දේශපාලනයෙන් තොර අධ්‍යාපන ප්රතිසංස්කරණයක් දැන් අත්‍යවශ්‍යයි
සැබෑ අධ්‍යාපනයක මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ නිර්මාණශීලී, ස්වාධීන සහ රටට වැඩදායී මිනිසුන් දායාද කිරීමය. ඒ වෙනුවෙන් නිසි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් රට තුළ පැවැතිය යුතු අතර, එය රටට හිතසුව පිණිස මිස පුද්ගල කණ්ඩායමක අභිමතාර්ථ සපුරන ක්‍රමයක් නොවිය යුතුය. ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ නැවත සිතන්න කාලය එළැඹ ඇත්තේ ඉහත හිතකර තත්ත්ව කිසිවක් ප්‍රශස්ථ ලෙස සමාජයට තවමත් නොලැබෙන බැවින්ය. පැහැදිලි ලෙස දේශපලනික අභිමතාර්ථවලින් තොර වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අද රටට තිබෙන අතර, මේ ගෙන එනුයේ ඒ පිළිබඳ විද්වතුන්ගේ විග්රහයකි.
ජීවිතයෙන් වැඩි කාලයක් ප්‍රායෝගික නොවූ අධ්‍යාපනයකට කැපකළ යුතු නැහැ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි (ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය)
ශ්‍රී ලංකාවේ දැනට පවතින පාසල් අධ්‍යාපන ක්‍රමය අසාර්ථක, අවිධිමත්, අසම්පූර්ණ, ජාතිකත්වය සහ දේශීයත්වය පිළිබඳ කිසිම හැඟීමක් නැති අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමය අධ්‍යාපන විද්‍යාවේදී හඳුන්වන්නේ %ශිෂ්‍ය කේන්ද්‍රීය විධිමත් අධ්‍යාපන ක්‍රමය^ කියලා. නමුත් මේ අධ්‍යාපන ක්‍රමය ඒ රටට, ජාතියට හිතකර වෙන්නේ නැත්නම් එය සම්පූර්ණයෙන් අසාර්ථකයි. පාසල් අධ්‍යාපනය සකස් විය යුත්තේ දරුවෙකුගේ මේරීමේ ස්වභාවය අනුවයි. අද අපේ තියෙන්නේ දරුවෙකුට අවුරුදු 11ක් උගන්වලා සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිත විෂය අසමත් වුණොත් සියල්ල අසමත් ලෙස සලකා එම දරුවාව පැත්තකට විසිකිරීමේ අධ්‍යාපන ක්‍රමයක්. මේ විදියට ප්‍රතික්ෂේප වන දරුවන් ප්‍රමාණය වසරින් වසර වැඩි වෙනවා. අද ගණිතය අත්‍යවශ්‍ය නොවන රැකියාවකට පුද්ගලයෙක් බඳවා ගන්න ගියත් සාමාන්‍ය පෙළ ගණිතය සමත්ද කියලා බලනවා. ඒ නිසා තවමත් රැකියා අවස්ථා ගණනාවක පුරප්පාඩු රාශියක් තියාගෙන ඉන්න රටක් බවට මේ රට පත්වෙලා තියෙනවා. දරුවෙකුගේ දක්ෂතාව එක් විෂයකින් මනින තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
විය යුත්තේ මේ අසාර්ථක අධ්‍යාපන ක්‍රමය වෙනුවට %ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයක්^ ඇති කිරීමයි. මනෝ විද්‍යාවට අනුව දරුවෙකුගේ මොළය මේරීම හොඳින් සිදුවෙන්නේ වයස අවුරුදු 11ත්, 19ත් අතර කාලයේදීයි. ඒ වයස් සීමාව මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ %කුණාටු අවධිය^ කියලා. අද බොහෝ පාසල් දරුවන් විවිධ අකටයුතුකම්වලට යොමුවෙන්නෙත් මේ වයස් සීමාවේදීයි. ඒකට හේතුවෙලා තිබෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමවේදයේ තිබෙන අසාර්ථකභාවය සහ අවිධිමත්භාවය. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමවුපියන් වියදම් කරන මුදල්වලට වටිනාකමක් ලැබිලා නැහැ. ගුරුවරුන්ට ලබාදෙන වැටුපට වටිනාකමක් ලැබිලා නැහැ. අවුරුදු 11ක් අධ්‍යාපනය ලැබුවාට වැඩක් නැහැ, එය ජීවිතයට බද්ධ නොවෙනවා නම්. අධ්‍යාපනය ලැබිය යුතු කාලය තීරණය වෙන්න ඕන මිනිසුන්ගේ ආයු කාලයත් එක්කයි. ජීවිතයෙන් වැඩි කාලයක් ප්‍රායෝගික නොවූ අධ්‍යාපනයකට කැපකළ යුතු නැහැ.
පාසල් අධ්‍යාපනය ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට සකස් කරලා 08 හෝ 09 වසරේදී සාමාන්‍ය පෙළ විභාගය පවත්වලා ඉදිරි අධ්‍යාපනය ලබන්නේ කලා විෂය ධාරාවෙන්ද, වෘත්තීය ශිල්පයක් ඔස්සේද, එහෙමත් නැත්නම් වෙනත් විෂය ධාරාවකින්ද කියලා දරුවාට තෝරාගත හැකි ආකාරයට ජාතික අධ්‍යාපනය සකස් විය යුතුයි. ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන, පෞද්ගලික අධ්‍යාපන ආයතන මීටත් වඩා වැඩි දියුණු කරලා ව්‍යාප්ත කළ යුතුයි. මේ අධ්‍යාපන අර්බුදය විසඳීමේ වගකීම රජය වගේම ජාතික අධ්‍යාපන ආයතනය බාරගත යුතුයි.
අද දරුවන් අධ්‍යාපනය ලබන්නේ දෙමවුපියන්ගේ ඉහළ අභිමතාර්ථ ඉටු කරන්න මිසක තමන්ගේ ගමන මොකක්ද කියලා හඳුනා ගෙන නොවෙයි ආචාර්ය එම්.ජී. කුලරත්න (කැලණිය විශ්වවිද්‍යාලය)
යමෙක් අධ්‍යාපනය ලැබිය යුත්තේ යහපත් මිනිසෙක් වෙන්නයි. අධ්‍යාපනයෙන් සකස් කළ ආකෘතියක් නොදී නිදහස් පරිසරයක් ලබාදුන්නොත් ඒ නිදහස් පරිසරය තුළින් දරුවාගේ නිර්මාණශීලීත්වය සහ ස්වාධීනත්වය මතුකර ගන්න පුළුවන් වෙනවා. මේ දෙක අධ්‍යාපනයෙන්
නොලැබෙන නිසයි අද අපේ රට විවිධ ප්‍රශ්නවලට මුහුණ දී තියෙන්නෙ. අද අධ්‍යාපනයට දරන පිරිවැය සහ ලැබෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. පාසල් දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. දරුවෙක් පාසලට ඇතුළත් කිරීම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වක්‍රව බැලුවොත් පාසල් නිසා මාර්ග තදබද ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. මේ විදියේ තවත් ප්‍රශ්න ගණනාවක් එක්ක නිර්මාණශීලීත්වයක් නැතිව, ආචාරශීලීත්වයක් නැතිව, සමාජශීලීත්වයක් නැතිව, සාහිත්‍ය සහ කලාව නොහඳුනන, ඉතිහාසයක් නොහඳුනන පිරිස් මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවීම රටට විශාල පිරිවැයක් වන නිසයි මේ අධ්‍යාපන ක්‍රමය අපි වෙනසකට ලක්කළ යුතු වෙන්නේ.
තමන් අධ්‍යාපනය ලබන්නේ රටේ ජනතාව ගෙවන බදු මුදල්වලින්. ඒවාට සාධාරණයක් ඉටු කරන්න තමන්ට වගකීමක් සහ යුතුකමක් තිබෙන බව දෙමවුපියන් දරුවන්ට උගන්වන්න ඕන. අද දරුවන් අධ්‍යාපනය ලබන්නේ දෙමවුපියන්ගේ ඉහළ අභිමතාර්ථ ඉටු කරන්න මිසක තමන්ගේ ගමන මොකක්ද කියලා හඳුනා ගෙන නොවෙයි. ඒ වගේම දෙමවුපියන් ප්‍රසිද්ධ පාසල්වලට දරුවන් ඇතුළත් කරන්න ලොකු උණක් එක්ක හොර බොරු, වංචා පවා කරන්න යොමු වෙනවා. එය නම් සැබෑ මිනිසුන් බිහිකරන අධ්‍යාපනය, සමාජයේ පහළ වූ සියලු දාර්ශනිකයන් ඉගෙනුම ලැබුවේ ඒ පාසල්වල වෙන්න ඕන. මේ වගේ අර්බුද නිසයි අපි අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සිතිය යුත්තේ.
මේ රටේ අධ්‍යාපන ක්ෂේත්රය නිර්දේශපාලනික කළ යුතුමයි මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර (මොරටුව විශ්වවිද්‍යාලය)
දැනට මේ රටේ තිබෙන්නේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාව අනුව උදේ, හවස වෙනස් වෙන අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි මේ රටේ අධ්‍යාපන ක්ෂේත්රය නිර්දේශපාලනික කරන එක. නමුත් ආසියාවේ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල් මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව වැනි රටවලුත් දියුණු රටක් විදියට ජපානයත් ගත්තාම ඒ සෑම රටක්ම තමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරන්නේ හෙට දවස වෙනුවෙන්වත්, අවුරුදු දෙකතුනක් වෙනුවෙන්වත් නොවෙයි. වසර 20ක් පමණ ඉලක්ක කරගෙන. ඒවා අතරමැදදි කාටවත් ඕන විදියකට වෙනස් වෙන්නේ නැහැ.
අද ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ සහ ලෝකය ඉල්ලන්නේ එක රාමුවකට කොටුවෙලා දැනුමෙන් ඔළු පුරවාගත් මිනිස්සු නොවෙයි. හිතන්න පුළුවන් ඔළුව නිදහස් මිනිස්සු. ඒක මේ අධ්‍යාපන ක්‍රමයෙන් කරන්නේ නැහැ. එතැනින් විශ්වවිද්‍යාලයට ආවාමත් ඒ දරුවන්ව 80෴ක් දාලා දේශන ශාලාවලට හිරකර ගෙන ඔවුන්ට අලුතින් හිතන්න කියනවා. ඒක කකුළුවා පැටියාට කෙළින් යන්න කියනවා වගේ වැඩක්.
මේ ඛේදවාචකයේ ඵලවිපාක අපි එළිපිටම විඳිමින් ඉන්නවා. රටේ දේශපාලනය පවා අශිෂ්ට තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්රමයේ ප්‍රශ්න නිසයි. මේ විදියට රට ක්‍රමයෙන් අගාධයට යනවා මිසක දියණුවක් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය වහාම වෙනස් කළ යුතුමයි. නමුත් ඒක කරන්න ඕන ඒ පිළිබඳ දැනුම ඇති අය මිසක දේශපාලඥයන් නොවෙයි. මේකට එකම විසඳුම පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය එහෙම් පිටින්ම මේ රටේ ස්ථාපනය කරන එක නොවෙයි. අපේ තිබෙන දූපත් මානසිකත්වය ඉවත් කරලා බටහිර රටවල අධ්‍යාපන ක්‍රම දිහා බලලා ඒවායේ තියෙන හොඳ දේවල් අරගෙන අපට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරගත යුතුයි.
ඒ වගේම මේ කිසිම දෙයක් කරන්න බැහැ ගුරුවරයා තෘප්තිමත් නොකර. ඒ නිසා පාසලට යන ගුරුවරයාව මීටත් වඩා දැනුමෙන්, සමාජ අවබෝධයෙන් සහ ළමා මනෝවිද්‍යාව වැනි විෂයන්ගේ දැනුමෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍යයි. කෙතරම් වැදගත් සමාජ වගකීමක් ඉටු කරන ගුරුවරුන්ගේ ජීවන තත්ත්වය මීටත් වඩා උසස් කළ යුතුයි වගේම ගුරුවරුන් පෙන්වන දක්ෂතා අනුව ඔවුන්ට ඇගයීමක්, වටිනාකමක් ලැබෙන ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. පාසල් අතර පහසුකම් අතින් තිබෙන විෂමතාව හැකිතාක් අවම කිරීමත් වැදගත් කාරණයක් වෙනවා.
මේ අධ්‍යාපනය දරුවන්ට ලැබෙන්නේ නොමිලේ කියලා කියන එකම අධ්‍යාපනයේ පරිහානිය පෙන්නුම් කරනවා. එහෙම කියන නිසයි තමන්ගේ රට ගැන කිසිම කෙනෙක්ට හැඟීමක් නැත්තේ. සෑම දෙමවුපියෙකුටම පැහැදිලි වගකීමක් තියෙනවා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු කුසගින්නට කන්න නැතුව ගෙවන බදුවලිනුයි තමන් ඉගෙන ගන්නේ කියලා දරුවන්ට අවබෝධ කරලා දෙන්න.
සහතික පත්‍ර ලාභීන් වෙනුවට දක්ෂයන් බිහිකරන අධ්‍යාපන පද්ධතියක් සකස් වීම ඉතා වැදගත් වෙනවාමහාචාර්ය මයුර සමරකෝන් (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
අපේ තිබෙන්නේ විෂය දැනුම පමණක් මූලික කරගත්, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. මෙතැන බරපතළම ගැටලුව තිබෙන්නේ උසස් අධ්‍යාපනය ලබන දරුවන් සම්බන්ධයෙනුයි. සීමිත දරුවන් ප්රමාණයකටයි අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබෙන්නේ.
මේ නිසාම අද පවතින අධ්‍යාපන ක්රමයේ විශාල තරගකාරීත්වයක් දකින්න ලැබෙනවා. ඒ නිසා මෙතැන අපට දකින්න ලැබෙන්නේ අධ්‍යාපනය ලැබීමකට වඩා අධ්‍යාපනය සමග සටන් වදින තත්ත්වයක්. මේ අවාසනාවන්ත තත්ත්වය අද විශ්වවිද්‍යාල පද්ධතියත් ගිලගනිමින් පවතිනවා.
ඒ වගේම ඉදිරි වසර කිහිපයට ඒ ඒ ක්ෂේත්‍ර සඳහා වෘත්තිකයන් කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියලාවත් අපේ රටට නිසි තක්සේරුවක් නැහැ. රට දියුණුවට පත් කරන්නේ කුමන ආකාරයක ආර්ථික ප්‍රතිපත්තියක් ඔස්සේද කියලා පැහැදිලි දැක්මක් දකින්න නැහැ. එහෙම වෙනවා නම් ඊට සාපේක්ෂව ශ්‍රම බළකාය හදන්නයි අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් විය යුත්තේ. ඒ නිසා මේ ගැටලුවේදී අධ්‍යාපන ප්‍රතිපත්ති පමණක් නොවෙයි සමාජ ප්‍රතිපත්තිත් නිසි ආකාරයෙන් වෙනස් කළ යුතුයි. මේ ඛේදවාචකයේ තිබෙන භයානකම සිදුවීම තමයි උපාධිධාරියෙකුට ලැබිය යුතු රැකියාව පිළිබඳ තීරණය කරන්නේ ඇතැම් විට නිසි අධ්‍යාපනයක් හෝ නොලබපු පළාතේ අදාළ මන්ත්‍රීවරයාගේ ලැයිස්තුව වීම.
මම දකින්නේ සමහර තනතුරු සඳහා උපධිධාරීන් සමග උසස් පෙළ සමතුන්ටත් තරග වැදීමට ඉඩකඩ ලබාදිය යුතුයි. මෙතැනදී තෝරාගත යුත්තේ උපාධි සහතිකය මත නොවෙයි, දක්ෂතාව මතයි. ඒ ආකාරයෙන් සහතික පත්‍ර ලාභීන් වෙනුවට දක්ෂයන් බිහිකරන අධ්‍යාපන පද්ධතියක් සකස් වීම ඉතා වැදගත් වෙනවා. අද තිබෙන පාසල් අධ්‍යාපනයෙන් පටන් ගත්තොත් මේ කුසලතා සහ දරුවන්ගේ නිර්මාණශීලීත්වය යටපත් කරනවා මිසක් මතුවීමක් සිදුනොවන තරම්. ඒ වගේම සමහර විෂය නිර්දේශයන් ගත්තොත් වැඩිහිටියන්ට පවා ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඒවා නැවත දරුවන්ගේ පැත්තෙන් හිතලා සමාලෝචනයට ලක්කළ යුතුයි. ඒ තත්ත්වය හමුවේ ගුරුවරුත් විෂයය නිර්දේශවලට හිරවෙලා ඔවුන්ට තමන්ගේ සැබෑ වගකීම ඉටු කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිපත්ති රටේ පාලනය වෙනස් වෙන වාරයක් පාසා වෙනස් නොවිය යුතුයි. නමුත් මේ රටේ ඒ තත්ත්වය තදින් දකින්න ලැබෙනවා.
මේ දේශපාලනය අධ්‍යාපනය අර්බුදයට ලක්කරලා තිබෙන්නේ, හිතන්න පුළුවන් මිනිසුන් බිහිවුණොත් වර්තමාන අශිෂ්ට, දූෂිත දේශපාලනය නැතිවී යන නිසයි ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි (සබරගමුව විශ්වවිද්‍යාලය)
ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය තවදුරටත් මේ ආකාරයෙන් පැවතුණොත් ශ්‍රී ලාංකික දරුවාට කුමක් සිදුවෙයිද, එබඳු දරුවෙකු සමාජගත වීම මගින් තිබෙන අර්බුදය කොතරම් දුරට තවත් ව්‍යසනයක් බවට පත්වනවාද කියන ප්‍රශ්නයට අද මුළු රටේම අවධානය යොමුවිය යුතුයි. මේ ප්රශ්නය ඇත්තටම නිරන්තරයෙන්ම නැගිය යුතු ප්‍රශ්නයක්. නමුත් මේ ප්රශ්නය නැගීම අමතක කිරීමත් මේ ක්රමයේම කොටසක්. දෙමවුපියන්ට, පාසල් ශිෂ්‍යයාගේ සිට පශ්චාත් උපාධි ශිෂ්‍යයාට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල පරිපාලනයට මේ ප්රශ්නය අමතක කරවලා තියෙනවා. කොටින්ම ශිෂ්‍ය අයිතිවාසිකම් පතා පාරට බැහැලා අරගල කරන්නන්ට පවා තමන්ගේ අරගලය ගමන් කළ යුතු සැබෑ දිශානතිය අමතක කරවා තිබෙනවා. ඒ වගේම අපි හොඳින්ම දන්නවා මේ ක්‍රමය ඇතුළේදී %පාසලේ තිබෙන ගැටලු දෙමවුපියන් මත පැටවෙන හැටි. පාසලේ යටිතල පහසුකම් දියුණු කිරීම, නඩත්තු කටයුතු, නව පහසුකම් ඇති කිරීම තනිව රජයට කරන්න බැහැ. ඒ සඳහා දෙමවුපියොත් මුදල් ගෙවිය යුතුයි^ කියලා බොරු මතයක් ඇති කරලා තියෙනවා. අධ්‍යාපනයට වෙන්කරන මුදල් සම්භාරය ඇතුළේ ඉහත ඒ කටයුතුවලට අවශ්‍ය මුදල් තිබෙන බව මේ පාලකයන් දෙමවුපියන්ට අමතක කරවා තියෙනවා. ඒ නිසා ඔවුන් මේ කාරණය පිළිබඳ හොඳින් සිතා බැලිය යුතුයි. අධ්‍යාපනය වෙනුවෙන් 06%ක් වෙන්කළ යුතුයි කියා අපි නිරන්තරයෙන් අවධාරණය කරන්නේ ඒ නිසයි.
මේ තිබෙන අධ්‍යාපන ක්‍රමය මේ ආකාරයෙන්ම දිගටම ක්‍රියාත්මක වුණොත් අපට පැහැදිලිවම නිර්මාණශීලී, පරාර්ථකාමී, අනෙකාගේ නිදහස තකන, තරගකාරීත්වයෙන් මිදුණු දරුවෙකු බිහිකර ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිර්මාණශීලීත්වය, නිදහස සහිත අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි කියලා අපි කොතෙකුත් අවධාරණය කළත් එසේ නිර්මාණශීලීත්වයකට පාර නොකැපෙන අධ්‍යාපන ක්රමයකුයි අප දෛනිකව අත්විඳිමින් සිටින්නේ. මෙතැනදී පැහැදිලිවම ඇඟිල්ල දිගුකළ යුතු ආයතන කිහිපයක් තිබෙනවා. ඒ තමයි ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පිරිවෙන් හා ආගමික අංශ භාර අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු කටයුතු සම්බන්ධ අමාත්‍යාංශය සහ අදාළ ආයතන. මේ සියල්ලම ජාතික අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති තීරණය කළ හැකි ආයතන වෙනවා. මා යෝජනා කරන්නේ මේ සියලු ආයතන එක් තැනකට ගෙනැවිත් අසීමිත ලෙස බලය පවරා මාස කිහිපයක් හෝ සාකච්ඡා කර ව්‍යසනයේ හානිය තවත් වැඩි වෙන්න කලින් මේ අධ්‍යාපන අර්බුදය විසඳිය යුතුයි.
මේ ව්‍යසනය විශ්වවිද්‍යාල පද්ධතියටත් කොයිතරම් හානි කරලාද කියනවා නම් අද විශ්වවිද්‍යාලයක නාට්‍යයක්, සංවාදයක් පැවැත්වීමත් යම් ආකාරයක අභියෝගයක් වෙලා තිබෙනවා. ඉස්සර වගේ කවි පොතක්, නවකතාවක් හෝ කෙටි කතාවක්, නව නිර්මාණයක් දරුවන්ගේ අතින් බිහි වෙන්නේ නැහැ. ශිෂ්‍යයෝ කරන සඟරාවක් ශිෂ්‍යයෝවත් අරන් බලන්නේ නැහැ. මේ සෑම ව්‍යසනයක්ම සිදුකරලා තිබෙන්නේ මිනිස්සු නිර්මාණශීලී වනවාට අකමැති, මිනිස්සු අලුතින් හිතන්න පෙළඹෙනවාට අකමැති ධනේෂ්වර සමාජ ක්‍රමය විසිනුයි. මේ දේශපාලනනය අධ්‍යාපනය අර්බුදයට ලක්කරලා තිබෙන්නේ හිතන්න පුළුවන් මිනිසුන් බිහිවුණොත් වර්තමාන අශිෂ්ට, දූෂිත දේශපාලනය නැතිවී යන නිසයි.
මේ රටට අවශ්‍යයි සිතන්නට පුළුවන් මිනිස්සු හදන අධ්‍යාපන ක්‍රමයක්. අද තිබෙන පන්ති කාමරයට පමණක් සීමා වූ ක්‍රමයකින් එය කිසිම විදියකට කරන්න බැහැ. අපි අවධානය යොමුකළ යුතුයි. ආත්මාර්ථකාමී සහ තරගකාරීත්වයෙන් මිදුණු, සොබාදහම අගය කරන, ප්‍රකෘතිය අගය කරන, විභාග සමත් වීම පමණක් ඉලක්ක කර නොගත් පරමාදර්ශී අධ්‍යාපන ක්‍රමයකට. නමුත් එය සම්පූර්ණයෙන්ම එක රැයකින් ඇති කරන්න අපට හැකියාවක් නැහැ. මේ සඳහා අවංකව දායක වන බලවත් දේශපාලන නායකත්වයක් ලැබිය යුතුයි.
අපි දකින්නේ මේ අධ්‍යාපන ක්‍රමය අනාගත ව්‍යවසායකයන් බිහිකළ හැකි තත්ත්වයක් දක්වා දියුණු කළ යුතු බවයි ආචාර්ය රුක්මාල් වීරසිංහ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේද අතීතයේ තිබුණේ ලංකාවේ. අද තත්ත්වය ගත්තොත් පෙර පාසලේ ඉඳලාම දරුවන්ව තරගයට විතරක් නොවෙයි මේ වෙද්දි විභාගවලට පවා හුරු කරවනවා. මේ විභාග ක්‍රමය ඉතාමත් අසාර්ථකයි. අපි දරුවන්ට දේශාභිමානය ඇතිවන
කතාන්දර කියලා දීලා දේශාභිමානයක් ඇති කරන්න උත්සාහ කළාට එය ඉදිරියට ගෙනියන්න හෝ ඒ ඔස්සේ රටට යහපතක් කරන්න සිදුකළ යුත්තේ මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් කියලා දීලා නැහැ. සෑම දෙමවුපියෙකුම තමන්ගේ දරුවාව වෛද්‍යවරයෙකු, ගණකාධිකාරිවරයෙකු, ඉංජිනේරුවෙකු වගේ සමාජයේ ඉහළයි කියලා සම්මත කරගත් වෘත්තියකට යොමු කරනවා මිසක රටට, සමාජයට වැඩක් ඇති පුද්ගලයෙකු හෝ රට අද පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් මුදවාගත හැකි අලුතින් හිතන හොඳ ව්‍යවසායකයෙකු කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ඒක සමාජ වගකීමක් කියලා හිතන්නේ නැහැ. ඒ වගකීම ඉටු කරන්න අඩුම තරමේ දරුවාවවත් යොමු කරන්නේ නැහැ. මේවා තමයි පවතින අධ්‍යාපන ක්රමයේ ඇති අහිතකර තත්ත්ව.
අපි දකින්නේ මේ අධ්‍යාපන ක්‍රමය අනාගත ව්‍යවසායකයන් බිහිකළ හැකි තත්ත්වයක් දක්වා දියුණු කළ යුතු බවයි. ඒ වගේම අවදානමක් දරන්න හැකියාව තිබෙන, ඕනෑම පරිසරයකට හැඩගැසෙන්න පුළුවන්, නිර්මාණශීලී පිරිසක් බිහි කරන්නත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. එය දැනට යම් ප්‍රමාණයකට හෝ සිදුවෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගින් පමණයි. නමුත් එය කිසිම ආකාරයකින් ප්‍රමාණවත් නැහැ. මොකද අවුරුදු ගණනාවක් එක ආකෘතියකට කොටුවෙලා සිතීමේ හැකියාව සහ නිර්මාණශීලීත්වය මොට වූ පිරිසක් නැවත නිවැරදි මාවතකට ගැනීම පහසු කාර්යයක් නොවන නිසා. මෙය මුලින්ම නිවසේ සිටම ආරම්භ විය යුතුයි. දරුවාගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම සකස් කරලා හිතන්න දරුවාට පුරුදු කරන්නේ දෙමවුපියන් වන නිසා.
පාසල් අධ්‍යාපනයේ තිබෙන්නේ විෂය නිර්දේශයකට පමණක් රාමු වූ රස්සාවල් පමණක් හොයන පිරිසක් හදන, ටියුෂන් ටික පොහොසත් කරන, දේවාල පොහොසත් කරන ක්‍රමවේදයක්. විශ්වවිද්‍යාලය වෙනකම් මේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ රැකියා සෙවීමේ මානසිකත්වයෙන්. ඒ විදියට අධ්‍යාපනය ලබලා අවසානයේ උපාධියක් ලබාගන්න ළමයින්ට 'රස්සාවක් දියව්, දියව්' කියලා පාරට බහින්න වෙන එක පුදුමයක් නොවෙයි. මේක දේශපාලඥයන්ට හොඳ අවස්ථාවක් වෙනවා තමන්ගේ බලය තව තවත් වැඩි කරගන්න. දරුවෙකුගේ හැකියාව මනින්නේ මුහුණ දෙන විභාග ප්‍රමාණය අනුව. හැකියාවන් සහ කුසලතා එළියට නොගෙන සහතික පත්‍ර ලාභීන් විතරක් බිහිකරලා වැඩක් නැහැ. අඩුම තරමේ පෞද්ගලික පාසල්වත් මේ තත්ත්වය තේරුම් අරන් කටයුතු කරලා නැහැ. ඒ වගේම අධ්‍යාපනය මගින්ම මේ සමාජයේ රැකියා සම්බන්ධයෙන් පවතින ඉහළ හෝ පහළ කියලා හදාගෙන ඉන්න පුහු මතවාද ඉවත් කරන්න අවශ්‍යයි. වෙනත් රටවල් ගත්තොත් ඔවුන්ගේ අධ්‍යාපනය සහ පර්යේෂණ කටයුතුවලට විශාල මුදලක් වෙන් කරනවා. නමුත් අපේ රට දියුණුව කරා යන රටක් වෙලත් සමස්ත අධ්‍යාපනයටම වෙන් කරන්නේ 02%ක වගේ ප්‍රමාණයක්. එතැනදී පර්යේෂණවලට මුදල් නොලැබෙන තරම්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


