වර්ෂ 1956 ක්වූ අප්‍රියෙල් මස 12 දින සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ නගරයට ආසන්න පින්නවල ගමේ උපන් එන්.කේ. ඉලංගකෝන් මහතා බලංගොඩ උඩගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යපනය නිමකළ ඔහු සහකාර පොලිස් අධිකාරිවරෙයකු ලෙස පොලිස් සේවයට එක්විය. ඔහු අප්‍රේයල් 11 දා සේවයෙන් විශ්‍රාම ගත්තේය. පොලිස් නිලධාරීන් සඳහා පළකෙරන දේශ සඟරාවේ මාධ්‍ය උපදේශක මහාචාර්ය කමල් වලේගොඩ මහතා ඔහු සමග කරන ලද සාකච්ජාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.
සේවා තෘප්තිය
"මම හතර සැරයක් ඉල්ලා විශ්‍රාම ගන්න හැදුවා. මට ඒකට බලධාරීන්ගෙන් කිසිම අවසරයක් ලැබුණේ නැහැ. සියලු දෙනාටම අවශ්‍ය වුණේ සම්පූර්ණ කාලයම මම සේවයේ ඉන්නවා දකින්නයි. ඒ කාලය අප්‍රියෙල් 11 දායින් අවසන්.මම මේ පුටුවට ඉල්ලලා ආවේ නැහැ. කාගෙවත් පස්සෙ ගිහිල්ලා කැන්වස් කරලත් නැහැ. පොලිස් නිලධාරීන්ගේ සුබසාධනයට පහසුකම් වැටුප් වැඩි කරන්න කටයුතු කළා.
පොලිස්පති හැටියට මට කරන්න පුළුවන් උපරිමය කරලා තියෙනවා. ඒ ටික ඉදිරියට ගෙනියන එක ඊළඟ පොලිස්පතිතුමාගේ වගකීම. පොලීසියේ අභිමානය රකින එක පොලිස්පතිගෙ මූලික වගකීම. මම ඒ වගකීම උපරිම අයුරින් කරන්න උත්සාහ කළා. බාහිරෙන් බලපු අයට මේ ක්‍රියාව එකඑක විදිහට පේන්න පුළුවන්. ඒත් මම වැඩ කළේ ස්ථිර ප්රතිපත්තියක. මම හිතනවා ඊළඟට එන පොලිස්පතිවරයාට මේ ක්‍රියාව හොඳ පසුබිමක් වෙයි කියලා"
ජාතික පොලිස් කොමිසම පිළිබඳ
"පොලිස් කොමිසමේ සභාපතිවරයා සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. එතුමාට කොමසාරිස්වරුන්ට ක්ෂේත්රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා .ඒ කවුරුත් එක්කත් සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වුණා. මට කොමිෂන් එක්ක ගැටුම් තිබුණේ නැහැ"
ඇමති සාගල රත්නායක මහතා ගැන දක්වමින්
"මේ ඇමතිතුමත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ගනුදෙනු කරන්න හරිම ලේසියි. එතුමා මගේ වැඩවලට ඇඟිලි ගහන්නෙ නැහැ. එතුමාෙග් පූර්ණ ආශීර්වාදය මට හැමවිටම ලැබෙනවා. අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහත්තයා අත්දැකීම් සහිත පරිණත අවබෝධයක් තියෙන නිලධාරියෙක්"
පොලීසියේ කලා කටයුතු සම්බන්ධයෙන්
"පොලිස් නිලධාරින් සඳහා වන දේශ සඟරාවෙ එක අකුරක් නෑර කියවනවා. සෑම පොලීසියකටම අප ඒ සඟරාව ලැබෙන්න සලස්වලා තියෙනවා. පොලීසියේ ප්‍රතිරූපය ඉහළ නංවන්න අපේ නිලරීන්ට හරි මග කියන්න දේශ සඟරාව මෙහෙවරක් කළා කියා මම වගකීමෙන් කියනවා. එහි සංස්කාරක අතුල සමරවීර මහත්තයා පොලිස් නිලධාරියෙක්. ඔහු අල්ලස් කොමිසමේ රාජකාරියට අමතරව මේ කරන මෙෙහවර අගය කරනවා. පොලිස් නිලධාරීන් අතර දක්ෂ කලාකාරයො රැසක්ම ඉන්නවා.
පොලීසියේ සියපත්විල හොඳ වැඩසටහනක්. ඒකෙ සැලැස්ම ඉතාම හොඳයි. පොලීසියේ ප්‍රතිරූපය නංවන්න ඒ වැඩසටහන උපකාර වුණා. ඒත් ඒ වැඩසටහනේ වියදම පොලීසියෙන් හොයන්න උත්සාහ කරපු එක වැරදියි. ඒක කළ යුත්තේ පොලිස් නිලධාරීන්ට බරක් නොවන විදිහට. එවැනි දේකට දෙන්න ප්‍රතිපාදන අපේ දෙපාර්තමේන්තුවේ තිබුණේ නැහැ. මම දිගටම කිවුවා මේකට වෙනම සල්ලි හොයාගන්න ඕනෑ කියලා.
මොකද සියපත්විල බොහොම වටින වැඩසටහනක්. ඒත් මම හිතනවා නිලධාරීන් කිහිප දෙනෙක් නිසා ඒ වැඩසටහන අසාර්ථක වුණා. ඒත් ඒ අය පොලිස් නිලධාරීන් නෙවෙයි. වැඩක් කරන කොට හිතන්න ඕනදේ තමයි ඒ වැඩෙන් සිදුවන මෙහෙවර කීර්තිය ගෞරවය යන්නෙ කාටද කියලා හිතන්න ගියොත් කිසිම දෙයක් සාර්ථකවෙන්නෙ නැහැ කියන එක"
ඉදිරි තානාපති තනතුරක් සම්බන්ධව
"මට තානාපති කමක් ලැබෙනවා කියලා මම දන්නෙ නැහැ. මම කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් ඉල්ලලා නැහැ .මම ඉන්නෙ හරිම සැහැල්ලුවෙන්. පොලිස්පතිකම ලැබුණු දවසෙම මම නෝනට කිවුවා ඕනෑ වෙලාවක යන්න ලෑස්ති වෙන්න කියලා. මම නීතියෙන් පිට වැඩ කරන්නේ නැහැ කියලා. ඒත් අවුරුද්දයි මාස දහයක් ඉන්න පුළුවන් වුණා"
විශ්රාමයෙන් පසු
"විශ්‍රාම ගිහිල්ලා බලංගොඩ මහ ගෙදරට යන්නෙ නැහැ. බොරලැස්ගමුවේ ගේ මේ දවස්වල අලුත්වැඩියා කරනවා. පුතා තවම විශ්වවිද්‍යාලයේ හතරවැනි අවුරුද්දේ. අපි ගම්වල ජීවත්වුණු මිනිස්සු. මම නිදහසේ මගේ අත්දැකීම ලියන්න හිතාගෙන ඉන්නවා. මම වැඩ කරපු මට නායකත්වය දීපු නායකයො විවේචනය කරන්න මට ඕනේ නැහැ. පොලිස්පති වුණාමත් එහෙම තමයි. එකඑක බොරු තොරතුරු දෙනවා. කේලම් කියනවා.
කවුරු හරි මට එහෙම කිවුවොත් මම කෙළින්ම ඒක එයාගෙනුත් අහලා බලනවා. මට කරදරයක් නැතිව මේ පුටුවෙ ඉන්ඩ ඒක උපකාරයක් වුණා. මේ පුටුවට එන ඕනෑම කෙනෙක් කේළම් අහන්නෙ නැතිව විමර්ශනශීලීව වැඩ කරන්න ඕනෑ. කේලම් අහපු නිසා රාජධානි පවා බිඳවැටුණු බව ඉතිහාසයේ තියෙනවා."
ඡායාරූප ඉසුරු පෙරේරා