඒ අතරතුර දෙමව්පියන්ටද තම ගැටලු විසඳාගැනීමට සාර්ථක මාර්ගයක් නොමැති බව පෙනේ.
මෙවැනි තත්ත්වයන් තුළ ගෘහ මූලිකයා මධ්‍යසාරවලට ඇබ්බැහි වනවිට, ඊට පිළියම් සෙවීමට ගිය දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම වැනි තත්ත්වයන් මතුවේ. ඒ නිසා පවුල තුළ සැනසීම වෙනුවට දුරස්භාවය හා ගැටුම් වර්ධනය වේ. 2010න් පසු උපන් දරුවන් අතර මෙවැනි ගැටලු තවත් තීව්ර වී ඇති බව සමාජ පරිසරයේ වෙනස්වීම් පෙරළා පෙන්වයි. කොරෝනා වසංගතයද මේ තත්ත්වය තවත් උග්‍ර කළේය. වසංගතය හේතුවෙන් අධ්‍යාපන ක්‍රමය වෙනස් වී දරුවන්ට නිවසට කොටුවී සිටීමට සිදුවිය. මාර්ගගත අධ්‍යාපනය සඳහා සෑම දෙමව්පියෙකුටම ණයක් ගෙන හෝ දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට සිදුවිය. එය අධ්‍යාපනයට උපකාරී වුවත්, කාලයත් සමඟ තාක්ෂණ ඇබ්බැහිය වැඩි විය.
අද දරුවන්ගේ මොළයේ අර්බුද, නිර්මාණශීලීත්වයේ අර්බුද, නින්ද පිළිබඳ ගැටලු, විෂාදය, කාංසාව, පෞරුෂ ගැටලු, අනන්‍යතා අර්බුද සහ ඉලක්ක පිළිබඳ අපැහැදිලිතාව වැනි දේ වර්ධනය වී ඇති බව පෙනේ. මේ සියල්ල අතර දරුවන්ගේ “මිත්‍රයා” බවට පත්ව ඇත්තේ ජංගම දුරකථනයයි.
එබැවින් දෙමව්පියන් සහ දරුවන් අතර සබඳතා ගොඩනැගීමට නම් ඔවුන් අතර පවතින අවබෝධය, විශ්වාසය, ගරුත්වය, ආදරය සහ සෙනෙහස නැවත ශක්තිමත් කළ යුතුය. අද ඒවා බොහෝ දුරට අඩුවී ඇත. එකම පවුලේ ජීවත් වන දරුවන් හා දෙමව්පියන් පවා වෛරක්කාරයන් බවට පත්වන තත්ත්වයක්ද ඇතැම් විට දක්නට ලැබේ. දෙමව්පියන් යාන්ත්‍රිකව කෑම බීම දී, පාසල් යවා, දරුවන්ගේ ජීවිතය සඳහා අවශ්‍ය සියල්ල සපයන නමුත්, දරුවන් වෙනුවෙන් ඔවුන් කරන කැපවීමේ අර්ථය දරුවන්ට සම්පූර්ණයෙන් වැටහෙනවාද යන්න ගැටලුවකි.
අවසාන වශයෙන්, ඉගෙන ගන්න දරුවන් ඉගෙන ගනී. ඉගෙන නොගන්න දරුවන් ඒ මට්ටමට පැමිණෙන්නේ නැත. නමුත් මේ සියල්ලටම මූලික වන්නේ සබඳතා කළමනාකරණයයි. සබඳතා පවත්වාගෙන යාමට අවබෝධය අවශ්‍යය. කුසලතා අවශ්‍යය. එහිදී අධ්‍යයන කුසලතා පමණක් ප්‍රමාණවත් නොවේ. තාක්ෂණ කුසලතාද අවශ්‍යය. ඒ සමඟම ජීවන කුසලතාද අත්‍යවශ්‍යය. අද විශාල ගැටලුවක් වන්නේ මේ ජීවන කුසලතාවල හිඟයයි. ජීවිතය ගොඩනගන්නේ කෙසේද, යමක් ආරම්භ කරන්නේ කෙසේද, අනෙකා තේරුම් ගන්නේ, අනෙකා අවබෝධ කරගන්නේ, අනෙකා ආකර්ෂණය කරන්නේ කෙසේද, සන්නිවේදනය කරන්නේ කෙසේද, භාෂාවෙන් හා හැසිරීමෙන් සබඳතා පවත්වාගෙන යන්නේ කෙසේද යන්න මේ සියල්ල ජීවන කුසලතා තුළ අන්තර්ගතය.
මෙවැනි කුසලතා අපේ අධ්‍යාපන ක්‍රමය තුළම ගොඩනැගීම අත්‍යවශ්‍යය. ඒ සඳහා පාසල් උපදේශකවරුන්ට විශාල වගකීමක් තිබේ. එහෙත් අද පාසල් උපදේශනය බොහෝ අවස්ථාවලදී ප්‍රායෝගික ශක්තියෙන් දුර්වල වී ඇතැයිද පෙනේ. දරුවන් ප්රචණ්ඩ වන අතර, පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය පැතිරෙමින් පවතින අතර, ඇතැම් උපදේශන වෘත්තිකයන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව නොමැති බවද පෙනේ. දරුවන්ට තමන් විසඳාගත නොහැකි ගැටලු සඳහා මඟපෙන්වීමට, නිවැරදි අවබෝධය ලබාදීමට, ජීවිතයේ අර්ථය පැහැදිලි කිරීමට හැකි උපදේශන ක්රමවේදයක අවශ්‍යතාව ඉතාමත් දැඩි හිඩැසක්ව පවතී.
ඒ අනුව, මේ ප්‍රශ්නයට විසඳුම් නැති බවක් නොව, විසඳුම් තිබෙන බව පැහැදිලිය. නමුත් බොහෝ දෙනා ඒ විසඳුම් නොදැකීම ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇත. එබැවින් අනාගතයේදී යම් නියාමනයක් මගින් පාසල් උපදේශනය, වැඩිහිටියන් සඳහා උපදේශනය, වෘත්තිකයන් සඳහා උපදේශනය වැනි වැඩසටහන් ශක්තිමත් කළ යුතුය. එවිට සබඳතා පලුදුවීම හා දුරස්වීම සඳහා වන විසඳුම් සොයාගෙන, වඩාත් ඵලදායී, සංවර්ධිත සහ මානුෂීය සමාජයක්, රටක් ගොඩනැගීමට අපට තවමත් හැකියාව ඇත. ඒ අවස්ථාව තවමත් අහිමි වී නැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
