Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පිරී ඉතිරී ගිය වැව් වෙනුවට සිඳී ඉරිතළා ගිය වැව් පිටිද, සරුසාරව තිබූ වගාවන් වෙනුවට වියළි කර්කෂ වූ බිම්ද, අද වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ නියඟයේ ශාපයට ගොදුරු වූ පරිසරයත් දිස්ව ඇත්තේ මිනිසුන් සේම වනසතුන් හා අනිකුත් පරිසර රටාවම විනාශ කරවමිනි.
වසර 30කට පසු පුත්තලම දිස්ත්‍රික්කයට උදා වී ඇති දරුණු නියඟයෙන් මිනිසුන් දුක් මහන්සියෙන් වගා කළ භෝග වගාවන්ද විනාශ වී, බීමට ජල බිඳක් පවා නොමැති තැනට ජනතාව අසරණ වනවිට වනයේ වනසතුන්ද දරුණුම ඉරණමට මුහුණපා ඇත්තේ වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ පුත්තලම දිස්ත්‍රික්කයට නිසි වර්ෂාවක් නොලැබීමේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙමිනි.
පවතින නියඟයෙන් මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16න් 13ක්ම දරුණු ලෙස නියඟයට ගොදුරු වී ඇති ආකාරය දැකගත හැකිය. නියඟය හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුද බරපතළ ලෙස අඩාළව තිබේ.
පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ තොරතුරුවලට අනුවද මෙවර නියඟයේ දරුණුකම සනාථ වී තිබේ. දිස්ත්‍රික්කයේ පුත්තලම, කරුවලගස්වැව, වනාතවිල්ලුව, මහකුඹුක්කඩවල, පල්ලම, ආණමඩුව, ආරච්චිකට්ටුව, දංකොටුව, හලාවත, වෙන්නප්පුව, නවගත්තේගම, මාදම්පේ, මහවැව යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් 177ක් තුළ පවුල් 39,183ක පුද්ගලයන් 139, 556 සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර, පීඩාවට පත් ජනතාව වෙත ජල බවුසර් හා ට්‍රැක්ටර් බවුසර් යොදාගනිමින් ජලය බෙදාහැරීම සිදුව තිබේ.
ආපදා කළමනාකරණ ඒකකයේ තොරතුරුවලට අනුව එසේ යොදාගෙන ඇති බවුසර් ප්‍රමාණය 17කි. නමුත් තවත් ජල බවුසර් 19ක් පමණ දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතා පිරිමැසීමට අවශ්‍යව ඇතැයි එම ඒකකයේ තොරතුරු මගින් සනාථ වී තිබේ.
නියඟය සමස්ත පරිසර පද්ධතියම වනසා තිබේ. වසර තුනකින් නිසි වර්ෂාපතනයක් නොලැබීම නිසාම පුත්තලම දිස්ත්‍රික්කයේ වී වගාව 75%කටත් අඩු මට්ටමකට වැටී ඇත්තේ කුඹුරු වගාව සඳහා අවශ්‍ය ජලය නොලැබීමේ තත්ත්වය හමුවේය. එසේම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙක වන තබ්බෝව හා ඉඟිනිමිටිය ජලාශ දෙකෙහි ජල මට්ටම පහත වැටී ඇත්තේ නියඟයේ දරුණු තත්ත්වය හමුවේය.
ඉඟිනිමිටිය ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 59,000ක් වන අතර, මේ වනවිට ජල මට්ටම අක්කර අඩි 7,200 දක්වා පහත වැටී ඇතැයි ඉඟිනිමිටිය ප්‍රාදේශීය වාරි ඉංජිනේරු දිල්රුක් හෙට්ටිආරච්චි මහතා පවසයි.
එසේම තබ්බෝව ජලාශයේද ජල මට්ටම සිතාගත නොහැකි ලෙස සිඳීයාම සිදුව ඇත්තේද නියඟයේ දරුණුකම නිසාවෙනි. තබ්බෝව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු එම්.පී. දිසානායක මහතා පවසා සිටියේ තබ්බෝව ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 15,400ක් වන අතර, මේ වනවිට ඉතිරිව ඇති ජල ප්‍රමාණය අක්කර අඩි 250කටත් අඩු බවයි.
එසේම දිස්ත්‍රික්කයේ මධ්‍ය හා සුළු වාරිමාර්ග යටතේ ඇති වැව් 1300කට ආසන්න ප්‍රමාණයෙන් වැව් 1250කටත් වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් මේ වනවිට සිඳී යාම සිදුව ඇති බව ලැබෙන තොරතුරු මගින් වාර්තා වෙයි.
මේ ආකාරයට පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත වාරි පද්ධතිය සිඳී යාම සිදුව ඇත්තේ වසර 30කට පෙර බවට පැරැන්නෝ පවසති. වැව් පද්ධතිය සිඳී යාමෙන් පසු ඇති වූ අනෙක් බරපතළම ප්රශ්නය වන්නේ කිරි ගව පාලනය ආශ්‍රිතව ජීවනෝපාය කරගෙන ගිය ගවගාල් හිමිකරුවන් දැවැන්ත අර්බුදයකට මුහුණදීමයි.
වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂ පශු වෛද්‍ය එන්. තිලකරත්න මහතා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ගවයන් 50,000ක පමණ ප්‍රමාණයක් දැවැන්ත ජල හා ආහාර අර්බුදයකට මුහුණදී ඇති බවයි. මේ නිසා කිරි නිෂ්පාදනය යම් තරමින් පහත වැටීමක් සිදුව ඇති බවත් කෙසේ නමුත් කිරි නිෂ්පාදන පහත වැටීම වළක්වා ගැනීමට ගොවීන් දැනුවත් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
වී වගාවට අමතරව බුලත්, කෙසෙල් හා වෙනත් අතුරු භෝග විශාල ප්‍රමාණයක් විනාශ වී යාම දැකගත හැකිය. එසේම මීරිදිය ධීවර කර්මාන්තය මේ වනවිට සම්පූර්ණයෙන් නැවතී තිබේ. මේ නිසාම දිස්ත්‍රික්කයේ ගොවිතැනින් හා ධීවර රැකියාවෙන් දිවි සරු කරගත් පිරිස් අන්ත අසරණව ඇත්තේ ජීවිත කාලය පුරාම හුරුපුරුදු වූ රැකියාව අහිමිවී යාම හේතුවෙනි.
එසේම කිසිදු නියඟයකට මෙයට පෙර ගොදුරු නොවූ දංකොටුව ඇතුළු ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ කිහිපයක නියඟය උග්‍ර වී ඇති බව වාර්තා වෙයි.
දංකොටුව ප්‍රාදේශීය ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා පවසා සිටියේ මෙවැන්නකි.
රෙදි සේදීමට ජලය නැති නිසා දරුවෝ පාසල් යන්නේ නෑ
“දංකොටුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ මේ වනවිට නියඟය උග්‍ර වී ජනතාව අසරණ වෙලා. ඉතිහාසයේ මේ තරම් නියඟයක් නොතිබුණු බවයි ජනතාව දන්වන්නේ. ජනපදවල විශාල දරුවන් ප්‍රමාණයක් මේ වනවිට පාසල් යන්නේ සතියකට දින කිහිපයක් පමණයි.
ඒකට හේතුව දරුවන්ට රෙදි සෝදාගැනීමට අවශ්‍ය ජලය නොමැති වීමයි. එයට අමතරව ගොවිතැන් හා මැටි ආශ්රිත කර්මාන්ත සියල්ලම නැවතිලා, ජනතාව අන්ත අසරණ වෙලා. මෙය ඉතාම දරුණු තත්ත්වයක්. එය මේ මිනිසුන්ට දරාගන්න අමාරුයි. නමුත් මා හැකි තරම් උත්සාහ ගන්නවා මේ තත්ත්වයට පිහිටවෙන්න මැදිහත් වෙන්න.''
ගොවියෙකු වන නවගත්තේගම මහ දොඩන්අත්තාව ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.එච්.එම්. ධර්මදාස මහතා පවසා සිටියේ මෙවැන්නකි.
ඉතිරි කරගෙන තිබුණු වී ටිකත් දැන් ඉවරයි
“මේ නියඟය මම දන්න කාලයකින් ඇවිත් නැහැ. තේරෙන විදිහට 1970 ගණන්වල තිබුණා මේ වගේ දරුණු නියඟයක්. ඉන්පස්සේ නියඟයන් අවස්ථා ගණනාවක ආවත් මේ ආකාරයට වැව් සිඳී අනිකුත් ජල මූලාශ්‍ර සිඳී ගියේ නැහැ.
අපි කන්න හතරකින් කුඹුරු ගොවිතැන් කළේ නැහැ. කන්න ඉතිරි කරගෙන තිබුණු වී ටිකත් දැන් ඉවරයි. රජයෙන් තවමත් කිසිම සහනයක් ලබා දීමක් සිදුවෙලා නැහැ. ගොවීන් අන්ත අසරණ වෙලා අඩුම තරමින් රස්සාවක් හැටියට කුලී වැඩක්වත් සොයාගන්න බැරි වෙලා තිබෙනවා. ඒ තරමට පරිසරයට නියඟයෙන් හානි වෙලා.
නවගත්තේගම බුලත් වගාකරුවෙකු වන ඕ.බී. විජේසිංහ මහතා පවසන්නේ මෙවැන්නකි.
රැකියාවල යෙදුණු සිය ගණනක පිරිස් අද අන්ත අසරණයි
“මම දන්න කාලයේ ඉඳලා කළේ බුලත් වගාව. නවගත්තේගමට බුලත් වගාව ගෙනල්ලා විශාල පිරිසකට රැකියා විශාල ප්‍රමාණයක් ලබාදුන්නා. ඉතිහාසයේ කිසිම දිනක දැක්කේ නැති නියඟයක් තමා මේ තියෙන්නේ. මේ වනවිට අපේ බුලත් වගාවන් සියල්ලම විනාශයි, අද අපි අසරණ වෙලා. ඒකටත් වැඩිය ප්රශ්නය අපි යටතේ රැකියාවල යෙදුණු සිය ගණනක පිරිස් අද අන්ත අසරණයි.''
ධීවරයෙකු වන ඩබ්ලිව්. සුරංග ප්‍රදීප් මහතා අදහස් දක්වමින්,
මේ වාගේ නියඟයක් ඇවිත් තියෙන්නේ 1970 කාලයේ
''මම දන්න කාලයේ ඉඳලා තබ්බෝව ජලාශයේ මසුන් අල්ලන රැකියාව කරන්නේ. නමුත් මේ තරම් නියඟයක් ඇවිත් නැහැ. අපේ පැරණි අය කියන විදිහට මේ වාගේ නියඟයක් ඇවිත් තියෙන්නේ 1970 කාලයේ. මොකද තබ්බෝව ජලාශය මේ ආකාරයට සිඳී යාමක් සිදුව නැහැ. තව සතියකින් විතර මේ ජලාශයේ මාළු අල්ලන්න බැරි වෙනවා. එතකොට අපි මොනවා කරන්නද දන්නේ නැහැ.'' යැයි ඔහු පවසයි.
ගවගාල් හිමිකරුවෙකු වන කොට්ටුකච්චිය ගල්කුලම ඩී.කේ. පිරිස් මහතා පවසන්නේ,
කිසිම සහනයක් අද නැහැ
''නියඟය නිසා කිරි කර්මාන්තය අන්තයටම වැටිලා. මේ වනවිට සතුන්ට කන්න තණකොළ වගේම බීමට ජලයත් නැහැ. ඉස්සර නියඟය ආපුවාම සතුන්ට වතුර දෙන්න කිරල් ඔයට වගේම මී ඔයටත් අරන් යනවා.
මේ නියඟයේ දරුණුකම කියන්නේ මේ වනවිට කිසිම තැනක වතුර නැහැ. සතුන්ගෙන් කිරි ගන්න එක නෙවෙයි ජීවත් කරගන්න එකයි අපට තිබෙන ප්රශ්නය.
අඩුම තරමින් නළ ළිඳක්වත් ගහලා දුන්නා නම් අපි සත්තු ටික බේරාගන්නවා. නමුත් කිසිම සහනයක් අද නැහැ'' යනුවෙනි.
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජී. පොඩිනේරිස් මහතා නියඟයෙන් බැට කන නවගත්තේගම ජනතාව සහ වනසතුන් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක නිරතව සිටියි. ඔහු මේ පිළිබඳ සිය අදහස් දක්වමින්,
නියඟය කියාගන්න බැරි තරම් දරුණුයි
''නියඟය කියාගන්න බැරි තරම් දරුණුයි. මේ කොට්ඨාසයේ ජනතාව අන්ත අසරණ වෙලා. මම බැරිම තැන දිසාපතිතුමාගේ අවසරයෙන් ජනතාවට ජලය ගන්න සිඳීගිය වැව්වල ළිං කැපීම කළා. ඒ සඳහා වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය මූල්‍යාධාර කළා. නැත්නම් මිනිසුන්ට වතුර ගන්න තැනක් නැහැ. ඒ කපාපු ළිංවලින් තමයි මේ වනවිට ජලය බවුසර් මගින් බෙදාහැරීම කරන්නේ.
එයට අමතරව වනසතුන් වෙනුවෙන් 'ආණමඩුව අපි' සංවිධානය සමග බැරල් කපා වනාන්තර ආශ්රිත හා සිඳී ගිය වැව් රක්ෂිතවල ජලය පිරවීම කළා. අඩුම තරමින් වනසතුන් සුළු පිරිසකගේ හරි ජීවිත බේරාගන්න. නවගත්තේගම සියලුම වගාවන් විනාශයි.
විදේශ වෙළෙඳ පොළට බුලත් යැවූ බුලත් වගාකරුවන් 100ක පමණ පිරිසකගේ වගාවන් විනාශ වෙලා. ඒ බුලත් වගාකරුවන්ගේ දෛනික කුලී පදනමට රැකියාව කළ 500ක පිරිසක් අසරණ වෙලා. අපිත් අසරණයි. මේ මිනිසුන්ට දෙන්න තියෙන සහන උපරිම ලෙස ලැබෙන පරිදි ලබාදෙන්න කටයුතු කරනවා'' යැයි කියා සිටියේය.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන්. චිත්‍රානන්ද මහතාගේ අදහස මෙලෙසිනි.
දිස්ත්‍රික්කය පුරාම ජල බවුසර් යොදවා තිබුණත් එය ප්‍රමාණවත් නැහැ
''පුත්තලම දිස්ත්‍රික්කයට බලපා තිබෙන නියඟය ඉතාම දරුණුයි. මේ වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 16න් 13ක විතරයි නියඟය පැවතුණේ. නමුත් ආරච්චිකට්ටුවටත් හානි වෙලා තිබෙන බවට ප්‍රාදේශීය ලේකම් දැනුම් දුන්නා. එමනිසා දැන් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 14 දක්වා ඉහළ ගිහින්. මෙය බරපතළම තත්ත්වයක්.
දැනට පවුල් 52,000ක් සඳහා වියළි සලාක ලබාදීමට අපි යෝජනා කර තිබෙනවා. නමුත් ඉදිරියේදී වර්ෂාව නොලැබුණොත් තත්ත්වය තවත් දරුණු වෙනවා. දිස්ත්‍රික්කය පුරාම ජල බවුසර් යොදවා තිබුණත් එය ප්‍රමාණවත් නැහැ. පවතින තත්ත්වය හමුවේ මේ නියඟය අපට වාර්තා වන්නේ වසර 30කට පස්සේ ආපු එකක් බවයි.
දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, මී ඔය, කිරල් ඔය ඇතුළු ගංගා සිඳී යාම සිදුව තිබෙනවා. ඒ සමගම විශාල ජලාශ හා කුඩා වැව් සිඳී යාමෙන් ජනතාව අසරණ වෙලා. මේ තරම් දරුණු තත්ත්වයක් කලින් වාර්තා නොවුණූ බවටයි මට තොරතුරු තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිඳී ගිය වැව් තුළ ළිං හැරීමට අවසර ලබා දෙන්නත්, ඒ වගේම දැනට භූගත නළ ළිං ඉදිකර ගැනීමටත් ඉඩ ලබා දී තිබෙනවා.
භූගත නළ ළිං සඳහා ජල සම්පත් මණ්ඩලය විරෝධතාවක් දක්වා තිබුණත් මම දැනුම් දුන්නා මේ තත්ත්වය හමුවේ ඒ සඳහා වෙනත් විකල්පයක් නොමැති නිසා එයට ඉඩ දෙන්න කියලා. මෙහි බරපතළකම තිබෙන්නේ ජල මූලාශ්‍ර සිඳී යාමෙන් ජලය සපයාගැනීමට නොහැකි වීම නිසයි. අපි ජනතාව වෙනුවෙන් උපරිම දායකත්වය දක්වා ඔවුන්ට පිහිට වීමට කටයුතු කරනවා.'' යැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මේ අනුව මිනිසුන් සේම සතා සිවුපාවුන්ද නියඟයෙන් බැට කන තත්ත්වයට ස්වභාව ධර්මය ආකාරුණික වී තිබේ. නමුත් මේ තත්ත්වයට දිස්ත්‍රික්කය පුරා සිදු වූ හා සිදුවෙමින් පවතින පරිසර විනාශයන්ද බලපා ඇති බවද සඳහන් කළ යුතුමය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd