Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 ඔක්තෝබර් මස 04 වන බදාදා
2023 ඔක්තෝබර් මස 04 වන බදාදා
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ විමර්ශන කොමිසම වෙත සියල්ලන්ගේම අවධානය යොමුව තිබුණේ එහි චෝදනා එල්ල වී තිබූ හිටපු මුදල් අමාත්‍ය වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක සාක්ෂි දීමට පැමිණි බැවිනි.
කොල්ලුපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්යක්ෂ ධුර දරන සමාගමෙන් යැයි රවි කරුණානායක එහිදී සාක්ෂි දෙමින් කියන්නට විය.
එම නිවස ගැන තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේදී යැයිද කී රවී තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමග යහපත් පවුල් ජීවිතයක් ගත කළත්, ඔවුන් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද සාක්ෂි දෙමින් කිව්වේය.
රවිගේ මට මතක නැහැ ප්‍රකාශය සමග අතීතයේ මෙලෙස මට මතක නැහැ යැයි කියූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළි මතකයට නැගෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දොස්තර නලින්ද හේරත් තමාට සිය උසස් පෙළ ප්‍රතිඵලය අමතක බව කියා එතරම් කාලයක් ගතවී නොමැත.
බැඳුම්කර ගනුදෙනුවේ චෝදනා ලැබූවෙකු වූ අර්ජුන් ඇලෝසියස් සිය ජංගම දුරකථනයේ මුරපද අමතක බව කීවේද බැඳුම්කර කොමිසමේදීය.
කෙසේ වෙතත් එලෙස අමතක බව කියූ පුද්ගලයන්ගෙන් දුමින්ද සිල්වා දැනට මරණ දඬුවම් නියම වී බන්ධනාගාරගත වී සිටින බවද අමතක කළ යුතු නැත.
මාධ්‍ය මාව එල්ලන්න හැදුවා
කොමිසමේ සාක්ෂි දීමෙන් අනතුරුව පිටතට පැමිණි රවි පැවසුවේ මෙවැන්නකි.
“සාක්ෂි නැතිව මාධ්‍ය මාව එල්ලන්න හැදුවා. අද සාක්ෂි සහිතව ඒවා බොරු කියල අපි ඔප්පු කරලා පෙන්නුවා. රජයේ නීතිපති දෙපාර්තමේන්තුව අපේ චරිත ඝාතනය කරලා ඒ අය ඉස්සරහට යන්න හදනවා.
නැත්නම් මොනවද මේ තිබෙන සම්බන්ධකම්. මේක තුළින් අපට පෞද්ගලික ජීවිත ගත කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. අපි ආවේ යහපාලනය ගෙනියන්න. ඒකට ඉහළින්ම කටයුතු කර තිබෙන පුද්ගලයෙක් මම.
මම අවුරුදු දෙක හමාරක් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කර තිබෙනවා. එතන තමයි දූෂණ වංචා කරන්න පුළුවන් හොඳම තැන. තඹ සතයක් ගෙවන්න තිබුණද අමාත්‍යාංශයට, මිනිස්සුන්ට. ඒ වගේ පාලනයක් තමයි අපි ගෙනිච්චේ. අපේ දේශපාලනයේ හිතවත් කට්ටිය මේක කරන්නේ.
ඇත්ත හෙළිදරව් වෙනවා. වසන් කරන්න බෑ. මාධ්‍ය නිකරුණේ මගේ චරිත ඝාතනය කර තිබෙන්නේ. එය නිවැරදි කිරීම ඔබ සතු දෙයක්. රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනවා. මේක මීට අවුරුදු තුනකට කලින් වුණා නම් මොකද වෙන්නේ. සුදු වෑන්වලින් යන්න තිබුණා.
මම දේශපාලනයට එන්න කලින් ඉඳලම පාර්ලිමේන්තුව අසල නිවස තිබුණා. මම කියන්නේ හිත් රිදීමකින්. විපක්ෂයේ සිටින විට අපිට හිරිහැර කළා. ආණ්ඩුවට ආවම චරිත ඝාතනය කරනවා. පවුලේ සමාගමේ කටයුතුයි මගේ වැඩ කටයුතුයි ඒකාබද්ධ කරන්න එපා”
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව එදිනම පැවති අතර, එහිදී ඇමති රාජිත සේනාරත්න පැවසුවේ රවිගේ පිළිතුරු දීමෙන් පසුව කළ යුත්ත තීරණය කරන බවයි. නමුත් රවිට විශ්වාසභංගයන් ගෙන එන්නේ නම් අත් දෙකම ඔසවන බව දයාසිරි ජයසේකර කුරුණෑගලදී පවසා තිබුණි.
''රවි කරුණානායක ඇමතිතුමා වරදක් කර තිබෙන බවට බැඳුම්කර සිදුවීම සම්බන්ධ ජනාධිපති කොමිසම තුළින් ඔප්පු වුණොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනියි. මුලින්ම රවි කරුණානායක ඇමති කියන්නේ මොනවද කියල අපි බලමුකෝ''
රාජිත පිළිතුරු දුන්නේ එලෙසිනි.
මේ පැත්තේ අය පොහොට්ටුව වටේ කැරකෙනවා කියල මට ආරංචියි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව පෙර සතිඅන්තයේදී පැවතියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ, මැතිවරණ පිළිබඳ මෙන්ම පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
ආණ්ඩුවෙන් ඉවත්වන බව ප්‍රසිද්ධියේ පවසන අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් මේ සඳහා සහභාගි වී සිටි අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සභාව ඇමතීමෙන් පසුව සියලුදෙනා වික්ෂිප්ත වූහ.
''නිදහස් පක්ෂය සංවර්ධනය කරන්න අපි මහන්සි වෙද්දි මගේ ළඟ ඉන්න කිහිපදෙනෙක් පොහොට්ටුව වටේ කැරකෙනවා කියල මට ආරංචියි. කවුරු ගියත් මට කමක් නැහැ.
හැබැයි මතක තියාගන්න පොහොට්ටුවේ සද්ද දාගෙන ඉන්න අය රෑට ඇවිත් මාව මුණගැහෙනවා. එතන වෙන හැමදේම මට කියනවා. ඇමති මණ්ඩලේ සද්ද නැතිව ඉන්න ඇමතිවරුන් එහෙ ගිහින් කියන කතා හැමදේම මම දන්නවා.
අලුත් පක්ෂ හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ. හැමෝම ඒක මතක තියාගන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබැහැලා කියන අයට මම කියන්නේ එහෙම පසුබැහැල නම් ඉහළට ගන්න මහන්සි වෙන්න අවශ්‍යයි.
සමහරු කියනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වෙනි ස්ථානයේ තියෙනවා කියල. ඒක එහෙම නම් අපි දෙවැනි තැනට එන්න වැඩ කළ යුතුයි.
අලුත් ආණ්ඩුවක් හදනවා, ආණ්ඩුවෙන් යනවා කියන අයට මම මේ කියන්නේ අලුත් ආණ්ඩුවක සිහිනයක් තියෙනවා නම් අඩුම තරමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 95දෙනා එකට එක්වෙන්න අවශ්‍යයි මුලින්ම. ඒක කරල පෙන්නන්න.
හොරුත් එක්ක ආණ්ඩුව ගෙනියන්න මම කොහොමටවත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. හොරු නැති පිරිසුදු ආණ්ඩුවක් මම ඉතා ඉක්මනින්ම ඇතිකරනවා. ආණ්ඩුව පෙරළන්න කිසිම අදහසක් නැහැ. තියෙන ආණ්ඩුව ශක්තිමත්ව ගෙනයාමයි අපි කරන්න අවශ්‍යය.
තිබුණු ආණ්ඩුවෙන් එළියට බැස්සේ හොරකමට විරුද්ධවනේ. ඒක ඔබතුමාලා හැමෝම දන්න කාරණයක්. ඒ නිසා මගේ ආණ්ඩුව යටතේ කිසිම හොරෙක් ආරක්ෂා කිරීමට මම සූදානම් නැහැ''
සුසිල් අසනීප වෙයි
ජනාධිපතිවරයා කතාව පවත්වන විට රැස්ව සිටි පිරිස දිගින් දිගටම අත්පොළසන් දුන් අතර, ජනාධිපතිවරයා කතාව අවසන් කරන විට ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත තැතිගත් ස්වරූපයෙන් හිඳ ඇත.
කෙසේ හෝ අවසානයේ සුසිල් ප්‍රේම්ජයන්ත අසනීප වී ඇති අතර, ඔහු රෝහල්ගත කිරීමටද සිදුවිය. රෝහල තුළ දිනක ප්‍රතිකාර ගැනීමෙන් පසුව ඔහු යථාතත්ත්වයට පත්ව ඇත.
කුඩු තොග අතුරුදන් වෙනවා කියල මටත් ආරංචියි
මෙවර කැබිනට් මණ්ඩලය තුළ උණුසුම් කතාබහක් ඇතිවූයේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. සතොස තුළ තිබි පසුගියදා අත්අඩංගුවට ගත් කුඩු තොගය පිළිබඳ ඇමති රිශාද් බද්යුදීන් කැබිනට් මණ්ඩලයේදී මුලින්ම ප්‍රශ්න කළේය.
''සතොසෙ කුඩු තිබුණා. කොහොමද එහෙම වෙන්නේ. ඒ කුඩු තොග අත්අඩංගුවට ගත්තා. මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනි. රිශාද් මෙසේ පවසන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට විය.
''කුඩු අල්ලා නඩු දාද්දි සාක්ෂිවලට පොඩි ප්‍රමාණයක් විතරයිනේ අවශ්‍ය. ඒ අනෙක් ඒවට මොකද කරන්නෙ. ඒවා විනාශ කරන්නෙ නෑනෙ. ඇත්තටම මේ කුඩුවලට මොනවද වෙන්නේ කියල කිසිම ආණ්ඩුවක් හොයල නැහැ. ඒ ගැන හොයන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. කුඩු තොග අත්අඩංගුවට ගත්තට ඒවා විනාශ කරනවා පෙන්නන්නෙ නැහැනේ. මටත් ආරංචියි එක එක දේවල් වෙනවා කියල. සාගල ඇමතිතුමා?
ජනාධිපති මෛත්‍රී එසේ සාගලගෙන් ප්‍රශ්න කරන විට සාගල පැවසුවේ මෙවැන්නකි.
''මේ වෙනකම් එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා නැහැ ජනාධිපතිතුමා. ඒ සම්බන්ධ කිසිම ක්‍රමවේදයක් නැහැ. ඉස්සර ඉඳන්ම මේ විදිහට තමයි වෙලා තියෙන්නේ''
සාගලගේ පිළිතුර පිළිගැනීමට ජනාධිපතිවරයා සූදානම් නොවීය.
''එහෙම කියල බැහැ. මේකට වැඩපිළිවෙළක් අපේ ආණ්ඩුවෙන් හරි හදන්න අවශ්‍යයි. මම මේකට කමිටුවක් පත්කරනවා. ඔබතුමාලා ඒ ගැන හොයල බලල ක්‍රමවේදයක් හදන්න''
ඒ අනුව ඇමතිවරුන් වන විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත සහ සාගල රත්නායකගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත්කළ අතර, එම කාර්යය ඔවුන්ට භාර කෙරිණ.
හිටපු ඇමතිට ලැබුණු දුරකථන ඇමතුම
හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධ ගිවිසුම මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණු අතර, ඇමතිවරුන්ට එය අධ්‍යයනය කිරීමට සතියක කාලයක් ලබාදුනි.
හම්බන්තොට වරාය ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් එය විවාද කිරීමට නොහැකි වූයේ ඒකාබද්ධ විපක්ෂයේ බාධාකිරීම් නිසාය.
වරාය ගිවිසුම සම්බන්ධ හොඳ නරක පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට සැවොම සූදානම්ව සිටින ලෙස කොළඹ පිහිටි විදෙස් තනාපති කාර්යාලයකින් ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිට ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් සියල්ල වෙනස් විය.
ඒකාබද්ධ විපක්ෂය විවාදයේ කරුණු දක්වනවා වෙනුවට සෙන්කෝලය උදුරාගැනීමට උත්සාහ කර පාර්ලිමේන්තුව අවුල් කළේය. ඒ නිසා කථානායකට සිදුවූයේ පාර්ලිමේන්තුව සිකුරාදා දක්වා කල් තැබීමටයි.
ඒකාබද්ධයෙන් නාට්‍යයක් රඟපායි
මේ වසරේ 70 වැනි විය සපුරන පාර්ලිමේන්තු ඉතිහාසය කවදත් උණුසුම් වාද විවාද සහ ක්‍රියාවන්ගෙන් අඩුවක් නැත. එහෙත් සභා ගර්භයේ කටයුතු නිමා කර කථානායකවරයා නැගී සිටි සැණින්ම වහාම උණුසුම නිවී යන්නේ ඉන්පසු සිදුවන කිසිදු කටයුත්තක් වලංගු නොවන බව කවුරු කවුරුත් දැන සිටින නිසාය.
එහෙත් පසුගිය සිකුරාදා සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. සභාවේ කටයුතු නිමව සියල්ලන් පිටව යද්දී ඒකාබද්ධයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාව තුළ රැඳී සිටි බැවින් එහි දොරටු වැසීම භාරව සිටි සේවකයෝද විපිලිසර වූහ. රැඳී සිටි මන්ත්‍රීවරුන්ගේ අරමුණ වූයේ නාට්‍යයක ආකාරයෙන් පාර්ලිමේන්තු රැස්වීමක් රඟදැක්වීමය.
ඒ අනුව පළමු කටයුත්ත කැඳවීම් සීනුව නාද කිරීම වුවත් කිසිවෙකුට එය ක්‍රියාත්මක කිරීමේ බොත්තම තිබෙන ස්ථානය සොයාගත නොහැකි වූයේ එය පාර්ලිමේන්තු මහලේකම්වරයා අසුන්ගන්නා ස්ථානයේ ඔහුගේ අසුනට පහළින් තිබෙන නිසාය.
කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයක් දරා එතැනට බඩගා ගියේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේය. ඔහු කැඳවීම් සීනුව නාද කළ පසු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු යළි පැමිණියේ කල් තියා මෙම නාට්‍ය පිළිබඳ අවබෝධයක් ඔවුනට තිබූ නිසා බව පෙනිණි.
මෙහි ජනාධිපතිවරයාගේ චරිතය රඟපෑවේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ය. ඔහු ජනාධිපතිවරයාට වෙන් කර ඇති අසුනේ අසුන්ගත් පසු මුලින්ම ඔහුට අත්පොලසන් දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා සුබ පැතූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ සියල්ලෝම ඊට එක් වූහ.
ඉන්පසුව ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස රඟපාමින් කථානායක අසුනේ රැඳී සිටියදී පාර්ලිමේන්තු මහලේකම් ලෙස මාරුවෙන් මාරුවට මහින්දානන්ද අලුත්ගමගේ සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරු රඟපෑහ. නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම් චරිත හිමි වූයේ පිළිවෙළින් ගාමිණී ලොකුගේ සහ රංජිත් සොයිසා මන්ත්‍රීවරුන්ටය.
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රසන්න රණවීර සහ රත්නපුරයේ රංජිත් සොයිසා යන මන්ත්‍රීවරු උද්වේගකර කතා පැවැත්වූහ.
අඩහෝරාවක් පමණ පැවැති එම නාට්‍යයේ අරමුණ පැහැදිලි නොවුවද \ ඉතිහාසයේ පෙර නොවූ විරූ මෙම සිදුවීමෙන් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය වික්ෂිප්තභාවයට පත් වූයේ කිසිවක් කර කියාගත නොහැකිවය.
කෙසේ වෙතත් මෙම සිදුවීමේ බරපතළකම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ටද පසුව වැටහී තිබූ බව පැහැදිලි වන්නේ කිහිපදෙනෙකුම කථානායකවරයා අමතා එවන් තත්ත්වයක් යළි කිසිදා ඇති නොවිය යුතුය යන්න තම මතය වන බව පැවසීමෙනි.
පාර්ලිමේන්තුවේ තමන්ට අයත් නොවන අසුන්වල අසුන් ගනිමින් මෙම විකට රංගනයට දායක වූවන්ට විරුද්ධව විනය පියවර ගතයුතු බව කථානායකවරයාට විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වාදෙනු ලැබීය.
යම් කිසිවෙකු තමන්ට හිමි නැති අසුන්වල අසුන්ගෙන තාවකාලික වින්දනයක් ලැබීම බොළඳ ක්‍රියාවක් බවත්, එය මුළු රටේම ධුරාවලියට රට හදන තැනින් එල්ල වූ කණේ පහරක් බවත්, වියත් භික්ෂූන් වහන්සේලා මෙන්ම දේශපාලන ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකුද කථානායකවරයාට කියා සිටි අතර, බොහෝ දෙනා කීවේ කනගාටුව නම් මෙවැනි දේට ජනතා මුදල් නාස්ති කිරීම බවය.
කථානායක අසුනට පැමිණි පළමු දිනයේ සිටම පාර්ලිමේන්තු මන්ත්‍රීන් තුළ උසස් විනයක් ඇති කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ කථානායකවරයාටද මෙය මහත් මානසික පීඩාවක් විය.
අවසානයේදී සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු කැමරා පද්ධතියේ පටිගතව ඇති දර්ශන සෑම කෝණයකින්ම නරඹා ඉදිරි පියවර ගැනීමට තීන්දු කෙරිණි. ඒ අනුව ගෙවුණු සතියේ හෝරා ගණනාවක් ඒ වෙනුවෙන් යෙදවීමට කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ අදාළ නිලධාරීන්ට සිදුව තිබිණි.
හඳුන්නෙත්තිගෙන් අලුත් අදහසක්
පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාව මගින් පැවැත්වූ වැඩමුළුවක් අඟහරුවාදා බත්තරමුල්ලේදී පැවැත්විණි. ඒ සඳහා කථානායකවරයා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ අතර, මන්ත්‍රීවරුන්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී හර්ෂ ද සිල්වා විසින් දේශනයක් පැවැත්වූ අතර, කථානායකවරයාගේ දේශනයේදී කෝප් කමිටුවේ කාර්යභාරය විශාල ඇගයීමකට ලක්විය. ඉන්පසුව එළඹියේ කෝප් සභාපතිවරයාගේ කතාවයි. එහිදී ඔහු ආණ්ඩුවට අපූරු යෝජනාවක් කළේය.
''කෝප් කමිටුව මේ වෙනකොට රැස්වීම් වාර 98ක් පවත්වලා තිබෙනවා. ආයතන 58ක් විමර්ශනයට කැඳවලා තිබෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පමණක් රැස්වීම් වාර 14ක් පැවැත්වූවා. මෙතෙක් පැවැති කෝප් කමිටුවලට සාපේක්ෂව ගත්තාම මේ කාල පරිච්ජේදය තමයි ක්‍රියාකාරිත්වය ඉහළම කියලා අපිට නිලධාරීන් කියනවා.
දැන් ආණ්ඩුව වරාය විකුණන්න යන්නේ ඩොලර් බිලියනයක් හොයාගන්න. නමුත් අපි ඉදිරිපත් කරලා තියෙන කෝප් වාර්තාවල ඊට වඩා වංචා දූෂණ සිදුවෙලා තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුවේ විතරක් ඒ මොහොතේ පාඩුව රුපියල් බිලියන 1.6ක්. සහල් ආනයනයෙන් සිදුවූ පාඩුව කෝටි 551ක්.
මේ වගේ වංචා දූෂණ ගැන පරීක්ෂණ පවත්වලා අයකර ගන්න පුළුවන් ඒවා අය කරගෙන වංචාව දූෂණය නතර කරන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් අපේ රටේ දේපළ විකුණන්න ඕන වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා කෝප් කමිටුවෙන් හොරු අල්ලයි කියලා. නමුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ හොරු ආරක්ෂා කරන එක'' යැයි කෝප් සභාපතිවරයා කියා සිටියේය.
ඇමති පරක්කුව
පසුගිය සතියේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක දේශපාලන සංවාදයක් පැවැත්විණ. එයට ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහයි. එජාපය නියෝජනය කරමින් අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සහ හර්ෂණ රාජකරුණා සහභාගි වූහ.
මෙහිදී යහපාලන ආණ්ඩුව පත්වෙද්දී දූෂිතයන්ට දඬුවම් ලබාදෙන බවට ප්‍රතිපත්තිමය එකඟතාවක සිටි නමුදු මේ වනවිට දුෂිතයන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී වීම සංවාදයට ලක්විය.
මෙහිදී දුෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවන බව ආණ්ඩුව පොරොන්දු වූ බව මාධ්‍යවේදීන් අජිත් පෙරේරා මන්ත්‍රීවරයාට මතක් කර සිටියේය.
''විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා අපි කිව්වෙ නැහැ. විශේෂ ඒකකයක් හදනවා කිව්වා. මම හිතන විදියට විශේෂ අධිකරණයක් ඕන නැහැ. නමුත් මේ නඩු විභාග කරන්න විශේෂ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. දැන් වෙන්නේ මාස ගණන් නඩු කල් යන එක. මාස 6න් 6ට නඩු වාර 5ක් ගියාම අවුරුදු 03ක් ඉවරයි. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මට කියන්න පුළුවන් සීමාවට මම මේ කියන්නේ.
අධිකරණ ඇමතිවරයා මේවා කඩිනම් කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. අගමැතිතුමා ඒවට අදාළ උපදෙස් දීල තියෙන්නේ. නමුත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ අධිකරණ ඇමති අකමැති නිසා” අජිත් පෙරේරා කියා සිටියේය.
අනතුරුව මාධ්‍යවේදියෙකු වසන්ත සමරසිංහගෙන් අසා සිටියේ ජවිපෙ ආණ්ඩුවකදී නම් මොකද කරන්නේ කියාය. ''අපේ පාලනයකදී නම් විශේෂ අධිකරණ එකක් නෙවෙයි තුන හතරක් හරි දානව. ප්රශ්නය තියෙන්නේ මෙතනයි. දැන් අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමාම කියනවා විජේදාස රාජපක්ෂ අකමැති නිසා දූෂිතයන්ට දඬුවම් දෙන්න විදිහක් නැහැ කියලා.
ඒත් වරාය ඇමති අකමැති වෙලා තියෙද්දි වරාය දෙන්න ආණ්ඩුවට කටයුතු කරනවා. මෙතන තියෙන්නේ ආණ්ඩුවේ උවමනාව. විකුණන්න ඕන වුණාම කවුරු අකමැති වුණත් විකුණනවා. දූෂිතයන් රකින්න ඕන වුණාම රකිනවා. මේ දූෂිතයන් රකින්නේ සමහර දූෂිතයන් ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ගේ ගනුදෙනුකරුවන් නිසයි'' වසන්ත සමරසිංහ කීවේය.
පොදුජන පෙරමුණේ පළමු ආසන බලමණ්ඩලය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය සංවිධායක කටයුතු මේ වනවිට වේගවත් කර තිබේ. එම පෙරමුණේ ආසන බලමණ්ඩල පිහිටුවීම පසුගිය සතියේ ආරම්භ කෙරුණේ මිනුවන්ගොඩින්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය පොදුජන පෙරමුණේ පළමු බලමණ්ඩලය ලෙස නම් කිරීම බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී පසුගිය 29 වැනිදා සිදුකෙරිණි.
ඒකාබද්ධ විපක්ෂයේ පළමු ආසන බලමණ්ඩලය ලෙස නම් කෙරුණේද මිනුවන්ගොඩ නිදහස් පක්ෂ බලමණ්ඩලයයි. මිනුවන්ගොඩ බලමණ්ඩලය නම් කිරීම සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කර තිබූ ප්රචාරක පුවරු කඩාබිඳ දැමීමට එරෙහිව බලමණ්ඩලයේ පිරිස් ප්රසන්නද පිරිවරා ගෙන උඩුගම්පොළ මංසන්ධියේදී විරෝධතා ව්‍යාපාරයකද නිරත වූයේ රැස්වීම පැවැත්වෙන අතරතුරය.
විකුණන මිනිස්සු හදපු මහන්සිය දන්නේ නැහැ
බලමණ්ඩලය නම් කිරීමෙන් අනතුරුව බැසිල් ඇතුළු පිරිස සුහද කතාබහක නියැළුණේ ප්‍රසන්නගේ නිවසේ තේ පානය කරන අතරතුරය. බැසිල්, ප්‍රසන්න, සනත්, ඉන්දික, රණවීර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කෙරුණේ එදින අත්සන් තබන ලද හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීමේ ගිවිසුම සම්බන්ධයෙනි.
''හම්බන්තොට වරාය චීනයට විකුණලා දාපු ගිවිසුම පාවාදීම අතින් දෙවැනි වෙන්නේ ඉන්දු-ලංකා ගිවිසුමට විතරයි. ගිවිසුම් දෙකම අත්සන් තියලා තියෙන්නෙත් එකම දවසක'' ප්‍රසන්න කතාවට මුලපුරමින් කීවේය.
''රටක් පාවා දෙන්න ලේසියි. හැබැයි ඒවා ආයෙත් නිවැරදි කරන්න තමයි අමාරු. වරාය හදන්න අමාරුයි. විකුණන්න ලේසියි. හැබැයි වරාය අයෙත් පවරා ගන්න අමාරුයි'' බැසිල් පෙන්වා දුන්නේය.
''බලයට ආපු දවසේ ඉඳන් පාවාදීම් කරලා දැන් ආණ්ඩුවට පාවාදීම් කියන්නේ මොනවද කියලවත් තේරෙන්නේ නැති තැනට ඇවිත්'' සනත් පැවසීය.
''හම්බන්තොට වරාය කියන්නේ ලෙනාඩ් වුල්ෆ්ගේ කාලයේ පටන්ම රුහුණේ මිනිස්සු දැකපු හීනයක්. ඒක සැබෑ කරන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විතරයි. එතුමා ඔය වරාය හැදුවේ ලොකු මහන්සියක් වෙලා. විකුණන මිනිස්සු ඒ මහන්සිය දන්නේ නැහැ.
මොනවා වුණත් අපේ රටේ ජාතික සම්පත් මේ විදියට කුණුකොල්ලයට විකුණලා දාන්න දෙන්න බැහැ. අපි බලයට පත්වෙච්ච ගමන් ආයෙමත් හම්බන්තොට වරාය ජනසතු කරනවා. චීනය තරහා වුණා, ඉන්දියාව තරහා වුණා කියලා අපට කරන්න දෙයක් නැහැ. මේවා අපේ සම්පත්'' බැසිල් කීවේය.
''එක්සත් ජාතික පක්ෂයේ ප්රතිතප්තිය තමයි අම්මව විකුණලා හරි සල්ලි හොයන එක. බණ්ඩාරනායක මහත්තයා, මැතිනිය වගේම මහින්ද මහත්තයත් අපේ ජාතියට සම්පත් එකතු කළා මිසක් විකුණුවේ නැහැ'' ප්‍රසන්න පෙන්වා දුන්නේය.
''අද විනාශ කරලා තියෙන්නෙ ඒ වගේ සාඩම්බර අතීතයක් තිබුණු පක්ෂයක් තමයි. එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලෙන්න යන කොට ඕක වෙනවා කියලා අපි කිව්වා'' සනත් පැවසීය.
''එදා ජනාධිපතිවරය පරාද වුණාම හැමෝම චෝදනා කළේ බැසිල් රාජපක්ෂ මහත්තයාට. බැසිල් නිසා පැරදුණා කියලා තමයි කවුරුත් කිව්වේ. එදා බැසිල් නිසා පැරදුණා නම් මෙදා දිනන්නෙත් බැසිල් නිසාම තමයි'' ප්‍රසන්න කීවේ බැසිල් රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුළ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද නැගෙන චෝදනා ගැන අදහස් දක්වමිනි.
''ජනාධිපතිවරණය පරාද වුණාට පස්සේ ඒකාබද්ධ විපක්ෂය විදියට අපට හරියට පස්ස තියලා වාඩි වෙන්න තැනක් තිබුණේ නැහැ. අපිත් හැමදාම වැඩකළේ හරියට වඳුරෝ ගෙවල් හදනවා වගෙයි. එහෙම හිටපු අපට පොදුජන පෙරමුණ හදලා, නෙළුම් මාවතේ කාර්යාලයක් ඇරලා ඉන්න හිටින්න තැනක් හදලා දුන්නේ බැසිල් ඇමතිතුමා තමයි.'' සනත් නිශාන්ත බැසිල්ට සහතිකයක් දුන්නේය.
මෙම කතාබහෙන් පසු බැසිල් සහ ප්‍රසන්න අතර ප්‍රසන්නගේ නිවසේ ඇතුළු කාමරයක රහස් සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර, එහිදී කතාබහ කෙරුණේ කුමක්දැයි කිසිවෙකුට හෙළිදරව් නොකිරිණි. කතා වූයේ කුමක්දැයි ඇසූ හිතවතුන්ට ප්‍රසන්න පිළිතුරු දුන්නේ සිනාවකින් පමණි. ''මොකක්ද සර් අපේ පැත්තට එන අය ගැනද කතා වුණේ?'' යැයි ඇසූවෙකුට ප්‍රසන්න කීවේ ''බලාගෙන ඉන්නකෝ'' යනුවෙනි.
අන්තිම කෝච්චිය මිස්කර ගන්න එපා
අභාවප්‍රාප්ත වූ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ ගියේය. මහින්ද එහි යනවිට රමේෂ්, මොහාන් සහ සම්පත් අතුකෝරාළ මෙන්ම වරාය නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමද පැමිණ සිටියහ.
දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව මහින්ද සහ මුතුහෙට්ටිගම අතර විනාඩි දහයක පමණ කතාබහක් සිදුකෙරෙනු පිරිසට දැකගත හැකිවිය. වරාය ගිවිසුම මෙන්ම ආණ්ඩුවේ කාරණ සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කරගැනිණි. අවමඟුල් නිවසෙන් පිටත්ව යෑමට පෙර මුතුහෙට්ටිගමගේ පිටට තට්ට කළ මහින්ද ''මුතූ මේ පාරවත් අන්තිම කෝච්චිය නම් මිස්කර ගන්න එපා'' යැයි කීවේය.
''නෑ සර් මේ පාර නම් කෝච්චිය මිස්කර ගන්නේ නැහැ. කොහොම හරි අල්ල ගන්නවා'' මුතුහෙට්ටිගම පිළිතුරු දුන්නේය.
දියවන්නාරාළ විසිනි
diyawannarala@gmail.com
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd