වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට හිමිවීමත් සමගම විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් මේ වනවිට නිර්මාණය වී තිබේ. දෙමළ නායකයෙකු ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය ලද මෙම අවස්ථාව සුවිශේෂී වන අතර, ඉතිහාසයේ මෙලෙස සිදු වූ දෙවැනි අවස්ථාව මෙය වේ. 1977 මහ මැතිවරණයෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අම්ර්තලිංගම් මහතා විපක්ෂ නායක ධුරයට පත් වූ අතර, ඉන් වසර 32කට පසුව මෙය සිදු වී තිබේ. මේ පිළිබඳව අප විවිධ පාර්ශ්වවලින් අදහස් විමසා බැලූ අතර, පහත පළවෙන්නේ එම අදහස් කිහිපයකි.
මේ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳව අපි කනගාටු වෙනවා - පා.ම. දිනේෂ් ගුණවර්ධන
එක්සත් ජාතික නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව අත්සන් කරලා දුන් තීරණයට එරෙහිව 16 ක් නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක නායකයෙක් විපක්ෂ නායකවරයා ලෙස පිළිගැනීම පාර්ලිමේන්තුව තුළ මෙතෙක් සිදු නොවූවක්. මේ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳව අපි කනගාටු වෙනවා. එය අපට අනුමත කරන්න බැහැ.
මේ ක්‍රියාව ප්රජාතන්ත්ර විරෝධියි. පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධ ක්‍රියාවලියක් බව සඳහන් කරන්න කැමතියි. සන්ධානයේ බහුතර මන්ත්‍රීන් මෙම තීරණය අනුමත නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ට හිමි පාර්ලිමේන්තු විවාදවලට සහභාගීවීමට හිමි කාලය අහෝසි කිරීමට දරන කුමන්ත්රණයක හැඩරුව පිළිබඳව මෙලෙස අනතුරු හඟවන්න කැමතියි.
යහපාලනය නිරුවත ලොවටම පෙන්වා දී තිබෙනවා - පා.ම. උදය ගම්මන්පිල
ලක්ෂ 47 ක් වර්තමාන ආණ්ඩුවට එරෙහිව සන්ධානයට ඡන්දය ලබා දී තිබියදීත් ලක්ෂ 05 ක් පමණක් ලබාගත් දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබාදීමට තීරණය කිරීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය සහ ප්රජාතන්ත්රවාදයේ නිරුවත ලොවටම පෙන්වා දී තිබෙනවා.
අපට පුළුවන් මෙයට විරෝධය පළකරන්න විතරයි. සන්ධානයේ මන්ත්‍රීවරු 55 ක් විපක්ෂයේ වාඩිවෙන බව දැනට ප්‍රකාශ කර තිබෙනවා. 55 දෙනෙකුගේ කණ්ඩායමක් විපක්ෂයේ සිටියත් 16 ක කණ්ඩායමක නායකයෙකු විපක්ෂ නායකයා වූ විට විපක්ෂය හසුරුවාගැනීම පිළිබඳ ඔහුට අභියෝගයක් මතු වෙනවා.
ඔහු එය ප්‍රා‘යෝගිකව අත්විඳීමෙන් පසුව සමහර විට කථානායකතුමා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් නැවත හිතා බලාවි.
දිනාගත යුත්තේ දෙමළ නායකයන්ගේ හිත් නොවෙයි දෙමළ ජනතාවගේ හිත් - පා.ම. එස්.එම්. මරික්කාර්
අපි දිනාගත යුත්තේ දෙමළ නායකයන්ගේ හිත් නොවෙයි දෙමළ ජනතාවගේ හිත්. තැලිලා බිඳිලා ගිය දෙමළ ජනතාවගේ හිත් තමයි අපි හදන්න අවශ්‍ය. එවිට තමයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ රට ඉදිරියට යන්නේ. ඒක තමයි මගේ පෞද්ගලික මතය. ද්‍රවිඩ සන්ධානය පිළිබඳව මට පෞද්ගලිකව විශ්වාසයක් නැහැ. නමුත් දෙමළ ජාතිකයෙකුට මේ රටේ විපක්ෂ නායකයා වෙන්න බැහැ කියන මතයට මම එකඟ නැහැ. දෙමළ ජාතිකයෙකුට මේ රටේ විපක්ෂ නායකයා වීමට අවස්ථාව තිබිය යුතුයි.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබීම පිළිබඳව මට පෞද්ගලිකව සතුටුයි. සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්ධව දැඩි විමසිල්ලෙන් සිටින ඔවුන්ට ආණ්ඩුවේ දුර්වලකම්, අඩුපාඩු පෙන්වල දෙන්න මේ තනතුර ලැබීම පිළිබඳව සතුටුයි.
සම්බන්ධන් මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කෙනෙක් නොවෙයි කියා පැහැදිලියි - නියෝජ්‍ය අමාත්‍ය- වසන්ත සේනානායක
ආණ්ඩු පක්ෂයට අදාළ නොවන පක්ෂ තමයි විපක්ෂය කියලා හඳුන්වන්නේ. ඉතිං ආණ්ඩු පක්ෂයට අදාළ නොවන පක්ෂවල විශාලතම පක්ෂය තමයි ද්‍රවිඩ ජාතික සන්ධානය. ඒ නිසාම පාර්ලිමේන්තුවේ සම්ප්රදාය සහ නීතිරීතිවලට අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලැබිය යුතුයි.
එහෙම නැතිව වෙන පක්ෂයක් තිබෙනවා නම් ඔවුන් කථානායකතුමාට ඒ බව දැන්විය යුතුයි. එහෙම කවුරුත් ඉදිරිපත් වෙලා නැති නිසා තමයි කථානායකතුමා ටී.එන්.ඒ. පක්ෂයට ඒ තනතුර ලබාදුන්නේ. සම්බන්ධන් මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කෙනෙක් නොවෙයි කියා ඉතාමත්ම පැහැදිලියි. ඔහු ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් කතා කළාට බෙදුම්වාදය වෙනුවෙන් කතා නොකළ නායකයෙක්. මෙවර මැතිවරණයේදී ජාතිවාදී සහ බෙදුම්වාදී න්‍යායට සම්බන්ධ කණ්ඩායම්වලට ජනතා ප්‍රතික්ෂේප වීමයි ලැබුණේ. ඔහු දෙමළවාදී කෙනෙක් වුණාට ඊළාම්වාදී නොවන කෙනෙක් කියලයි අපට හිතෙන්නේ.
දෙමළ ජාතික සන්ධානයට තමයි විපක්ෂ නායකකම හිමිවිය යුත්තේ - පා.ම. නලින්ද ජයතිස්ස
අපි පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මත. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පත්කිරීමට ස්ථාවර නියෝගයක් හෝ රීතියක් නැහැ. එය සිදුවන්නේ සම්ප්රදාය මත.
විපක්ෂයේ පක්ෂ අතරින් වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත පක්ෂයේ නායකයා හෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කණ්ඩායමේ නායකයා විපක්ෂ නායක හැටියට නම් කරනවා. විපක්ෂයේ හුදෙකලා මන්ත්‍රීවරුන් කොපමණ එකතු වුණත් එය විපක්ෂ නායක ධුරයට අදාළ වෙන්නේ නැහැ. අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂ හයයි තිබෙන්නේ. ඉන් දැනටමත් එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව නියෝජනය කරනවා.
ඒ අනුව පැහැදිලි විපක්ෂය ලෙස කටයුතු කරන්නේ ටී.එන්.ඒ සහ ජ.වි.පෙ. පක්ෂ පමණයි. ඒ අනුව වැඩිම ආසන ගණනක් නියෝජනය කරන ටී.එන්.ඒ. නායකයා විපක්ෂ නායක ලෙස නම් වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කරලා කවුරුන් හෝ පුද්ගලයෙකු විපක්ෂ නායක විය යුතුයි කියලා කියනවා නම් 1948 පළමු පාර්ලිමේන්තුවේ එන්.එම්. පෙරේරා මහත්තයට විපක්ෂ නායක වෙන්න ලැබෙන්නේ නැහැ.
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව දෙමළ ජාතික සන්ධානයට තමයි විපක්ෂ නායකකම හිමිවිය යුත්තේ ඔවුන්ට පුළුවන් අවශ්‍ය නම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකම තියාගන්න. නමුත් අපි කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළ නිසා අපට විපක්ෂයේ සංවිධායකකම ලැබුණා. දෙමළ ජාතික සන්ධානය එය අතහැරියා.