වර්තමානයේ මෙරට ජනතාව කතාබහ කිරීමට අකමැති මාතෘකා පෙළගැස්වුවහොත් එහි ඉදිරියෙන්ම තිබෙන්නේ දේශපාලනය යන්නයි. අද එතරම්ම ජනතාවට දේශපාලනය අපුලය. ජනතා ප්‍රශ්න විසඳන්න යැයි කියමින් බලයට පත්වන අපේ දේශපාලකයෝ ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවට ජනතාවට තව තවත් ප්‍රශ්න නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිති. වත්මන් දේශපාලනය පිළිබඳ මෙම විග්‍රහය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගෙනි.
"අද වෙද්දී දේශපාලඥයන් සම්බන්ධයෙන් ඉතා බලවත් ප්‍රශ්න කිරීම් සහ විරෝධතා සමාජයෙන් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා. නමුත් දේශපාලනය සහ දේශපාලඥයන් නොමැතිව සමාජයක් ඉදිරියට ගමන් කරන්නේ නැහැ. දේශපාලඥයන් යන්ත්‍රයක එක් දැති රෝදයක් වගේ. ඒ නිසා ඔවුන්ගේ කාර්යභාරය සමාජයට බොහෝ වැදගත් වෙනවා.
එහෙත් ඔවුන් තමන්ගේ කාර්යභාරය නිසි ආකාරයට ඉටු කරනවාද කියන කාරණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාවගේ පැත්තෙන් විශාල ඉල්ලීමක් අද දකින්නට ලැබෙනවා දේශපාලනය සඳහා ඊට සුදුසු නායකයන් පැමිණිය යුතුයි කියලා. එතනදි සුදුසු නායකයන් කියලා අදහස් කරන්නේ යම් ආකාරයක සමාජ ගරුත්වයක් තිබෙන, උගත් බුද්ධිමත් පිරිසක්. ඔවුන් වැරදි කිරීමට සහ හොරකම්, මැරකම්, වංචා සිදු කිරීමට බියක් වගේම ලැජ්ජාවක් තිබෙන පිරිස් වීම වැදගත්.
නමුත් වර්තමාන දේශපාලන සමාජය නිර්මාණය වෙලා තිබෙන්නේ ඒ ආකාරයෙන් නොවෙයි. ඔවුන්ට මහජන මුදල්වලින් සුරසැප විඳින්න, බදු මුදල් තමන්ගේ සුඛවිහරණයට ගන්න, කොමිස් ඉල්ලන්න ආදී අන්ත දූෂිත, විෂමාචාර ක්‍රියා සිදුකරන්න ලැජ්ජාවක් හෝ බියක් නැහැ. මේ හරහා අද මේ රටේ ගොඩනැගිලා තිබෙන්නේ සමාජ ගරුත්වයකින් තොර දේශපාලන රටාවක්.
පක්ෂ දේශපාලනයේ සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ අදූරදර්ශීභාවයත්, බල තණ්හාවත් එක්ක දැන් දේශපාලනයට එකතු වෙන්නේ දූෂිත පුද්ගලයන්. කොඩි දාන්න පුළුවන් අය, තමන්ගේ දේශපාලන රැස්වීම්වලට සෙනඟ ගෙන්නන්න පුළුවන් අය, පෝස්ටර් ගහන අය, තමන් වෙනුවෙන් විරුද්ධවාදීන් ඝාතනය කරන අය තමයි පක්ෂ විසින් ප්‍රාදේශීය දේශපාලනයට පවා යොමු කරලා තිබෙන්නේ. මේක තමයි වර්තමානය වෙද්දි අපට දකින්න පුළුවන් බලවත්ම සහ පිළිකුල් සහගත ඛේදවාචකය.
ගම් සභා ක්රමයේ ඉඳලා විකාශනය වුණ අපේ මුල්කාලීන දේශපාලන ක්‍රමය තුළ අපට දකින්නට ලැබුණේ නැහැ හරක් හොරු, මත්පැන් ජාවාරම්කරුවන්, දූෂිතයන් ගම් සභාවලට තේරීපත් වෙනවා. ඒවාට පත්වුණේ ගමේ යම් ප්‍රභූත්වයක් දරපු පිරිස් පමණයි. ඒ හරහා එක්සත් ජාතික පක්ෂයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, මහජන එක්සත් පෙරමුණ ආදී ප්‍රධාන පක්ෂවල ප්‍රභූත්වයක් දරපු චරිත ප්‍රාදේශීය දේශපාලනය වෙත අවතීර්ණ වුණා.
ඒ පිරිස් ක්‍රමක්‍රමයෙන් ප්‍රධාන දේශපාලන ධාරාවට එක්වෙලා ඒ ඔස්සේ ජාතික දේශපාලනයේ කවුරුත් දන්නා සහ කවුරුත් ආදරය කරන චරිත බවට පත්වුණා. ඒ චරිත දේශපාලනයේ නිරත වුණේ තමන්ගේ ප්‍රභූත්වය රැකගන්න මිසක මුදල් හම්බ කිරීමට නෙවෙයි. තවමත් අපි ගෞරවනීය දේශපාලන චරිත ගැන කතා කරනකොට මතකයට එන්නේ අතීත නාමයන්. එන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, විජයානන්ද දහනායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, විවියන් ගුණවර්ධන ආදී මෙකී නොකී ප්‍රබල දේශපාලන චරිත රාශියක් තවමත් ජනතාව සිහිපත් කරන්නේ මහත් ගෞරවයකින්.
ඒ පිරිස් සල්ලි හම්බ කළේ නැහැ. තමන් සතු වත්කම් පවා ඔවුන් සමාජය වෙනුවෙන් පරිත්‍යාග කළා. උදාහරණයක් විදියට ගත්තොත් 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්රමුඛ රජයෙන්ම හඳුන්වාදුන්න ඉඩම් ප්‍රතිසංස්කරණ පනත නිසා වැඩිම ඉඩම් ප්‍රමාණයක් අහිමි වුණෙත් ඇයටමයි. අතීතයේ දේශපාලනයේ නිරත වුණු පිරිස් කැමති වුණේ නැහැ තමන්ගේ චරිතයට කැළලක් ඇති කරගන්න. ඒ වගේමයි තවත් විශිෂ්ට දේශපාලන චරිතයක් සහ අතිදක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙක් වුණු ලක්ෂ්මන් කදිරගාමර් වැනි පුද්ගලයන් අදටත් ජනතාව මතක් කරන්නේ ඉතාමත් ආදරයෙන්.
නැවතත් එවැනි චරිත බිහිවෙන්නේ නැහැ. ඔවුන් ජනතාවගේ හදවත්වල හැමදාමත් ජීවත් වෙනවා. නමුත් අද සිටින දේශපාලන චරිත ජනතාවට සමීප වෙලා තියෙන්නේ දූෂණ චෝදනා, මූල්‍ය චෝදනා, සිදු කරන අනුවණ ප්‍රකාශ නිසා. ඔවුන් හුදෙක් අද මාධ්‍යවලට ප්රවෘත්ති මවන්නන් පමණයි. මේ අසංවර දේශපාලනයේ ආරම්භය ලෙස අපි දකින්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා හඳුන්වාදුන්න විවෘත ආර්ථික පන්තියේ දේශපාලන ආකෘතිය. එය දේශපාලන දූෂිතභාවය ඇති කරන්න ඝෘජු බලපෑමක් සිදු කළා. ඒ සමග පසුකාලීනව දේශපාලනයට පිවිසුණේ සමාජයට යහපතක් කරන්න නෙවෙයි, හුදෙක් මිලමුදල් හම්බ කරගැනීමේ ඒකායන පරමාර්ථයකින් පමණයි. අද අපට හැමතැනකම දකින්න ලැබෙන්නේ එහි ප්රතිඵලයන්. මේ විෂමාචාර දේශපාලන ධාරාවෙන් බේරී සිටින කෙනෙක් ඉන්නවාද කියන එක ඉතාමත් සැකසහිතයි.
දේශපාලනය කෙරෙහි ජනතා විශ්වාසය බිඳීයාම ආරම්භ වුණේ 70 දශකයේ අගභාගයේ සමගි පෙරමුණ ආණ්ඩුවත් සමග. හදිසි නීතිය යටතේ රට පාලනය කිරීම ආදී තවත් බෙහෝ හේතු නිසා එම පාලනය ජනතා අප්‍රසාදයට පත්වෙන්න පටන් ගත්තා. ඒ තත්ත්වය තව තවත් උග්‍ර වුණා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය පත්වීමත් එක්ක. 1977න් පස්සේ සිය හෘදසාක්ෂියට එකඟ නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් බිහි වෙන්න පටන් ගත්තා. වරප්රසාදිත මන්ත්‍රී සංස්කෘතියක් අපේ දේශපාලනයට පැමිණීමත් එක්කයි දේශපාලඥයා ජනතාවගෙන් දුරස්වීම ආරම්භ වුණේ.
අද ලංකාවේ කිසිම තැනක ක්‍රියාත්මක වෙන්නේ නැහැ දිගුකාලීන ප්‍රතිපත්තියක් සහිත වැඩසටහනක්. මේ සියල්ල ඉදිරි ඡන්ද ඉලක්ක කරගත් කෙටිකාලීන ජනප්‍රිය වැඩසටහන් පමණයි. රටේ අනාගතය වෙනුවෙන් දැක්මක් වත්මන් දේශපාලකයන්ට නැහැ. අද තිබෙන්නේ ඡන්දය වෙනුවෙන් ඝෘජුවම ජනතාවට අල්ලස් ලබාදෙන රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රමයක්.
මේ තත්ත්ව යටතේ තමන්ව එළිපිටම තළා පෙළා දමන දේශපාලඥයන් නැවතත් බලයට පත්කරන ජනතාවට තවදුරටත් අපට බුද්ධිමත් කියලා කියන්න බැහැ. අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉතාමත් පහළ මට්ටමකයි තිබෙන්නේ. සැබෑ දේශපාලඥයෙකුට පුළුල් සමාජ කියවීමක් තිබිය යුතුයි වගේම ඔවුන් ජනතා හිතවාදී ප්‍රතිපත්ති සම්පාදකයන් වෙන්න ඕන. ඒත් මේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුව දේශපාලඥයන් කිසිදු විචක්ෂණශීලී ආකාරයකින් අමතන්නේ නැහැ. හුදෙක් විහිළුකාරයෝ ටිකක් එකිනෙකාට මඩගහගන්නා ආකාරය තමයි අපට දකින්න ලැබෙන්නේ. මේ නිසා අද ලංකාවට අවශ්‍ය වෙලා තිබෙනවා මේ විෂමාචාර දේශපාලනය පිටුදකින්න පුළුවන් විශාල ශක්තිමත් බලවේගයක්.
නමුත් ඒ බලවේගයට පරණ විෂම දේශපාලනයේ නෂ්ඨාවශේෂ ඇතුළත් නොවිය යුතුයි. එසේ නොවුණහොත් පවතින තත්ත්වයත් එක්ක ජනතාව නව දේශපාලන සංස්කෘතියක් කෙරෙහි තබා තිබෙන විශ්වාසය සහ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම නැතිවෙලා යයි. සමාජයේ විවිධ පාර්ශ්වයන් මේ බලවේගයට ඇතුළත් විය යුතුයි. ප්‍රධානතම දේ තමයි සැබෑ දේශපාලනයකට අවශ්‍ය විය යුතුයි උගත්කම වගේම සමාජීය බුද්ධිමත්භාවය. මේකද අපි ඕනෑ තරම් දකිනවා උගත් යැයි කියාගන්න අයත් පාර්ලිමේන්තුවේ වඳුරු නැටුම් දක්වන ආකාරය."