ලංකාවේ හැම කෙනාටම නොමිලයේ අධ්‍යාපනය දෙනවා කියන එක කරන්න බැරි වැඩක්
රාජ්‍ය අධ්‍යාපනය, පෞද්ගලික අධ්‍යාපනය සහ සයිටම් ආයතනය සම්බන්ධව අදහස් දැනගැනීම සඳහා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය රාජීව් විජේසිංහ මහතා සම්බන්ධ කරගතිමු.
රාජ්‍ය අධ්‍යාපනය හා පෞද්ගලික අධ්‍යාපනය
ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය දෙස බලනවිට කන්නන්ගර මහතා විසින් හැමෝටම හොඳ අධ්‍යාපනයක් නොමිලයේ ලබාදෙන්න මීට අවුරුදු 80කට පෙර වැදගත් තීරණයක් ගත්තා. ඊට පෙරපාසල් ක්‍රම දෙකක් තිබුණා. ක්‍රිස්තියානි ආගමේ පිරිස් දෙවැනි පාසල් ක්‍රමය ආරම්භ කළා. ඉන්පසුව 1890 ගණන්වලදී බෞද්ධ හින්දු මුස්ලිම් පාසල් ආරම්භ වුණා. ඒවාට මුදල් අය කළා. කන්නන්ගර මහතා මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීම නොමිලයේ අධ්‍යාපනය ලබාදීම උසස් මට්ටමට හැදුවා.
නැවත 40 ගණන්වලදී තවත් බෙදීමක් තිබුණා. මවුබසින් අනිවාර්යය අධ්‍යාපනය කරන්න ජේ.ආර්. ජයවර්ධන මහතා යෝජනා කළා. ඒම ක්‍රමය නිසාවෙන් ඇතිහැකි අයට ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අවස්ථාව ලැබුණා. අනිත් අය සිංහල හෝ දෙමළ භාෂාවට පමණක් හිරවුණා. මෙහිදී අධ්‍යාපනයේ මට්ටම ගැන හිතුවේ නැහැ. මේනිසා බොහෝ තැන්වල අධ්‍යාපනයේ පටන් ගැන්මේ ඉඳන් විශ්වවිද්‍යාල දක්වා අඩු මට්ටමින් අධ්‍යාපනය ලැබුණේ. දැන් ජාතික පාසල්වලට යන්න විශාල තරගයක් තිබෙනවා.
හුඟක් අය හිතනවා ගමේ පාසල තමන්ගේ ළමයින්ට සුදුසු නැහැ කියලා. අවුරුදු කීපයක් තිස්සේ ගණිත, ඉංග්‍රිසි, විද්‍යා ගුරුවරු දුප්පත් පාසල්වල නැහැ. අපි නොමිලයේ අධ්‍යාපනය ගැන කතා කළත් දුප්පත් මිනිස්සුන්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න බැහැ. උගත් ළමයි, දේශපාලඥයන් ගැන දන්න ළමයි හොඳ පාසල්වලට යනවා.
මේවට උත්තරය තියෙන ක්‍රමය හදලා තවත් ක්‍රමයක් හදන එක නෙවෙයි. මෙතනදි ගම්බද පාසැල්වලට අවශ්‍ය හොඳ ගුරුවරු දීලා ඒවා දියුණු කිරීම කළ යුතුයි. ඒකම තමයි විශ්වවිද්‍යාලවලටත් වෙලා තියෙන්නේ. හුඟක් දෙමාපියන් තමන්ගේ දරුවන් පෞද්ගලික පාසල්වලට එවනවා.
ඒක කරන්නෙ අනිත් පාසල් හොඳ නැති බව සිතන නිසා. ඒක විශ්වවිද්‍යාලවලටත් වෙලා තිබෙනවා. ඒවා ගැන දැඩි පියවර ගන්න ඕන. රජයට ඇති තරම් ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න බැරිනම් පෞද්ගලික අධ්‍යාපනය දෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒක ලංකාවේ නවතින විට වෙන්නේ සල්ලි තියෙන ළමයි පිටරට යනවා. අනිත් ළමයින්ට යන්න තැනක් නැහැ. අපි කරන්න තියෙන්නෙ පෞද්ගලික අධ්‍යාපනය කරන ගමන් ඒක ටිකක් පාලනය කරන්න ඕන. ඒ තැන්වල මට්ටම ගැන කතාකරන ගමන් ජාතික විශ්වවිද්‍යාල මට්ටම ගැන හිතන්නැති එක ගැන මම කනගාටු වෙනවා.
මම උසස් අධ්‍යාපන ඇමති හැටියට හිටිය කාලේ හැම සතියෙම ශිෂ්‍ය කණ්ඩායම්වලට කතා කළා. නිලධාරීන් පිරිසක් විශ්වවිද්‍යාලවලට යැව්වා ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. පොඩි උදාහරණයක් කියන්නම් මං උගන්වපු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව බාල කරලා තිබුණා මං පීඨාධිපති ලෙස ඉඳපු කාලේ ඉඳන්. මං පිටත්වුණාට පසුව මං හිතුවා මගේ කාලයේ වුණේ කියලා.
ශිෂ්‍යයන් කිව්වා නෑ සර් අපි ඒකාලේ ඉගෙන ගත්තා, දැන් ආර්ථික විද්‍යාවේ විශිෂ්ටයන් අයින් කරලා කිව්වා. ළමයින්ට මොළය තියෙනවා. ආදි කාලයේ ඇඩම් ස්මිත්ගේ න්‍යායන් ඉගෙන ගත්තේ. ආචාර්යවරුන් මේ වෙනස්කම කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේකට ඉඩ දුන්නේ කොහොමද කියන එක මට හිතාගන්න බැරි. ඒවා ඉතා අසාධාරණයි. ඒවා ගැන අවධානය යොමුකරන්න ඕන.
පෞද්ගලික අධ්‍යාපනය විතරක් නෙවෙයි රජයෙන් දෙන අධ්‍යාපනය දුප්පත් ළමයින්ට අපේ අනිත් ළමයින්ට තරග කිරීමට පුළුවන්කම ඇතිවෙන හොඳ අධ්‍යාපනයක් වෙන්න ඕන. නොමිලයේ කියලා බාල අධ්‍යාපනය දෙන එකේ කිසිම වැඩක් නැහැ. ඒනිසා තමයි ළමයින්ට රැකියා නැතිවෙලා තියෙන්නේ.
විශ්වවිද්‍යාල වරම් අහිමි ළමයින්
ඔවුන්ට අවස්ථා දීම කිසිසේත් වැරදි නැහැ. රජයට යුතුකමක් තියෙනවා ළමයින්ට තවත් අවස්ථා ලබාදීමට. නමුත් ඒක හැමෝටම උදා කරගන්න බැහැ. ඒනිසා ඒ ළමයින්ට තමන්ගේ අධ්‍යාපනය ලබාගන්න අවස්ථාව දෙන්න ඕන. නමුත් දැන් ඒවා හිරකරනවා. ඒවා පටන් ගැනීම අමාරුයි. නොයෙක් ආණ්ඩු මේක ගැන හරියට පියවර අරන් නැහැ. එස්.බී. දිසානායක ඇමතිවෙලා ඉන්න කොට පනතක් වෙනස් කරන්න බැලුවා. මේක ටිකක් පාලනය කරලා පෞද්ගලික අධ්‍යාපනයට අවස්ථාව දෙන්න. හැබැයි ඒක අවුරුදු කීපයක් කල්දැම්මා.
මොකුත් බැලුවේ නැහැ. එස්.බී. මට කෝල් කරලා කිව්වා ජනාධිපතිතුමාට කියලා මේක ඉක්මන් කරන්න ඕන. ඔබතුමා තමයි ඇමති ආණ්ඩුවට කියන්න කියලා. එවිට මම අවශ්‍ය තැන්වලට කතා කළාම ඒ අය කිව්වා නෑ නෑ ඊට වඩා වැදගත් ඒවා තියෙනවා කියලා. ළමයින්ගේ අනාගතය මිස මේ රටේ වෙන මොකද්ද වැදගත් එකක් තියෙන්නේ? මේක පැය හයක වැඩක්. මම ඇමතිවෙලා ඉද්දී ඒ ග්රාෆ්ට් එක බලලා හොඳම උපකුලපතිවරු තුන්දෙනෙක් එක්ක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්යවරයා එක්ක සති කීපයක් වැඩ කරලා අපි අලුත් පනතක් යෝජනා කළා. කවුරුවත් බැලුවේවත් නැහැ.
දැන් මේ වගේ මොළය නැති උසස් අධ්‍යාපන ඇමතිවරු පත්කරන කොට උන්ට මේක තේරෙන්නෑ. මම කියන්නෑ මම හදපු පනත හොඳයි කියලා. මම මොළය පාවිච්චි කරලා තමයි හැදුවේ. හැබැයි ඒ මිනිහට මොළයක් නැත්නම් දන්න මිනිහට දෙන්න බලලවත් නැහැ. මම ක්‍රම කීපයක් යෝජනා කළා. දැන් ලංකාවේ කාලය නාස්ති වෙනවා. ඕලෙවල්වලින් පසුව, ඒලෙවල්වලින් පසුව ළමයි ගෙදර.
දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කොම්පියුටර් හා ඉංග්‍රිසි මාස තුනේ පාඨමාලා පටන් ගෙන තිබෙනවා. හැබැයි අනිත් මිනිස්සු මේවා ගැන හිතන්නැහැ. අධ්‍යාපන ඇමතියි, උසස් අධ්‍යාපන ඇමතියි බලන්නේ දේශපාලන වාසි විතරයි. ඉතිං අපි කොහොමද ඉදිරියට යන්නේ. ඒ අය ළමයි ගැන හිතන්නැහැ.
පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධය
ලංකාවේ නරක සිරිතක් තියෙනවා තමන්ට ලැබෙන දෙයක් අනිත් මිනිස්සුන්ගෙන් පැහැර ගන්න එක. මම ශිෂ්‍යයින්ට කතා කරලා මේ ගැන කිව්වා. ඇයි මේකට විරුද්ධ වෙන්නේ. අනිත් අයට අවස්ථාවක් දෙන්න ඕන. ළමයි කිව්වේ පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැහැ, හැබැයි ක්‍රමානුකූලව කරන්න ඕන කියලා. ඒක මං පිළිගන්නවා. කැලණිය පටන් ගත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදියට. ජේ.ආර්. ජයවර්ධන වැඩේ කෑවා. ඉස්සෙල්ලා අවුරුද්දේ ඉඩදුන්නා ඕන විදියකට ඒක කරන්න.
ඊට පස්සේ ඒ ආණ්ඩුව නරක තීරණයක් ගත්තා ඒ ළමයින්ට කොළඹ විශ්වවිද්‍යලයේ උපාධිය දෙන්න. මම ජයවර්ධනපුරයට ඇතුළු වුණානේ එතැන මෙඩිකල් ෆැකල්ටි එක පිහිටුවන කොට. අනිත් ළමයි කියනවා ඒක බාල තත්ත්වයක තියෙනවා කියලා. රුහුණ පටන් ගන්න කොටත් ඒක තිබුණා.
ලංකාවේ අධ්‍යාපන ක්රමයේ අපි තරග කරනවා නිතරම. මං මෙඩිකල් එකට ගියොත් ඔයාට යන්න බැහැ. ඉතිං ළමයි එක ලකුණක් හරි වැඩිපුර ගන්න හිතනවා මිසක්, අනිත් ළමයි ගැන හිතන්නැහැ. අධ්‍යාපනය පොදු දෙයක් නිසා හැමෝටම වාසියක් වන විදියට තිබිය යුතුයි. නමුත් ඒක වෙන්නැහැ. ළමයින් මූලධර්ම ගැන කතාකරද්දී ඒවා පිළිගන්නවා. ජී.එම්.ඕ.ඒ. එකේ ප්රශ්නය තියෙන්නේ අපි දන්නවා ලංකාවේ ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරු නැහැ කියලා.
මොනරාගල, හම්බන්තොට, අම්පාරේ ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරු නැහැ. දැන් පිටවන අය ඒ ප්‍රදේශවලට යන්න නැහැ. ඒනිසා අලුතින් වෛද්‍යවරු හොයන්න ඕන. අවුරුදු 10ක්වත් කොළඹින් පිට සේවය කරන විදියට අලුතින් පත්විම් දෙන්න ඕන. මේ අය තමන්ගේ දක්ෂතාව අනිත් අයට ගන්න දෙන්නෑ. පෞද්ගලික අධ්‍යාපනය සීමා කරන්න බැහැ.
පිටරට උපාධිය මේ රටට ඇවිත් දෙන එක නතර කරන්න බැහැ. හැබැයි ඒවාට විශාල ප්‍රමාණයෙන් මුදල් අය කරනවා. මධ්‍යම පන්තියටත් මේ අයිතිය තියෙන්න ඕන. අපි හැමෝම දන්නවා හුඟක් දේශපාලඥයන්ගේ, පරිපාලන නිලධාරින්ගේ දරුවන් පිටරට යවනවා. නමුත් නොමිලයේ ලබාදෙන අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න කවුරුවත් බලන්නෑ.
ව්‍යාපාරිකයන් කියනවා වැඩකරන මින්ස්සු නැති නිසා ඉන්දියාවෙන් මිනිස්සු ගේන්න ඕන කියලා. මේ නිසා ඇතිතරම් තරුණයන් ලංකාවේ නිෂ්පාදනය කරන්න ඕන රැකි රක්ෂා ගන්න පුළුවන් විදියට. සයිටම් වැසුවොත් ඉන්දියාවෙන් වෛද්‍යවරු මේ රටට එන එක වළක්වන්න බැහැ. ඒ වගේම පිටරටවල ගිහින් උපාධිය ගත් අයටත් අවස්ථාව දීම වරදක් නෙවෙයි.
ළමයි කියන්නේ දැන් ඇමතිතුමා මොළය නැති පිස්සෙක් වගේ කතා කරනවා කියලා. ඒ දවස්වල ළමයි මූලධර්ම කිහිපයක් පිළිගත්තා. පෞද්ගලික අධ්‍යාපනය තිබියදී සේවයක් කරන්නේ කොහොමද කියලා. හොඳ ලකුණු ගත්තු නැතිබැරි ළමයි 10%කට පෞද්ගලික ආයතනයකින් නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව දෙන්න ඕන.
එවිට මෙඩිකල් දක්ෂතාව පරීක්ෂා කරන්න අවස්ථාව දෙන්න ඕන. සමහරු කියනවා පුහුණු විද්‍යාල මදි කියලා. ඒනිසා එය දියුණු කරන්න ඕන. ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය පටන් ගන්න කොට වෛද්‍යවරු හොඳයි කියලා පිළිගත්තා. කොළඹ ආචාර්යවරු නිතරම පාඨමාලා වෙනස් කරනවා. මේක ප්‍රතිපත්තිමය වශයෙන් කරන්න ඕන.
සයිටම් ආයතනය, ප්‍රමිතිය සහ විසඳුම
සයිටම් වැසුවහොත් මේ ප්රශ්නය වෙනත් තැනකින් පැන නගිනවා. අපේ යුතුකම සැමට අධ්‍යාපන දෙන එක. ඒකට ක්‍රම හොයන්න ඕන අනිත් මිනිස්සුන්ට අසාධාරණයක් නොවෙන්න. ළමයි කියන්නේ අධ්‍යාපනය සීමාකරන එක වැරදියි කියලා. ඒක කරද්දී අධ්‍යාපනය තවත් බාල්දු වෙනවා. මට පේන විදියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙතැනදී කිසිම පාලනයක් නැහැ.
ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තට 1950 පසුව නිකුත්වුණු පොතක්වත් නැහැ. පේරාදේණියේ 60 ගණන්වල උගන්වපු දේවල් තවමත් තියෙන්නේ. ආචාර්යතුමාට ඉංග්‍රිසි කියවන්න බැරිනිසා ඉංග්‍රීසි පොත් ගැන මොකුත් දන්නැහැ. ඒ අය කරන්නෙ පරණ නොට් ආපහු ළමයින්ට දෙන එක විතරයි. ළමයින් හරියට කොපි කරන්නවත් දන්නැහැ. ඉතිං මේ ළමයින්ට රැකියා ගන්න බැහැ.
රජරට ආචාර්යවරු නැහැ කවුරුවත් එතනට යන්නැති නිසා. සයිටම් එකට හොඳම ආචාර්වරුන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගන්න පුළුවන්. නැගෙනහිරත් මේ ප්රශ්නය තියෙනවා. ඒක දියුණු කරන්නැතිව සයිටම් වහන්න කියන ඒක විහිළුවක්. රජය, ඇමතිවරු, යූ.ජී.සී එක වගකීම් ඉෂ්ට කරන්නැහැ.කොළඹින් පත්වුණු අය ගම්බද මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන මොනවද දන්නේ.
පළාත් විශ්වවිද්‍යාල ගැන මොනවද ඒ අය දන්නේ. අධ්‍යාපනය විනාශ කරන ආණ්ඩුවක් තියෙන කොට කොහොමද ඇත්ත ප්‍රශ්න ගැන බලන්නේ. ප්‍රතිපත්ති කොහෙවත් නැහැ. ඒ අයට තේරෙන්නැහැ ඒක වැරදියි කියලා. සමහර ඇමතිවරු හොරෙන් තමන්ගේ යාළුවන්ට රැකි රක්ෂා දෙනවා. මේ මිනිහට මොළයක් නැති නිසා ලැජ්ජාවක් නැති නිසා කෙළින්ම ලියනවා මගේ මිනිහට රැකියාව දෙන්න කියලා.
අලුත් ප්‍රතිපත්ති තියෙන පනතක් හැදිය යුතුයි. ඒක සාකච්ඡා කරලා නිකුත් කළ යුතුයි. අපේ මූලධර්ම මොකද්ද කියලා ඒකේ තිබිය යුතුයි. ලංකාවේ පුළුවන් තරම් ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න එමගින් කරුණු අවශ්‍යයි. ඒකට නොයෙක් ක්‍රම තියෙන්න ඕන. හැබැයි ලංකාවේ හැම කෙනාටම නොමිලයේ අධ්‍යාපනය දෙනවා කියන එක කරන්න බැරි වැඩක්.
සල්ලි නැති නිසා අධ්‍යාපනය නැතිවෙන එක සම්පූර්ණයෙන් වැරදියි. දැන් වෙන්නෙ ටික දෙනෙකුට නොමිලෙ දෙනවා. හුඟක් සල්ලි තියෙන අය පිටරට යනවා. සල්ලි නැති මෙරට විශ්වවිද්‍යාවලට ඇතුළුවෙන්න බැරි අයට මොකවත් නැහැ. මේක ප්‍රතිපත්තියක් අනුව කළ යුතුයි. ජාතික විශ්වවිද්‍යාලවලට යන ළමයින්ට දෙන අධ්‍යාපනයත් රැකගන්න ඕන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

