සිදුහත් කුමාරයාගේ උත්පත්තිය සිදුවූ ස්ථානය විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු කිරීම පිළිබඳව සමස්ත බෞද්ධ ජනතාවගේ පමණක් නොව සමස්ත ලෝකවාසීන්ගේම අවධානය මේ වනවිට යොමු වී හමාරය. නේපාලයේ මෙම පර්යේෂණය සිදුකළ පර්යේෂණ කණ්ඩායම හා එම පර්යේෂණ කාලසීමාව තුළ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගත් කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ජනවාරි මාසයේදී ඉදිරි කැණීම් සඳහා නේපාලයට පිටත්වීමට නියමිතය. ලංකාවෙන් පිටත්ව යන්නට පෙර 'අද' ඒ මහතා සමග මේ පිළිබඳව සංවාදයක නිරතවීමු.
නේපාලයේ සිදුකළ පර්යේෂණය පිළිබඳව මුලින්ම සඳහනක් කළොත්?
නේපාලයේ ලුම්බිණියේ මෑත කාලයේ අවසන්වුණු පුරාවිද්‍යා කැණීම ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වන හේතුව තමයි, මෙම පුරාවිද්‍යාත්මක කැණීමෙන් බෞද්ධ ලෝකයේ ඉතාම පැරණි ගොඩනැගිල්ල අනාවරණය කරගැනීමේ හැකියාවක් පුරාවිද්‍යාඥයන්ට ලැබීම.
මේ ගොඩනැගිල්ල පුරාවිද්‍යාඥයන් සොයාගත්තේ ලුම්බිණි නගරයේ සිදුහත් කුමාරයා උත්පත්තිය ලැබුවා යැයි දැනට අවුරුදු ගණනාවකට ඉහත නිශ්චය කර හඳුනාගෙන තිබුණු ස්ථානයෙයි. මේ ප්‍රදේශයේ සිදුහත් කුමාරයා ඉපදුණා යැයි කියන කාරණය සනාථ කරන්න හැකියාවක් තිබෙන අශෝක සෙල්ලිපියත් ඉවහල් වුණා. එම සෙල්ලිපිය මගින් තමයි 1870 ගණන්වල විතර ස්ථිර වශයෙන්ම සිදුහත් කුමාරයා ඉපදුන ස්ථානය මේ ප්‍රදේශය බව ඔප්පු කරගන්න පුළුවන්කම ලැබුණෙ.
මෙම කැණීම මගින් සොයාගත්ත දැව ගොඩනැගිල්ලේ තියෙන වැදගත්කම තමයි බෞද්ධ සාහිත්‍යයේ මූලාශ්රවල සිද්ධාර්ථ කුමාරයා උත්පත්තිය ලැබීමේදී මහාමායා දේවිය විසින් ලුම්බිණියේ සල් අත්තක් අල්ලාගෙන සිටියා යැයි දැක්වෙන ප්‍රවෘත්තිය. විශේෂයෙන්ම මේ බෞද්ධ සාහිත්‍ය ප්‍රවෘත්තිය කිසියම් විදිහකින් ද්‍රව්‍යමය සාක්ෂි මත සනාථ කරන්නට පුරාවිද්‍යාඥයන්ට හැකිවුණා.
ඒ සදහා පාදක වුණු ප්‍රධාන කරැණු කිහිපයක් තියෙනවා. මේ ගොඩනැගිල්ල, ඒ වෘක්ෂය, ඒ වගේම ගොඩනැගිල්ලේ ආකෘතිය මොකක්ද කියන කාරණා විශේෂයි. ඒ අනුව මේ ගොඩනැගිල්ල දැවයෙන් තනපු ගොඩනැගිල්ලක් කියන කාරණය තහවුරු වුණා. ඒ වගේම මේ කැණීමෙන් පොළොවේ ඉතාම ගැඹුරෙන් ගොඩනැගිල්ලක් හදන්න උපකාර වුණු කණු, වළවල්, වගේම ඒ කණු වළවල් වටා ගමන් කළ දැවමය ගරාදි වැටක ලක්ෂණ ආදිය සොයාගත්තා. ඒ වගේම ඒ ගරාදි වැට සහ ඒ කණු වළවල්වලට තරමක් ඉදිරියෙන් හිස් අවකාශ වළක් සහ ඒ වලේ රෝපණය කර තිබුණු වෘක්ෂයක සාක්ෂි මේ පුරාවිද්‍යා කැණීමෙන් පුරාවිද්‍යාඥයන් මතුකරගත්තා. ඉතාම පැහැදිලියි ගොඩනැගිල්ල මොකක්ද සහ ඒ වළ මත තිබුණු වෘක්ෂය මොකක්ද කියන කාරණය. ඉතාම නිවැරදිව මේ හිස් වළ තුළ බෞද්ධ සාහිත්‍යයේ කියන සල් ගස ඉතාම ඉහළින් නිර්මාණය වෙලා තිබුණා කියන කාරණය හඳුනාගන්න මේ මුල් සාක්ෂි උපකාරී වුණා. ඒ වගේම ඒ වෘක්ෂය වටා ගිය දැවමය ගරාදි වැට පිළිබඳවත් මේ කියන සාක්ෂි මගින් තහවුරු වුණා.
මෙම පර්යේෂණය සදහා භාවිත කළේ මොනවගේ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයක්ද ?
විශේෂයෙන්ම කියනවා නම් රටක මේ බෞද්ධ උරුමය සනාථ කරගන්නකොට පුරාවිද්‍යාඥයන් පාවිච්චි කරන විද්‍යාත්මක ක්‍රමවේද පාවිච්චි කළා. ඒ සඳහා න්‍යෂ්ටික කාල නීර්ණ කිහිපයක් යොදාගත්තා. එකක් තමයි කාබන් දින නියමය. අනිත් එක තමයි OSL දින නියමය. කාබන් දින නියමය කියලා කියන්නෙ කාබන් අංශු, පොළොව තුළ තිබෙන දේවල් ඉතාම ප්‍රවේශමෙන් මතුකරගෙන විද්‍යාත්මක රසායනාගාර පර්යේෂණ මගින් දින නියම ලබාදීම. OSL දින නියමය කියලා කියන්නෙ පොළොව තුළ ඒ ඒ ස්ථරවලින් පස් සාම්පල උඩට අරගෙන, විද්‍යාගාර ක්‍රම මත විශ්ලේෂණය කරන ක්‍රමයක්. එතකොට මේ ක්‍රම දෙකෙන්ම මේ ස්ථානය, මේ වෘක්ෂය සහ ගොඩනැගිල්ලේ සාක්ෂි ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසට අයත් බව තහවුරු වුණා. මේ ගොඩනැගිල්ලත් එහි සන්ධර්භයත් මත පුරාවිද්‍යාඥයන්ට තහවුරු කිරීමට හැකියාව ලැබුණා, මේ ගොඩනැගිල්ලේ තමයි බෞද්ධ සාහිත්‍යයේ එන මහාමායා දේවිය සිද්ධාර්ථ උත්පත්තිය සිදුවන විට සල් ගස අල්ලාගෙන සිටියේ කියලා.
සිදුහත් කුමාරයාගේ උත්පත්තිය පිළිබඳ ප්‍රවාද හා සසඳන කල මේ කැණීම හරහා සනාථ වූ දේ ඔබතුමා දකින්නේ කොහොමද ?
මීට කලින් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය පිළිබදව නොයෙකුත් ප්‍රශ්න ලෝකයේ තිබුණා. පුරාවිද්‍යාඥයන් අතර විවිධ ප්‍රශ්න තිබුණා. සමහරු කිව්වා සිද්ධාර්ථ කුමාර උත්පත්තිය හතර වැනි සියවසේ කියලා. බෞද්ධ සාහිත්‍යයේ හුඟක් තැන්වල ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස තමයි සඳහන් වෙන්නෙ. ඉතාම පැහැදිලිව මේ සාහිත්‍යමය කතාව පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් තහවුරු කරන්න හැකියාවක් මේ කැණීමෙන් ලැබුණා.
මෙම තහවුරු කීරීම සඳහා ලංකාවේ පුරාවිද්‍යාත්මක සාධක කුමන ආකාරයකින් බලපෑම් කරන්නට ඇතිද?
මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නෙ සිද්ධාර්ථ උත්පත්තියෙන් පසුවයි. මේ ගොඩනැගිල්ල සොයාගැනීම නේපාලයේ ජනතාවට පමණක් නෙමෙයි, ලෝකයේ මිලියන 350 ක් පමණ වන බෞද්ධ වැසියාටත්, අනෙක් පැත්තෙන් බෞද්ධ නොවන සමස්ත ගෝලීය වැසියන්ටත් වැදගත් වෙනවා. ඒ අතර ශ්‍රී ලාංකික ජනතාවටත් මෙහි වැදගත්කමක් තියෙන්නෙ වෘක්ෂයක් වටා ගොඩනැගිල්ලක් ඉදිකළා කියන අදහස ශ්‍රී ලංකා සමාජයේ බෝධි වෘක්ෂ සම්බන්ධයෙන් තමයි ලාංකික පුරාවිද්‍යාඥයන් 1960 ගණන්වල සොයාගත්තෙ. නමුත් ඉන්දියාවේවත් වෙනත් දකුණු ආසියාතික රටකවත් වෘක්ෂයක් වටා ගොඩනැගිල්ලක් ඉදිකළා කියන සාක්ෂිය ඉතා ගැඹුරින් සොයාගැනීමේ හැකියාවක් ලැබුණෙ නෑ. නමුත් බෝධි වෘක්ෂයක් වටා ගොඩනැගිල්ලක් ඉදිකර තිබුණා කියන කාරණය පිළිබඳව කැටයම් ඉන්දියාවේ අනන්තවත් තිබෙනවා.
සාංචි, අමරාවතී කියන කැටයම්වල මේ කාරණය තිබුණත්, පොළොව තුළින් පුරාවිද්‍යාත්මක වශයෙන් සොයාගත්තේ 1960 ගණන්වල ලංකාවෙනුයි. මහාචාර්ය කනින්හැම්ගේ වාර්තාවල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ලංකාවේ බෝධි වෘක්ෂයක් හදනකොට භාවිත කරන 'බෝධිඝර' කියන ක්‍රමයට අනුව, මේ සල්ගස වටා ඇති ගොඩනැගිල්ලත් හදන්න ඇති කියල. ගොඩනැගිල්ලක් කියලා කිව්වට මේකෙ සාමාන්‍යයෙන් සිද්ධවෙන්නෙ වෘක්ෂයේ අතු රිකිලි ඉහළට නිදහස්ව යා හැකි පරිදි නිදහස් බවක් මධ්‍ය ප්‍රදේශයේ හදලා, ඒ ගසේ සතර දිශාවෙන් වටේට මේ ගොඩනැගිල්ල හදලා, උළු පියස්සක් හදලා, කිසියම් විදිහක ගොඩනැගිල්ලක් ආකාරයට සකස් කීරීමයි. මේ අදහස කනින්හැම් මහත්තයට තමන්ගේ මතය තහවුරු කිරීමට ඉතාම වැදගත් වුණා. ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට සතුටුවෙන්න පුළුවන් සිද්ධාර්ථ උත්පත්තියේ සල්ගස පිළිබඳ කතාව ගොඩනගන්න ලංකාවේ බෝධි වෘක්ෂය හා සම්බන්ධ සොයාගැනීම් ඉතා සෘජු බලපෑමක් කළා කියන කාරණය.
මෙම පර්යේෂණය සිදුකළේ කවුරැන් විසින්ද?
මේ පර්යේෂණයට සහභාගී වුණු මහාචාර්ය රොබින් කනින්හැම් මහත්තයා ලංකාවේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අනුරාධපුර වගේ ප්‍රදේශවල මා සමගත් පර්යේෂණ කරලා තියෙනවා. මේ නේපාලයේ කරපු කැණීම සඳහා විද්‍යාත්මක සහ තාක්ෂණික ආධාර එංගලන්තයෙන් ලබාගත්තා. මහාචාර්ය කනිංහැම් තමයි මේ කැණීම් කණ්ඩායමේ නායකත්වය දැරුවේ. එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලය තමයි ඔහු නියෝජනය කරන්නෙ. ඒ වගේම කාල නීර්ණය සහ විද්‍යාත්මක කාරණා ගොඩනගන්න සම්බන්ධ වුණේ එංගලන්තයේ මහාචාර්ය ඉයන් සිම්සන්. ඔහු සේවය කරන්නෙ එංගලන්තයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයෙයි. නේපාලයේ පුරාවිද්‍යා කණ්ඩායම සඳහා නායකත්වය දෙන්නෙ පී.කේ. ආචාර්ය කියන පුරාවිද්‍යාඥයා. මේ සඳහා යුනෙස්කෝ ආධාර ලැබෙනවා. ඒ ආධාරවලට තාක්ෂණය සහ විද්‍යාත්මක පර්යේෂණ ආධාර ලබාදෙන්නෙ එංගලන්තයෙන්.
අදාළ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය රොබින් කනිංහැම් සමග ඔබට තිබෙන සම්බන්ධය මොකක්ද?
මහාචාර්ය රොබින් කනිංහැම් කියන්නෙ මම ආචාර්ය උපාධිය කරපු ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මගේ ප්‍රධාන උපදේශකවරයා. මාත් එක්ක එතුමා ලංකාවේ අවුරුදු හතරක් අනුරාධපුරයෙන් පිටත කලාපයේ පර්යේෂණයක් කළා. ඒ ව්‍යාපෘතියටත් මේ විශ්වවිද්‍යාලය සම්බන්ධ වුණා. ඒ වාර්තාව හෙට අනිද්දා එළියට එනවා. ලුම්බිණියේ කැණීම සම්බන්ධයෙන් මමත් නිරන්තරයෙන් අන්තර්ජාලයෙන් කරුණු හුවමාරු කරගෙන තියෙනවා. මේ කැණීමට සහභාගීවෙන්න මට ආරාධනා කරලා තියෙනවා. ජනවාරි මාසයේ මම නේපාලය බලා පිටත්වෙනවා.
ඔබත් ඇතුළත් මෙම පර්යේෂණ කණ්ඩායම ඉදිරියේ මොනවගේ පර්යේෂණයක්ද සිදුකරන්නෙ ?
ඉදිරියේදී මේ පර්යේෂණ කණ්ඩායම කල්පනා කරනවා, තවත් පර්යේෂණ කිහිපයක් කරලා මේ දින වකවානු තවදුරටත් සාක්ෂාත් කරගන්න. මේ මායාදේවි ගොඩනැගිල්ලේ තව පර්යේෂණ වළවල් කිහිපයක් කැණීමට භාජනය කරලා, මේ දින වකවානු තහවුරු කිරීමත්, සිදුහත් කුමාරයා හැටියට ගතකරපු ජිවිත කාලය මොන ආකාරයෙන් සිදුවුණාද සොයන්න සහ ඒ සම්බන්ධයෙන් සංස්කෘතික අවකාශ මතුකරගන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා රම්‍ය, සුරම්‍ය, සුභ කියන ගොඩනැගිලි පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ විස්තර කරනවා. ඒ කාල පරිච්ඡේද තුළ කොහොමද සංස්කෘතික අවකාශ ගොඩනැගෙන්නෙ කියන කාරණය ඉදිරි පර්යේෂණවලදී සොයන්න බලාපොරොත්තු වෙනවා.
මායාදේවි ගොඩනැගිල්ල කියන්නෙ මොකක්ද ?
මායාදේවි ගොඩනැගිල්ල කියන්නෙ මීට වසර කිහිපයකට උඩදී සොයාගත් ගොඩනැගිල්ලක්. මේ මායාදේවි කියන විශාල ගොඩනැගිලි පරිශ්‍රයේ එක කොටසක තමයි මේ කැණීම සිදුකරලා සිද්ධාර්ථ කුමාර උත්පත්තිය තහවුරු කරන්න හැකිවුණේ. සමස්තයක් හැටියට මේක දැවැන්ත භුමි ප්‍රදේශයක්. ඒ භුමියේ එක් ගොඩනැගිල්ලක් තමයි මායාදේවි ගොඩනැගිල්ල කියන්නෙ. මේක ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසටයි අයත්වෙන්නෙ. කතා රාමුවත් එක්ක බැලුවම මායාදේවිය කියල නම දාල තිබුණට ඊටත් වඩා පරණයි අපි සොයාගත් ගොඩනැගිල්ල.
මේ සොයාගැනීම ලෝකයටත්, ලංකාවටත් බලපාන්නෙ කුමන ආකාරයකින්ද?
දකුණු ආසියාවට මේ සොයාගැනීමෙන් විශාල දීප්තියක් ලැබුණා. බෞද්ධ ලෝකයේ වටිනා කේන්ද්‍රස්ථානයක් හැටියට මුළු ලෝකයේම ප්‍රසිද්ධ වීම නිසා නේපාලයටත්, දකුණු ආසියාවටත් මෙහි බලපෑම වැඩියි. මේ හරහා ලංකාවේ වන්දනාමාන සංචාරයත් ඉතාම ගැඹුරින් ප්‍රවර්ධනය කරලා වාසි ලබාගන්න පුළුවන්. අපේ බෞද්ධ සාහිත්‍යයේත් බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීම පිළිබඳව අනන්ත විස්තර තිබෙනවා. ඒවා පුරාවිද්‍යාත්මක වශයෙන් තව තහවුරු කරන්න අපිට පුළුවන්. මේ කියන කාරණාත්, ලංකාවේ තියෙන විශාල ආගමික උරුමයත් පදනම් කරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්. කැසිනෝ වැනි කාරණා තුළින් මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හදනවාට වඩා, අපි කල්පනා කරන්න ඕන මේ තියෙන සංස්කෘතික, ආගමික සංචාරක කර්මාන්තය තවදුරටත් පුළුල් කරන්න සහ දියුණු කරන්න.