ලංකාවට අයත් සමස්ත මුහුදු ප්‍රදේශයම සමීක්ෂණයකට
ධීවර කර්මාන්තයේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකරන ආයතනයක් ලෙස නාරා ආයතනය හැඳින්විය හැක. මෙම ආයතනය මැදිහත් වී ධීවර කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට අමතරව ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍ර‘දේශයේ සිටින මත්ස්‍ය සම්පත හා මුහුදු පරිසරය පිළිබඳව විධිමත් සමීක්ෂණයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.මේ පිළිබඳව 'අද' නාරා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඡනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සමග කතාබහක නිරත විය. මේ එහිදී ඒ මහතා දැක්වූ අදහස්ය.
ධීවර කර්මාන්තය කළමනාකරණය කිරීම සඳහා නාරා ආයතනය සතුව දත්ත තිබෙනවාද?
ධීවරයන් මුහුදින් රැගෙන එන මත්ස්‍ය සම්පතින් ලබාගන්නා දත්ත තමයි ධීවර කර්මාන්තය කළමනාකරණය සඳහා භාවිත කරන්නේ. එම දත්ත නාරා ආයතනය හා ධීවර දෙපාර්තමේන්තුව එකතු කරලා තමයි ධීවර කර්මාන්තය කළමනාකරණය සඳහා අවශ්‍ය තීරණ ගන්නේ.
ලංකාවට අයත් මුහුදු සීමාව තුළ තිබෙනා මත්ස්‍ය සම්පත පිළිබඳ තහවුරුවක් තිබෙනවාද?
1978 හා 1980 වසරවලදී පරීක්ෂණ නෞකාවක් යොදාගෙන මත්ස්‍ය සම්පත පිළිබඳ පරීක්ෂණයක් සිදුකරලා තියෙනවා. එම සොයා බැලීම සිදුකර වසර 35කට වැඩියි. ඉන්පසුව ලංකා මුහුදු සීමාව තුළ තිබෙන මත්ස්‍ය සම්පත පිළිබඳ විධිමත් ලෙස සොයා බැලීමක් සිදුකරලා නැහැ. මේ ආකාරයේ පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ හෝ තාක්ෂණය අප රට සතුව නැහැ.
ජුනි මාසයේදී මෙවැනි පරීක්ෂණයක් සිදුකිරීමට සැලසුම් කරලා තිබෙනවාද?
ඔව්. ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ධීවර අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් නෝර්වේ රාජ්‍ය‘යේ අනුග්‍රහයෙන් ලංකාවට අයත් මුහුදු සීමාව තුළ සිටින මත්ස්‍ය ප්‍රමාණය, මත්ස්‍යයන් බෝවන ස්ථාන පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදුකිරීමට සැලසුම් කරලා තියෙන්නේ. මේ සඳහා ලෝකයේ තාක්ෂණය අතින් ඉහළම නැව වන Dr. Fridtjof Nansen යන නැව ලංකාවට පැමිණෙනවා.
සමීක්ෂණය සිදුකිරීමේ ප්‍රධානම අරමුණ ගැන සඳහන් කරනවා නම්?
රට තුළ තිරසාර ධීවර කර්මාන්තයක් ඇති කිරීම ප්‍රධාන අරමුණු කරගනිමින් දේශගුණික විපර්යාස පිළිබඳව අධ්‍යයනය කිරීම හා සමුද්‍ර දූෂණය පිළිබඳව අධ්‍යයනය කිරීම පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදුකරනවා. මීට අමතරව අප මුහුදු ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ තවම අපට නෙළාගන්න බැරිවුණ මත්ස්‍යයන් ඉන්න පුළුවන් ඒ තැන් පිළිබඳවත් මේ හරහා අපට තොරතුරු ලබාගත හැකි වෙනවා.
ලබාගන්නා දත්තවලට සිදුවන්නේ කුමක්ද?
1978 වසරේ සිට මුළු අප්‍රිකානු සාගරයේ, ලතින් ඇමෙරිකාවේ, ඉන්දියානු සාගරයේ මෙම දත්ත ලබාගැනීම සිදුවනවා. මෙම දත්ත හැමවිටම යොදා ගන්නේ ශ්‍රී ලංකා මුහුදු කලාපයේ කළමනාකරණය සඳහායි.
දත්ත අන්සතු වීම අනතුරක් නොවේද?
කිසිසේත්ම නැහැ. අපි මේ කටයුතු සිදුකරන්නේ යම් ගිවිසුමකට අනුව. මේ නිසා අපේ දත්ත අන්සතු වීමක් සිදුවන්නේ නැහැ.
ලබාගන්නා දත්ත හරහා ධීවර ක්ෂේත්රය තුළ ප්‍රධාන වශයෙන් සිදුවන්නේ කුමක්ද?
අප තවමත් දන්නෙ නැහැ අපේ මුහුදු කලාපයේ වැඩියෙන්ම ඉන්න මත්ස්‍යයන් පිළිබඳව. ඒ වගේම මත්ස්‍යයන් බෝවන ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරු නැහැ. අඩුවෙන් ඉන්න මත්ස්‍ය වර්ග පිළිබඳ තොරතුරු නැහැ. මුහුදු පතුලේ තිබෙන ප්ලාස්ටික්, පොලිතීන් පිළිබඳ තොරතුරු නැහැ. ඒත් මෙම සමීක්ෂණයට අනුව ලබාගන්නා දත්තවලින් අපට බොහෝ වැඩකටයුතු සිදුකිරීමට හැකියාව තිබෙනවා. මෙය අප ලබන ජයග්‍රහණයක්.
නෙළාගන්න මත්ස්‍ය සම්පත විශාල ලෙස අපතේ යෑමක් සිදුවන බවට රටේ කතාබහක් ඇතිවෙලා තිබෙනවා?
නෙළාගන්න මත්ස්‍ය සම්පතින් 30%ත් 40%ත් අතර ප්‍රමාණයක පසු අස්වනු හානියක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කියනවානම් මත්ස්‍ය අස්වැන්න නෙළාගත්තට පස්සේ නිවැරදි ලෙස ගබඩා නොකිරීම, අයිස්වල තියෙන අඩු ගුණාත්මකභාවය හා බහුදින යාත්‍රාවල මාළු ගබඩා කරන ස්ථානවල තියෙන අඩුපාඩු නිසා සහ වරායට රැගෙන ආපසු අඩු ප්‍රමිතියකින් යුත් ජලයෙන් මත්ස්‍ය සම්පත සේදීම වැනි කරුණු නිසා මෙම තත්ත්වය ඇතිවෙලා තියෙනවා. මේ නිසා පසු අස්වනු හානිය අවම කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර කිහිපයක් අරගෙන තියෙනවා.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව සඳහන් කරනවා නම්?
නෙළාගන්නා අස්වැන්න තාක්ෂණයට අනුව ගබඩා කරන අකාරය හා වරායට රැගෙන ආපසු ගුණාත්මකභාවය රැකගනිමින් ගොඩබෑම පිළිබඳව හා ප්‍රමිතියෙන් යුත් අයිස් භාවිතය පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදුකරනවා. මීට අමතරව තාක්ෂණික වශයෙන් දියුණු යාත්‍රා මිලදී ගැනීම පිළිබඳව ධීවර ජනතාව දැනුවත් කිරීම සිදුකරනවා.
රට වටේම මුහුද තිබුණත් රටට අවශ්‍ය මත්ස්‍ය සම්පත තවමත් ලැබෙන්නේ නැහැ නේද ?
එක් එක් කාලවලදී මත්ස්‍ය සම්පත ලැබීමේ වෙනස්කම් තියෙනවා. සමහර කාලවලදී විශාල ලෙස මත්ස්‍ය සම්පත නෙළා ගන්නවා. සමහර කාලවලදී නෙළා ගන්නා මත්ස්‍ය සම්පත් ප්‍රමාණය අඩුයි. මේ වගේ අවස්ථා නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා ධීවර අමාත්‍යාංශයෙන් මෙම ගැටලුව විසඳීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරමින් තියෙනවා. මෙම වැඩසටහන්වලට අනුව ධීවර සංස්ථාවෙන් මත්ස්‍ය තොග ලබාගෙන මතස්‍ය සම්පත වැඩි කාලයට ගබඩා කරලා මත්ස්‍ය සම්පත අඩුවෙන් ලැබෙන කාලයේදී වෙළඳ පොළට මුදාහැර මිල පාලනය සිදුකිරීමට නියමිතයි.
මුහුදට ප්ලාස්ටික් හා පොලිතීන් එකතුවීමේ කටයුත්ත?
මුහුදට ප්ලාස්ටික් හා පොලිතීන් එකතු වීම අප රටට වගේම ලෝකයේ සෑම රටකටම විශාල ප්‍රශ්නයක්. මේ හරහා මුහුදු පරිසරයට, මත්ස්‍යයන්ට විශාල බලපෑම් එල්ල වෙනවා. ප්ලාස්ටික් මුහුදු පතුලට ගියාට පස්සේ කුඩා කැබලිවලට කැඩිලා එම කැබලි මත්ස්‍යයන්ගේ රැඳිලා යළිත් අපිටම කැවෙන්න පුළුවන්.මෙම සමීක්ෂණය හරහා මුහුදු පත්ලේ රැදිලා තියෙන ප්ලාස්ටික් හා පොලිතීන් පිළිබඳව තොරතුරු ලබාගැනීමට හැකිවූ පසු ඒවා ඉවත් කිරීමට අපට හැකියාව ලැබෙනවා.
අප රටේ ධීවරයන් කර්මාන්තය සිදුකිරීමට භාවිත කරන තාක්ෂණය පිළිබඳව නාරා ආයතනය සෑහීමටකට පත් වෙනවාද?
අප රටේ ධීවරයන් නව තාක්ෂණයට අනුව කටයුතු කළයුතු වෙනවා. නවීන තාක්ෂණයෙන් යුතු ධීවර යාත්‍රා හඳුන්වා දෙන්න ධීවර අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරනවා. මත්ස්‍ය සම්පත නෙළා ගැනීමේ සිට ගබඩා කිරීම, වරායට රැගෙන ඒම දක්වා නව තාක්ෂණය භාවිත කළ යුතුයි.
ප්‍රමිතියෙන් තොර අයිස් නිෂ්පාදනය කරන බවට රට තුළ කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම්?
ප්‍රමිතියෙන් තොර අයිස් පිළිබඳව සොයා බැලීමට නාරා ආයතනය මගින් පරීක්ෂණයක් දියත් කළා. මේ අනුව අප සෑම ධීවරයෙක්ම භාවිත කරන අයිස්වල සාම්පල් අරගෙන පරීක්ෂාවට ලක් කළා. එහිදී තහවුරු වුණා මත්ස්‍ය සම්පත වෙනුවෙන් රට තුළ නිෂ්පාදනය කරන අයිස්වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොරයි කියලා. මේ නිසා එය නිවැරදි කරන ලෙසට අදාළ ආයතන වෙත උපදෙස් ලබාදීමට සැලසුම් කරලා තියෙන්නේ.
ප්‍රමිතියෙන් යුත් අයිස් නිෂ්පාදනය කිරීමට සිදුකළ යුත්තේ කුමක්ද?
මූලික වශයෙන් මත්ස්‍ය සම්පත සඳහා භාවිත කරන අයිස් නිෂ්පාදනයේදී පවා පානය කිරීමට සුදුසු ජලය භාවිත කළයුතු වෙනවා. මේ නිසා අයිස් නිෂ්පාදනයට භාවිත කරන ජලයේ සාම්පල් පරීක්ෂාවට ලක් කරලා එම ජලය පිරිසුදුද නැද්ද කියලා තහවුරු කරගන්න පුළුවන්.
ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වයෙන් සිදුකරන වැඩසටහන් පිළිබඳව සඳහන් කරනවා නම්?
අප ආයතනය විසින් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සිදුකරනවා. ඉන් එකක් තමයි විසිතුරු මත්ස්‍ය වගාව සිදුකිරීමට අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබාදීම. ඒ වගේම මත්ස්‍ය අභිජනනය කිරීමේ තාක්ෂණය ජනතාවට ලබාදෙමින් සිටිනවා. ලෝකයේ ඉහළ ඉල්ලුමක් තියෙන සමහර විසිතුරු මත්ස්‍යයන් අභිජනනය කරන්න බැහැ. ඒ සඳහා හෝමෝන තාක්ෂණය භාවිත කරන්න වෙනවා. මෙම තාක්ෂණය පුහුණු පාඨමාලාවන් හරහා ජනතාවට ලබාදෙමින් සිටිනවා.
මීට අමතරව කල්පිටිය ප්‍ර‘දේශයේදී බෙල්ලන් වගා කිරීම සිදුකරනවා. මේවා සිදුකරන්නේ ප්‍රජා සහභාගිත්වයෙන්. එමෙන්ම කල්පිටිය ප්‍රදේශයේ කරදිය මත්ස්‍ය නිෂ්පාදනාගාරයක් ඇති කරනවා. ඒ හරහා කකුළුවන්, බෙල්ලන් අභිජනනය කරලා ජනතාවට ලබා දීලා ජන ජීවිතය නගාසිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් සකස් කිරීමටත් සැලසුම් කරලා තියෙන්නේ.
ලෝක විසිතුරු මත්ස්‍ය වෙළෙඳ පොළට ශ්‍රී ලංකාවෙන් දක්වන දායකත්වය ?
ශ්‍රී ලංකාව තුළින් ලෝක විසිතුරු මත්ස්‍ය වෙළෙඳ පොළට යවන්නේ අවශ්‍යතාවෙන් 3%ක් වැනි ප්‍රමාණයක්. මෙම තත්ත්වය තවත් ඉහළ දමාගැනීමට අපට හැකියාවක් තියෙනවා. ඒ සඳහා නව තාක්ෂණයෙන් වැඩිදියුණු කළ විසිතුරු මත්ස්‍යයන් වෙළෙඳ පොළට නිකුත් කළයුතු වෙනවා. ඒ හරහා අප රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තියෙනවා. මීට අමතරව මුහුදු පැළෑටි අපනයනය කිරීමටත් හැකියාව තියෙනවා.
මෙම සමීක්ෂණය සඳහා දායකත්වය දෙන අනෙක් ආයතන ගැන සඳහන් කරනවා නම්?
මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන්. ඒ වගේම නෝර්වේ රාජ්‍යයේ නොරාඩ් ආයතනය හා අයි.එම්.ආර් ආයතනය අපට උදවු කරනවා. මේ සියලු කටයුතු සඳහා සහයෝගය ලබාදෙන්නේ නෝර්වේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු පිරිස.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

![6147240046_6b24f3bb7f_b[1] copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/adaadmin/wp-content/uploads/6147240046_6b24f3bb7f_b1-copy.jpg)


