Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 සැප්තැම්බර් මස 09 වන සඳුදා
2024 සැප්තැම්බර් මස 09 වන සඳුදා
ජාතිය, ආගම වෙනුවෙන් කතා කිරීම ජාතිවාදය ඇවිස්සීමක්දැයි ආගම් නායකයන් සහ ජනතාව අතර කතාබහකි. ජාතිවාදය අවුස්සන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
සද්භාවයෙන්ම ජනතාවට තමන් දරන මතය තුළ සත්‍ය ගවේෂණය වෙනුවෙන් ගැටඹේ රාජෝපවනාරාමාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්ම වාගීස්වර අතිපූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ දක්වන අදහස්වලට සවන් දෙමු.
Q ආගම සහ බලය මැයෙන් සමාජය තුළ පවතින සංවාදය ඔබ වහන්සේ දකින්නේ කෙබඳු ආකාරයෙන්ද?
ඉස්සර වෙලාම කියන්නෙ මේ මගේ අදහස් දැක්වීම කවුරු හෝ පිරිසුදු කරන්න නෙවෙයි කියන එක. අනික් කාරණය මේ කියන දේ ජාති, ආගම් භේද අවුස්සලා ඇත්ත යටපත් වීමට ඉඩ හැරීමක් නෙවෙයි. පාලකයන්ට, උගතුන්ට සමාජයට ඇත්ත ඇති හැටියෙන් සිතීමට මගේ වගකීම හැටියට කරුණු පෙන්වාදීමක්.
Q ඥානසාර හිමියන්ගේ සිදුවීම ගැන කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකරන දේ ඔබ වහන්සේගේ නිරීක්ෂණ සහ ඇසූ දුටු දේ අනුව කෙටියෙන් පැහැදිලි කළොත්?
සමහර විට ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන මේ රට බෙදන්න අරඅඳින දේශීය සහ විදේශීය හා ඇතැම් එන්ජීඕවල පරමාර්ථ ඉටු කරදීමට ක්‍රියා කළොත් මේ රට තවත් විපතට පත් වේවි.
ඥානසාර හිමි ආගමික කටයුත්තකට සහභාගි වී ආපසු වඩින විට කිසිදු දැනුම්දීමකින් තොරව අත්අඩංගුවට ගැනීම සඳහා මිනීමරු ප්රභාකරන් අත්අඩංගුවට ගැනීමටත් භාවිත නොකළ ම්ලේච්ඡ ක්‍රමවේදයකට පොලීසිය පෙළඹවීම අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලකයන්ගේ උවමනාවක් ඉටු කර දීමට යත්න දැරීමක් බව මේ රටේ ජනතාව පවසන කරුණු ගැන පාලකයන් සිතිය යුතුයි.
කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි පොලීසිය පැවසීම යහපත් නැහැ. පොලිසිය අවශ්‍ය සහ අනවශ්‍ය හැමවිටම අවිචාරවත්ව, නීතිය නවන්නට ගියොත් නුදුරේදීම එය දෙකට කැඩී සුනුවිසුණු වීමද වැළැක්විය නොහැකියි.
Q නමුත් නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක විය යුතුයි යනුවෙන් පොලීසිය පෙන්වා දෙනවා?
ඥානසාර හාමුදුරුවෝ කියන්නෙත් ඒ ටික තමා. මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී ඉහළින් විමසිය යුතුයි කියලා පහුගිය කාලේ පාලකයන් පොලීසියට නියෝග කළා. එහෙම නම් ඥානසාර හිමි වැනි අයෙකු අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය මෙලෙස පාරවල් වහලා, මාර්ග බාධක දමා කලබලකාරී සහ ජනතාව භීතියටත්, අපහසුවටත් පත්වන පරිදි ක්‍රියා නොකර කටයුතු කිරීමට තිබුණා යැයි කියන දේ රටේ නායකයන්ට දැනිය යුතුයි. ජනතාව පවසන දේ අමතක කරන්න හොඳ නැහැ.
දේශපාලකයන්ට එක් ක්‍රමයකුත්, ආගමික නායකයන්ට තවත් ක්‍රමයකුත් වශයෙන් පවත්වාගනිමින් දේශපාලකයන් සුරක්ෂිත වී ආගමික නායකයන් අවමානයට පත් කරවන විට එතැන නීතිය පිළිබඳ ජනතවට සැකයක්, පිළිකුලක් මතු වෙනවා.
මහා සංඝයා වහන්සේ වශයෙන් රජයට සිහිපත් කරන්නේ, ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් විය හැකි තැනට අර්බුදයක් හදන්න එපා කියලා යෝජනා කරනවා. උතුරේ ජන සංහාරය සැමරූ සිවාජිලිංගම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කරන විග්නේෂ්වරන් මෙන්ම මහා පරිසර ඝාතකයන්, ඉඩම් මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර නොගැනීම ජනතාවට ප්‍රශ්නයක් බව පැහැදිලියි. උන්වහන්සේ පවසන්නේ නීතිය කාටත් සාධාරණ විය යුතුයි යන බලවත් ඉල්ලීම.
Q එහෙම වෙන්නේ ඇයි?
මේවා තමයි ජාතිවාදී, ආගම්වාදී කතා කියන්නෙ. ඒවා කරන්නේ ආණ්ඩුවට හිතවත් අයම මිස රටට හිතවත් මිනිස්සු නෙවෙයි. එදත් කළා, අදත් වෙනවා. මහ ජාතියට එක විදිහක්, සුළු ජාතීන්ට තවත් විදිහක් හැටියට ජනතාව අතර මතයක් පවතින්නේ එනිසායි. එහෙම වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. ආණ්ඩුව කාටත් නීතිය එක සමානව ක්‍රියාත්මක කරනවා කියන එක ජනතාව පිළිගන්නාතුරු මිනිසුන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති වේවි. ඒ තැනට ජනතාව පත් කරගන්න එපා.
අනික රටේ සුළු ජාතීන් සංවිධානය වෙලා ඉන්නෙ ජාතිවාදී කණ්ඩායම් හැටියට කියන එක ආණ්ඩුවට අමතක වෙලා. මහ ජාතියට එහෙම කණ්ඩායම්, දේශපාලන පක්ෂ නැහැ.
Q සුළු ජාතියට දේශපාලන අයිතියක් නැද්ද?
කාටත් තියෙනවා. වරද පාව්චිචි කරන ක්‍රමයයි. දේශපාලනය කියන්නේ බලය වෙනුවෙන් නම් කවුරු කළත් විශාල සූදුවක්. ඇතිවෙන්න සල්ලි විසි කරන්න අවශ්‍යයි. බලය පෙන්වන්න අවශ්‍යයි. එහෙම තැනක බලය වෙනුවෙන් සුළු ජාතීන්ගේ මනාප ගොඩ නැතිව ඡන්දය දිනාගැනීමේ විශාල අර්බුදයක් පවතිනවා.
මේක මේ ක්රමයේ වරද. මේක නැති කරන්නනේ ජනතාව ජනවාරි 08 ඉල්ලා සිටි වෙනසකට ඡන්දය දුන්නේ. දැන් පාලකයන්ට ඒවා අමතකයි. හැමදේම සුළු ජාතික ඡන්ද ලක්ෂ පහ හය මත රැඳී පවතිනවා. එතනදි බලය ලබාගැනීම වෙනුවෙන් ඒ ඒ පක්ෂ සුළු ජාතීන් සමග විවිධ ගිවිසුම්ගත වෙනවා.
Q මොන වගේ ගිවිසුම්ද?
ඒ ගිවිසුම් මොනවාද කියලා කවදාවත් දේශපාලකයන් ජනතාවට ප්‍රසිද්ධ කරලා තියෙනවාද? මැතිවරණ පොරොන්දු තුළ ලියලා තියෙනවාද? නැහැ. එහෙම වෙනකොට එයින් පස්සේ සිදුවන යම් යම් කරුණුවලදී ජනතාව ආණ්ඩුව කෙරෙහි වැරදි විදිහට හිතනවා. මේවා නිවැරදි විය යුතුයි. යහපාලනය කියන්නේ පැහැදිලි විනිවිද දැක්මක්.
Q ආගම, ජාතිය පෝෂණය කිරීම ගැන කතා කරන එක ජාතිවාදයක්ද?
ජාතිය ආගම උන්නතිය ගැන කතා කරන දේ ජාතිවාදී, ආගම්වාදී වෙන්න බැහැ. එහෙම වුණොත් අපට කවදාවත් ගෙදරක බණක් පිරිතක් කියන්න ඉඩක් ලැබෙන එකක් නැහැ. ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවා යැයි පොලීසියෙන් අත්අඩංගුවට ගනියි.
නමුත් දේශපාලකයන්ට තමන්ගේ ඡන්ද ගොඩ ගැන හිතලා ඕනෑම ජාති ආගම් විරෝධී දෙයක් කරන්න පුළුවන්. ඒ අය බලයේ සිටින අවුරුදු හතරෙන් පහෙන් වැරදි අණපනත් ස්ථාවර කරලා යයි. හැමදාමත් ඒ අයට ඡන්දය දුන් ජනතාවත්, මතු පරපුරත් ඔවුන්ට සාප කරයි රට අගාධයට පත් කරලා ඔවුන් රට විනාශ කරලා ගියා කියලා. මේ තත්ත්වය ආණ්ඩුව බුද්ධිමත්ව දැකිය යුතුයි.
මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්, ටී.එන්.ඒ. වශයෙන් සංවිධානය වන මේ අය හැමදාමත් ජාතිවාදය වෙනුවෙන් පක්ෂ හදාගත්තා මිස අඩුම තරමින් ජාතික සංහිඳියාව ගැනවත් කිසිම උනන්දුවකින් කටයුතු කළේ නැහැ. තමන්ගේ දේශපාලන පක්ෂවලට මුවා වෙලා ජාතිවාදී හැඟීම් අවුස්සන කතා කියනවා නම් ඒක වැරදියි.
Q උදාහරණයක් දුන්නොත්?
නාවලපිටියේ තේ කම්හලක් සහ මහියංගනයේ ගොඩනැඟිල්ලක් ගිනි තියලා තියෙනවා සහ එවැනි යම් සම්බන්ධතා පවතින බවට කතාවක් මුස්ලිම් කොංග්‍රසයේ හකීම් ඇමතිවරයා 09 වැනිදා කීවා. පසුව 11 වැනිදා මහින්දානන්ද අලුත්ගමගේ එතැන නිරීක්ෂණයට ගියා. ජනමාධ්‍ය හරහා එහි අයිතිකරු පැවසුවේ කාර්මික දෝෂයක් හෝ විදුලි කාන්දුවක් නිසා මේ විපත සිදු වී ඇති කතාවක්.
මෙතැන තිබෙන්නේ ජාතිවාදය ඇවිස්සීමේ උත්සාහයක් විය හැකි යැයි සමහරු යෝජනා කරනවා. නොදන්නා කරුණු ගැන කියන්න ඉස්සර ඒ ගැන සොයා බැලිය යුතුයි. නැත්නම් මේ ඇමතිලා සිංහල බෞද්ධ ජනතාව අපහසුවට පත් කරවනවා. මේවා ආණ්ඩුව පැත්තෙම ඇමතිවරු ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කියන දේ නෙවෙයිද?
Q එහෙම වුණත් භික්ෂූන් වහන්සේලාගේ ඇතැම් පිරිසක් ජාතිවාදය අවුස්සනවා යැයි ඇතැමුන් චෝදනා කරනවා නම්?
භික්ෂූන් වහන්සේලා ගැන වැරදි විදිහට තක්සේරු කරන්න එපා. ඒ අය ළඟ ජාතිවාදයක් නැහැ. තියෙන්නේ තමන්ගේ යුතුකම්, වගකීම් ඉටුකිරීමේ සමාජ වගකීමක්. ඒක දේශපාලකයන්ට පාලනය කරන්න බැහැ. මතකනෙ සංඝ කතිකාවතක් හදන්න ගිහින් දේශපාලකයෝ කර ගත්ත විනාශය. ඇයි සමහර පාලකයොම කියන්නෙ තමන්ගේ ආගම රැකගැනීම ඒ ආගම්වල නායකයන්ගෙ වගකීමක් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඒකට අවශ්‍ය නැහැ කියන කතාව.
Q පාව්ච්ච් කරන වචන බර වැඩියි කියන කතා?
මට මතකයි වරක් මෙම විහාරස්ථානයට පැමිණි තමන් මාක්ස්වාදියෙකු හැටියට හඳුන්වා දුන් මහත්මයෙකු කී කතාව. එතෙන්දි එයා කිව්වෙ අපි එදා අපේ සටන් පාඨ හැටියට පාවිච්චි කළේ 'සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැඟිටියව් - අවසන් සටනට සැරසියව්' වගේ සටන් පාඨ පාවිච්චි කළා කියන කතාව. මම ඇහුවා ඒ වචන සැර වැඩි නැද්ද කියලා. එතකොට ඔහු කීව්වේ සැරසියව්, කාපියව්, බී පියව්, මැරියව්, සටන් වදිව් කියන වචන යෙදීමෙන් ජනතාවට ඒවා වඩාත් වටහාදීමේ ශක්තියක් ලැබෙන බවට කතාවක්. එහෙත් ඒවා නරක වචන නෙවෙයි.
අනගාරික ධර්මපාලතුමා කීවේත් 'සිංහලයිනි නැගිටිව් බෞද්ධයනි අවදි වෙයව්' කියලා. අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ඒ සැර තද වචන භාවිත කරගන්න ඇති. හැබැයි එතුමා පොලීසියෙන් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒවා තුන්හතර දෙනාට මැරිලා යන්ට ගහනවා හෝ අසභ්‍ය ලෙස බැණ වදින තරම් අශෝභන නැහැ.
Q මෙවැනි අර්බුද හමුවේ ඔබවහන්සේ පාලකයන්ට දෙන පණිවුඩය කුමක්ද?
පාලකයන්ට කියන්න කැමතියි වලිගය පාගාගෙන වැඩ කරන්න එපා කියලා. අද ලෝකයම ත්‍රස්තවාදය ගිලගෙන ඉවරයි. ඉරාන පාර්ලිමේන්තුවටත් ත්‍රස්ත ප්‍රහාරයක්. මානව හිමිකම් කඩ කළැයි අපට චෝදනා කළ හිරු නොබසින අධිරාජ්‍යයටත් ත්‍රස්ත ප්‍රහාර ගණනාවක්. කුමන්ත්රණකාරී ජාතිවාදීන්ගේ අරමුණ කෙරෙහි සියුම්ව සිතා බලා තීරණ ගන්නා ලෙස රජයට අනතුරු අඟවන්න කැමතියි.
Q රටට ජාතික සංහිඳියාව අවශ්‍ය යැයි ඔබ වහන්සේ පිළිගන්නවාද?
ඔය කියන සංහිඳියා කතා හැම එකක්ම මේ අලුත් ව්‍යවස්ථා ෆෙඩරල් යෝජනා එක්ක ආපු දේවල්නෙ. ඈත අතීතයේ සිට බොහෝ අන්‍ය ජාතිකයන් තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ සිංහල බෞද්ධ විහාරස්ථාන ආශ්රිත හෝ එවැනි අයගේ දේපොළවල කියන එක අමතක කරන්න එපා.
ඉස්සර උඩරට පැත්තේ ගම්මානවලට ආපු මණිබඩු පොට්ටනිකාරයාත්, දුම්කොළ සුරුට්ටු මුදලාලිත් ගමේ ගෙදරකින් රෑට කෑම කාලා, පන්සලේ ධර්ම ශාලවේ නිදාගත්තා. කාන්තාවන් විවාහයට ගත්තා. එතන සංහිඳියාව තිබුණා. ඒ මනුස්සකමට වින කළේ මේ අද භික්ෂුවට ජාතිවාදීන්, ආගම්වාදීන් කියන බටහිර ගැති දේශපාලන නායකයෝ.
ඔවුන්ට මේ මානුෂීය සංහිඳියාව බෞද්ධ රටේ පැවැත්ම ඉවසන්න බැහැ. පොලීසිය දාලා ඒ යහපත් ගති ලක්ෂණ මර්දනය කරන්න එපා. නීතිය සහ සාමය දේශපාලකයාටත්, සුළු ජාතීන්ටත් වගේම මහ ජාතිය වෙනුවෙන්ද ඉටු කරන්න. රටේ හැම ජාතියක්ම අතර තියෙන එකමුතුකම, සහයෝගය විශ්වාසය බිඳෙන තැනට කටයුතු සිදුවෙන්න දෙන්න එපා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd