සැක ඇත්තෝ නොවඳිත්වා, සැක නැත්තෝ සිත් පහදවාගෙන වඳිත්වා
වෙසක් සමය පුරාවට පැවැති ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳ වෙසක් සමය නිමවී ගිය පසුද කතාබහ ඇතිව තිබෙන අතර, ඇතැම් දේ සම්බන්ධයෙන් දැඩි විචේචනද සමාජය තුළ අසන්නට, දකින්නට ලැබේ. වෙසක් කාලය පුරාවට විවිධ ස්ථාන කේන්ද්‍රකර ගනිමින් මහා ධාතු ප්‍රදර්ශන, ධාතු වන්දනා ආදිය පැවැත්වුණ අතර, මෙම ධාතූන් වහන්සේලා පිළිබඳ මේ වනවිට සමාජයේ විවිධ කතාබහ ඇතිව තිබේ.
ධාතූන් වහන්සේ වන්දනා සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන හිමිනමක් වන අතර යටිහෙලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමග අපි සාකච්ඡා කළෙමු.
Q ධාතූන් වහන්සේලා කියා හඳුන්වන්නේ මොනවාද කියා මුලින්ම පැහැදිලි කළොත්?
ලෝකයේ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සහ රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා. මේ කියන කොටස් දෙක ගැන කතා වෙනවා. විශේෂයෙන්ම ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ නමක් ලොවට දායාද වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව. ඊට අමතරව උන්වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ, නිය ධාතූන් වහන්සේලා වැනි ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදී වුවත් වැඩ ඉන්නට පුළුවන්.
උදාහරණයක් ලෙස මහියංගනයේදී බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ට කේශ ධාතූන් වහන්සේ ලබාදෙනවා. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට කේශ ධාතූන් වහන්සේ ලබාදෙනවා. ඒවගේම නමුණුකුල කඳුවැටියට අධිපති ඉන්දක දෙවියන්ට දහඩිය ධාතුවක් මුතු බවට පත්කර ධාතූන් වහන්සේ නමක් ලෙස ලබාදී තිබෙනවා.
ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා, උද්දේසික ධාතූන් වහන්සේලා වශයෙන් කතාකරනවා. උන්වහන්සේගේ පරිණිර්වාණයේ අධිෂ්ඨානයට අනුව නොවිසිරී පවතින සප්ත ධාතූන් වහන්සේලා තිබෙනවා. පරිනිබ්බාන සූත්‍රයේ තිබෙන ආකාරයට අනෙකුත් ධාතූන් වහස්සේලා විවිධ ප්රමාණයන්ට බෙදී වෙන්වුණ ධාතූන් වහන්සේලා. අපට තේරෙන භාෂාවෙන් කියනවා නම් ධාතූන් වහන්සේලා කියන්නේ ශරීරයේ අස්ථි කොටස්වලට.
Q ධාතු වන්දනා, ධාතු ප්‍රදර්ශන ආදී නොයෙක් වැඩසටහන් මේ වනවිට ලංකාවේ විවිධ පුද්ගලයන් සංවිධානය කරනවා. මේ තුළින් ලැබෙන ආනිසංස මොනවාද?
විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කරුණක් තිබෙනවා. මීට වසර හයකට, හතකට කලින් ඉතිහාසය අධ්‍යයනය කළහොත් පැහැදිලි වෙනවා ඒ කාලයේ හැමතැනම තිබුණේ ධාතු ප්‍රදර්ශන. අපට පුළුවන්කම ලැබුණා යටිහෙලගල රාජමහා විහාරයත්, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්යස්ථනයත් මැදිහත් වෙලා ධාතූන් වහන්සේලාට ගෞරවාන්විත බවක් ලබාදෙන්න. ධාතූන් වහන්සේලා කියන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් නොවෙයි. මේක වන්දනාවක් බවට පත්විය යුතුයි. මේනිසා අපට පුළුවන්කම ලැබුණා ධාතු ප්‍රදර්ශනය ධාතු වන්දනාවක් බවට පත්කරන්නට.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිණිවන්පාන අවස්ථාවේ ලොව කෙරෙහි මහත් කරුණාවෙන්ම තමයි උන්වහන්සේවෙනුවට දැකලා බලලා වන්දනා කරන්නන්ට බුදුරජාණන් වහන්සේ නැති නිසා උන්වහන්සේගේ නමින් පුදපූජා පැවැත්වීමට ධාතූන් වහන්සේලා පවතීවා කියා උන්වහන්සේ අධිෂ්ධාන කළේ.
ඒකෙන් මනාව පැහැදිලි වෙනවා ධාතූන් වහන්සේ නමකට වන්දනා කළා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට වැන්දා හා සමාන වූ කුසලයක් රැස්වෙනබව. නමුත් එය කළ යුත්තේ අවබෝධයෙන්. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙන ආරිය මහා සංඝයා ගුණ වශයෙන් හඳුනාගෙන ධම්රත්නයේ ගුණ වශයෙන් හඳුනාගෙන මේ සියල්ල කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනාමාන කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීමෙන්, ආර්ය මහා සංඝරත්නයට වන්දනාමාන කිරීමෙන් රැස්කර ගන්න පින රැස්කර ගන්නට හැකියාව තිබෙනවා.
Q බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ ධර්මය කෙරෙහි පැහැදෙන ලෙස. ධාතු වන්දනාවකින් එය සිදුවෙන්නේ කෙසේද?
සම්බුද්ධ දේශනාවට අනුව ආමිසය සහ ප්‍රතිපත්තිය කියා කොටස් දෙකක් තිබෙනවා. අවිවාදයෙන්ම උන්වහන්සේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය අගය කොට දේශනා කළා. නමුත් බොහෝ පස්පව් කරමින් සිටින සත්ත්වයා ප්‍රතිපත්තියට එන්නේ අාමිසය පූර්ණය කිරීමත් සමග. සිල්වත් වූ ගුණවත්වූ චරිතයක් බවට පත්වීමෙන් අනතුරුවයි ඔහු ප්‍රතිපත්ති පුරන්නට පටන්ගන්නෙ.
ධාතූන් වහන්සේලා වන්දනාවට මල්පහන් සුවඳ දුම් පූජාකිරීම අාමිස පූජාවක්. ඒවගේම බුදුන් දිකින්නට සිල්වතෙක් වෙන්නට නම් ඔහු සිලිවතෙක් ගුණවතෙක් වියයුතුයි.
එවකට අපේ විහාරස්ථානවල දොරේ නාරිලතා රූප ඇඳ තිබෙනවා. අඩනිරුවත් ස්ත්රීන්ගේ රූප ඇතුළත කරමින් කලාකරුවා පෙන්නුවේ සැබෑ ස්ත්‍රියක් දොර ළඟ සිටියද රාගය ඇවිස්සෙනවා නම් බුදුන් දැකීමට යෑමට සුසුදු නැහැ කියන කාරණය පැහැදිලි කරන්නයි.
ධාතූන් වහන්සේ දැකීමට යන්න හිතන පුද්ගලයාගේ රාග, ද්වේශ, මෝහ යටපත් විය යුතුයි. ඒවගේම ක්‍රෝධය, වෛරය යටපත් වී සිල්වත් පුද්ගලයෙකු විය යුතුයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොවෙනස් වන ශ්‍රද්ධාවකට පත්වීම ප්‍රතිපත්තියට ගැනෙන්නේ.
ඒ නිසාම ආමිසයක් වගේම ප්‍රතිපත්තිමය පූජාවක් ලෙසත් බුදුරජාණන් වහන්ෙස්ගේ ධාතූන් වහස්සේලා වන්දනාව අපට හඳුන්වන්න පුළුවන්.
Q නිසැක ධාතූන් වහන්සේ යනුවෙන් වර්ගකර හඳුන්වන ධාතූන් වහස්සේලා පිළිබඳවත් වර්තමානයේ කතාබහ වෙනවා. ධාතූන් වහන්සේලාගේ සැක නිසැක බව සැදැහැවතුන් තෝරාගන්නේ කෙසේද?
ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් සැක සහ නිසැක තත්ත්වයක් ඇතිවී තිබෙන බව අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. බුදුහාමුදුරුවන්ගේ ධාතූන් වන්සේලා දෙස බැලිය යුත්තේ උන්වහන්සේගේ ගුණ වශයෙන් හඳුනා ගෙන ශාස්ත්රෘ ගෞරවයෙන් යුතුවයි කියා මම ඉහතදීත් ප්‍රකාශ කළා.
මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බිහිවෙලා වසර 125ක් පමණ වෙනවා. නමුත් දෙදහස් තුන්සියකට වඩා ඉතිහාසයක් තිබෙන මේ රටේ අවුරුදු දෙදාහකටත් වඩා මේ දේවල් රැකී තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැතිවයි. මම මේ පුරාවිද්‍යාවට ගරහනවා නොවෙයි. මේ ඉතිහාසය, වර්තමානයේ සංරක්ෂණය කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලොකු කැපවීමක් කරනවා. මීට කලින් මේ ධාතූන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට ඓතිහාසික සිද්ධාස්ථානවලදී රැකීගෙන ආවා.
වර්තමානයේ මේ කාරණය ජනප්‍රිය වීම තුළ සැක නිසැක වශයෙන් ධාතූන් වහන්සේලා දෙකට බෙදී තිබෙනවා.
උදාහරණයක් ලෙස බුරුමයේ ජාතික කෞතුකාගාරයෙන් අපේ යටිහලගල රාජමහා විහාරයට මේ ධාතූන් වහස්සේලා ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි නිරවුල් ලිපි ලේඛන අපි සතුව තිබෙනවා.
නමුත් මම හැමවිටම කල්පනා කරන්නේ මේ ලේඛනයට ධාතූන් වහන්සේලා කෙරෙහි පහදවන්නට අවශ්‍යතාවක් නැහැ. ධාතූන් වහන්සේලා කෙරෙහි රටේ මිනිසුන් පහදවන්නට අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ රටේ මිනිස්සුන්ට කියාදෙමිනුයි. මහ රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා කෙරෙහි පහදවන්නට අවශ්‍ය වෙන්නේ සංඝරත්නයේ ගුණ කියාදෙමිනුයි. විවිධ ආයතන, විවිධ දේවල් මේකට විවිධ තර්ක ඉදිරිපත් කරනවා.
හැමදාම හැමතැනම ඉතිහාසය කියද්දි, සහතික ගැන කියද්දි කැණීම් කරපු චරිත ගැන කතාකරද්දි අපිත් ඒකම කරන්න ගත්තොත් අපි හැමෝම එකම ගොඩට වැටෙනවා. ඒකයි මෙතැනදී මම නිශ්ශබ්දව ඉන්නෙ. අපි මේ ධාතූන් වහන්සේලා ලැබුණු පසුව මෙලොව යහපත පිණිස, පරලොව සුගතිය පිණිස ධාතූන් වහන්සේලා සුවසේ වන්දනා කළා. ඒ ව ෙග්ම ධාතූන් වහස්සේලා රටට විවර කලා.
මේ ධාතූන් වහන්සේලා නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ, යටිහෙලගල විහාරයේ වැඩසිටිනවා කියලා අපි කිසිසේත්ම කියන්නේ නැහැ. ලංකාව පුරා රාජමහා විහාරවල, පන්සල්වල අනන්ත අප්‍රමාණව පිරිසුදු, උතුම් ධාතූන් වහස්සේලා වැඩ සිටිනවා. නමුත් ඒවා විවිර වෙන්නේ නැහැ. අපි මේ ධාතූන් වහන්සේලා සැදැහැවතුන්ට විවර කරපු එකයි ප්‍රශ්නෙ.
Q ධාතූන් වහන්සේලාට ඍදියෙන් වැඩමකළ හැකිද?
ධාතූන් වහන්සේලා ඍදියෙන් වඩිනවා කියන කතාව බොහොම ඉහළින් සිදුවෙනවා. මම ළඟදි දැක්කා රන් කරඬුවක තිබුණු ධාතූන් වහන්සේලා හත, අට වෙලා තියෙනවා කියලා කියපු කතාවක්. නමුත් මම මේ කතාව බොහෝ සෙයින් බැහැර කරනවා. අපිට නම් ඍද්ධියෙන් එකදු ධාතූන් වහන්සේ නමක්වත් මේ දක්වා වැඩම කරලා නැහැ. බොහෝ ඓතිහාසික ස්ථානවලින් ලැබුණු ධාතූන් වහස්සේලා අප සතුව තිබෙන්නේ.
මෙම ධාතූන් වහස්සේලා සම්බන්ධයෙන් ගවේෂණය කරන්න යමෙක් ආවොත් පැහැදිලිව ඒ අවශ්‍ය ලිපිලේඛන සහතිකපත් අපට පෙන්වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ සහතිකපත්‍ර ප්‍රසිද්ධියේ මාධ්‍යයේ පෙන්වන්න මම කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ. සැක ඇත්තෝ නොවදිත්වා. සැක නැත්තෝ සිත් පහදවාගෙන වඳිත්වා කියන මතයේ තමයි මම ඉන්නෙ.
Q බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමෙන් පසු උන් වහන්සේගේ ධාතූන් වහන්සේලා විහිදීගිය ආකාරය පිළිබඳ පැහැදිලි සඳහනක් තිබෙනවා. නමුත් රහතන් වහස්සේලා සම්බන්ධයෙන් එවැනි තොරතුරු නැහැ?
නාග ලෝකයේ හිටපු දළදා වහන්සේ නමක් තමයි සෝමාවතියේ වැඩ සිටින්නෙ. ඒවගේ අම්බලන්තොට, කුරුණෑගල මාවතගම, කලමැටිය ගොඩවාය වගේ ධාතූන් වහස්සේලා වැඩ ඉන්න බොහෝ විහාරස්ථාන තිබෙනවා. නමුත් ඒ වැඩම කරපු ක්‍රමවේදය අප්රකටයි.
මහරහතුන් වහස්සේලාගේ ධාතූන් වහස්සේලාත් ඒ ආකාරයමයි.
නමුත් මහරහතුන් වහස්සේලාගේ ධාතූන් වහස්සේලා සම්බන්ධයෙන් වංශ කතාවත් ලියැවුණේ නැහැනේ. උදාහරණයක් ලෙස නාග ලෝකයේ වැඩහිටිය ධාතූන් වහන්සේ දැන් සෝමාවතියේ දැගැබේ වැඩ ඉන්නවා. නමුත් ඉතිහාසයේ තිබෙන්නේ එය නාගලෝකෙ තිබෙනවා කියා.
ඒවගේම උදාහරණයක් ලෙස අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ගැන කතා කරද්දි ඉන්දියාවේ කැණීම් කර ලංකාවට වැඩම කරපු තැනකුත් තිබෙනවා. නමුත් පැහැදිලිව බුද්ධංගල සෑය කැණීම් කරද්දි අග්‍රශ්‍රාවක ධාතූන් හන්සේලා හමුවෙනවා.
Q නමුත් ධාතු වන්දනාව අද ව්‍යාපාරයන් බවට පත්වෙලා නේද?
අවංකවම කිව්වොත් අද මාධ්‍ය තුළත් එවැනි ස්වභාවයක් තිබෙනවා. නමුත් අපිත් මාධ්‍ය ආයතන කිහිපයක් සමග එකතුවෙලා ධාතූන් වහන්සේලා වන්දනා කිහිපයක් පවත්වා තිබෙනවා. ධාතූන් වහන්සේ වන්දනාවක් සංවිධානය කරනවා කියන්නේ දැවැන්ත බාරදුර කටයුත්තක්. ඇයි මේ ගැන කවුරුත් නොදකින්නේ. මෙවැනි කටයුත්තකට ලක්ෂ ගාණක් සෙනග එනවා. එම ජනතාවට සුවසේ වඳින්නට අවශ්‍ය කටයුතු සංවිධානය කරන්න වෙනවා.
ඒ එන පිරිසට පානීය ජල පහසුකම්, බෙහෙත්, ආහාර ආදිය ලබාදෙන්න වෙනවා. මේවා සංවිධානය කරන්න විශාල මුදලක් වැයවෙනවා. ඒ බාරදුර කටයුත්තේ වගකීම මාධ්‍ය ආයතනයක් ගෙන ඉටුකිරීම කොයිතරම් හොඳද. නමුත් මේ පහසුකම් ලබාදෙන්නේ නැත්නම් මිනිසුන්නට සුවසේ ධාතූන් වහන්සේලා වඳින්න දෙන්නේත් නැතිනම් ධාතූන් වහන්සේලා ප්රදර්ශයනයක් බවට පත්කරගෙන තිබෙනවා නම් ඒය සලකා බැලිය යුතු වෙනවා. ඒවගේම තමයි මෙතැන මාධ්‍ය සංදර්ශන තිබෙනවා.
සමහර මාධ්‍ය ආයතන ධාතු වන්දනා පවත්වනවා එහෙම පවත්වන්න බැරි අය ඒක හෙළාදකිනවා, පහර දෙනවා. මේ වසර වෙසක් උත්සවය වෙනුවෙන් අපිත් යම් මාධ්‍ය ආයතනයක් එක්ක එකතුවෙලා ධාතු වන්දනාවක් සංවිධානය කළා. දිවා රෑ නොමැතිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වන්දනාවට එකතු වුණා. ඒ මහා වියදම කරලා ධාතු වන්දනාව මට මගේ පන්සලේ සංවිධානය කරන්න බැහැනේ. ඇයි මේ යහපත දකින්න බැරි.
වර්තමානයේ ධාතූන් වහන්ස්ලා අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ පහසුකම් ඇතිකර තිබෙනවා. ඔබ වහන්සේ මෙය අනුමත කරනවාද?
වර්තමානයේ කිහිපතැනක අපි දැක්කා ධාතූන් වහස්සේලා අන්තර්ජාල පහසුකම් තුළින් මිලදී ගන්නා ආකාරය. මේක වහාම නතර කළ යුතු දෙයකි. ධාතූන් වහස්සේලාට කරන ලොකුම නිගාවක් ඒක. ලංකාවේ සිටින සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේදේ වළක්වන්න කියලා.
ඊබේ වගේ සේවා හරහා ධාතූන් වහන්සේලා ලබාගන්න පුළුවන් කියලා තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම බොරුවක්. එහෙම වෙන්න බැහැ. මේ කාරණය අපි වාහාම නතර කළ යුතු දෙයක්.
Q මෙවැනි කටයුතු වැළැක්වීමට මෙරට සංඝ පරපුරේ දායකත්වය කෙබඳුද?
මෙවැනි කටයුතු නවත්වන්න කියලා ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි මහා නායක හාමුදුරුවරුන්ට බණින එක. ඒ වුණත් උන්වහන්සේලාට පුළුවන්ද අන්තර්ජාලයේ මේ වෙනදේවල් නතර කරන්න. මම දකින්නේ මේ දෙවල් අවබෝධයෙන් නතර කළ යුතුයි කියලා. ධාතූන් වහන්සේ වන්දනාව ගැන යමෙකුට අපහැදෙනවා නම්, එන්නෙ නැතිව ඉන්න.
මොකද බුදුහාමුදුරුවෝ සැවැත්නුවර දෙවුරම්වෙහෙරේ වැඩ හිඳිද්දි එහා පැත්තේ උරෝ මැරුවණේ. භාග්‍යවතුන් වහන්සේ එක්කම ශාක්‍ය වංශයේ ඉපදුණු කෙනෙක්කේ දෙව්දත්තර. ධර්මය කියන්නේ මේකයි. මේ ක්‍රමවේද අහුරන්න නිති සකස් කිරීම වෙනම දෙයක්. නමුත් අපි මේවා පහකළ යුත්තේ අවබෝධයෙන්මයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

