Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන්ගේ සහභාගිත්වයෙන් බදාදා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
‘බොහෝ අය අවසන් ප්‍රතිඵලයට කලින්
ජ.වි.පෙ. ගැන හිතාගෙන හිටියේ මැතිවරණයෙන් පසුබැහැලා කියලා. නමුත් ප්‍රතිඵල සියල්ල වාර්තා වීමෙන් පසුව ඒ කතාබහ වෙනත් පැත්තකට හැරිලා තියෙන්නේ. සමහරු ප්‍රතිඵල විග්රහ කරන කොට ජ.වි.පෙ. ගැන අතහැරලා යන්නේ. මොකද අපි ප්‍රගතියක් ලබලා කියලා එයාලට කියන්න උවමනාවක් නැති නිසා. බැරිවෙලා හරි ඡන්ද අඩු වුණා නම්, තත්ත්වය කොහොමද කියලා බලන්න තිබුණා” යැයි ලාල්කාන්ත කියන්නට විය.
‘ඇත්තටම අවසන් ප්රතිඵලවල ප්‍රශ්නයක් තියෙනවා. පත්තරවල, වෙබ්සයිට්වල තියෙන අවසන් ප්‍රතිඵල ඇත්ත ප්‍රතිඵලයට වඩා අඩු අගයක්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කරපු ප්‍රතිඵල ලේඛනවලට ජ.වි.පෙ.ට ඡන්ද හත්ලක්ෂ පහළොස්දහසක ප්‍රමාණයක් තියෙනවා. මන්ත්‍රී ධුර 434ක් ලැබිලා තියෙනවා. අපේ මන්ත්‍රී ධුර 74 සිට 434 දක්වා වැඩි වෙලා. මහ මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් වැඩිවෙලා. මැතිවරණ කොමිසමෙන් අවසන් ප්‍රතිඵල එනතෙක් හරිම ඉලක්කමක් කියන්න අමාරුයි. නමුත් මේ වෙලාවේ මාධ්‍යවල වාර්තා වෙලා තියෙන ඡන්ද ප්‍රමාණය අඩු අගයක්” ටිල්වින් සිල්වා ඇතිවී තිබෙන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළේය.
‘මේ මැතිවරණයේදී ජනතාව එකසැරේ හරි වැඩකුත් වැරදි වැඩකුත් දෙකම කරලා. මොකද ආණ්ඩු විරෝධයක් තිබුණා. ඒක ප්‍රකාශ වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න තෝරගත්ත තැන වැරදියි. හොරුන්ට දඬුවම් දුන්නේ නැහැ කියලා හොරුන්ටම ඡන්දය දෙන එක හරි දෙයක්ද? ඒ නිසා මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන සංවාදයක් හදන්න ඕන” ලාල්කාන්ත කියා සිටියේය.
‘බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල ප්‍රතිඵලය ගැන නම් දුකෙන් කතා කරනවා. මේ තරම් විනාශයක් කරපු මහින්ද රාජපක්ෂ උඩින්ම තියලා විනාශයට එරෙහිව සටන් කරපු සමන්ත විද්‍යාරත්න පරාජය කරලා කියලා. ඇත්ත ගත්තාම ඒ වගේ සටනක් දැන් ඉදිරියට කරගෙන යෑම වලංගුද කියලා සමහරු අපෙන් අහනවා. ඒ තරමට ඒ සටන සාධාරණ සටනක් වුණා. නමුත් බණ්ඩාරවෙල ජනතාව ඒක තේරුම් අරගෙන නැති බව තමයි පේන්නේ” විජිත හේරත් කියන්නට විය.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව අභ්‍යන්තරයේ විශාල කැළැඹීමක් ඇතිව තිබේ. මේ පිළිබඳ ජ.වි.පෙ. නායකයන් අතරද කතාබහක් ඇතිවිය. ’ආණ්ඩුව තමන්ට ලැබුණු ජනවරමෙන් ජනතාවට වැඩක් කළේ නැහැ. හොරුන්ට දඬුවම් දුන්නේ නැහැ. ආර්ථිකයට වැඩක් කළේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. ඒ නිසා දැන් ඕනෑවට වඩා තක්සේරුවකින් හිටපු ජනාධිපතිතුමාටයි, අගමැතිටයි ඇතුළෙන්ම විරෝධයක් ඇවිත් තියෙන්නේ” බිමල් රත්නායක කීවේය.
‘ජනාධිපතිවරයා ඡන්දෙ ඉවර වුණ ගමන් කිව්වා සැලකිය යුතු වෙනසක් ආණ්ඩුවේ සිදු වෙනවා කියලා. ඒත් දැන් සාකච්ඡා කරකර කල් මරනවා. ඇතුළෙ විරෝධය සමනය කරගන්න කාලය ගන්නවා. මේ මොන දේ කිව්වත් ලොකු වෙනසක් ආණ්ඩුවේ වෙන්නේ නැහැ කියලා ස්ථිරයි. ඔළුගෙඩි ටිකක් එහෙමෙහෙ කරලා පරණ ආණ්ඩුවම යනවා” විජිත හේරත් කියා සිටියේය.
‘පළාත් පාලන ආයතනවල ඔළුගෙඩි සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. ජනතාව දුන්න ජනවරම අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න ඉඩ දෙන්න ඕන. ඔළුගෙඩි සෙල්ලම් කරලා සභා පිහිටුවන්න අපි ඉඩදෙන්න හොඳ නැහැ. ඒ වගේම අපේ මන්ත්‍රීවරු සභාවල උපරිම ආකාරයෙන් ජනතා සේවයට කැපවෙන්න ඕන. අපි ගැන විශ්වාසය තියපු ජනතාවට අපි අපේ වගකීම ඉටු කරන්න ඕන” අනුර දිසානායක පැවසීය.
පොහොට්ටුව ලැබූ විශිෂ්ට ජයග්රහණයෙන් අනතුරුව දේශපාලන භූමිය දිනෙන් දින උණුසුම් වෙද්දී ඒ ජයග්‍රහණයට උරදුන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ පසුගිය අඟහරුවාදා විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදී රැස්වූහ.
ඉතා තීරණාත්මක තීන්දු රැසක් ගනු ලැබූ එම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, රාජා කොල්ලුරේ, තිස්ස විතාරණ, අසංක නවරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
මෙම පක්ෂ නායක රැස්වීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නොවැළැක්විය හැකි හේතුවක් නිසා සහභාගී නොවූ අතර ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ඊට එක්ව සිටියේය.
‘‘ඔබතුමාගේ විශිෂ්ට කැපවීම, නායකත්වය නිසා මෙවැනි ජයග්‍රහණයක් අපට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ලබාගන්නට හැකි වුණා. එහිදී පක්ෂ නායකයෝ සියල්ලෝම මහින්ද රාජපක්ෂ මහතාට ස්තුති කරමින් පැවසූහ.
‘ඔබ සියලු දෙනාම මේ කාර්යයේ දී ලබා දුන් සහයෝගය මම ඉතාමත් අගය කොට සලකනවා. අද විමල් මෙතන නැහැ. නමුත් අපි විමල්ට මෙහිදී විශේෂ ස්තුතියක් කරන්න ඕනෙ. රට පුරාම ගිහිල්ලා රැස්වීම් අමතලා අපට නගන අවලාදවලට පිළිතුරු දීලා මෙවැනි ජයග්‍රහණයක් නිර්මාණය කිරීමට ලබාදුන් විශාල දායකත්වය සම්බන්ධයෙන්* හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.
‘‘‘ මේ ජාතික ආණ්ඩුව මේ ආකාරයෙන් ඉදිරියට යාම අපි වළක්වන්න ඕන.* එහිදී අදහස් දැකවූ බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
‘‘‘ඒ වගේම එජාපය මුල් වී හදන ආණ්ඩුවකට ද අපි විරුද්ධ විය යුතුයි, නේද?* ඉන් අනතුරුව අදහස් දැක්වූ ජ යන්ත සමරවීර මහතා ප්‍රශ්න කර සිටියේය.
‘‘මේ ආණ්ඩුව මේ විදිහටම ඉදිරියට යාම වගේම එජාපයේ තනි ආණ්ඩුවක් හැදීමත් රටට හිතකර නැහැ. එහෙම වුණොත් ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම, එට්කා ගිවිසුම ගැසීම, රටේ සම්පත් විකිණීම, බදුබර පැටවීම ආදී ජනතාවටත් රටටත් හානිකර සියල්ල සිදු කරාවි* මහින්ද රාජපක්ෂ මහතා බැසිල් හා ජයන්තගේ අදහස් අනුමත කරමින්
පැවසීය.
‘‘‘ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වා ජනවරමක් ලබාගන්නා තෙක් අපි යෝජනා කරමු භාරකාර ආණ්ඩුවක් හදන්න. ඒ හදන භාරකාර ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා දෙමු.* වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
‘‘‘ඒ යෝජනාව මම ස්ථිර කරනවා. මේ මොහොතේ දී ජනතාව ලබාදුන් ජයග්‍රහණය රැකගෙන ඉදිරියට යන්න නම් එවැනි පියවරක් වඩාත් සුදුසුයි* ඩලස් අලහප්පෙරුම මහතා එහිදී පෙන්වා දුන්නේය.
‘‘‘ඔව් අපි ඒ පදනමේ සිට ඉදිරි පියවර ගනිමු.* මහින්ද රාජපක්ෂ මහතා ඊට අනුකූලතාව දක්වමින් පැවසීය. ඒ මොහොතේදීම මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතාගෙනි.
‘‘‘ජෝන් ඔයගොල්ලෝ ඉස්සර වෙලා ජාතික ආණ්ඩුවෙන් එළියට එන්නකෝ. ඊට පස්සේ අපි කතා කරමු. භාරකාර ආණ්ඩුවේ අගමැති කවුද? කථානායක ධුරයට කවුද සුදුසු?’ යන ඒවා.* මහින්ද රාපක්ෂ මහතා ජෝන් සෙනවිරත්න මහතාට එසේ පිළිතුරු දී තිබුණි.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඉදිරියේ දේශපාලන ස්ථාවරය කුමක් විය යුතුදැයි තීරණයකට එළඹීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය.
මෙහිදී අවසානයේදී තීන්දු වූයේ එජාපයෙන් තොර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කොන්දේසි විරහිතව සහාය දැක්විය යුතු බවයි. එසේම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට එම පාර්ශ්වය එකඟ විය යුතු බවද ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය විය. පසුගිය සතිය පුරා පැවැති සාකච්ඡාවල අවසන් නිගමනය වූයේ මෙයයි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට එම සතිය කාර්යබහුල වූයේ සාකච්ඡා නිසාමය.මැතිවරණය දා මහින්ද, බැසිල්
පළාත් පාලන මැතිවරණය දා මහින්ද සිටියේ තංගල්ලේය. උදෑසන ඡන්දය පාවිච්චි කළ මහින්ද තංගල්ල කාල්ටන් නිවසට වී බලාපොරොත්තුවෙන් සිටියේ ප්‍රතිඵල නිකුත් කෙරෙනතුරුය. ඒ අතර බැසිල් රාජපක්ෂ නෙළුම් මාවතේ කාර්යාලයට වී මැතිවරණ ප්‍රතිඵල ලබාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියේය.
මැතිවරණ ප්‍රතිඵල කඩිනමින් ලබාගැනීම සඳහා බැසිල් විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබිණි. මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවලම ඡන්ද ගණන් කෙරුණු අතර එම මධ්‍යස්ථානවල රැඳී සිටි නියෝජිතයන් හරහා වයිබර් සහ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඡන්ද ප්‍රතිඵල ලබාගැනීමට බැසිල් සැලසුම් කර තිබිණි.
ඒ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක් තිබුණද බැසිල්ගේ ප්‍රතිඵල කල්තියා දැනගැනීමට හැකියාව ලැබිණි. රාත්‍රී දහය පමණ වනවිට සිය ක්‍රමවේදිය හරහා බැසිල් දැනගත්තේ පොහොට්ටුව මුළු රටෙන්ම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇති බවයි.
වහාම දුරකථනයෙන් මහින්ද ඇමතූ බැසිල් මැතිවරණ ජයග්‍රහණයේ සුබ පණිවුඩය පැවසීය. පළාත් පාලන ආයතන 232ක් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙන බව බැසිල් මහින්දට දැනුම් දුන්නේය. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමතා බැසිල්ගේ පණිවුඩය කීවේය.
ඒ වනවිටත් පත්තලගෙදර ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටි ප්රසන්නටද මහින්දගෙන් ඇමතුමක් ලැබුණි. බැසිල්ගෙන් ලැබුණු පණිවුඩය දැනුම් දුන් මහින්ද,
"කොහොමද ප්‍රසන්න ගම්පහ?* යැයි ඇසුවේය.
"හොඳයි සර්, අපි දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ" ප්‍රසන්න පැවසීය.
"ඒක හොඳයි. ගම්පහ දිනුම් කියන්නේ අපි රටම දිනනවා කියන එකයි. කොච්චර විතර බහුතරයක් තියෙනවද?* මහින්ද ඇසුවේය.
"දැන් ලක්ෂ දෙකහමාරක් විතර ඉස්සරහින්" ප්‍රසන්න කී අතර, ඒ ගැන සතුට පළ කළ මහින්ද දුරකථනය විසන්ධි කළේය.
ඡන්දය දා රාත්‍රියේ ප්‍රසන්නට ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුගෙන්ම දුරකථන ඇමතුම් ලැබුණි. පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයට සුබ පැතූ එම දෙදෙනා ප්‍රසන්නට කීවේ ආණ්ඩුව වෙනස් විය යුතු බවය.
"දැන් අපි මෛත්‍රී ජනාධිපතිතුමාට දැඩිව කියනවා අනිවාර්යෙන්ම මහින්ද මහත්තයා අගමැති ධුරයට පත් කළ යුතුයි කියලා. ඒ විතරක් නෙමෙයි මහින්ද මහත්තයට පක්ෂ සභාපතිකමත් බාරදිය යුතුයි" ඔවුහු කීහ.
"දැන්වත් ඔබතුමාලා තේරුම්ගන්න. මෙච්චර කල් ඔබතුමාලා හිටපු තැන වැරදියි කියලා. ඔබතුමාලගේ නායකයාට ඒක පැහැදිලි කරලා කියන්න" ප්‍රසන්න පැවසීය.
"ඒක ඇත්ත. අපි මේ වෙනුවෙන් දැඩිව පෙනී හිටිනවා. අපි ජනාධිපතිතුමාට බලපෑම් කරනවා අපේ ආණ්ඩුවක් හදන්න කියලා. එතුමට තේරුම් කරනවා මෙහෙම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලාම යනවා කියලා" දෙදෙනාම අවධාරණය කළහ.
ඉරිදා සවස් වනවිටත් සමස්ත ප්‍රතිඵලය නිකුත් නොකෙරුණත් පොහොට්ටුවේ ජයග්‍රහණය ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් තිබුණේ නැත. ප්‍රසන්න ඉරිදා සවස මහින්ද හමුවීමට විජේරාම නිවසට ගියේ සිය දියණිය පසුවදා යළිත් විදේශගත වීමට නියමිතව සිටි නිසා ඒ බව කියන්නටය.
ප්‍රසන්න යනවිට මහින්ද සිටියේ හිතවතුන් පිරිසක්ද සමඟ කේක් ගෙඩියක් කපන්නට සූදානමිනි. කේක් ගෙඩිය කපන්න පිහිය අතට ගත් මහින්ද "කෝ කෝ මේ ප්‍රසන්න? මේ ජයග්‍රහණයේ ලොකුම කොටස්කාරයා එයා තමයි" කියමින් ප්‍රසන්නවද එතැනට කැඳවා ගත්තේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳුදා පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී විශේෂයෙන්ම සාකච්ඡා කෙරුණේ පොහොට්ටුවට ලැබුණු අතිවිශිෂ්ට ජයග්‍රහණය ගැනය.
"අපට ලැබුණු ජයග්රහණයෙන් ආණ්ඩුව හෙල්ලිලා ගිහින් තියෙන්නේ" ප්‍රසන්න කතාබහට මුල පුරමින් කීවේය.
"ඔව් මේක බලාපොරොත්තු නොවුණු ජයග්‍රහණයක්. ආණ්ඩුව කිව්වේ මේ පොහොට්ටුව පිපෙන්නේ නැහැ කියලයි. හැබැයි ඒ කතා සේරම බොරු වුණා" මහින්දානන්ද පැවසීය.
"ඒක නිසයි මම කියන්නේ කොයි බලයත් ජනතා බලයට යටයි කියලා" මහින්ද කීවේය.
"මේක මහින්ද මහත්තයාට ලැබුණු ජයග්‍රහණයක්. ජනාධිපතිවරණයෙන් අවුරුදු තුනක් යන්නත් ඉස්සර දැන් මිනිස්සු ආයෙමත් මහින්ද යුගයක් ආරම්භ කරනතුරු බලන් ඉන්නවා කියලා මේ ඡන්දෙන් පැහැදිලි වුණා" ප්‍රසන්න පෙන්වා දුන්නේය.
"මේ ජයග්රහණයෙන් පස්සේ අපට දැන් විවිධ පණිවුඩ එනවා. අපි මේ ආණ්ඩුව වහාම ගෙදර යවන්න ඕනේ. රනිල් වික්‍රමසිංහට තවදුරටත් බලයේ ඉන්න ඉඩ දුන්නොත් රටක් ඉතුරු වෙන එකක් නැහැ" මහින්ද පැවසීය.
"මට ආරංචි වුණා රනිල් කියලා තියෙනවාලු මේ පාර පත්වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පඩි ගෙවන්නේ නොරොච්චෝලේ විකුණලා කියලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු එක්ක කියලා තියෙනවා කියලා" සනත් හෙළි කළේය.
"ඒක නම් ඇත්ත. රනිල් කොහොමත් උදේට නැගිටින්නේ අද මොනවද විකුණන්නේ කියලා කල්පනා කරගෙනනේ" ඩලස් පැවසීය.
"අපි දැන් රනිල් එළවීමේ වැඩපිළිවෙළ වේගවත් කරන්න ඕනේ. අපට දැන් ඕනේ මහ මැතිවරණයක්" ප්‍රසන්න පෙන්වා දුන්නේය.
"ඒක ඇත්ත. අපි ඒ වෙනුවෙන් එකතු වෙලා වැඩ කරන්න ඕනේ" මහින්ද ප්‍රසන්නගේ කතාව අනුමත කළේය.
"මට දැනගන්න ලැබුණා අගමැතිවරයා තනි ආණ්ඩුවක් හදන්න නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ගන්න යන්නේ කෝටි ගණන් සල්ලි දීලා කියලා" ප්‍රසන්න තව කරුණක් හෙළි කළේය.
"සල්ලි අරගෙනවත් දැන් රනිල් ගාවට යන්න තරම් මෝඩ වෙන්නේ කවුද?* සනත් නිශාන්ත ඇසුවේ සිනාසෙමිනි.
මේ අතර ඉදිරි දේශපාලන වාතාවරණය දෙස බලා තීන්දු ගැනීමේ බලය මහින්ද වෙත පැවරීමටත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය වුවහොත් ඊට සහාය දීමටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී තීරණය කළහ.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමද පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී රෝහිත කීවේ "මේ මැතිවරණ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂට ලැබුණු ජයග්‍රහණයක්. ඒක ඔබතුමා අගමැති කරන්න කියලා දුන්න ජයග්‍රහණයක්" කියාය.
"ඔය කතාවට මුල් වුණේ මෙන්න මෙයා" උදය කීවේ ප්‍රසන්නව පෙන්වමිනි. "මෙයා තමයි ගම්පහ දිස්ත්‍රික්කය පුරා පෝස්ටරයක් ගහලා මහින්ද අගමැති කරමු කිව්වේ" උදය වැඩිදුරටත් කීවේය. මේ අතර මැතිවරණ ජයග්‍රහණය සමරමින් පක්ෂ නායකයන්ගේ හමුවේදී මහින්ද කේක් ගෙඩියක් කැපුවේ වාසුවද ළං කරගනිමිනි.
"ඔව් ඒක ඇත්ත. මමත් මුලින් කේලම් අහලා මේ ගැන වැරදියට හිතුවා. හැබැයි ප්‍රසන්න කිව්ව දේ හරි" මහින්ද පැවසීය.
පක්ෂ නායක හමුවට පැමිණි පියල් නිශාන්තට මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණේ ලොකු පිළිගැනීමකි.
"පියල් ඔයා අපට ලොකු ජයග්‍රහණයක් ලබා දුන්නා. මුස්ලිම්වරුන් 37෴ක් ඉන්න බේරුවල ආසනයේ නගර සභාවයි, ප්‍රාදේශිය සභාවයි දෙකම දිනාගන්න ලැබීමට අපිට ලොකු ජයක්" මහින්ද පැවසීය.
මහින්දගේ ප්‍රකාශයෙන් පසු සියලු මන්ත්‍රීවරු පියල්ට සුබ පැතූහ. පියල් වැලඳගත් රෝහිත "උඹ තමයි නියම මිනිහා. දුන්නා නේද රාජිතට කොහොමහරි ෂොට් එක" යැයි ඇසුවේය.
"පරාජිත දැන් අලුතෙන් ගණන් හද හද අපේ ජයග්‍රහණය බලෙන් ගන්න හදනවා. හැබැයි පරාජිත මොනවා කිව්වත් දැන් මිනිස්සු ඇත්ත දන්නවා" ප්‍රසන්න කීවේය.
මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසිල්, එස්.බී, ජෝන් සෙනෙවිරත්න සහ ඒකාබද්ධයේ බැසිල්, බන්දුල හමු වී සාකච්ඡා කළහ. එහිදී ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට දැනුම් දුන්නේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නට සූදානම් බවය.
මේ ගැන කතා කරන්නට මහින්දගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම යළි රැස්වූහ. "අපට යෝජනාවක් ඇවිත් තියෙනවා රනිල් ඉවත් කරලා නිදහස් පක්ෂයෙන් කෙනෙක් අගමැති ධුරයට පත් කරලා ආණ්ඩුවක් හදන්න සහාය දෙන්න කියලා. අපි මොකද ඒ ගැන කියන්නේ?* මහින්ද ඇසුවේය.
"අපි ආයෙමත් නිදහස් පක්ෂය සමග එකතු වුණොත් අපටත් එන ඡන්දෙදි ඇපත් නැති වෙයිද දන්නේ නැහැ" සනත් පැවසීය.
"ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා ඒ අයට කොන්දේසි දැම්මේ අපිම තමයි. දැන් එයාලා අයින් වෙන්න හදන නිසා අපි මොනවාහරි කරන්න ඕනේ. ඒ අය කියන්නේ නිමල් සිරිපාල අගමැති කරමු කියලයි" සාකච්ඡාවලට සහභාගි වූ බන්දුල පිරිසට පැහැදිලි කළේය.
"ඒ ගැන අපට ගැටලුවක් නැහැ. රනිල් අයින් කරගන්න තමයි අපට අවශ්‍ය වුණේ. අපි රනිල් අයින් කරන්න උදව් කරමු. හැබැයි ඒකාබද්ධ විපක්ෂය විදියට අපි කිසිම තනතුරක් බාර නොගෙන ආණ්ඩුවේ හොඳ වැඩවලට විතරක් සහයෝගය දෙමු" මහින්ද කීවේය.
"හැබැයි නිමල් එනවා නම් එක කොන්දේසියක් තියෙනවා. පහුගිය අවුරුදු තුනේම එයා මගේ ෆෝන් එකටවත් ආවේ නැහැ. දැන්වත් එයාට කියන්න අපි කතා කරනකොට උත්තර දෙන්න කියලා" මහින්ද පැවසීය. මේ අතර සනත් නිශාන්ත කිවේ තමාටත් කොන්දේසියක් ඇති බවය.
"එතුමා යන යන තැන නිදාගන්නවා. දැන්වත් එතුමට නිදාගන්න එක නතර කරන්න කියලා කියන්න සර්. අඩුගාණේ පාර්ලිමේන්තුවේදිවත් නැගිටලා ඉන්න කියන්න" සනත් ඉල්ලා සිටියේය.
ඒ අනුව නිදහස් පක්ෂයේ අගමැතිවරයකු සහ ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලියට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා දීමට තීන්දු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේ ලැබූ පසුබෑම ගැන වඩාත්ම කණස්සල්ලට පත්ව සිටියේ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දීම පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමහරු එ.ජා.ප. නායකයාට දොස් කියන්නට පටන් ගත්හ. මේ අතර තවත් පිරිසකගේ යෝජනාව වූයේ තනි එ.ජා.ප. ආණ්ඩුවක් ඇති කළ යුතු බවයි. මෙම පරාජයට එක් හේතුවක් වන්නේ තමන් සමග යහපාලන ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සහ ජනාධිපතිවරයා එල්ල කළ චෝදනා බව ඔවුන්ගේ අදහස විය.
පසුපෙළ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නායකත්වයට කරුණු වාර්තා වෙද්දී සඳුදා දිනයේ දී තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන් හමුවීමට එ.ජා.ප නායකයා තීරණය කළේය. ඒ අනුව පළමුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමතිවරු හමුවීමට නායකත්වය කටයුතු කළේය. එම හමුව වඩාත් සාමකාමී එකක් විය. එහිදී අගමැතිවරයාගේ අදහස වූයේ මෙය පසුබෑමක් වුවත් මෙහි ප්‍රතිඵලය දෙස බලා වඩාත් විධිමත් පාලනයකට ගමන් කළ යුතු බවය. ඇමතිවරුන්ද එම අදහස අනුමත කළ අතර එම සාකච්ඡාව වැඩි වේලාවක් ගමන් කළේ නැත. සියලු දෙනාම තමන්ගේ වැරදි හදාගැනීමට එකඟ වූහ.
එයින් පසුව රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු අගමැතිවරයා හමුවූහ. ඒ හමුව උණුසුම් කළේ නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වාය. ඔහු පැවසුවේ තමන් කරන චෝදනා පෞද්ගලිකව නොගන්නා ලෙසත් පක්ෂයේ අනාගතය උදෙසා නායකත්වයේ වෙනසක් විය යුතු බවත්ය. මේ ප්‍රකාශයත් සමග රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙකුම අදහස් දක්වන්නට වූහ. අගමැතිවරයා වඩාත් සාවධානව සියලු දෙනාටම කන්දුන්නේය. චෝදනා කරන ඇමතිවරුන්ගේ අදහස සියලු දෙනාගේම අදහස දැයි අගමැතිවරයා විමසූ අවස්ථාවේ ඇතැමෙක් නිහඬව සිටියහ. මේ සාකච්ඡාවේදී අගමැතිවරයා පැවසුවේ නායකත්වය ගැන මෙන්ම ආණ්ඩුවේ අනාගතය ගැනද තමන් සිතා බලන බවයි. එහෙත් ඒ සියල්ලටම පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති ගැටලුව විසඳාගත යුතු බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට යා යුතු බවත් පවසා සාකච්ඡාව නිමා විය.
තමන් හමුවට පැමිණි අගමැතිවරයා සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා සිටියේ දැඩි ප්රසාදයකින් නොවේ. මේ අවස්ථාවේදී පවතින යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා යුතු බව අගමැතිවරයා පැවසුවද ජනාධිපතිවරයා පැවසුවේ ජනතා මතයට ගරු කරමින් තමන්ට තීරණයක් ගන්නට සිදු වන බවයි. ‘මම තීරණයක් ගන්නට පෙර ඔබතුමා තීරණයක් අරගෙන කියන්න* යැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට දන්වා සිටියේය. මේ ප්‍රකාශයත් සමග යහපාලන ආණ්ඩුව දෙදරා යෑමක් සිදුවේ දැයි කතාබහ ඇති වෙන්නට විය. මෙය එක්සත් ජාතික පාක්ෂිකයන් කලබලයට පත්කළ සිදුවීමක් විය.
මේ අතර අඟහරුවාදා දිනයේ එක්සත් ජාතික පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිවරයා මුණගැසුණහ. එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමට තමන් කටයුතු කරන බවට අගමැතිවරයා දුන් පොරොන්දුවෙන් පසුපෙළ මන්ත්‍රීවරු සතුටට පත් වූහ. එම හමුවෙන් පසුව ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා එ.ජා.ප. ආණ්ඩුවක් නිර්මාණය කරන බව පැවසූහ. එයින් පසුව යළිත් අගමැතිවරයා ප්රමුඛ නායකයන් සාකච්ඡා කළ අතර අඟහරුවාදා රාත්‍රියේ යළිත් වතාවක් ඔවුන් ජනාධිපතිවරයා හමුවූහ. එහිදී ජනාධිපතිවරයාගේ ආරාධනයට අනුව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාද සාකච්ඡාවට එක්විය. අඟහරුවාදා රාත්‍රියේ මේ සාකච්ඡාව පැවැත්වෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වන්නට තීරණය කළ බව ආරංචියද පැතිර තිබුණි. ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරු තමන් ස්වාධීන වන බව දැන්වීමෙන් පසුව පැවති එ.ජා.ප, සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම මේ බව සිතේ තබාගෙන කතා කරන්නට වූහ. රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා වඩාත් සැහැල්ලුවෙන් දෙපාර්ශ්වයේම වැරදි පෙන්වා දීම නිසා දෙපාර්ශ්වයේම ආවේග අඩුවන බවක් පෙනෙන්නට තිබුණි. එයින් පසුව ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ එකඟතාවක් ඇති විය.
එම සාකච්ඡාව එසේ පැවැත්වෙද්දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුද සාකච්ඡා කරමින් සිටියහ. පළමුව මන්ත්‍රීවරුද පසුව පක්ෂ නායකයන්ද සාකච්ඡා පැවැත් වූ අතර, එහි අවසන් තීරණය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් එළියට එන්නේ නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නොමැති රජයකට සහාය දැක්වීම කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද දන්වා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා නොමැති ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවයි. මේ අනුව දෙපාර්ශ්වයම එකම තීරණයකට පැමිණ තිබුණි.
බදාදා දිනයේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අවසන් සැලැස්ම දියත් කළේය. ඇතැමෙකු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තමන්ගේ පැත්තට ගත යුතු බවයි. එහෙත් ජනාධිපතිවරයා එයට තදින් සිටින බව ආරංචි වීම නිසා තමන්ගේ තනි ආණ්ඩුවක් සෑදීම පමණක් සෑහෙන බව එ.ජා.පය තීරණය කළේය. ඒ අනුව ඔවුන් බදාදා වනවිටම තමන්ගේ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන්හ. එයින් පසුව බ්‍රහස්පතින්දා උදයේම තවත් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැත්විණි. එහිදී මූලිකව අවධානය යොමු කෙරුණේ තමන්ගේ පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් ඇතිවෙමින් පවතින කතාබහ පිළිබඳවය. තම මන්ත්‍රී කණ්ඩායම නිවැරදි ආකාරයෙන් හසුරුවාගත් අගමැතිවරයා නායකත්වය සහ නායකත්ව ව්‍යුහයන් සැකසීම ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වූයේය. මෙහිදී සාගල රත්නායක අමාත්‍යවරයා දන්වා සිටියේ තමන්ගේ පක්ෂයේ යහපත උදෙසා තමාට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවය. මෙම සාකච්ඡාවෙන් පසුව එජාපය තවත් තම ස්ථාවරය තහවුරු කරගත් අතර, තමන් පාලන බලයේ සිටින නිසා අමුතුවෙන් බලය පෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අවශ්‍ය නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය පෙන්වා පාර්ලිමේන්තුවේ බලය දිනාගන්නා ලෙසත් අභියෝග කළේය. මේ අනුව බ්‍රහස්පතින්දා සවස වනවිට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් වඩාත් සංසුන්ව සහ විශ්වාසයෙන් සිටිනු දැකගත හැකි විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd