අත්අඩංගුවට ගන්නා ග්ලයිෆොසේට්වලට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳ ජනතාවට පැනයකි. සැබැවින්ම එසේ අත්අඩංගුවට ගන්නා ග්ලයිෆොසේට්වලට සිදුවන්නේ කුමක්දැයි 'අද' පාඨකයන් වෙනුවෙන් අපි සොයා බැලුවෙමු.
වැටලීම සහ නොහැකියාව
ව්‍යාප්තිය තරමට වැටලීම් විරල යැයි ජනතා චෝදනාවකි. සිදුකරන වැටලීම්වලදී එම කාර්යයයේ යෙදෙන නිලධාරීන්ට අධිකරණයෙන් අය කරගන්නා දඩ මුදලෙන් යම් ප්‍රතිශතයක් හිමි නොවේ. එවැනි ක්‍රමවේදයක් පළිබෝධනාශක පනත් තුළද නොමැති බව අනාවරණය විය. එනිසා තමන්ගේ අතට වාසියක් නැතිනම් අධිකරණයේ දවස් ගණනාවක් රස්තියාදු වෙමින් පැමිණිලි මෙහෙයවීම වැටලීම් කරන නිලධාරීන්ගේ එක් නොසතුටක් බව කණින් කොණින් ඇසුණු කතාබහ සනාථ කළේය.
එනිසාම එහි වාසිය ලබාගැනීමට නම් මෙම පනතින් බැහැරව වෙනත් පනත් හරහා අධිකරණයට නඩු ගොනු කරමින් එයින් යම් ප්‍රතිලාභයක් ලබාගැනීමට ඇති අවකාශය අනුව යමින් ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවද අසන්නට ලැබිණි. එවිට අධිකරණයේ ගොනුවන නඩුවලදී පළිබෝධනාශක වෙනුවට කියැවෙන්නේ කුමක්ද යන තර්කය යමෙකුට සිතෙනු ඇත. ඒ විනිශ්චය වගකිවයුත්තන්ගේ අවධානයට තබමු.
පනත අනුව අධිකරණය නියම කරන දඩ මුදලෙන් එවැනි දීමනාවක් ගෙවිය යුතු බවට ප්‍රතිපාදන නැතැයි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාද පිළිගත්තේය. අනෙක් අතට මෙහිදී තවදුරටත් අවධාරණය කළ යුතු කරුණු කීපයක් විමසමු.
වැටලීම් කරන නිලධාරීන්ට පළිබෝධනාශක අත්අඩංගුවට ගැනීමේදී ඒවා හඳුනාගැනීමට ඇති දැනුම තක්ෂණික හෝ ශිල්පීය ඥානය පිළිබඳ නොදැනුවත්කම එකකි. අනෙක අත්අඩංගුවට ගත්තද ඒවා භාවිතයට හෝ භාවිතයේ පවතින සීමාවන් පිළිබඳ නොදන්නාකම තවත් අර්බුදයකි.
එසේම අත්අඩංගුවට ගත් පළිබෝධනාශක අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එයට අදාළව ඉදිරිපත් කළ යුතු චෝදනා පත්‍රය නිදොස්ව සකස් කරගැනීමට ඇති නොහැකියාව තවත් එකකි.
පොදුවේ අධිකරණයට පැමිණිල්ලක් ගෙනයන රජයේ නිලධාරි පාර්ශවයට එය නිසි ලෙස අධිකරණයේදී ඔප්පු කර ගැනීමට නොහැකි වූ විට ඇති විය හැකි මදිපුංචිකම හෝ පරාජය විඳ දරාගැනීම පිළිබඳ පවතින අභිමානය පිළිබඳ මානසිකත්වයද නඩු ගොනු කිරීමටත්, වැටලීම් කිරීමටත් පවතින තවත් බාධකයකි.
ඒ අතර මේ හැමදේටම අමතරව නිලධාරීන් තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වැටලීම් නොකර තමන්ගේ වැඩක් කරගෙන හිඳිමු යැයි ස්වයංවාරණයක් යටතේ කර ඇරීමද තවත් කතාවකි.
එසේ නම් රට තුළ සංසරණය වන ව්‍යාජ හෝ අනීතික පළිබෝධනාශක භාවිතය වැළැක්වීම පහසු කරුණක් යැයි කෙනෙකුට සිතිය හැකිද?
අනෙක් අතට නීති විරෝධීව සිදුවන ජාවාරම වැළැක්විය හැකි යැයි සහතිකයක් දිය හැක්කේ කාටද? එසේ නම් අදටත් වෙළෙඳ පොළ තුළ පළිබෝධනාශක මාෆියාවක් පැවතියද එම මාෆියාව ජයගැනීමට රජයට ඇති ශක්තිය කුමක්දැයි පැහැදිලි කරදීමට රජය සතු ප්‍රතිපාදන මොනවාද?
ගත වූ දිනයක පුත්තලම ප්‍රදේශයෙන් යම් සැක සහිත කෘෂි ද්‍රව්‍යයක් සොයාගැනීමට පොලීසියට හැකි විය. එහි ලේබලය පොලිස් නිලධාරීන් කියවා බැලීය. එහි තිබුණේ ඇමෝනියම් සෝල්ට් ඔෆ් ග්ලයිෆොසේට් යන නමකි. පොලීසිය ඒවා නැවත අදාළ සැකරුවන් අතට පත් නොකර අධිකරණයට ඉදිරිපත් කළේය.
එහෙත් එහිදී පොලීසිය ඒවායේ සඳහන් ඇමෝනියම් යන වචනය අනුව යමින් ඒවා ඇමෝනියම් පොහොර විශේෂයක් ලෙස වටහාගෙන කටයුතු කළ පුවතද සංවාදයට ලක් විය. අවබෝධය සහ පුහුණුව වැටලීම්වලට දායකත්වය සපයන ආයතනවල නිලධාරීන්ට අවශ්‍ය වන්නේ එහෙයිනි.
අත්අඩංගුවට පත්වන ග්ලයිෆොසේට්වලට සිදුවන්නේ කුමක්දැයි විමසිය යුතුය. ඒ සම්බන්ධයෙන් විමසීමට පෙර ග්ලයිෆොසේට් ලංකාවට පැමිණෙන්නේ කෙසේද හෝ තහනම් ඒවා වෙළෙඳ පොළට රිංගන්නේ කෙසේද යන්න නැවත විමසිය යුතුය.
ග්ලයිෆොසේට් ලංකාවට කොහෙන්ද?
ශ්‍රී ලංකාවේ ග්ලයිෆොසේට් නිෂ්පාදනය නොකෙරේ. සිදුවන්නේ එම රසායනිකයන් බෝතල් හෝ ප්ලාස්ටික් බැරල් හෝ කෑන් වශයෙන් විදෙස් රටවලින් ආනයනය කිරීමකි. නමුත් නීතියට අනුව ඒවා ආනයනය කිරීම තහනම් නිසා එවැනි නිෂ්පාදන මේ වනවිට සම්මත මාර්ග ඔස්සේ ලංකාවට පැමිණෙන්නේ නැත.
ගුවන් මගින් සහ නාවික සේවා හෝ සතොස සීනි කන්ටේනරයේ මත්කුඩු මෙන් විවිධ බහාලුම් ඔස්සේ මේවා ලංකාවට පැමිණිය හැකිය.
එසේ නම් තහනම් නීතිය පැනවීමට පෙර ලංකාවට ගෙන්වා ඇති ග්ලයිෆොසේට් සහ එයට පෙර සිට සහ පසුව හොර පාරෙන් ලංකාවට පැමිණි හෝ නගර පුරා ව්‍යාප්ත වූ ග්ලයිෆොසේට් පිළිබඳ සොයා බැලීම විධිමත් නිර්ණායක යටතේ විය යුතුය.
මහින්ද රජයේ අවසාන කාලයේ මහින්ද යාපා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර කන්ටේනර් 15ක් පුරවා ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. ඒවා ජනමාධ්‍ය හරහා අනාවරණය වනවිට ඇසුණේ එම ප්‍රමාණය වසර විස්සකට ප්‍රමාණවත් විය හැකි කතාවකි. එහෙත් මේ සම්බන්ධයෙන් 'අද' කළ වීමසීමේදී එකල පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය අනුර විජේසේකර පැවසුවේ එම ප්‍රමාණය වසර දෙකකට පමණක් ප්‍රමාණවත් විය හැකි පුවතකි.
අනතුරුව මෛත්‍රී ආණ්ඩුව විසින්ද තහනම් නීතිය පැනවීමට ආසන්නයේ ග්ලයිෆොසේට් කන්ටේනර ගණනාවක් ගෙන්වී යැයි රාවයක් පැවැති අතර, ඒ සමග 2015 මැද භාගයේ තහනම ක්‍රියාත්මක වීමත් සමග ඒවාද වෙළෙඳ පොළට නිකුත් වීම වැළැක්විණි. නමුත් ඒ අනුව එයින් යම් ප්‍රමාණයක් ව්‍යාපාරිකයන් අතට පත් නොවන්නට ඇතැයි සහතිකයක් දිය නොහැක්කේ අර්බුදය ඇසුණද නියාමනයට විධිමත් ක්‍රමවේදයක් ක්ෂණිකව සම්පාදනය නොවූ හෙයිනි.
අනෙක ග්ල්යිෆොසේට් තහනමක් එනවා යන පුවත සමග ඇතැමුන් ඒවා යම් ප්‍රමාණයකින් සිය අවශ්‍යතා සඳහා ගබඩා කරගන්නට ඇති බවට පවතින මතයද සදොස් යැයි කිව නොහැක. ඒ අදටත් ග්ලයිෆොසේට් වල්නාශකය වෙළෙඳ පොළ තුළ නිරතුරු සංසරණය වන බවට ඇසෙන වාර්තා හේතුවෙනි.
කෙසේ හෝ 2015 පනත අනුව ග්ලයිෆොසේට් භාවිතය, අලෙවිය, බෙදාහැරීම ආදී හැම කරුණක්ම තහනම් විය. එහෙත් අදටත් මේ දේ රට පුරා භාවිත වන බව පැහැදිලිය. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් වීමසීමේදී එවැනි දේ සිදුවන බවත් වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් තමන් සතු නිලධාරීන්ගේ මට්ටමෙන් සිදු කරන බවටද තහවුරු කළේය.
ග්ලයිෆොසේට් වැටලීම
රේගුව විසින් ඉඳහිට ග්ලයිෆොසේට් අත්අඩංගුවට ගත් අවස්ථා වාර්තා විය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා දඬුවම් නියම වූ අවස්ථා ද ඇසුණි. එහෙත් අධිකරණය විසින් නඩු තීන්දුවෙන් පසු රාජසන්තක කරන ග්ලයිෆොසේට් විනාශ කළ යුතුය. ඒ විනාශ කළ යුතු ග්ලයිෆොසේට්වලට එයින් පසු සිදුවන්නේ කුමක්ද?
අප්‍රිකාවේ ඇත් දළ ගෝල්ෆේස් ගෙනැවිත් විනාශ කළ අයුරින් මේවාද එසේ විනාශ කරන අයුරු ජනතාව දුටුවේ නැත. එසේ නම් ඒවා කොතැනක හෝ තිබිය යුතුය. ඒවා තිබෙන්නේ කොතැනකද?
නාවික හමුදාව විසින් මුහුදෙන් ගෙන එන විට අල්ලා ගන්නා ඒවාද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රාජසන්තක කළ යුතුය. එවැන්නක් සිදු වුවද අධිකරණ ක්‍රියාදාමයෙන් පසු එවැනි ග්ලයිෆොසේට්වලට සිදු වූ දෙයක්ද ජනතාව අසා නැත. විනාශ කළ අවස්ථාවක්ද ජනතාව දැක නැත. අනෙක එසේ විනාශ කිරීමට තරම් තාක්ෂණයක්ද මෙරට නැත.
පොලීසියද තමන්ට ලැබෙන තොරතුරු අනුව යමින් අත්අඩංගුවට ගැනීමේ අවස්ථා සිදු කරයි. එහෙත් අධිකරණයට ඉදිරිපත් කරන භාණ්ඩ රාජසන්තක කිරීමෙන් පසු ආපසු පැවරෙන්නේ පොලීසියටමය. ඒවා විනාශ කිරීම ඔවුන්ට කළ නොහැකි වුවත්, එතෙක් ඒවා ගබඩාකර තබාගැනීම ඔවුන්ගේ වගකීමකි. එසේ නම් ඒවා ගබඩා කර තබන්නේ කොතැනකද? යන ප්‍රශ්නයද ගුප්තය.
අත්අඩංගුවට පත් ඒවා ඔවුන් සතු ගබඩාවල රැස්කර කරගෙන ඇති
Q සිදු වන්නේ කුමක්ද?
එසේ නම් මේ පිළිබඳ විමසීමට වඩා සුදුසු පුද්ගලයා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා බැවින් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා හමුවුණෙමු. ඔහුට සවන් දෙමු.
Q අත්අඩංගුවට ගන්නා සහ රාජසන්තක වන පළිබෝධනාශක හෝ තහනම් කළ ඒවා විනාශ කළාද?
අත්අඩංගුවට ගන්නා පළිබෝධනාශක විනාශ කිරීමට ලංකාවේ පහසුකම් නැහැ. ඒවා යම් තනුක ගතියකින් තිබුණා නම් විනාශ කළ හැකියි. එහෙත් මේවා ජලය සහිත නිසා එවැනි දෙයක් කළ නොහැකියි.
Q එතකොට රේගුව, පොලීසිය ආදී වශයෙන් වැටලීම් කළ එම දෙපාර්තමේන්තු භාරයේ රාජසන්තක වූ ඒවාට මොකද කරන්නේ? ඒවා ඔබට භාර දෙනවාද?
එහෙම භාර දෙන්නේ නැහැ. ඒවා ඒ අය භාරයේම පවතිනවා.
Q ඔවුන් ඒවා තබාගන්නේ කොහේද?
ඔවුන් සතු ගබඩාවල රැස් කර තබාගන්නවා ඇති
Q ඒවා රැස්කර තබා ගැනීමේදී යම් ප්‍රමිතියක් අවශ්‍යද?
අනිවාර්යයෙන්ම යම් විධිමත් සොයාබැලීමක්, ආරක්ෂාවක් යටතේ ඒවා තැබිය යුතුයි.
Q ඒ ඇයි?
මේවා සැර විෂ ගණයට යටත් නිසානේ තහනම් කරලා තියෙන්නේ. පවතින මතය අනුව ඒවා පොළොවට එකතු වීමෙන් ජලය සමග මුසු වී වකුගඩු නරක් කරනවා කියන මතයක් තියෙනවා. එහෙම නම් මේවා වායුගෝලයට එකතු වීමට ඇති ඉඩකඩ අනිවාර්යයෙන්ම වැළැක්විය යුතුයි.
Q මෙම ගබඩාකර ඇති දේට පවා හානියක් සිදුවිය නොහැකිද?
අනිසි ආකාරයෙන් ගබඩා කර බිඳී පොළොව මත ගලාගෙන ගියොත් ඒවායෙන් සිදුවන්නේ පරිසර හානියක්. ජනතාවට විනාශයක්. ඒ වගේම ගංවතුරකට සුළි සුළඟකට, පිපිරීමකට, ගින්නකට අසුවුණොත් මහා විනාශයක් වීමේ අවදානමක් තියෙනවා.
Q එහෙම නම් අධිකරණයෙන් රාජසන්තක කරන ඒවාට සිදුවන්නේ කුමක්ද?
ඒවා ඒ ඒ ආයතන භාරයේ ඇති. මම රේගුවෙන් විමසා සිටියා. ඔවුන් ඒවා තමන් භාරයේ තිබෙන බව පැවසුවා.
Q එහෙම නම් රජයේ 2015 පනත බලාත්මක වීමත් සමග වෙළෙඳ පොළේ අලෙවියට තබා තිබූ ග්ලයිෆොසේට්වලට මොකද වුණේ?
ඒවා අපි භාරයට ගත්තා. අපේ මහඉලුප්පල්ලම අම්පාර වැනි ගබඩාවල ඒවා සුරක්ෂිතව තියෙනවා. අම්පාර ගබඩාවේ විතරක් ටොන් 18ක් තියෙනවා.
Q මේවා ලංකාව තුළ විනාශ කළ නොහැක්කේ ඇයි?
එහෙම කරන්න බැහැ. ඒ සඳහා රුපියල් කෝටි ගණනාවක මුදලකින් දහන පද්ධතියක් සකස් කළ යුතුයි. මේවා දහනය කිරීමේදී ජිනීවා බාසල් සම්මුතිය නමැති අදාළ ප්රඥප්තිය අනුව කටයුතු කළ යුතුයි. එතෙන්දි අපේ රටේ එය කළ නොහැකි නිසා ඒවා පිටරටකට යවා දහනය කළ යුතුයි.
ඒත් ඒවා නැවකින් යවන විට ඒ ගමන් මාර්ගයත්, වරාය පවා නිරතුරු වාර්තාකරණයට ලක්වෙමින් ඒ ඒ වරායන් දැනුම්වත් කරමින් දත්ත නිරතුරු පවත්වාගත යුතුයි. ප්‍රවාහනය කිරීම පවා එතරම් බැරෑරුම් කටයුත්තක්. එහෙම යැවුවත් ඒ වැඩේටත් කෝටි ගණනාවක් වියදම් කිරීමට සිදු වෙනවා.
රේගුව හෝ වරාය හරහා එනවා නම් සහ ඒවා බහාලුම් ඇතුළත ගෙන එනවා නම් ඒ ගැන සොයා බැලිය හැකියි නේද?
මෙවැනි රසායනිකයන් පිළිබඳ නිරීක්ෂණය කළ හැකි උපකරණ රේගුවට ලබා දිය යුතුයි. එවිට රටට ගෙන ඒම යම් තරමකින් මර්දනය කළ හැකියි.
දේශපාලකයන්ගේ දැක්ම
එසේනම් ග්ලයිෆොසේට් නිසා වකුගඩු නරක් වෙනවා නම් වකුගඩු ඇති අය දැන් කළ යුත්තේ කුමක්ද? රට පුරා හොර ග්ලයිෆොසේට් ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින නිසා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය අකර්මණ්‍ය යැයි දඬුකඳේ ගැසිය යුතුද? නිලධාරීන් සීතල කාමර තුළට රිංගා කාලය කා දමනවා යැයි නිලධාරීන් දංගෙඩියට ගෙන යා යුතුද? බස් රථවල සෙනඟ නංවා මාළු බනිස් සහ කිරි පැකට්ටුවක් බැගින් සපයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැටලිය යුතුද? මොන බාධකය ආවත් අපි 2020 වනතුරු හොල්ලන්නට බැහැ යයි රනිල්ලාත්, මෛත්‍රීලාත් පවසමින් හෝ මහින්දලාගේ ඒකාබද්ධ විපක්ෂය වෙසක් පෝය දෙකක් ගතවනතුරු ජනතාව අමතක කර කල් මරනවාද ?
නිලධාරියාගේ අසරණභාවය රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම
රටේ පාලකයන්ට හෝ සටකපට දේශපාලකයන්ට හෝ කූට ව්‍යාපාරිකයන්ට මෙන් නීති සීමා මායිම් බිඳදමමින් රාජකාරිය කිරීමට රජයේ නිලධාරීන්ට ඇති නොහැකියාව රජය තේරුම්ගත යුතුය. ඔවුන්ට කළ හැක්කේ පවතින අණපනත් යටතේ සේවය කිරීම නම් ඒ සේවයට පවතින බාධකයන් සොයා යමින් ඒවා නිදොස් කර නිලධාරීන් ශක්තිමත් කළ යුතුය.
පොතේ නීතිය තිබූ පමණින් එය ක්‍රියාත්මක නොවන බව පැහැදිලිය. එය ක්‍රියාත්මක කිරීමට පවතින බාධකද මැනවින් පැහැදිලිය. එසේනම් ඒ වැරදි නිවැරදි කර ගැනීමටද නිලධාරීන්ට යම් සීමාන්තික අවකාශයක් පවතින්නේ නම් ඒ වරදට නිලධාරීන් හෝ දෙපාර්තමේන්තු දඬුකඳේ ගසා අවමානයට, අපහාසයට පත් කරවීම වෙනුවට කළ යුත්තේ වකුගඩු සහ රෝගීන් පිළිබඳ කතා කරන, විලාප නඟන රජයේ නායකයන් පාලකයන් පොළොවේ පය ගසා පියවි ඇසින් සිදුවන දේ දැක එළඹ ගත් සිහියෙන් විසඳුම් සෙවීමය. ජනතාව අසන ප්රශ්නය අපි නැවත අවධාරණය කරමු. රාජසන්තක කළ ග්ලයිෆොසේට් කෝ? මේවා විනාශ කරන්නේ කවුද, කවදා, කොහේදී ද?