ජාතික තරුණ සේවා සභාව පසුගිය වසරේ පවත්වනු ලැබූ යොවුන්පුරය තරුණ කඳවුරින් පසුව දෙවන වරටත් යොවුන්පුරය තරුණ කඳවුරක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. ඒ අනුව අද (29දා) සිට ත්‍රිකුණාමලයේදී සතියක කාලයක් යොවුන් පුරය පැවැත්වෙන අතර, තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා සහභාගී වීමට නියමිතය. තරුණ සේවා සභාවේ නව ව්‍යාපෘතීන් හරහා යළි පිබිදීමකට ලක්ව සිටින මේ වකවානුවේ මෙම සියලු කාරණා සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ සමග සාකච්ඡා කළෙමු.
Q යොවුන්පුරය තරුණ කඳවුර පිළිබඳව කතා කළොත්?
අද සිට අප්‍රේල් මස 02දා තෙක් දින හතක් පුරාවට යොවුන්පුරය ත්‍රිකුණාමලයේදී පවත්වනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රධාන ආරාධිතයන් ලෙස යොවුන්පුරයට සහභාගී වෙනවා. ඒ වගේම විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සහ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට මේ සඳහා සහභාගී වීමට ආරධනා කර තිබෙනවා.
විශේෂයෙන්ම යොවුන්පුරය වැඩසටහන පවත්වන්න අපි තීරණය කළේ මේ තුළින් තරුණයන්ගේ නායකත්වය, පෞරුෂය, විනය, එකමුතුභාවය, ක්‍රීඩාව, කුසලතාව මේ හැමදේටම අවස්ථාව ලබාදෙන්න පුළුවන් නිසා. ඒ වගේම සතියක් පුරාවට යොවුන්පුරයට සහභාගී වන තරුණ තරුණියෝ මේ තුළින් ලබාගන්නා පන්නරය තුළින් ඔවුන් නිවැරදි මාවත තෝරාගන්නවා. මේ නිසාම රටේ අනාගතය පිළිබඳ විශ්වාසයක් තබන්න පුළුවන් වෙනවා.
මෙවර යොවුන්පුරයට තරුණ තරුණියෝ 6000ක් සහභාගී වෙනවා. නවීන තාක්ෂණය ඇතුළු සියලු දේ සඳහා යොවුන්පුරයේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදෙනවා. ඒ වගේම ඉදිරි තරුණ ප්‍රතිපත්ති සෑදීම සඳහා තරුණ තරුණියන්ගේ අදහස් ලබාගැනීමත් මෙවර යොවුන්පුරයේදී සිදුකරනවා.
Q පසුගිය වසරේ සීගිරියේදී පැවැත්වූ පළමු යොවුන්පුරය පිළිබඳ පසු විපරමක් කරනවා නම්?
සීගිරියේදී පැවති පළමු යොවුන්පුරය අතිසාර්ථකයි. ඒ තුළින් බිහිවුණ තරුණ තරුණියන් තමයි දිවයින පුරා තරුණ සේවා සභාව ලබාදුන් ව්‍යාපෘති සිදුකළේ. ඒ නිසා මෙවර යොවුන්පුරයට තරුණ තරුණියන් 10,000ක් සහභාගී වීමට අවස්ථාව ලබාදෙන්න කියා ඉල්ලීම් ගණනාවක් ලැබුණා. නමුත් එකවරම එය කරන්න අමාරුයි. ඒ නිසා තමයි අපි එය 6000ට සීමා කළේ. කෙසේවෙතත් ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් මිනි යොවුන්පුර පවත්වන්න තරුණසේවා සභාව තීරණය කර තිබෙනවා.
Q දක්ෂතාව මත ඉදිරියට යන තරුණ පරපුරක් නිර්මාණය කිරීමට මෙම ව්‍යාපෘති හරහා කොපමණ උත්සාහ ගන්නවාද?
අපේ රටේ තරුණ පිරිසෙන් කොටසක් දේශපාලන හස්තයන්ට යටවෙලා තිබෙන්නේ. අපේ ඇතැම් පිරිස් හැමදාම පාරෙ උද්ඝෝෂණ කරනවා, අර දේ නෑ මේ දේ නැහැ කියලා. තමන්ට නැති දේවල් කියාපානවා වෙනුවටඅපි ඉදිරියට යා යුත්තේ, අපිට තිබෙන දේවල් වලින්. ලෝකේ හැම රටක්ම දියුණු වෙලා තියෙන්නේ ඒ විදිහට.
ඒ නිසා අපේ තරුණ තරුණියන්ට මේ කාරණා මතක්කර දීලා ඔවුන්ගේ දක්ෂතා තුළින් ඉදිරියට යාමට මගපෙන්වීමයි අපි කරන්නේ. හැමෝම ඉංජිනේරුවරු, වෛද්‍යවරු වෙන්න ඕන කියල හිතල වැඩක් නැහැ. ඒ වගේම තමයි හැමෝම රජයේ සේවයට එන්න හිතුවොත් මේ රට විනාශම වෙලා යයි. මේ වනවිට ලක්ෂ 15ක් පමණ රජයේ රැකියා කරනවා. මේ අය හරියට වැඩ කළොත් අපේ රට සිංගප්පූරුවක් කරන්න පුළුවන්. නමුත් රජයේ සේවයේ 60%ක් වත් වැඩ කරන්නේ නැහැ.
ඒ වගේම හැමදෙනාම ඉල්ලන්නේ රජයේ රැකියාවක්. ඒ මොකද ඔවුන් කැමතියි වැඩ නොකර ඉන්න. අපි මේ මානසිකත්වය වෙනස් කළ යුතුයි. දක්ෂතාවෙන් ඉදිරියට යන තරුණ තරුණියන් පිරිසක් අපි හදන්නට අවශ්‍යයි. මෙහි ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. ඒක අමාරුයි. හැබැයි පුළුවන්. ඒ නිසාම තමයි අපි මේ අභියෝගය භාරගත්තේ. තරුණ සේවා සභාව විදිහට ඒ දේ කරන්න අපි උපරිම වශයෙක් කැප වෙනවා.
Q තරුණ සේවා සභාව ආරම්භ කළ 'යූත් විත් ටැලන්ට්' වැඩසටහනට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. මේ පිළිබඳව කතා කරනවා නම්?
ජාතික තරුණ සේවා සභාව හැමදාම රටේ තාරුණ්‍යය ශක්තිමත් කිරීමට විවිධ වැඩසටහන්, ව්‍යාපෘති සිදුකරනවා. ඒ අනුව තමයි 'යූත් විත් ටැලන්ට්' වැඩසටහන තරුණ සේවා සභාව ආරම්භ කළේ. අපි මේ වැඩසටහන ආරම්භ කළේ තරු බිහිකරන්න නොවෙයි, චරිත බිහිකරන්නයි. ඒ ලෙසින්ම අපි චරිත රැසක් මේ තුළින් බිහි කළා.
එලෙස බිහිවන චරිත ගමට රටට වැඩක් කළ යුතුයි. ඒ වගේම රට ගැන, ගම ගැන හිතන චරිතයක් තමයි අපි බිහි කළ යුත්තේ.
Q 'යූත් විත් ටැලන්ට්' වැඩසටහන කොටස් දෙකකින් ක්‍රියාත්මක කළා. එහි අරමුණ වූයේ කුමක්ද?
මේ තුළ පළමුවැන්න ලෙස තමන්ගේ ඕනෑම දක්ෂතාවයක් ඉදිරිපත් කරන්නට වේදිකාවක් නිර්මාණය කළා. දෙවැන්න විදිහට ගම තුළ ව්‍යාපෘතියක් කරන්න අවස්ථාව දුන්නා. ලංකාවේ සියලුම යෞවන සමාජ යොදා ගනිමින් ගමේ තිබෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ව්‍යාපෘතියක් ලෙසයි එය දියත් කළේ. ඒ අනුව යෞවන සමාජයකට රුපියල් 75,000 බැගින් ලක්ෂ 1200ක් යෞවන සමාජ අතර බෙදා දුන්නා. ඒ මුදල ලබාගෙන තරුණ තරුණියන් රුපියල් ලක්ෂ 6000ක ව්‍යාපෘතියක් සිදුකර තිබුණා. එයින් හොඳම ව්‍යාපෘති 26ක් තෝරාගෙන අවසානයේ හොඳම ව්‍යාපෘති 09ක් තෝරා ගත්තා. ඒ අතුරින් හොඳම ව්‍යාපෘතිය තෝරාගෙන අවසන් මහා තරගයේදී ත්‍යාග ප්‍රධානය කළා.
එහිදී ප්‍රථම ස්ථානය දිනාගත්තේ නෙළුව රිදී තරු පාලමයි. තමන්ගේ ගමට පාලමක් හදන්න මුල් වී තිබුණු දැරියක් තුන්දෙනෙක්. තාවකාලික ලී දඬු පාලමක් තිබුණ ස්ථානයකට මේ දැරියන්ගේ කැපවීම නිසා විශිෂ්ට පාලමක් නිර්මාණය කරගන්න අවස්ථාව ලැබුණේ මේ වැඩසටහන නිසා. ජයග්‍රහණය කළ කණ්ඩායමට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් ලබාදුන්නා. ඉතිරි ව්‍යාපෘති 08ට රුපියල් ලක්ෂ 10 බැගින් හිමිවුණා.
ඒ ව්‍යාපෘති දෙස අවධානය යොමු කළ විට අපේ රටේ තරුණයන්ට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා අපිට අවබෝධ වුණා. දස මහා යෝධයෝ ඒ කාලෙ කරපු දේවල් තමයි අපේ තරුණ තරුණියෝ මේ ව්‍යාපෘති හරහා සිදුකර තිබුණේ. අපි දේශපාලන අධිකාරියට චෝදනා කරනවා ලබාදෙන මුදල්වලින් වැඩකරන්නේ නැහැ කියලා. නමුත් ලබාදෙන මුදල තුන් ගුණයකින් පමණ වැඩිකරගෙන ඔවුන්ට වැඩකරන්න පුළුවන් බව අපේ රටේ තරුණ තරුණියන් ඔප්පු කරලා පෙන්නුවා.
ඒ සඳහා නායකත්වය ලබාදීම තමයි තරුණ සේවා සභාව සිදුකළේ. ඔවුන් එසේ සිදුකළ භෞතික නිර්මාණයට අමතරව අපේ තරුණ තරුණියන් ගමක් එකතු කළා. මුළු නගරයක්ම එකතු කළා. මේ විදිහට ගම් 1500ක්ම එකතු වූ විට අපේ මුළු රටම එකතු වෙනවා.
බොහෝදෙනා චෝදනා කරනවා වත්මන් තාක්ෂණය නිසා අපේ තරුණ තරුණියෝ ගමෙන් ඈත් වෙනවා කියලා. නමුත් මේ ව්‍යාපෘතිය තුළින් ගමක් එකතු කරන්න, චෝදනා වෙනුවට විසඳුම් ලබාදෙන්න අපි සියලුදෙනාටම හැකි වුණා. රටේ සංවර්ධනයට වගේම සංහිඳියාවටත් ලොකු සේවයක් වුණා.
අනිත් අතට මේ රියලිටි වැඩසටහන සමග සැඟවුණු දක්ෂතා බොහොමයක් එළියට ගන්නට හැකිවුණා. යූත් විත් ටැලන්ට් වැඩසටහනෙන් ජයග්‍රහණය කළ පුද්ගලයා පිළිබඳ කතා කළොත් ඔහු අති දැවැන්ත දක්ෂයෙක්. ඔහුගේ දස්කම් දෙස බලන් ඉද්දී අපේ ඇඟ කිළිපොලා යනවා. ඔහු දුප්පත් තරුණයෙක්. නමුත් මේ හරහා ඔහුට ලොකු අවස්ථාවක් විවර වුණා.
Q ජයග්‍රහණය කළ තරගකරුවන්ගේ අනාගතය පිළිබඳ තරුණ සේවා සභාව අවධානය යොමු කරනවාද?
තරගය අවසන් කළා කියල මෙතැනින් එහාට මෙයට සහභාගි වුණ අයව නවත්වන්න අපේ අදහසක් නෑ. මෙතැනින් එහාට ඔවුන්ගේ ජීවිතය හදාගන්න අපි අවස්ථාව ලබාදෙනවා. ඒ තරුණයන්ගේ දක්ෂතා ඉදිරියට ගෙනියන්න, ඒ වගේම ආර්ථික ශක්තිය වර්ධනය කරගන්නේ කොහොමද කියලා මගපෙන්වන්න අපි සූදානම්. ඒ වගේම ඉතිහාසයේ ප්‍රථම වතාවට ද්‍රවිඩ ජාතිකයෙක් අවසන් මහා තරගයට තේරුණා. මේ වගේ තරුණ තරුණියන්ට විශාල අවස්ථාවක් උදාකර දෙන්නට තරුණ සේවා සභාවට අවස්ථාව ලැබුණා.
'යූත් විත් ටැලන්ට්' වැඩසටහන ආරම්භ කරද්දී බොහෝදෙනා අපිට විහිළු කළා. තවත් අය කිව්වා මේ දේ කරන්න එපා කියලා.
නමුත් ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹපු වාර්තාගත වැඩසටහනක් බවට 'යූත් විත් ටැලන්ට්' වැඩසටහන පත්වී තිබෙනවා. ඒ වාර්තාව කිසිම කෙනෙකුට කඩන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැහැ.
Q මෙහි දෙවන අදියර අරම්භ කරනවාද?
'යූත් විත් ටැලන්ට්' තරගයේ දෙවැනි අදියර ආරම්භ කරන්න ජාතික තරුණ සේවා සභාව තීරණය කළා. ඒ අනුව යූත් විත් ටැලන්ට් දෙවැනි අදියර අපි මැයි මාසයේ ආරම්භ කරනවා. මැයි 06, 07 දිනවල දිස්ත්‍රික්ක පුරාවටම පවත්වනවා. ඒ වගේම යෞවන සමාජවලට ව්‍යාපෘති කරන්න මෙවර රුපියල් ලක්ෂය බැගින් ලබාදෙනවා. ඒ නිසා යූත් විත් ටැලන්ට් දෙවැනි වැඩසටහන මීට වඩා සාර්ථක වෙයි. මීට වඩා තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙයි කියලා අපි හිතනවා.
ජාතික තරුණ සේවා සභාව අමතා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී හරහා මේ තරගයට ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුළුන්. විශේෂයෙන්ම පළමු වැඩසටහන වඩා දෙවැනි වැඩසටහනට විශාල පිරිසක් සහභාගි වෙයි කියලා අපේ අදහසක් තිබෙනවා. මේ සියල්ලටම විශාල අවස්ථාවක් ලබාදෙන්නට අපි සැලසුම් කර තිබෙනවා.
මෙහි සුවිශේෂී කාරණය තමයි මේ වැඩසටහන් තුළ කිසිම දේශපාලන අරමුණක් නැහැ. ව්‍යාපෘති තෝරද්දී දේශපාලනයක් බලන්නෙ නැහැ. ජාතිය, ආගම, කුලභේද කිසිවක් බලන්නෙ නෑ. දක්ෂයාට තැන දීමට රාජ්‍ය ආයතනයේ කරන දැවැන්ත වැඩසටහනක් ලෙස අපිට මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්. මෙහි පළමු අදියර සාර්ථක වීම පිළිබඳව අපිට බොහොම සතුටුයි. ඒ වගේම මේ වැඩසටහන හරහා තරුණ සේවා සභාව යළිත් පිබිදීමකට ලක්වෙනවා.