Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
ඇවන්ට් ගාඩ් යනු පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තුව උණුසුම් කළ පුවතක් වූවා සේම එය විවිධ වූ අන්දමේ මාධ්‍ය හමු සඳහාද අවස්ථා ඇති කර තිබුණේය. විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් විවිධ අන්දමේ අදහස් දැක්වූ ඇවන්ට් ගාඩ් කතාව මේ වනවිට ජනාධිපති නියමයෙන් නාවික හමුදාව මත පැවරූ වගකීමක් බවට පත්ව තිබෙන්නේ යළිත් ඇවන්ට් ගාඩ් සමාගම තවත් එක් මුහුදු ආරක්ෂණ සමාගමක් පමණක් බවට පත් කරමිනි.
කෙසේ වුවද ඉහළ තනතුරු දරන්නන් දෙපිළකට බෙදී ඇවන්ට් ගාඩ් ගැන කියද්දී ඡන්ද දායකයා දන්නේ බලා හිදින්නටය. කුමන කාරණා යටතේ හෝ ඇවන්ට් ගාඩ් පිළිබඳව සාකච්ඡා වෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයේම ඇතැම් අමාත්‍යවරුන් ඇවන්ට් ගාඩ් නැවේ තත්ත්වය සාධාරණීකරණය කරමින් කතා කරද්දී ආණ්ඩුවේ කැබිනට් ප්රකාශකවරයාද ඇතුළුව ප්‍රබල කැබිනට් ඇමතිවරුන් පිරිසක් දැඩිව මෙම තත්ත්වය හෙළා දකිමින් සිටිති. කෙසේ වුවද ඇවන්ට් ගාඩ් කතාව අළු යට ගිනිපුපුරු පරිද්දෙන් විටින් විට ගිනි පුළිඟු විසිරවමින් තිබෙන බව නම් කිව යුතුමය.
ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් පෞද්ගලික සමාගම යනු තවත් එක් මුහුදු ආරක්ෂණ සමාගමකි. එහි අධිපතිවරයා නිශ්ශංක සේනාධිපතිය. ඔහු හිටපු හමුදා මේජර්වරයෙකි. ඇවන්ට් ගාඩ් සමාගම මතු මාතෘකාවට පිවිසෙන්නේ කුමන කාරණා යටතේද යන්නද සාකච්ඡා කළ යුතුය. මුහුදු ආරක්ෂකයන් යනු කෙබඳු පිරිසක්ද යන්නත්, ඔවුන්ගේ කාර්යය කුමක්ද යන්නත් මෙන්ම මෙම කතාවේදී ලංකාව වැදගත් වන්නේ කුමක් නිසාද යන්න පිළිබඳවත් දළ අවබෝධයක් ලබාගැනීම වැදගත්ය. සෝමාලියානු මුහුදු තීරය ආශ්‍රිතව මුහුදු කොල්ලකරුවන් දඩබිමක් ගොඩනගාගෙන ඇති බව සුප්‍රකට කරුණකි.
බටහිර සිට නැගෙනහිරටත්, නැගෙනහිර සිට බටහිරටත් සෝමාලියානු මුහුදු තීරය හරහා ගමන්ගන්නා වෙළෙඳ නෞකා පෙර කී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය යැයි කීම වඩා නිවැරදිය. ඒ අනුව එම කලාපයේදී වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා සූදානම් වූ පෞද්ගලික ආයතන වෙයි. ආයුධ දරන මෙම මුහුදු ආරක්ෂකයෝ බටහිර සිට නැගෙනහිරට ගමන්ගන්නා නැව්වලට රතු මුහුද ප්‍රදේශයෙන් ඇතුළු වන අතර, ගාලු වරායෙන් බසිති. සිය වෙළෙඳ කටයුතු නිමවා ආපසු පැමිණෙන නැවට යළි ගොඩවන ඔවුහු රතු මුහද ප්‍රදේශයේදී නැවත බැස යති.
ඔවුන්ගේ වගකීම වන්නේ මුහුදු කොල්ලකරුවන්ගෙන් සිදුවිය හැකි අවදානම්වලින් නැව ආරක්ෂා කිරීමයි. ගාලු වරායෙන් බසින ආරක්ෂකයන්ගේ අවි 2009-2012 කාලය තුළදී නාවික හමුදාවේ අවි ගබඩාවල තැන්පත් කළ අතර ආපසු යද්දී ඒවා බාරදෙනු ලැබීය. එහිදී ආයුද ලබා ගන්නා කාලය අනුව ගෙවීමක් සිදුකෙරිණි. ඒවා ඩොලර් මුදල් ලෙස මහා භාණ්ඩාගරය වෙත යවනු ලැබ තිබුණි. 2102 වසරේදී එතෙක් නාවික හමුදාව සිදුකළ එම කාර්යය ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත ඇවන්ට්ගාඩ් සමාගම වෙත බාරදුන් අතර නාවික හමුදාව ඉන් ඉවත් විය.
ඒ සමග රජයේ අනුබද්ධිත ආයතනයක් ලෙස රක්නා ලංකා සමාගම ආරක්ෂකයන් සැපයූ අතර, පසුගියදා ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඇවන්ට් ගාඩ් සමාගම ඉන් ඉවත් කොට නාවික හමුදාව වෙත යළි බලය පවරනතුරුම එපරිද්දෙන් සිදුවිය.පෙර කී ඇවන්ට් ගාඩ් සමාගමට නැව් දෙකක් විය. ඉන් එකක් එම්.වී. මහනුවර නම් වූ අතර, අනෙක එම්.වී. ඇවන්ට් ගාඩ් නමින් නම් කර තිබිණි. අර්බුදය මතුව ඇත්තේ මෙම නැව් දෙක හා සමාගම සම්බන්ධයෙනි.
මහනුවර නැවෙහි අවි මේ වනවිට එනම් පසුගිය සිකුරාදාවේ සිට නාවික හමුදාව විසින් බාරගන්නා ලද අතර, මුහුදු ආරක්ෂාව සැපයීම සුපුරුදු ලෙසම පෞද්ගලික සමාගම්වලට සිදු කිරීමට අවස්ථාව තිබේ. නාවික හමුදාව සිදුකරන්නේ අවි ආයුධ ආරක්ෂිතව දක්ෂිණ නාවික හමුදා කඳවුරෙහි තබාගෙන අවශ්‍ය අවස්ථාවල ආපසු බාරදීමයි. පාවෙන අවි ගබඩාවලට ජාත්‍යන්තර මුහුදේම රැඳී සිටිය හැකි අතර, ඒවා වෙත බලපෑමක් සිදුවන්නේ නැත. ලංකාවට එන අවි හා ලංකාවෙන් පිටවන අවි නාවික හමුදාවේ සෘජු අධීක්ෂණයට ලක් වේ.
ඇවන්ට් ගාඩ් නැවෙහි ඇත්තේ ලංකා රජයට අයත් අවි තොගයකි. නැව රතු මුහුදේ පාවෙන අවි ගබඩාවක් ලෙස කටයුතු කළ අතර ඔවුන් ලංකාවට පැමිණීම අරඹන්නේ සැප්තැම්බර් මස 24 වැනිදාය. ඔක්තෝබර් මස 05 වැනිදා ලංකාවේ ගාලු වරායට ඇවන්ට් ගාඩ් නැව පැමිණෙන අතර, නිවැරදි තොරතුරු රහිතව ඔවුන් පැමිණීම ගැටලු ඇති වීමට හේතුවක් විය. නාවික හමුදාව වෙත ඔවුන් දන්වා තිබුණේ මුහුදු ආරක්ෂකයන් තිදෙනෙකු හා ඔවුන්ට සරිලන අවි ප්‍රමාණයක් එහි ඇති බවයි. ඒ අනුව චීනයේ නිෂ්පාදිත මැෂින් තුවක්කු දෙකක්, උණ්ඩ පිරවූ ඩ්‍රම් අටක්, චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ මිලිමීටර් 7.623 ප්‍රමාණයේ උණ්ඩ දෙදහසක් මෙම නැවේ ගෙන එන බව දක්වමින් අවසර ලබාගෙන තිබිණි.
පැමිෙණනවා යැයි කියූ තිදෙනාගේ නම් සහ හැඳුනුම් පත් අංකද මෙම ලිපියේ දක්වා තිබුණි. එහෙත් නාවික හමුදාව එයට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී එය අවි ගබඩාවක් බවත්, අවි 816 ක් හා උණ්ඩ 202,674ක ප්‍රමාණයක් ඇති බවත් හඳුනාගනු ලැබිණි. ඒ අනුව ඇවන්ට් ගාඩ් නෞකාව සම්බන්ධව පරීක්ෂණ සිදුකිරීම ආරම්භ විය. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස පරීක්ෂක යටතේ දිගින් දිගටම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි. මෙම අවි ගබඩාවේ තිබූ අවිවල අංක මකා දැමීම ඇතුළු සැකසහිත කාරණා රැසක් පරීක්ෂණයට ලක් කෙරෙමින් තිබේ.
මීට අමතරව පසුගිය සතියේ කැබිනට් සාකච්ඡාව උණුසුම් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය පාඨලී චම්පික රණවක යන අයද ඇවන්ට් ගාඩ් සිදුවීමට විරෝධය දක්වා ඇතැයි වාර්තා විය. එපමණක් නොව පාර්ලිමේන්තුවේ ඇවන්ට් ගාඩ් සිදුවීම හා සම්බන්ධ විවාදයද ඉතා උණුසුම් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එවකට පොලීසිය බාර අමාත්‍යවරයා ආණ්ඩු මාරු වූ විට පොලීසිය ලකුණු දමාගන්නට ඇවන්ට් ගාඩ් නැවට කඩාපැන්නා යැයි තම පාර්ලිමේන්තු කතාවේදීම කළ ප්‍රකාශය හේතුවෙන් ඔහුට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නටද සිදු විය. ආණ්ඩුව තුළම අමාත්‍යවරු දෙපිළකට බෙදී ඇවන්ට් ගාඩ් සාධාරණීකරණය කිරීම හා විවේචනය කරද්දී එහි දෙදරීමක් තරම් සිදුවන්නට ඉඩකඩ තිබේ.
ඇවන්ට් ගාඩ් සිද්ධිය තවම එහෙම නිශ්චිත සමතයකට පත්වෙලා නෑ. මෙහි එක ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේකෙ ඉතිහාසය ගත්තොත් 2009 වසරේ ආරක්ෂක සමාගමක් ඇවිත් අපේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය හමුවේ විශාල තර්ජනයක් වෙළෙඳ නැව්වලට එල්ල වෙලා තියෙනවා, ඒ නිසා ඒ නැව්වලට ආරක්ෂාව ලබාදෙන්න නාවික හමුදාවේ උපකාර ලබාදෙන්න කියලා ඔවුන් ඉල්ලීමක් කළා. නාවික හමුදාවට හෝ වෙනත් රාජ්‍ය ආයතනයකට ව්‍යාපාර කටයුතු කරන්න බෑ. ඒ නිසා නාවික හමුදාව පහසුකම් සපයන්නෙකු ලෙස ක්‍රියාත්මක වුණා. ඒ කියන්නෙ ආයුධ ගබඩා කරන්න හා ජාත්‍යන්තර මුහුද දක්වා අදාළ සී මාර්ෂල්වරුන්ට ආරක්ෂාව සපයන්නට. ඒ අනුව ඒ ව්‍යාපාරය ආරම්භ වුණා. ඒ අනුව ව්‍යාපාරික ආයතන 70 ක් පමණ දේශීය ආයතන සමග එක්වෙලා මේ කටයුත්ත කරගෙන ගියා. දේශීය සී මාර්ෂල්වරුත් හිටියා. ලංකාවේ යුද හා නාවික හමුදාවේ අයට මේ සම්බන්ධව අත්දැකීම් තියෙන හින්දා මේකට ඔවුන් එකතු වුණා.
මේක ලොකු ව්‍යාපාරයක් බවට පත්වුණා. මොකද ලංකාව තියෙන්නේ 78 වෙනි දේශාංශකයේ. එයින් පසු කලාපය තමයි ආරක්ෂිත කලාපය හෙවත් අනතුරු රහිත කලාපය ලෙස නම් වෙලා තියෙන්නේ. ඒ නිසා ලංකාව වැදගත් වුණා. ඒ වගේම ලංකාවේ නාවික හමුදාවට මසකට මිලියන 180 ක පමණ මුදලක් ගලාගෙන ආවා. ඊළඟට එහෙම තියෙද්දි 2012 ඔක්තෝබර් මාසේ හිටිගමන් නාවික හමුදාව හා ආයතන 70 ක් විතර කරගෙන ගිය කාර්යය තනි ආයතනයකට පැවරුණා. එතකොට රක්නා ලංකා එක්තරා දුරකට ආණ්ඩුවට අයත් ආයතනයක්. ඒ නිසා බැලූ බැල්මට ඒකෙ ලොකු වරදක් පේන්න තිබුණෙ නෑ. රක්නා ලංකා සමාගමට යුද හමුදාවෙන්, ගුවන් හමුදාවෙන්, නාවික හමුදාවෙන් හා පොලීසියෙන් ආයුධ තුන්දාස් දෙසීයකට අධික ප්‍රමාණයක් ලබා දී තිබුණා. ඒ ආයුධ විධිමත් බලපත්‍රයක් යටතේ නිකුත් වුණාද කියන ප්රශ්නය තියෙනවා.
ඊළඟ පියවරේදී රක්නා ලංකා එක හරහා ඒක ඇවන්ට් ගාඩ් කියන පෞද්ගලික සමාගමට දුන්නා. ඇවන්ට් ගාඩ් එකට රක්නා ලංකා එක භාරයේ තිබුණු ආයුධ 800කට අධික ප්‍රමාණයක් ලබාදුන්නා. ගිනිඅවි ආඥා පනත යටතේ රක්නා ලංකා එකට ගිනිඅවි පරිහරණයට අවසර තියෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. ඊට වඩා ලොකුම ප්රශ්නය තමයි ඇවන්ට් ගාඩ් කියන පෞද්ගලික සමාගමට රජයේ ආයුධ පරිහරණය කිරීමට විධිමත් බලපත්‍රයක් තියනවාද, එහෙම එකක් දෙන්න පුළුවන්ද කියන එක. මේ ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලින් කියවුණා බලපත්‍රයක් නැති බව. හැබැයි පස්සෙ ක්‍රමයෙන් වෙනස් වෙලා හිටපු ආරක්ෂක ලේකම්වරයා දුන් ලිපිය නිවැරදි ලිපියක් බව පිළිගත්තා. නමුත් අපි තාමත් ඒක විස්වාස කරන්නෙ නෑ. ඒ බලපත්‍රය රටේ සාමාන්‍ය ගිනි අවි භාවිත කරන පුද්ගලයන්ට හා සමාගම්වලට දීලා තියෙන එක වගේ නෙවෙයි. ඒක සරල පොදු බලපත්‍රයක්.
ඒ වගේම මෙතන ගනුදෙනු කෙරුණේ ඩොලර්වලින්. ඒ වගේ ගනුදෙනු මහ බැංකුව හරහා ආ යුතුයි. මුදල් විශුද්ධිකරණය පිළිබඳවත් ගැටලුවක් මතුවෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඒ බව පිළිඅරන් තියෙනවා. අනික මේ තනි සමාගමක් මේ සඳහා යොදාගැනීම හරහා පැහැදිලි දූෂණයක් වෙලා තියෙනවා. මේ සමාගම විතරක් තෝරගන්න කිසිම හේතුවක් නෑ. ඒක කෙනෙකුගේ පෞද්ගලික කැමැත්ත මත සිදු වූ දෙයක්. මේ සමාගම විටින් විට නාවික හමුදාවට හා රක්නා ලංකා සමාගමට කළ ගෙවීම් පැහැරහැර තිබෙනවා. මේ වනවිට නාවික හමුදාවට මිලියන 900 ක විතර මුදලක් ගෙවා නෑ. ඒ වගේම නාවික හමුදාවේ මසකට මිලියන 180 ක් පමණ වූ ආදායම මිලියන 50 ට අඩු වෙලා තියෙනවා. ඒ මගින් මිලියන 2,000 ක පමණ පාඩුවක් නාවික හමුදාවට සිදු වී තිබෙනවා.මේ තත්ත්වය යටතේ රජයට ලැබිය යුතු මුදල් නොලැබී යමින් තිබෙනවා.
මේ වගේ චෝදනා ගණනාවක් තියෙනවා. සමහරු අහනවා මේක නිර්මාණශීලි ව්‍යාපාරයක්, මොනවද තියෙන වැරදි කියලා. මේවා ඉතාම දරුණු චෝදනා.
විදේශීය තුවක්කුකරුවන්ට ලංකා භූමියේ විධිමත් අවසරයකින් තොරව වෙඩි පුහුණුව ලබා දී තිබෙනවා. ඒ වගේම නයිජීරියාව සමග ලංකා රජය ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. හැබැයි ආයුධ හා පුද්ගලයන් සපයන්නේ ඇවන්ට්ගාඩ්. ඒක ඉතාම බරපතළ කාරණයක්. යුක්රේනයේ බෙදුම්වාදීන්ට ආයුධ සැපයූ බවට චෝදනා තියෙනවා. ඒකටත් ඇවන්ට්ගාඩ් සම්බන්ධ බවට යම් යම් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඇවන්ට්ගාඩ් දෙවෙනි නැව මෑත කාලයේදී මාලදිවයින හරහා එද්දි ඊට සමකාලීනව මාලදිවයිනේ කුමන්ත්‍රණය සිදු වූ බව මාලදිවයින මාධ්‍ය වාර්තා කරනවා
. ඒ නැවේ ඉතා බරපතළ වංචා කිහිපයක් තියෙනවා. නැවට ගොඩවෙලා, නැව පරීක්ෂා කරලා පැය තුනක් යද්දි ආරක්ෂක අමාත්‍යාංශයෙන් එනවා ඉතාම ප්රශ්නකාරී ලියුමක්. මෙහි තිබූ ආයුධ 43 ක අංක මකා දමා තිබුණා. තව තව චෝදනා තිබුණා. නමුත් නැවේ සියල්ලන්ට දින දෙකකින් ඇප ලැබුණා. ඒක සාමාන්‍ය මනුස්සයෙකුට වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජාතික ආරක්ෂාවේ ඉදන් මූල්‍ය වංචා දක්වා චෝදනා රැසක් මේකට එල්ල වෙලා තියෙනවා. ඒ තත්ත්වය තවත් උග්‍ර කරන්නේ තම අදහස් හා ස්ථාවරයන් විටින් විට වෙනස් කරමින් සමාගමේ ගැලවිල්ල සඳහා වැදගත් නිලධාරීන් සහ වැදගත් ඇමතිවරුන් ඉදිරිපත් වීම. ඒ නිසා මේක පසුගිය රජයේ දූෂණවල එක්තරා ආකාරයක සංකේතයක් වුණා. ඒ වගේම දූෂණ විරෝධී ක්‍රියාවලියම දූෂණයක් වීමටත් මේක සංකේතයක්. ඒ නිසා තමයි අපි මේකට තීරණාත්මකව මැදිහත් වුණේ. මේ ආණ්ඩුව තුළත් එවැනි දේ අනුමත කරන පිරිසක් ඉන්න එකයි ලොකුම ප්‍රශ්නේ. ජනතාව දීපු ජන වරමට පිටුපාලා කටයුතු කරන අයත් මෙතන ඉන්නවා.
මේ සම්බන්ධව තොරතුරු විමසීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළද, පවතින නීතිමය කටයුතු හමුවේ මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට උපදෙස් ලැබී ඇති නිසා මේ සම්බන්ධයෙන් කරුණු දැක්විය නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ වෙනකොට මහනුවර නැවේ ආයුධ අපි බාරගනිමින් ඉන්නවා. කොහොමවුණත් මිනිස්සුන්ගේ රැකියා නැති කරන්නට මේක කරනවා කියන එක නම් අසත්‍යයක්. මොකද නාවික හමුදාව කරන්නේ ආයුධ බාරගෙන ඒවා ඔවුන් යනවිට නැවත ලබාදීම පමණයි. ඇවන්ට් ගාඩ් සමාගමටත්, වෙනත් ඕනෑම සමාගමකටත් නිසි ක්‍රමවේද යටතේ මුහුදු ආරක්ෂක සේවයේ නිරත විය හැකියි. ඒ වගේම පාවෙන අවි ගබඩා ආදියත් නාවික හමුදාව කරන්නේ නෑ. කිසි කෙනෙකුගේ රැකියා සම්බන්ධ ගැටලුවක් මතුවෙන්නේ නෑ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd