රජයේ මුදල් අවභාවිත වීම වැළැක්වීමට තොරතුරු තාක්ෂණ පද්ධතියක්
රාජ්‍ය ආයතනවලට ලබාදෙන මුදල් නිසි ලෙස වියදම් නොකරන බවට හා සමහර ආයතනවලට ලබාදෙන මුදල්වලින් විශාල මුදලක් වංචාකාරී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු අතට පත්වන බවත් පසුගිය කාලය පුරාම අසන්නට ලැබුණි. මේ නිසා ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන බොහෝ රාජ්‍ය ආයතන තුළින් ජනතා සේවාවන් සිදුනොවන බවටද විපක්ෂය චෝදනා කරයි.
අඩුම තරමින් රජයේ ආයතන තුළ සිදුවන වංචා, දූෂණ ක්‍රියා නවතා දැමීමට හෝ මෑත කාලයේ පත්වූ පාලකයන්ට වැඩපිළිවෙළක් නොතිබූ බවට රට තුළ අසන්නට ලැබුණ කතා අතර විය. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් වර්තමාන ආණ්ඩුව රජයේ ගිණුම් පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය ගිණුම්කාරක සභාවක් පත්කළේය.වර්තමාන ආණ්ඩුව යටතේ පත්කළ රජයේ ගිණුම් කාරක සභාවේ පළමු වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට බාර දී තිබේ. ඒ පිළිබඳව සහ ගිණුම් කාරක සභාවේ ඉදිරි කටයුතු පිළිබඳ 'අද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග කතාබහක නිරත විය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විෂය පථය
ආයතන හා අනු ආයතන වශයෙන් කොටස් දෙකක් යටතේ ගැනෙන රාජ්‍ය ආයතන මෙම විෂය පථයට අයත් වෙනවා. එනම්, විශේෂිත ඒකක 19 ක්, අමාත්‍යාංශ 51 ක්, දෙපාර්තමේන්තු 89 ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක්, පළාත් පාලන ආයතන 335 ක් මේ යටතේ සලකා බලනවා. අනු ආයතන යටතේ පළාත් සභා 09 ක්, ප්‍රා‘දේශීය ලේකම් කාර්යාල 314 ක් සමග සමස්ත ආයතන ප්‍රමාණය 842 ක්. අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව සැප්තැම්බර් 22 වැනි දින ඉදිරිපත් කළා. 2016.01.01 සිට 2016.04.07 දක්වා සලකා බැලූ රාජ්‍ය ආයතන 38 ක් පිළිබඳ විමර්ශන 41 ක් මෙම වාර්තාවට ඇතුළත් වෙනවා.
Q රජයේ ගිණුම් කාරක සභාවේ සංයුතිය?
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 ප්‍රකාරව තේරීම් කාරක සභාවක් විසින් නම්කරනු ලැබූ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය සඳහා වන රජයේ ගිණුම්කාරක සභාව 2015 ඔක්තෝබර් 23 වැනිදා කථානායකතුමා පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කළා. පසුව අවස්ථා තුනකදී තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ තීරණවලට අනුව වර්තමාන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ගණන 26 ක් දක්වා පුළුල් වී තිබෙනවා. රජයේ ගිණුම් කාරක සභාව ගත්තොත් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජනය වන ආකාරයට සැකසිලයි තියෙන්නේ. මේ නිසා පවරා ඇති මූල්‍ය වගකීම් එක්සත්ව ඉටුකිරීමට කාරක සභාවට හැකි වෙලා තියෙනවා.
Q ගිණුම් කාරක සභාවේ අවධානය?
රාජ්‍ය ආයතනවල කාර්යසාධන පැත්ත, විගණන විමසුම්වලට පිළිතුරු ලබාදීම, ඒ කියන්නේ විමසුම්වලට පිළිතුරු සැපයීමේදී ගැටුම් ඇතිකර නොගැනීම ආදිය ගැන අපි අවධානය යොමු කරනවා. පොදුවේ කියනවා නම් අපි තීන්දු තීරණ ගන්නේ විගණකාධිපති වාර්තා සැලකිල්ලට ගනිමින්. මේ ආකාරයට රාජ්‍ය ආයතන 38 ක අදාළ කටයුතු සිදුකරලා තියෙන්නේ. මේ වසර අවසන් වනවිට ආයතන 38 ක ප්‍රමාණය 75 දක්වා ඉහළ දමන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වසර තුළදී රජයේ ගිණුම් කාරක සභාවට ආයතන 75 ක් පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙනවා.
Q ඉතිරි ආයතන පරීක්ෂාව කඩිනම් කිරීම?
ලබන වසරේ අපි මේ සඳහා අලුත් ක්‍රමවේදයක් හඳුන්වාදෙන්න සැලසුම් සකස් කරමින් තියෙන්නේ. ඒ කියන්නේ නියමු ව්‍යාපෘතියක්. මේ යටතේ දැනට තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කරලයි තියෙන්නේ. ඒ අනුව මෙම ආයතන 842 විස්තර තොරතුරු තාක්ෂණ පද්ධතියට ඇතුළත් කළයුතු වෙනවා. තොරතුරු ඇතුළත් කළාට පස්සෙ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුළත් කරලා තියෙන තොරතුරු නිවැරදිද කියලා සොයා බලනවා. ඊට පස්සෙ එම ආයතන 842 සමග අපි සම්බන්ධ වෙනවා. ලබන වසරේ සිට දිගටම මෙම ක්‍රම‘වේදය ක්‍රියාත්මක වෙනවා. එතකොට ගිණුම්කාරක සභාවේ වැඩ කටයුතු පහසු වෙනවා.
Q පළමු වාර්තාවේ සඳහන් ආයතන 38 හි දුර්වලතා?
විශේෂයෙන් කියනවා නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන දෙක තුනක සාමාන්‍ය ආයතනවල දැකගන්න නොලැබෙන ආකාරයේ දේවල් දැකගන්න ලැබුණා. මෙම ආයතන පරීක්ෂා කිරීමේදී දුටු පළමු අඩුව තමයි පසුගිය අවුරුදු 20 තුළම තොරතුරු තාක්ෂණ පද්ධතිය සඳහා විශාල ලෙස මුදල් වියදම් කිරීම. මේවා 99%ක්ම ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි හරියට මෘදුකාංග වැඩ කරන්නේ නැහැ. තොරතුරු තාක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් අක්‍රමිකතා සිදුවෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා තොරතුරු තාක්ෂණ පද්ධතිය කඩාකප්පල් කරලා තියෙන ආයතන හිතාමතාම මේවා කළාද කියලා. මේ නිසා තමයි අපි මුලින්ම තොරතුරු තාක්ෂණ පද්ධතියට ප්‍රමුඛත්වය දුන්නේ.
Q අඩුපාඩු ඇති ආයතනවලට ඉදිරිපත් කරන නිර්දේශ?
අපි වෙන වෙනම තාක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් උපදෙස් දෙනවා. ඒ වගේම පොදුවේ තොරතුරු තාක්ෂණ පද්ධතියක් තියෙන්න ඕන කියලත් අපි හිතනවා. අපේ රටේ රාජ්‍ය ආදායමට ප්‍රධාන ලෙස දායකත්වය ලබාදෙන ආයතන 17 ක් තියෙනවා. ඒ ඒ ආයතනවලට සරිලන තොරතුරු තාක්ෂණ පද්ධතියක් හඳුන්වා දෙනවා.
Q පොදු තොරතුරු තාක්ෂණ පද්ධතිය පිළිබඳ යෝජනාව?
උදාහරණයක් ගත්තොත් ජාතික හැඳුනුම්පත් සකස් විය යුත්තේ සියලුම තොරතුරු සොයාගත හැකි ආකාරයට. මම තව උදාහරණයක් කියන්නම්. රටින් වාහන ගෙන්වීමේදී රේගුවේ ඒ පිළිබඳ ලියාපදිංචි වෙනවා. හැබැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රේගුව අතරේ සෘජු සම්බන්ධයක් නැහැ. එතකොට රේගුවෙන් එළියට එන වාහනයමද ලියාපදිංචි වෙන්නේ කියලා හොයන්න තාක්ෂණයක් නැහැ. නමුත් තාක්ෂණයට අනුව මෙය සුළු දෙයක්. හැබැයි එයවත් නැහැ. මේ සඳහා අපි නිර්දේශ ලබාදීලා තියෙනවා. පාර්ලිමේන්තුව ඒ පිළිබඳ පසු විපරම් කරනවා.
Q විගණන විමසුම්වලට පිළිතුරු ලබානොදීම?
මේ වනවිට එම තත්ත්වය ගොඩක් අඩුයි. මොකද රජයේ ගිණුම්කාරක සභාව ශක්තිමත් වෙන්න, වෙන්න ඒ තත්ත්වය අඩුවෙමින් තියෙනවා. අපි පසුගිය සතියේ සබරගමුව පළාත් සභාවේ විගණන විමසුම් කැඳවනු ලැබුවා. ඒවා කැඳවන්න මාස එකහමාරකට පෙර විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වුණේ විගණන විමසුම් 50කට පමණ පිළිතුරු නැහැ කියලා. ඒත් රජයේ ගිණුම්කාරක සභාවේ කැඳවීමේ ලිපිය ගිහිල්ලා කැඳවීම් කළ දිනය වනවිට විගණන විමසුම් තුන හතරක් හැරෙන්න අනිත් ඒවාට පිළිතුරු දීලා. රාජ්‍ය ආයතනවල පසුගිය කාලයේ මෙවැනි තත්ත්වයක් තිබුණා වෙන්න පුළුවන්.
Q රජයේ ආයතනවල අභ්‍යන්තර පරීක්ෂණ සිදු නොවීම?
අභ්‍යන්තර විමසුම් කිරීමට විගණන නිලධාරීන් ඉන්නවා. ඒ වගේම දෙපාර්තමේන්තුවක් නම් අමාත්‍යාංශ විගණනයක් තියෙනවා. අපේ රටේ ක්‍රම සියල්ලක්ම තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙම ක්‍රම‘වේදයන් නිසි ලෙස සිදු නොවීම. උදාහරණයකට දෙපාර්තමේන්තුවක් ගත්තොත් එහි අභ්‍යන්තර විගණන කටයුතු කරන්න අමාත්‍යාංශයේ විගණන කණ්ඩායමක් ඉන්නවා. සමහර ආයතනවල විගණන කමිටු තියෙනවා. ඒත් සමහර ආයතනවල විගණන කමිටු පත් කරලා නැහැ. ඒ වගේම අඩුම තරමින් වසරකට හතර වතාවක්වත් විගණන කමිටු තියෙන්න ඕන. ඒත් සමහර ආයතනවල එකයි දෙකයි කරල තියෙන්නේ.
Q මුදල් අමාත්‍යාංශයේ පසු විපරම්?
ඒ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. මුදල් අමාත්‍යාංශය මුදල් දීලා එහි ප්‍රගතිය පිළිබඳව, ඒ කියන්නේ යම් මුදලක් අවුරුද්ද මුල දීලා අවුරුද්ද අවසානයේ බලනවා මුදල් වියදම් කරලා තියෙනවද කියලා. නමුත් මුදල් අමාත්‍යාංශය ලබාදෙන මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ මීට වඩා අවධානයක් යොමු කළයුතු වෙනවා. පොදුවේ කියනවා නම්, මුදල් අමාත්‍යාංශය ලබාදුන් මුදල් වියදම් කරපු ක්‍රම‘වේදය පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව සොයා බැලීමක් කරනවා.
Q ගිණුම්කාරක සභාවට ලබා දී තිබෙන බලතල ප්‍රමාණවත්ද?
අපි දකින්නේ බලතල මදි කිය කියා ඉන්නවාට වඩා තියෙන බලතලවලින් උපරිම දෙයක් කරන්න ඕන කියලා. ඒක තමයි අපි අද කරන්නේ. ඒ වගේම ස්ථාවර නියෝග හරහා බලතල වැඩි කරගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. පොදුවේ කියනවා නම් තියෙන බලතලවලින් අපි උපරිමය කරනවා.
Q සමහර කොන්ත්‍රාත්කරුවන් ව්‍යාපෘති අතරමග නවතා දැමීමේ ගැටලු?
යම් ව්‍යාපෘති සිදු කිරීමේදී රැඳවුම් මුදලක් තියාගන්නවා. හරියට වැඩේ නොකළොත් කොන්ත්රාත්කරුවාටත් පාඩුවක් සිදු වෙනවා. පොදුවේ සිදුවිය යුත්තේ ව්‍යාපෘති අතරමග දාලා යන්නැති කොන්ත්‍රාත්කරුවන් සොයාගැනීම. ඒ වගේම අතරමග දාලා ගියොත් කළයුතු ක්‍රම‘වේද තියෙනවා. ඒත් මේවා ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටලු තියෙනවා. මේ නිසා ඒවා ක්‍රියාත්මක මට්ටමට ගෙනඒමට අපි උත්සාහ ගනිමින් සිටිනවා.
Q කාර්යසාධනය අඩුවීමට සේවක පුරප්පාඩුවල බලපෑම?
සේවක පුරප්පාඩු පැති කිහිපයක් නිසා සිදුවෙනවා. ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ගත්තොත් භාෂා පරිවර්තකයන් අඩුයි. කාර්මික නිලධාරීන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගණකාධිකාරීන් ගත්තත් විශාල හිඟයක් තියෙනවා. මෙතනදි එන ප්‍රශ්නයක් තමයි මෙම වෘත්තීන්ට ලැබෙන වැටුප් ප්‍රමාණවත් නොවීම. රට තුළ භාෂා පරිවර්තකයන් ඉන්නවා. ඔවුන් බාහිර වැඩ කරලා විශාල ආදායමක් උපයාගන්නවා. මේ නිසා මෙවැනි වෘත්තීන්වලට තියෙන නීතිමය තත්ත්වයන් වෙනස් විය යුතුයි.
Q අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිත කිරීම?
මෙවැනි දේවල් නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙම මුදල් ආයෝජනය පිළිබඳ දැනට වඩා වෘත්තීයමය පලපුරුද්දක් සහිත නිලධාරීන් හරහා මෙම කටයුතු කරන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ. අර්ථසාධක අරමුදල කියන්නේ දැවැන්ත මුදලක්. එම මුදල් ආයෝජනය කරලා ලාභය වැඩි වැඩියෙන් ලබාගත්තොත් එහි වාසිය ලැබෙන්නේ සේවකයන්ට. ඒ කියන්නේ අර්ථසාධකයේ කොටස්කාරයන්ට.
Q අපනයන ආදායම ඉහළ දැමීම සඳහා රාජ්‍ය ආයතනවල දායකත්වය?
මේ පිළිබඳ කියන්න තරම් කරුණු අනාවරණය වුණේ නැහැ. නමුත් පෞද්ගලිකවම මම දකින්නේ අපනයන ආදායම ඉහළ දැමීමට හැකි සියලුම ආයතන අගය එකතු කිරීම පිළිබඳ තියෙන්නේ සතුටුවිය නොහැකි තත්ත්වයක්. මොකද අපේ රටේ අමුද්‍රව්‍ය පිටරටවලට ගෙනිහිල්ලා ඒ රටවල් අපේ රටේ ආදායමට වඩා විශාල ආදායමක් ගන්නවා. තේ කර්මාන්තය ගත්තොත් යම් තරමකට ඒ දේවල් සිදු වෙනවා. මෙතනදි අමුද්‍රව්‍යවලට අගය එකතු කිරීම සඳහා ලබාදෙන මුදල් පිළිබඳවත් සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ වගේම අපනයන ආදායම ඉහළ දැමීමට අගය එකතු කිරීමට නම් අගය එකතු කිරීමට පර්යේෂණ සිදුවිය යුතුයි.
Q රාජ්‍ය අංශ විකුණා දැමීම හා පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ වීම ?
ඒක රජයේ ප්‍රතිපත්තියක්. ඒත් අපේ රටේ රාජ්‍ය අංශය අවතක්සේරු නොකළ යුතුයි. මොකද නිසි කළමනාකාරීත්වයක් ලබානොදීම තමයි රාජ්‍ය ආයතන පාඩු ලැබීමට හේතුව. මේ නිසා මේ පිළිබඳ රජය ප්‍රතිපත්තියක් ගතයුතුයි. අපේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත්. කාලීනව පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කිරීම ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් පක්ෂයක් ලෙසත්, මගේ පෞද්ගලික මතය නම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකළ යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

