ආදිවාසීන් හෙවත් වැද්දන් කී සැනින් අප සිහියට නැගෙන්නේ පොරවක් සහ දුන්නක් කරේ එල්ලාගෙන කැලෑ රොදවල් පීරමින් දඩයම් සොයා යන පිරිසකි. සැබෑවටම එදා වේල සොයාගෙන සිය අඹුදරුවන් සමග සප්පායම් වී නින්දට යන මොවුහු රටතොට පිළිබඳව හෝ බාහිර ලෝකයා තුළ සිදුවන සිදුවීම් පිළිබඳ තැකීමක් කරන්නේ නම් ඒ බොහෝ කලාතුරකිනි. ඒ නිසාම දේශපාලනය, ආර්ථිකය, අධ්‍යාපනය, ක්‍රීඩා, විදේශීය ප්‍රතිපත්ති, මැතිවරණ ආදී වූ සිදාදියේ ඇත්තන්ට බොහෝ සංවේදී වූ කාරණා සම්බන්ධයෙන් ආදිවාසීහු තුළ ඇත්තේ අල්ප දැනුමකි. ඇල්මැරුණු සංවේදීතාවකි.එසේවුවද මහියංගණ දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ රට තුළ පමණක් නොව ලෝකය තුළ සිදුවන බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් සංවේදී පුද්ගලයෙකි. බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් මනා දැනුමක් ඇත්තෙකි. පතපොතින් ලද අධ්‍යාපනයක් නොවූවත් වසර ගණනාවක් තිස්සේ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයන් සමග ඇතිකරගත් ඇසුරත් දෙස් විදෙස් සංචාරත් නිසා මනා දැනුම් සම්භාරයක් හිස දරාගත් පුද්ගලයෙකි. පසුගිය දිනෙක දඹාන ආදිවාසී ගම්මානයට ගිය අපි ආදිවාසී නායක වන්නියලෑ ඇත්තෝ සමග රටට ලෝකයට සංවේදී විවිධ කාරණා සම්බන්ධයෙන් මෙන්ම වැදි ජනතාවගේ අද දවස ගැනද කතා කළෙමු. (ඔබගේ පහසුව තකා ආදිවාසී භාෂාවෙන් ඔහු දුන් පිළිතුරුවල සිංහල අනුවාදය පමණක් මෙහි සටහන් කරමු.)
Q අද දවස කොහොමද ගෙවෙන්නේ?
අද මට හුඟක් කාර්ය බහුලයි. පාන්දර තුන හතර වෙනකොට නැගිටිනවා. වත්තේ වගා කරනවා. ඊට පස්සේ උදේ ඉඳල දහ පහළොස්දාහක් මෙතන්ට එන අයට කතා කරනවා. ජායාරූපවලට පෙනී ඉන්නවා. ඉස්කෝලවල දරුවො ආවොත් ඒ අයට රැහේ සිරිත්විරිත් සංස්කෘතිය කියා දෙනවා. නිදා ගන්නකොට රෑ එකොළහ දොළහ වෙනවා. ඒ වගේම පන්සල් යනවා. උත්සවවලට ආරාධනා ලැබුණම ඒවටත් යනවා.
Q රටේ දේශපාලනය ගැන මොකද හිතන්නේ?
මම මේ ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ. මම හිතන්නේ මගේ ගෝත්‍රයේ පිරිස ගැනයි. මොකද මට මේ මිනිස්සු වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒ අය කරන දෙයක් කරපුවාවේ කියල තමා මම හිතාගෙන ඉන්නේ.
Q ආදිවාසීන් කියන්නෙත් මේ රටේ උරුමයක් තියෙන පිරිසක්. ඒ වගේම ඔබතුමත් මේ රටේ පිරිසකට නායකයෙක්නේ?
මම ඉන්නෙ කැලේ. මේ රටේ මිනිස්සු කණ්ඩායම් හදාගෙන එක එක පොරොන්දු දීගෙන මැතිවරණවලට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ පිරිසක් පාර්ලිමේන්තුවට යනවා. ඒ අයට කතිර ගහපු අය බලාගෙන ඉන්නවා එයාල දුන්න පොරොන්දු ඉෂ්ට කරයිද කියලා. ඉතින් ඒ පොරොන්දු හරියාකාරව ඉෂ්ට නොවෙනකොට මිනිස්සු කලබල කරනවා. උද්ඝෝෂණ කරනවා. ඒ නිසා පාර්ලිමේන්තු යන අය මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් අරන් කටයුතු කරන්න ඕන. එහෙම වුනොත් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. රටේ ප්‍රශ්න නැතිනම් මේ විදිහට මිනිස්සු පාරට බහින්නෙ නැහැනේ. මේ ටික දේශපාලකයෝ තේරුම් ගන්න ඕන.
Q මේ රටේ ඉදිරියට උපදින්න ඉන්න අයත් එක්ක ලෝකෙට ණය වෙලා කියල රජය කියනව? සංවර්ධනය ඇණහිටල කියල විපක්ෂය කියනවා. පාර්ලිමේන්තුවේ හැමදාම ගැටුම්. මේ විදිහට ගියාම රට දිනෙන් දිනම පිරිහෙනව කියල සාමාන්‍ය ජනතාව කියනව. ඔබ මේ රටේ
නායකය වුනා නම් මේවා කොහොමද විසඳන්නේ?
මම ඒ වගේ තනතුරකට යන්න හීනෙන් වත් හිතන්නේ නැහැ. මෙහෙම දෙයක් තියෙනවා. හුඟක් ඈත අතීතයේ මේ රට පාලනය කළේ රජවරු. බම්බා, බිම්බා, පුලතිසි, තරු බලි, රාවණා කියල කණ්ඩායම් කීපයක් හිටියා. ඊට පස්සේ විජය රජ්ජුරුවෝ ලංකාවට ඇවිත් රජ වුණා. ඒ තව කණ්ඩායමක්. හැබැයි ඒ කාලවලදී කාලෙන් කාලෙට රජවරු මාරු වුණා. රටේ පාලනයත් හරියට සිද්ධ වුණා. අද එහෙම නෙමෙයි, කට්ටියක් යනවා. පරණ කට්ටිය ආයෙ එනවා. ටික කාලෙකින් ගිය අය ආයෙත් එනවා.
රජවරුන්ගේ කාලේ උද්ඝෝෂණ තිබුණෙ නැහැ. පෙළපාළි ගියෙත් නැහැ. ලාම්පු කළගෙඩි ගෙනාවෙත් නැහැ. හැබැයි ඒ හැම රජකෙනෙක්ම මේ රට, ජාතිය, සංස්කෘතිය පරිසරය මේ හැමදෙයක් ගැනම හිතල වැඩ කළා. ඒ වගේම එදා තිබුණු සමාජයට හරියන විදිහට සංවර්ධන වැඩත් කළා. හැබැයි සංවර්ධනය කියල රටට දරාගන්න බැරි, රටේ මිනිස්සු ලෝකෙට ණය වෙන දේවල් කරන්න ගියේ නැහැ. ලෝකෙ අනිත් රටවල් එක්ක බැලුවාම අපේ රට දියුණු නැහැ. ඒ නිසා මේ රටේ පාලකයො හිතන්න ඕන මේ රටේ මිනිස්සුන්ට, පරම්පරාවට ගැළපෙන දේවල් විතරක් කරන්න. අද හුඟක් දේවල්වලට මුල් වෙලා තියෙන්නේ මේ පුංචි රටට ඉහිලුම් නොවෙන දේවල් කරන්නට යාම කියල තමා මම හිතන්නේ. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න කොච්චර සල්ලි තිබුණත් මදි. සල්ලි හොයන්න මිනිස්සු යන්ත්‍ර වගේ වැඩ කරනවා. අන්තිමට රට, ජාතිය, ආගම, සංස්කෘතිය විතරක් නෙමෙයි අම්ම තාත්තත් අමතක වෙන තැනට ඇවිත්.
Q ආණ්ඩුවේ අය වගේම විපක්ෂයේ අයත් හොරකම් කරනවා කියල එකිනෙකාට කියා ගන්නවා?
මේක මේ රටේ අතීතයේ ඉඳලම තිබුණු සම්ප්රදායක්. මැතිවරණ කාලෙදි වගේම මැතිවරණයක් ඉවර වුනාට පස්සෙත් එකිනෙකාට හොරු කියල චෝදනා කරගන්නවා. හැබැයි අල්ලපු හොරෙක් නැහැ. මේව මේ රටේ මිනිස්සුන්ට දැන් අහල එපා වෙලා.
මේ රටේ හොරකම නැති වෙන්න නම් මේ ඉන්න හැමෝම මෙතනින් අයින් වෙන්න ඕන. ඊට පස්සේ අර පොළොවෙන් උඩට බිම්මල් මතුවෙනවා වගේ අලුතින්ම නායකයො කණ්ඩායමක් බිහිවෙන්න ඕන. එහෙම වුණ දවසක මේ රටේ චාරිත්රවාරිත්ර, සිරිත්විරිත් කියන හැමදේම රැකගෙන ඒ අය දියුණුව කරා මේ රට අරගෙන යාවි.
අපේ අතේ එක ඇඟිල්ලක් ඉස්සරහට දික්කරනකොට අනිත් ඇඟිලි හතර තමන්ගෙ පැත්තට දික්වෙනවා කියන එක මේ හැමෝම දැනගන්න ඕන. ඒ කාලෙ සිරිමාවෝ මැතිනියට වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාටත් හොරා කිව්වා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයට, චන්ද්‍රිකා නෝනට හොරු කීවා. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයටත් හොරා කීවා.
හැබැයි මේ හැමෝටම හොරු කියල කීවේ පැරදෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි. ඒත් අද අලුත් ආණ්ඩුව පත්වෙලා වසර තුනක් යන්නත් ඉස්සර පාලනයේ ඉන්න අයට හොරු කියන්න පටන් අරන්. හැමදාම ණයයි ණයයි කියනවා. මේක කවද්ද නවත්තන්නේ කියල තමා මට අහන්න තියෙන්නේ.
Q ආදිවාසීන්ටත් විශාල වශයෙන් ගැටලු තියෙනවා කියල ඔබ නිතරම කියනවා. මොනවද ඒ ?
අපේ ගැටලු අද ඊයේ ඇති වුණ දේවල් නෙමෙයි. කාලෙක ඉඳලම අපේ මිනිස්සුන්ට ගැටලු තියෙනවා. ලොකුම ගැටලුව තමා ජීවත් වීමේ ගැටලුව. අද වෙනකොට මේ දඹානේ පවුල් 375ක් ජීවත් වෙනවා. මිනිස්සු විදිහට දෙතුන්දාහක් ජීවත් වෙනවා.
ඉස්සර මේ අය ජීවත් වුණේ කැලේ ඉන්න ඌරො, මුවෝ, ගෝන්නු වගේ නිදහසේ. හිතෙන විදිහට කැලේට යනවා. ගල් ගේකට යනවා. මීයක් කඩා ගන්නවා. හිතුණොත් කැලේම නිදා ගන්නවා. එහේ බැරිනම් තව තැනකට යනවා. හරිම නිදහස් ජීවිතයක්.
හැබැයි මේ රට ආණ්ඩු පාලනයට ආවට පස්සේ ඒ නිදහස ටික ටික නැති වුණා. 1983 න් පස්සේ සම්පූර්ණයෙන්ම නැති වුණා. එතකොට නායකයා මගේ අප්පිල ඇත්තො. උන්දැ ඒ කාලේ හිටිය ආණ්ඩුවල නායකයන්ට ඒ ගැන කීවා. එතකොට උන්දැට හම්බ වුන උත්තරේ තමා කැලෙන් එළියට ඇවිත් හේනක් කොටාගෙන ජීවත් වෙන්න කියන එක. හැබැයි අප්පිල ඇත්තො එදා ඉල්ලුවේ කැලේ විනාශ කරන්න නෙමෙයි. කැලේ රැකගෙන ජීවත් වෙන්න දෙන්න කියලයි. ආණ්ඩුව දුන්න උත්තරේ නිසා ආදිවාසී මිනිස්සු විතරක් නෙමෙයි පිට අයත් ඇවිත් හේන් කපල කැලේ සම්පූර්ණයෙන්ම විනාශ කළා.
අන්තිමට 83දී මේ කැලේ මාදුරු ඔය රක්ෂිතය බවට පත් කළා. ඒත් මේ වෙනකොට මේ වනාන්තරේ තිබුණ දේවලුත් විනාශ වෙලා. දැන් ඒකෙ ගස් කපනවා. සත්තු මරනවා. වැලි ටික අරන් යනවා. නිධන් හාරනවා. හැබැයි කවුරු මොනවා කළත් ඒ හැම චෝදනාවම එල්ල කරන්නේ අපේ ඇත්තන්ට. මේ කතාවලින් වැඩක් නැති තැන 1985දී අප්පිල ඇත්තන්ට අවස්ථාව ලැබුණා ජිනීවා සමුළුවට යන්න. උන්දැ අසනීප නිසා මම යන්න සූදානම් වෙද්දි මට ඒක තහනම් කළා. හැබැයි 1996දී මම ජිනීවා ගියා. රටවල් 136ක් එක්ක කතා කළා. ඒත් ඉතින් ප්‍රතිඵලයක් නම් නැහැ.
අද වෙනකොට හිස රුදාවට කොට්ටය මාරු කරනවා වගේ මොනාහරි ඉල්ලුවොත් මොකක් හරි තාවකාලික විසඳුමක් දීල ආණ්ඩුව ඇඟ බේර ගන්නවා. ඒ එකක්වත් නීත්‍යනුකූල නැහැ.
දැන් එළියේ මහ සමාජයේ අය වගේම ආණ්ඩුව අපේ අයට දෝෂාරෝපණය කරනවා, අපේ වරිගේ විනාශ වෙලා. නටනවා, කවි කියනවා, වෙළෙඳාම් කරනවා කියල. හැබැයි ඒ එක්කෙනෙක්වත් අපේ අය ඒ තත්ත්වයට පත් වුණේ ඇයි කියල කතා කරන්නේ නැහැ. අර මාලුවා වතුරෙන් උඩට අරන් අහනවලු ජීවත් වෙන්න පුළුවන්ද කියල. ඒ වගේ තමා අපේ අයට තිබුණ දේවල් නැති කරල දැන් අපේ අය අමාරුවෙන් ජීවත් වෙන්න හදනකොට ඒ ගැන විවේචනය කරනවා. මේ විදිහට ගියොත් තව ටික කාලෙකදි මේ පරම්පරාවට මොනව වේවිද කියල මට කියන්න බැහැ.
Q ආදිවාසී ජනතාවගේ ඉල්ලීම් ගැන අලුත් ජනාධිපතිතුමා සමග කතා කළාද?
තාම කතා කළේ නැහැ. මම හතර වතාවක් විතර උත්සවවලදි එතුමා දැක්කා. වචන දෙක තුනක් කතා කළා විතරයි. හරියට කතා කරන්න වෙලාවක් තිබුණෙ නැහැ.
Q හොඳයි ඔබට මේ ආණ්ඩුව කියනවා ආදිවාසීන් වෙනුවෙන් ඕනෑ දෙයක් ඉල්ලන්න කියලා. මොනවද ඉල්ලන්නේ?
ඕනම පරම්පරාවක් හරි ජාතියක් හරි මේ පොළොවේ රැඳෙන්න නම් මුලින්ම ඒ මිනිස්සුන්ට කන්න තියෙන්න ඕන. කන්න හිඟ වෙලා ජාතියක්වත් , සංස්කෘතියක්වත් රැකෙන්නේ නැහැ. මිනිස්සු හොරකම් කරන්නෙත්, මංකොල්ල කන්නෙත්, බොරු කියන්නෙත්, ගහ බැණ ගන්නෙත්, බෙලි කපන්නෙත් මේ බඩ රැකගන්න ඕන නිසයි.
ඒ නිසා මුලින්ම හිතන්න ඕන මිනිස්සු ජීවත් කරවන්නේ කොහොමද කියලයි. ඒක නොකර මොන දේවල් කළත් වැඩක් නැහැ.
මට තියෙන සැලකිල්ලට අනුව මම මාලිගාවක් ඉල්ලුවොත් ඒක හදල දෙයි. හැබැයි මම ඒ මාලිගාවට වෙලා සැප වින්දට වැඩක් නැහැ. මම අනිත් අය ගැන හිතන්න ඕන. ඒ නිසා මේ රැහේ පවතින්න නම් පළමුවෙන්ම මේ මිනිස්සු ජීවත් වුණු, මේ මිනිස්සුන්ගේ සංස්කෘතිය රැකුණු කැලේ අයිතිය ආයෙත් මේ අයට ලැබෙන්න ඕන. ඒත් අද අපිට අද කැලේට යන්න අවසර නැහැ. කැලේ තහනම් කරපු එක හරියට අපේ වරිගෙ තහනම් කළා වගේ වැඩක්.
අපේ පරම්පරාව රකින්න කියල පහුගිය කාලේ බලයට ආව හැම ආණ්ඩුවම එක එක දේවල් කළා. ගෙවල් හදල දුන්නා. සංවර්ධනය කියල එකක් කළා. ආදායම් වැඩි කරන්න ඕන කියල එක එක දේවල් කළා. හැබැයි ඒ හැමදෙයින්ම වුණේ අපේ සංස්කෘතිය විනාශ වුණ එක විතරයි.
ඕනෑම පරම්පරාවක් සල්ලි පස්සෙ යනව කියන්නේ ඒ පරම්පරාවේ විනාශය අත ළඟටම ඇවිත් කියන එකයි. අද අපේ පරම්පරාවත් ඒ තැනට ගේන්න මේ ආණ්ඩු කටයුතු කරමින් ඉන්නවා. ආදිවාසී කියන්නේ සැලසුම් ඇතිව ජීවත්වෙන කොටසක් නෙමෙයි. අපේ සැලසුම තමා අද කනවා, හෙට මොනවහරි ලැබුණොත් කනවා, නොලැබුණොත් බුදියගන්නවා කියන එක.
Q ඒ කියන්නේ ඔබලා ඉල්ලන්නේ කැලේ අයිතිය?
ඔව් , අපි අවුරුදු ගානක් ඉල්ලන්නේ ඒක විතරයි.
Q හොඳයි මේ වෙනකොට ආදිවාසීන්ට මොනවද ලැබිල තියෙන්නේ?
හැඳුනුම්පතක් ලැබිල තියෙනවා. වැද්දා කියන නම වෙනුවට ආදිවාසියා කියල නමක් දාල තියෙනවා. මොකක්ද ගිවිසුමක් කියල එකක් අත්සන් කරල තියෙනවා. හැබැයි ඉතින් ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ එක දෙයකින්වත් අපිට කිසි ප්‍රයෝජනයක් නැහැ.
Q ඔබ ආදිවාසී නායකයා. හොඳ පිළිගැනීමක් තියෙනවා. දවසකට දහස් ගාණක් ඔබව බලන්න එනවා. මේ පැල්කොටේ වෙනුවට පහසුකම් තියෙන ගෙයක් ඉල්ලන්න කැමති නැද්ද?
පැලේ හිටියත් මාලිගාවක හිටියත් දෙකේම අපි එක දේනෙ කරන්නේ. පැලේ හිටියත් අපි නිදා ගන්නවා. මාලිගාවක හිටියත් අපි නිදා ගන්නවා. පැලක හිටියත් අපි කනවා. මාලිගාවක හිටියත් අපි කනවා. මොකක්ද වෙනස? අපි බොහොම ටික කාලයයි මේ ලෝකෙ ජීවත් වෙන්නේ. ඒ ටිකට අපි ඇයි ජීවිතේට ප්‍රශ්න එකතු කර ගන්නේ. මම නායකයා නිසා මට මාලිගයක් හදා ගන්නවා. හැබැයි මට දරුවො හත් දෙනෙක් ඉන්නවා. කැකුළියෙක් ඉන්නවා. මම මැරිච්ච දවසක ඒ අටදෙනා බෙලි කපා ගන්නවා අප්පගේ දේවල් බෙදාගන්න බැරිව. අන්තිමට ඒකෙ දෝෂාරෝපණේ එන්නෙත් මට. මේ විදිහට ජීවත් වුණාම එහෙම ගැටලුවක් නැහැනේ.
Q වයස කියන්න කැමතිද ?
ඇයි ලැජ්ජ වෙන්නේ. මම වයස හංඟලා තරුණයෙක් කියල පෙන්වන්න ගියාට හරියන්නෙ නැහැනේ. මම හිතින් තරුණ වුනත් දැන් මගේ ශරීරය දිහා බැලුවම වයස පේනවනේ. දැන් මට අවුරුදු 69 යි.
Q ඔබ හරි නිරෝගියි කියල තමා මේ ආදිවාසී ගමේ අයගෙන් දැනගත්තේ?
සොබාදහමත් එක්ක ජීවත් වීම තමයි ප්‍රධාන හේතුව. එතකොට ඇඟට ලෙඩ අඩුයි. කනබොන දේවල් වගා කරගන්නේ මම. වස විෂ නැහැ. මම ගොවිතැන් කරනවා.
නිමක් නැති ආසවල් නිසා තමා අපේ ආයුෂ අඩු වෙන්නේ. මේ පොළොව අපිට හොඳටම ඇති ජීවත් වෙන්න. ආසාවල් නිසා අද වකුගඩු රෝග වැඩිවෙලා. බේත්, පොහොර හැමදේම දාල මේ පස අද වෙනකොට විනාශ කරලා. දැන් හැමදාම ලෙඩ. ඒ විතරක් නෙමෙයි ඒ ලෙඩට බොන බේත්වලිනුත් දැන් වෙන වෙන ලෙඩ හැදෙනවා. අන්තිමට පිටරට කොම්පැනි පෝසත් වුණා එක විතරයි වෙලා තියෙන්නේ.
Q මේ රැහේ උරුමය රකින්න ඔබ දෙවන නායකයෙක් මේ වනවිට හදල තියෙනවද?
අපේ පරම්පරාවේ නායකකම ලැබෙන්නේ ඉන්න නායකයගේ දරුවට. මගේ වැඩිමහල් දරුව වන ඌරුවරිගේ ගුනබණ්ඩියා ඉදිරියේදී ඒ තනතුර බාරගනියි. අදටත් මම ඔහුට යම් යම් වගකීම් බාරදීල තියෙනවා.
ඔබ එහෙම කීවත් අදටත් ජීවත්වෙන ඔබගේ අයියට නායකත්වය නොදී ඒක ඔබ බලෙන් තියාගෙන ඉන්නවා කියල සමහරු චෝදනා කරනවා.
අපේ පරම්පරාවේ සම්ප්රදායක් තියෙනවා ඇහැක් පේන්නෙ නැත්නම්, අතක්පයක් වාරු නැත්නම් එයාට නායකත්වය දෙන්න බැහැ කියලා. ඉතිං මගේ අයිය හිටියත් එයාගේ එක ඇහැක් අඩුයි. ඒ නිසා එයාට නායකත්වය ලැබුණෙ නැහැ. ඇත්ත ඒකයි.
Q කොහොමද එයාට ඇහැක් නැති වුණේ?
ඒක උනේ 1986 අවුරුද්දෙදි. එයාගේ මස්සිනයි, එයයි එයාගේ දරුවයි දවසක් දඩයමේ ගිහින් තියෙනවා. ඒ යද්දි කැලේ සද්දයක් ඇහිල තියෙනවා. එයාල හිතල තියෙන්නේ ගෝනෙක් හරි මුවෙක් හරි කියලා. ඒත් එතන ඉඳල තියෙන්නේ වලහෙක්. වලහ පැන්න ගමන් අයියව බිම පෙරළගෙන හපා කන්න පටන්ගෙන තියෙනවා. මේක දැක්ක මස්සිනා දුවගෙන ගිහින් ගහකට නැගල තියෙනවා. හැබැයි අවුරුදු 15ක් විතර වෙච්ච එයාගේ දරුව තාත්ත දාල ගිහින් නැහැ. එයා ගල් ගෙඩියක් අරන් වලහට කීප සැරයක්ම තඩි බාලා තියෙනවා. ඊට පස්සේ වලහ කැලේට දුවල තියෙනවා.
ඒ සිද්ධියෙන් අයියගෙ එක ඇහැක් එළියට පැනල තිබුණා. අත් දෙක වගේම කකුල් දෙකත් තුවාල වෙලා තිබුණා. ඒ වෙලාවෙම එයා මහනුවර රෝහලට ගෙනිච්චා. එහෙදි එයා සනීප කරන්න එක ඇහැක් අයින් කරන්න සිදුවෙලා තියෙනවා.
Q ඔබටත් කැලේදි ඔය වගේ අත්දැකීම් ලැබිල නැත්ද?
ඔය වගේ දේවල් වැඩිපුරම වෙන්නේ මස්වලට කෑදරකම් තියෙන අයටයි. මම කවදාවත් මස්වලට කෑදර නැහැ. දැන් අවුරුදු ගානක් මම මස් මාළු කන්නෙ නැහැ. පොඩි කාලෙ මමත් අප්පල එක්ක කැලේට ගිහින් මේ වගේ සිද්ධිවලට මුහුණ දීල තියෙනවා. හැබැයි බයවෙලා නැහැ. දැන් ඉතින් කැලේ යන්නෙ නැති නිසා ආයෙ නම් ඒ වගේ දේවල් මුණගැහෙන එකක් නැහැ.
Q මේ වෙනකොට දඹානෙ ආදිවාසීන් අතරත් හොඳ උගතුන් ඉන්නවා. උපාධිධාරීන් ඉන්නවා. ඒ ගැන ඔබට සතුටක් නැද්ද?
දරුවො ඉගෙන ගන්න එකට සතුටුයි. මොකද අද ඉස්සර වගේ නෙමෙයි. ලෝකෙ වෙනස් තැනකට ගමන් කරමින් තියෙනවා. හැමෝම කැලේට වෙලා හිටියොත් ලොකෙ ගැන දැනුම නැති වෙනවා. ටික දෙනෙක් හරි ඉගෙන ගත්තොත් ඒ අයට පුළුවන් පරම්පරාවේ අයට හොඳ නරක අවබෝධ කරල දීල මේ පරම්පරාව සංස්කෘතිය රැකගන්න.
Q ඔබේ නායකත්වයටත් බලපෑම් තියෙනවද?
නැහැ. මම කියන දේ මේ අය පිළිගන්නවා.
Q මේ අය ඒ තත්ත්වයට හදාගත්තේ කොහොමද?
ඒකට නායකයට පණ තියෙන්න ඕන. මිනිස්සුන්ට පහත් විදිහට සලකලා, දඬුවම් කරලා, දඩ ගහල, බැණ වැදිල මිනිස්සු පාලනය කරන්න බැහැ. බලෙන් නීති දාල මිනිස්සු හදන්නත් අමාරුයි. මිනිස්සුන්ට ගැටලුවක් තියෙනව නම් ඒක තේරුම් කරල දෙන එක තමා පළමුවෙන්ම කරන්න ඕන. උඹල මේව කළොත් මෙහෙම වෙනවා, අරෙහම කළොත් මෙහෙම වෙනවා කියන එක තේරුම් කරල දෙන් ඕන. අපි එහෙම කළාම ඒ අය නීතිවලට වඩා සම්ප්රදායන්වලට ගරු කරන්න පුරුදු වෙනවා.
Q අද මේ රටේ තත්ත්වය ඔබ දකිනවා. විවිධ චෝදනා තියෙනවා. විවේචන තියෙනවා. මේවගෙන් ගැලවිලා රට පාලනය කරන්න වත්මන් නායකයන්ට ඔබ දෙන අවවාදය මොකක්ද?
කියන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඉතින් ගැටලුව තමා මම කියන දේ ඒ අය අහයිද කියන එක. මේ රටේ බලයට පත්වෙන හැම ආණ්ඩුවටම වුවමනාව තියෙනවා රට දියුණූ කරන්න. ඒ වගේම මිනිස්සු දියුණු කරන්න. හැබැයි ඒකට ගන්න ක්‍රියාමාර්ග මේ රටට බර වැඩි නැද්ද, ඒක මිනිස්සුන්ට හිරිහැරයක්ද කියන එක ගැන හිතන්න ඕන.
දැන් මම කීවොත් මේ යන විදිහ හරි නැහැ, මෙන්න මේ විදිහට කරන්න කියලා. ඒක තඹ සතේකට මේ අය ගණන් ගන්න එකක් නැහැ. හැබැයි අතීතයේදි අපේ රට තමා සිරිත්විරිත්වලින්, ඇදහිලිවලින්, ජාතියෙන් ලෝකෙ අනිත් හැම රටටම වඩා ඉහළින් ඉඳල තියෙන්නේ. අපි තමා මහ ජාතිය, අපි තමා සම්ප්රදායක් තියෙන මිනිස්සු කියල අපි ඒ කාලේ ලෝකෙටම කීවා. අද සමාජය යන්නේ වෙන පාරක. දැන් දියුණුයි, දියුණුයි කිය කිය කෑ ගහනවා. ඒ එක පැත්තකින් විතරයි. අනිත් පැත්තෙන් රටේ මහලු නිවාස, වැඩිහිටි නිවාස තට්ටු දෙක තුන ඉහළට යනවා. පොඩි දරුවො පාරේ විසිකරල යනවා. අතීතයේ ඒ වගේ දේවල් මේ රටේ තිබුණෙ නැහැ. ඒ කාලෙට මිනිස්සු කීවේ නොදියුණු කාලෙ කියල. අද දියුණු කාලෙ කියල කියනවා. මට කියන්න මොකක්ද මේ දියුණුව කියලා. රට දියුණුවෙලා නම් වැඩිහිටි නිවාස හැදෙනවද? අත දරුවො පාරට විසිකරනවද? ළමා නිවාස අවශ්‍ය වෙනවද? ළමයි හදා ගන්නවා, ඊට පස්සෙ විසිකරනවා. මේක දියුණුවක් නෙමෙයි. මේ යන්නේ රටේ අවසානයට කියල තමා මට කියන්න තියෙන්නේ. මේකෙන් ගැලවෙනව වෙනුවට දැන් හැමෝම කරන්නේ ඒක ළඟට ගෙන්න ගන්න මහන්සි වෙන එක.
Q දැන් උතුරේ ප්රශ්නය ඉවරයි කීවත් ඒක ඉවර නැහැනේ?
අවුරුදු 30 -40ක් තිබුණු ගැටලුවක් එකපාරම අතුගාල දානව කියන එක බොරුවක්. ඒක හරියට අලුයට තියෙන ගිනි පුලිඟුවක් වගේ හැංඟුණ එක විතරයි වුණේ. අළු ටිකට පිම්බොත් ආයෙ ගැටලුව මතුවෙනවා.
Q කවුරු හරි ආයේ අළුවලට පිඹීවි කියලද ඔබ කියන්නේ ?
මේ වෙනකොටත් පිඹල තියෙන්නේ. දැන් කොහොමත් අඟුරු මතුවෙලයි තියෙන්නේ. ඒකනේ දැන් ගැටලුවක් ආයෙත් තියෙන වග අපට දැනෙන්නේ.
Q දැන් කියනවා මේ රටේ සම්පත් විකුණනව කියල. හම්බන්තොට වරාය විකුණනව කියනවා. කොළඹ වරාය විකුණනව කියනවා. මේවා විකුණන්න අවශ්‍යද?
විකුණනව කියල නම් කියනවා. හැබැයි එහෙම පිරිසක් කීවත් ඒක කරන්නේ කොහොමද කියන එක අපි ඇස්වලින් දකින්න ඕන. විකුණනවද එහෙම නැතිනම් බදු දෙනවද , ඒ කොච්චර කාලෙකටද කියන එක හිතන්න ඕන. ඒ වගේම එහෙම කළාට පස්සෙ මේ රටට ලැබෙන ප්‍රතිඵලය ගැනත් හිතන්න ඕන.
අර පරංගින්ට ගෙරි හමක් එළාගන්න ඉඩ දුන්නට පස්සේ ඒ අය රටේ අක්කර ගානක් අල්ල ගත්තා කියල කතාවක් තියෙනවා. එදා දවසේ මේ රටේ මිනිස්සු රැවටුණා. ඉතින් අදත් මේ රටේ මිනිස්සු රැවටෙනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි.
ඔය නේපාලය කියන රටේ හිටියා තමාන් කියල ගෝත්‍රයක්. ඒ අය තමයි ඒ රටේ උරුමක්කාරයෝ. ඔය කාලෙදි තමාන් ගෝත්‍රයේ නායකයා හම්බවෙන්න ඉන්දියාවෙන් මිනිහෙක් එනවා. එයා එන්නේ කුලී වැඩක් ඉල්ලගෙන. ඔන්න මිනිහා දැන් නායකයගෙ ගෙදර දර පළනවා, වළං හෝදනවා. හැමදෙයක්ම කරනවා.
ඔහොම අවුරුද්දක් දෙකක් ඉද්දි මිනිහ කියනවා මට වට්ටක්ක ගෙඩියක් හදාගන්න පුංචි ඉඩක් දෙන්න කියලා. නායකයත් හිතනවා පොඩි ඉඩක්නේ ඉල්ලන්නේ කියල, ඒ ඉල්ලීම ඉටුකරනවා. හැබැයි වට්ටක්ක ගෙඩිය කැපුවම ඒකෙ ඇට සේරුවක් විතර තිබුණා. මිනිහ ඒ ඇට ටික ඔක්කොම හිටවනවා. අක්කර දහයක විතර වට්ටක්ක වැල් වැවුණා. හැබැයි දැන් නායකයට කරන්න දේකුත් නැහැ. මිනිහ ඉල්ලුවේ වට්ටක්ක ගෙඩියක් හදාගන්න ඉඩක්නේ.
ඊට පස්සේ මේ මිනිහ ඒ බිම් කොටසේ ගල් වැටි දාලා, නියරවල් බැඳලා, වැටවල් ගහල මායිම් හදා ගත්තා. ඔන්න ඒ පාර තමා නායකයට සැකයක් ඇති වුණේ.
ඒ පාර නායකයා කියනව හැබැයි ඊළඟ අවුරුද්දේ වට්ටක්ක හිටවන්නත් බැහැ, ඉඩම දෙන්නත් බැහැ කියලා. මේ මිනිහ තර්ක කරල ඒ මිනිහගේ අයිතිය පෙන්වනවා. නායකය නිහඬ වෙනවා.
අන්තිමට මේ කුලීකාරයගේ පරම්පරාවම ඇවිත් මේ ඉඩම්වල පදිංචි වෙනවා. ඊළඟට ගමේ අය එනවා. අන්තිමට නේපාලයේ සරුසාර පහළ කොටස්වල හිටපු තමාන් ගෝත්‍රයේ අයට උපන් නිජබිම දාලා නේපාලයේ කඳු මුදුන්වලටම සංක්‍රමණය වෙන්න සිදුවෙනවා.
අද වෙනකොට නේපාලයේ ත්‍රිශූලී කෞලී, බිම්තාන්, සමන් වගේ කඳුවලට මේ අය කොටුවෙලා. දැන් සරුසාර බිම්කොටස් ඔක්කොම අයිතිවෙලා තියෙන්නේ අර ඉන්දියාවෙන් ආව පිරිසට.
ඔය එක මිනිහෙක් කරපු දෙයින් තමා සම්පූර්ණ ගෝත්රයකටම උන්හිටි තැන් නැති වුනේ. ඉතින් අද මේ රටේ සිදුවන දේවල්වල වුනත් ප්‍රතිඵල එන්න තව වසර හත අටක් යනවා. ඒ නිසා ඒ ගැන හිතල තමා නායකයො රටේ දේවල් විකුණන්න හරි බදු දෙන්න හරි ඕන.
Q දඹානේ විතරක් නෙමෙයි රතුගල, නිල්ගල, පොලබැද්ද, නේනානිගල වගේ පැතිවලත් ආදිවාසීන් ජීවත් වෙනවා. හැබැයි ඒ අයට දඹානේ වගේ නිසි නායකත්වයක් නැහැ. ඔබ ඒ අය ගැනත් හොයල බලනවද?
රතුගල, නිල්ගල, පොලබැද්ද විතරක් නෙවෙයි වාකරේ, දානිගල, මුල්ලේගම , නිල්ලියද්ද, කුරුදුවින්න, පුන්නම්කුලම්, බණ්ඩාරදූව වගේ ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක ආදිවාසීන් ජීවත් වෙනවා. ඒ හැම ගමකම නායකයෙක් ඉන්නවා. හැබැයි ඒ සියලු දෙනාගෙම නායකයා මම. ඒ නායකයන්ට බේරගන්න බැරි දෙයක් තිබුණොත් මට කියනවා. මට ඒක විසඳන්න පුළුවන් නම් මම ඒක විසඳනවා. මටත් බැරිනම් ඉතින් මම කරන්නේ ඒ ගැන ආණ්ඩුව දැනුවත් කරන එක තමයි. ආණ්ඩුව ඉතින් ඒකට විසඳුමක් දුන්නොත් හොඳයි. නැතිනම් ඉතින් කරන්න දෙයක් නැහැ.
Q හොඳයි අවසාන වශයෙන් මේ රටේ ඇත්තන්ට මොනවද කියන්න තියෙන්නේ?
මේ රටේ ඉන්න මිනිස්සුන්ට ලෝකෙ වෙන රටක් නැහැ. සිතියමේ බැලුවොත් හරියට මේ රට තිතක් වගෙයි. අපේ රටේ ජීවත්වෙන හැම ජාතියක්ම මේ රටේ ඉන්න ඕන. සිරිත්විරිත්, සංස්කෘතිය, ආගම් මේ හැමදෙයක්මත් මේ රටේ පවතින්න ඕන. ඒව තිබුණොත් තමා මේ රට ලස්සන වෙන්නේ.
අපි රූපයක් ඇඳල ඒකෙ එක එක දේවල් එක එක පාටින් පාට කළොත් හරි ලස්සනයි. හැබැයි එකම පාටට තිබුණොත් ඒකෙ ලස්සනක් නැහැ. අගයක් නැහැ. ඒ වගේ තමා මේ රටත්. රටේ හැම උරුමයක්ම රැකුණොත් රට ලස්සනයි.
අපි ඇමරිකාව දිහා බලාගෙන ඒ රට විදිහට මේ රට හදන්න යන්න අවශ්‍ය නැහැ. ජපානෙ දිහා බලාගෙන ඒ රට වගේ හදන්න යන්න ඕනිත් නැහැ. අපි කවදහරි ඒ තත්ත්වයට එයි. හැබැයි හනි හනික ඒක කරන්න ගියොත් අපිට උරුම අපේ හැමදේම මේ රටට නැති වෙනවා. ඒ නිසා අපි මොනව කළත් අපේ ජාතිය, සංස්කෘතිය, ආගම ජාතික සමගිය රැකගෙන ඒ දේවල් කරන්න ඕන.
ඒ වගේම මේ රටේ මිනිස්සුන්ටත් මට කියන්න තියෙන්නේ ලෝකෙ තියෙන හැමදේම කරට ගන්න එපා කියන එක තමා. අපි දියුණු වෙන්න ඕන. හැබැයි දියුණුයි කියන්නේ ගෙවල් දොරවල්, පාරවල්, යානවාහන, මුදල් එකතු කර ගන්න එක විතරක් නෙමෙයි. අපි ඉස්සල්ලම අපේ හිත් පිරිසුදු කරගන්න අවශ්‍යයි. අපි එහෙම වැඩ කළොත් ඔය අපි හිතන දියුණුයි කියන තැනට යන එක අපහසුවක් නෙමෙයි.
(විශේෂ ස්තුතිය ආදිවාසී නායකයන්ගේ භාෂා පරිවර්තක හා දඹාන රේඩියෝවේ සන්නිවේදක ඌරුවරිගේ විමලරත්න ඇත්තන්ට)
- සටහන/ඡායාරූප - මීගහකිවුල එන්.කේ නිශ්ශංක