දියුණු ලොවක ලක්ෂණය ළමා ලොවේ පිරිහීමද?
අද දවස වන විට ලොව සුන්දරම ජීවීන් ලෙස සලකන දරුවන් සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තබන කතා අතරට ළමා හිංසන, ළමා අතවර, ළමයින් සැකකරුවන් ලෙස හංවඩු ගැසීම් හා ළමා ඝාතන ආදිය අඩුවක් නැතිව අසන්නට ලැබේ. වෛරය, ක්‍රෝධය පමණක් නොව නොසන්සිඳුණු කාම පිපාසයන් නිවා ගැනීමට මෙන්ම තම මනසේ ඇති වන ආතතික හා පීඩාකාරි තත්ත්වයන් සමනය කර ගැනීමට හයක් හතරක් නොදන්නා වූ දරුවන් යොදා ගන්නා වූ අද වැනි අඳුරු යුගයක “ මනසින් සවිමත් - දරුවන් පොහොසත් ” යන තේමා පාඨය කරගෙන 2026 වර්ෂයේ අපි ලෝක ළමා දිනය සමරමු.
දරුවන් සම්බන්ධ සිදුවීමක දී මනුෂ්‍යයා අතර පමණක් නොව තිරිසන්ගත සතුන් අතර ද මනා සංවේදීතාවක් පවතී. එකී තිරිසන්ගත සතුන්ටත් වඩා දියුණු මනසින් යුක්ත වූ මිනිසුන් බොහෝ දෙනා දරුවන් සම්බන්ධ සිදුවීම් වලදී උදාකර සංකල්පයන්ගෙන් ඉවතට පැන ඇති බව පෙනේ.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියෙහි වයස අවුරුදු 18 ට අඩු සෑම මනුෂ්‍යයෙකුම ළමයෙකු වන බව සඳහන් කොට තිබේ. දිනෙන් දින ඉහවහා යන්නා වූ මෙවැනි සිදුවීම් නිසා වැඩිහිටියන්ගේ රැකවරණය ලැබිය යුතු පිරිසක් වන ළමුන්ගේ සුරක්ෂිතතාව හා සතුට උදෙසාත් වැඩිහිටියන් හා දෙමාපියන් ක්‍රියා කළ යුතු ආකාරය පුන පුනා කිව යුතුව තිබේ. දරුවෙකු කායිකව මෙන් ම මානසිකව ද හිංසනයට ලක් විය හැකි වන අතර, එවැනි සිදුවීම් අද වන විට ඉහළ යාමක් ද සිදුවී ඇත.

වර්තමානයේ දරුවන්ගේ ළමා කාලය අතීතයට වඩා බොහෝ අංශවලින් වෙනස් වූ වකවානුවකි. සමාජය වෙත සෘජුවම නිරාවරණය වෙමින් අසීමාන්තික වූ නිදහසක් ඔවුන්ට භුක්ති විඳීමට ඉඩකඩ ලැබී ඇත. සමාජශීලී නොවුණ ද ඔවුහු දෙමාපිය ඇසුරට කොටු වී රැකවරණය ලබමින් සතුටක් භුක්ති වින්දහ. එසේම මෝඩයි යන සංකල්පවලට වඩා ඔවුහු හැදෑරිය යුතු වූ සෑම අංශයක් පිළිබඳව මනා අවබෝධයකින් පසු වූහ.
වර්තමානයේ දරුවන්ට තාක්ෂණික දියුණුව සමගින්, මාර්ගෝපදේශවලට වඩා ස්වාධීන අයුරින් ගමනක් යා හැකි සීමා මායිම් හා වැටකඩොලු බිඳුණු ළමා ලෝකයක් උරුම වී පවතී. නමුත් අද වනවිට සමස්ත ළමා පරපුරටම ඛේදාන්තයක ඇරඹුමක් උදා වී ඇත. දිගින් දිගටම ළමා ලෝකය බිය, සැක හා අසතුට මුසුවෙමින් විනාශ වීම විනා සුන්දර වීම දිනෙන් දින කල් යන බව පෙනේ.
සුවඳ මල් කැකුළු සමාජයේ අකාරුණිකකම් වලට ලක්ව පාපතරයන්ගේ ග්‍රහණයට නතු වී තැළී පොඩි වී යයි. මෙවැනි සිදුවීම්වලට ඍජුවම බලපාන්නේ දරුවන් ජීවත් වන පරිසරයේ ඇති අනාරක්ෂිත බවයි. දරුවන් පිළිබඳව දෙමාපියන් මනා සුපරීක්ෂාකාරීත්වයක් ඇති කර ගත යුත්තේ උකුසු ඇසින් බලා සිටින කාමාශාවෙන් පෙළෙන්නන් සමාජයේ සැරි සරන නිසා ඒ අනුව වත්මන් සමාජයේ ගම හා නගරය කියා වෙනසක් නැත.
දෙමාපියන් බොහෝ වේලාවට සිතන්නේ පාසලට, පන්සලට, පෞද්ගලික පන්තියට, පාසල් වෑන් රියට දරුවන් ගොඩ කළ පමණින් දරුවන්ගේ ආරක්ෂාව සම්පූර්ණ වී ඇත කියාය. දරුවන් යන එන සෑම ගමකදීම දෙමාපිය සෙවණෙහි දරුවන් තබා ගත යුතු වෙයි. දරුවන්ට රහස් ඇති හොඳම යහළුවා, යෙහෙළිය ඔවුන්ගේ මව පියා පමණක්ම බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතු බව සැබෑ වගකීමක් ඇති නොකොට යමක් ඇති වූවාට පසුව පමණක් කුලප්පු වී නැටීමෙන් ඵලක් නොමැත.
කිඹුලන් කිරිමැටි ගිලින්නා සේ දරුවන්ට ආහාර පාන පමණක් දුන් පමණින් කායික හා මානසික පෞරුෂයෙන් යුක්ත වූ දරුවකු බිහි වන්නේ නැත. දරුවන් ජීවත් වන පරිසර සාධක ඔහුගේ හෝ ඇයගේ පැවැත්ම කෙරෙහි සෘජුවම බලපායි. දෙමාපියන්ගෙන් දරුවන්ට සතුට, ප්‍රීතිය හා අවශ්‍යතා නොලැබෙන තැන සමාජයෙන් ඒවා ලබා ගැනීමට ඔවුහු වෙහෙසෙති. එබඳු අවස්ථාවන් දරුවන් ඩැහැ ගැනීමට බලා සිටින අධමයන්ට අනගි අවස්ථාවන් උදා කරවයි. ඒ නිසා දරුවන් ඇති සෑම දෙමාපියෙකුම දරුවන් දෙස සැබෑ ආදරයෙන් හා සෙනෙහසින් බැලීම වැදගත් වෙයි.
බොහෝ ළමා ඝාතනවලට මෙන්ම ළමා හිංසනයන්ට පසුබිම් සොයා බැලීමේ දී ඒවාට ලක් වූ දරුවන් කුඩා කල සිටම දෙමවුපියන්ගේ ආදරය, සෙනෙහස හා කරුණාව අහිමි වූ දෙමාපිය ඇසුරෙන් මඳකට හෝ මිදුනු සාමාන්‍ය පන්තික දරුවන් බව අනාවරණය වී ඇත. එසේම වරදකරු පරිබාහිර පුද්ගලයෙකු නොව තම නිවස අවටම ජීවත් වූ එවැනි අත්දැකීම් සහිත පුද්ගලයෙකි. ඒ අනුව නිසි අධ්‍යාපනය, ගුණ නැණ, නිසි ජීවිත අවබෝධය, යහපත් වූ පවුල් පරිසරය හා සමාජය පරිසරය මෙන්ම මානසික උපදේශනය නොමැති සමාජයක මෙවැනි විකෘති කාම ආශාවන්ගෙන් පෙළෙන මනසින් නොව මසැසින් පමණක් සිතන මස් වැද්දන් බිහි වීම නවතාවක් නොවේ.
අන්තර්ජාලයේ කාම ගින්නෙන් ඉහ මොළ රත් කරගෙන පිස්සන් බවට පත්ව ඇති බාල, මහලු, තරුණ ආදී වූ විවිධ ස්ථර නියෝජනය කරන පිරිස් අඩුවක් නොමැතිව සමාජයට වෙළාගෙන සිටින ආකාරයක් දක්නට ලැබේ. කුඩා පාසල් දරුවාගේ සිට මහල්ලා දක්වා සියලු දෙනාටම ජංගම දුරකථන හරහා ඒ වෙත පහසුවෙන් ළඟාවීමේ මාර්ග ද නිර්මාණය වී ඇත. බොහෝ දෙමවුපියන් දරුවාට පරිගණක යන්ත්‍රයක් හා අන්තර්ජාල පහසුකම් ද ලබා දී දරුවන්ගේ ලෝකය ඔවුන්ට රිසි සේ ගත කිරීමට ඉඩ ලබා දෙයි.
අන්තර්ජාලයේ කාම ආශාවන්ගෙන් උද්දීපනය වන දර්ශන නැරඹුවහොත් සුන්දර ළමා මනස දූෂණය වීමෙන් මානසික ව්‍යාධියෙන් පෙළෙන්නෙකු බවට පත් වීම වැඩි ඈතක නොවනු ඇත. මෙසේ මානසික ව්‍යාධියෙන් පෙළෙන කාම වියරුවෙන් පෙළෙන්නන්ට තම අරමුණ සපුරා ගන්නට නිවසේ සිටින දරුවන් තරුණයන් හා වයෝවෘද්ධ මාතාවන්ගේ සිට කුමන තරාතිරමක කෙනෙකු වුවද කම් නැත. එම නිසා තාක්ෂණික දියුණුව හරහා දියුණු යුගයක අරුණලු දකින්නට දරුවන් යොමු කරවීම වැඩිහිටියන්ගේ වගකීමකි. අධ්‍යාපනය මගින් කුඩා අවදියේ සිටම දරුවන්ට උගන්වන්නේ අනෙකා තළා පෙළා මිරිකා අන්තිම ලකුණු දශමය දක්වා ගමන් කිරීමේ ක්රමවේදයකි. මෙරට ජනමාධ්‍ය වුවද දරුවන්ගේ මනස නිවන වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කොට නොමැත.
රූප පෙට්ටියෙන් කාටුන් වැනි සුරංගනා කතා නරඹන දරුවන් ඒවායෙහි සිටින වීරයන් ළමා මනසෙහි ද වීරයෝ බවට පත් කර ගනිති, සැබෑ වූ ලෝකයක් එහි නැත. එසේම සන්සුන් හා නිර්මාණශීලී පුද්ගලයන් වෙනුවට මානසික ආතතියෙන් හා අසහනකාරී බවින් යුක්ත පුද්ගලයන් එමගින් සමාජ ගතකෙරේ. නමුත් එයින් බිහිවන පිර්ඝ සමාජයට හිතකාමී වුවන් යැයි සිතීම අපහසු වූවකි.
ලෝක ළමා දිනය සමරන අද වැනි දිනෙක දරුවන් හදන වඩන දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේ සමාජ වගකීම හා යුතුකම වන්නේ දරුවන් දුෂණය කර නොමරන සමාජයක් ඔවුන්ට නිර්මාණය කර දීමය. එසේම රටෙහි අනාගතය බාර ගැනීමට සිටින දැයේ දරුවන්ට සුරක්ෂිත වූ සමාජයත් උරුම් කර වීමය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
