මෙවර සා.පෙළ 'ගණිත පත්‍රය ගැටලුවක්' වූයේ කෙසේද?
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සංකීර්ණ ආකාරයෙන් සකස් කර ඇතැයි සිසුහු හා ගුරුවරු චෝදනා මුඛයෙන් කතා කරති. මෙම සංකීර්ණතාව තමන්ට කාලය කළමනාකරණය කර ගනිමින් නිවැරදිව පිළිතුරු සැපයීමේදී බාධාවක් වූ බව සිසුහු පවසති. මේ අතර ගණිතය පත්‍රයේ සංකීර්ණ බව දරාගත නොහැකිව පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ සිසුවෙකු සියදිවි නසාගත් පුවතක්ද වාර්තා විය. මෙම ගැටලුවට පොදුවේ විභාගයට මුහුණදුන් සිසුන් බහුතරයක් දෙනා මුහුණදී තිබෙන බැවින් අපොස සාමාන්‍ය පෙළ විභාගය හා සමස්ත අධ්‍යාපන ක්‍රමය ගැන පාර්ශ්ව කිහිපයක අදහස් විමසීමක් අප සිදුකළෙමු. ඔවුන් එහිදී පළකළ අදහස් පහතින් දැක්වේ.
'මෙවර ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ 'බී' කොටසට ගුරුවරුන්ටවත් පිළිතුරු ලියන්න බැහැ' - හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
'සත්වෝද්‍යාන තුළ නයි නටවන එකටත්, අලි බලාගන්න යන්නත් අපොස සාමාන්‍ය පෙළ ගණිතය සමත් වෙලා තිබිය යුතුයි. සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය සමත් නැත්නම් මම අධ්‍යාපන ඇමති වනතුරු දරුවා පාසලෙන් එළියට දැම්මා. අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා ගණිතය විෂය සමත් නැත්නම් උසස් පෙළ කරන්න බැහැ කියලා. මම තීන්දුවක් දුන්නා ගණිතය විෂය අසමත් අයට කලා අංශයේ විෂය ධාරාවන් හදාරන්න අවස්ථාව දීමට. මේ රටේ ගණිතය පිළිබඳ මහාචාර්යවරුන්ගේ නිර්දේශ වාර්තාවක් තිබෙනවා. එම වාර්තාවේ තිබෙන ආකාරයට ගණිතය ප්‍රශ්න පත්‍රය මෙවර සකස් කළා නම් දිඹුලාගල දරුවාගේ මරණය සිද්ධ වෙන්නෑ. මේ වාර්තාව හදලා තියෙන්නේ මීට අවුරුදු හතරකට පෙර. නිලධාරීන්ගේ යුතුකමක් තිබුණා මේ විශේෂඥ කමිටු වාර්තාවේ තිබෙන දෙවල් දරුවන්ගේ යහපත සඳහා ක්‍රියාත්මක කිරීමට. එසේ ක්‍රියා නොකිරීම නිසා මෙවර ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ 'බී' කොටසට නිශ්චිත කාලයක් තුළදී ගුරුවරුන්ටවත් පිළිතුරු ලියන්න බැහැ. ඉතිං අවුරුදු 16ක ළමයෙකුට මෙවැනි මානසික පීඩනයක් දෙනකොට සියදිවි නසා ගන්නේ නැද්ද? ඇයි අධ්‍යාපනඥයෝ මේවා ගැන අවධානය යොමු කරන්නේ නැත්තේ'.
'ළමයින්ට උත්තර ලියාගන්න බැරි තත්ත්වයට එම ප්‍රශ්න පත්‍රය සකස් කරනවා නම් ඒක ඉතාම බරපතළ ප්‍රශ්නයක්' - ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ
'ගණිතය ප්‍රශ්න පත්‍රය සංකීර්ණ කර තිබෙන්නේ කුමන අරමුණකින්ද කියා තවම අපට හිතාගන්න බැහැ. කුමන අරමුණකින් කළත් ළමයින් දැඩි ලෙස පීඩාවට පත්වෙන බවට අවධානය යොමුකළ යුතුයි. ගණිතය විෂය අපේ දරුවන් සලකන්නේ තරමක් අසීරු විෂයයක් විදිහට. සමාජය පූර්ව නිගමනයක ඉන්නවා ගණිතය අමාරුයි කියලා. එවැනි විෂයයක් විභාගය තුළින් තවත් අමාරු කරනවා නම්, ළමයින්ට උත්තර ලියාගන්න බැරි තත්ත්වයට එම ප්‍රශ්න පත්‍රය සකස් කරනවා නම් ඒක ඉතාම බපතළ ප්‍රශ්නයක්. සාමාන්‍ය පෙළ විභාගයේදී රට පුරාම දරුවන්ගේ පැත්තෙන් හා දෙමවුපියන්ගේ පැත්තෙන් එන චෝදනාවක් තමයි මෙවර ප්‍රශ්න පත්‍රයේ යම් යම් කොටස්වලට උත්තර ලියන්න අපහසු බව. ඒ පිළිබඳව අපේ දැඩි විරෝධය පළකරනවා. ඒ හරහා අපිට බරපතළ සැකයක් තිබෙනවා අපේ දරුවන් අධ්‍යාපනයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක නියැළෙනවාද කියලා. පසුගිය කාලය පුරා අධ්‍යාපන ඇමතිවරයා දිගින් දිගටම අවධාරණය කළා ගණිතය නැතත් උසස් පෙළ හදාරන්න දෙනවා කියලා. ගණිතය, විද්‍යාව වැනි විෂයයන් කියන්නේ ජීවිතයට අත්වැලක් වන විෂයයන්.එම විෂයයන්වල මූලික සංකල්ප ඉගෙන ගැනීමෙන් දරුවෙකුට පුළුල් අවබෝධයක් සහිත පුරවැසියෙකු ලෙස සමාජය තුළ ජීවිතයට මුහුණදෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ගණිතය වැනි විෂයයක් දරුවන්ගෙන් ඈත් කරන එක නෙමෙයි කරන්න ඕන. ඔවුන්ට තව තවත් සමීප කරන එකයි. ඒ සඳහා විවිධ සරල ක්රමයන් ඔස්සේ සමීප කිරීමට අවශ්‍ය පියවර ගතයුතුයි. නමුත් ඒ වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ විභාගවලදී තව තවත් අමාරු ප්‍රශ්න දීලා ගණිතය විෂයයෙන් දරුවන් තව තවත් දුරස් කරන එක. දැනට දරුවන්ගෙන් නැගෙන චෝදනා පිළිබඳව අවධානය යොමුකරන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා'.
'ගණිතය අනිවාර්යය නැහැ කියන එකට අපි විරුද්ධයි' - ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්
'විභාග ප්‍රශ්න පත්‍රය බලන්න කලියෙන් ප්‍රශ්න පත්‍රය සම්බන්ධව නියැඳි පරීක්ෂණයක් සිදුකරනවා. ඒ අනුව තමයි ලකුණු දීම ගැන තීරණයක් ගන්නේ. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ කාලය ප්‍රමාණවත් නැහැ කියලා සිසුන් කියනවා. ඒ වගේම ලඝු ගණනක ප්‍රශ්නක් තියෙනවා විසඳිය නොහැකි. ප්‍රශ්න පත්‍රයක් හැමදාම එකම විදිහකට යන්න ඕන නැහැ. වෙනස් වෙවී යන්න ඕන කියන ගැන අපිට ගැටලුවක් නැහැ. විභාගත් නවීකරණය විය යුතුයි. එකම විදිහට ගිහින් තේරුමක් නැහැ. එම විභාගවලදී දරුවන්ට වෙන පීඩනය මොකද්ද කියලා බලලා විසඳුම් දෙන්න ක්‍රමවේද තියෙනවා. ප්‍රශ්න පත්‍ර බලන්න පෙර නියැඳි පරීක්ෂාවට යනකොට ළමයි ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධව හා ගුරුවරුන්ගේ පැත්තෙන් මතුවෙන අදහසට අවධානයක් යොමුකරන්න කියා අපි ඉල්ලා සිටිනවා.
ගණිතය අනිවාර්යය නැහැ කියන එකට අපි විරුද්ධයි. ගණිතය අත්‍යවශ්‍ය විෂයයක්. ලංකාවේ මේ වනකොට අධ්‍යාපනය සැලසුම් කරන්න යන්නේ සමබර පෞරුෂයෙන් යුතු පුරවැසියෙකු බිහිකරනවා වෙනුවට වැඩ ලෝකයට ශ්‍රමිකයෙකු බිහි කිරීමටයි. ඒ අයට අවශ්‍ය වැඩ ලෝකයට ශ්‍රමිකයෙකු හදාගැනීම පමණයි. එහිදී විභාගයේ බැරෑරුම්කම අඩුකරලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඒකෙන් අපි අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන ඵලය ජයගන්න බැරිවෙනවා. එවැනි ආකල්පයකින් කටයුතු කරන එක වැරදියි. ගණිතය අනිවාර්යය කිරීම තුළ විභාගය සරල කිරීමක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. විභාගය සරල කළ යුත්තේ ගණිතය අහෝසි කිරීමෙන් නෙමෙයි.
දැන් ලංකාවේ ඇමතිවරු වෙනස්වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඇමතිවරු තමයි අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදකයෝ වෙලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. 1991 ඉඳන් ලංකාවේ ස්ථාපිත කරලා තියෙනවා ජාතික අධ්‍යාපන කොමිසමක්. මේ කොමිසම නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදලින්. එම කොමිසමේ කාර්යභාරය තමයි අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. එම කොමිසම පැත්තකට දාලා එම කටයුතු කරන්න ඇමතිවරු ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි වරින් වර ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ. පසුගිය දවසක වත්මන් ඇමතිවරයා විෂයයන් හයක් කරන්න කතා කළා.
මේ සියල්ල කළ යුත්තේ අධ්‍යාපන කොමිසම. ඒ කොමිසම විද්වතුන් එක්ක, ගුරුවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති එක්ක කතාකරලා මේවා කළ යුත්තේ. එහෙම නැතිව අත්තනෝමතිකව ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළ අධ්‍යාපනය අයාලේ යන එක වළක්වන්න බැහැ. බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ කාලයේ සිදුවුණු දේවල්ම තමයි අකිල විරාජ් කාරියවසම් කරන්නෙත්. තමාට ඕන ප්‍රතිපත්ති ඔහු ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අකිල විරාජ් කටට එන ඒවා කියනවා. එහෙම අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න බැහැ. විෂයමාලා සකස් කරන්න ජාතික අධ්‍යාපන ආයතනය කියලා එකක් තිබෙනවා. අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සකස් කරන්න %ජාතික අධ්‍යාපන කොමිසම^ තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය 1987 ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ. මේව ස්ථාවර ආයතන. එම ආයතනවල කාර්යභාරය ඇමතිවරුන්ට කරන්න බැහැ. ඒ නිසා තමයි මේ විදියට අධ්‍යාපනයේ අර්බුද ඇවිල්ලා තියෙන්නේ.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ස්ථිර ප්‍රතිපත්ති සම්පාදකයෙක් ඉන්නවා. දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් නිකන් ඉඳන් පඩි ගන්නවා. කොමිසමට කාර්යභාරයක් නැහැ. අපි දන්නවා ජාතික අධ්‍යාපන කොමිසම අවස්ථා ගණනාවකදී මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. එම යෝජනා සඳහා පාර්ලිමේන්තුවේ අනුකාරක සභා ඇතිවුණා. ඒවා ඔක්කොම පැත්තකට දාලා ඇමතිවරුන්ට ඕන විදිහට තමයි කරගෙන යන්නේ. කොමිසමට අලුත් පිරිසක් පත් කරලා අලුත් යෝජනා ක්‍රියාත්මක කරන්න යනවා. විභාග දෙපාර්තමේන්තුව ඇගයීම් කරන්න ඉන්නවා.
මේ විදිහට වෙන වෙනම ආයතන තිබෙනවා. ඒවාට ව්‍යුහයන් තිබෙනවා. ඒවා නොකර ඇමතිවරුන් තීරණ ගන්න ගියාම විහිළුවක් බවට පත්වෙලා. අනෙකුත් ක්ෂේත්රවල එහෙම නෑ. අමාත්‍යාංශ සියල්ලේම කටයුතුවලට ඇමතිවරුන් ඇඟිලි ගහන්න ගියාම වැඩක් කරන්න බැරි වෙනවා. පද්ධතියේ දූෂණයක් තිබේ නම් ඇමතිවරයා මැදිහත් වුණාට කමක් නැහැ.
දැනට දිඹුලාගල දරුවෙක් මිය ගිහින් තිබෙනවා. ඉදිරි තීරණ ගනිද්දී මේවා සියල්ලම සැලකිල්ලට ගන්න ඕන. අද අධ්‍යාපන කාර්යාලවල, කලාප මට්ටමින් , කොට්ඨාස මට්ටමින් අධ්‍යාපනයේ සංවර්ධන මනින දර්ශකය වෙලා තියෙන්නේ විභාග සමත්වීම. ඒක වැරදියි. පාසලේ කාර්යභාරය විභාග සමත්වීම නෙමෙයි. පාසල්වල ප්‍රතිඵල සංසදනය කරමින් සිටීම නිසා අවසානයේදී ආත්මාර්ථකාමී දරුවෙකු නිර්මාණය කරනවා. මේ විභාග සමත් කරවීමේ ක්‍රියාවලිය හේතුවෙන් ගුරුවරුන්ට බරපතළ පීඩනයක් ඇතිකර තිබෙනවා. ගුරුවරුන්ට හවස පන්ති දාන්න වෙනවා. රෑ පන්ති දාන්න වෙනවා. සමහර පාසල්වල උදෑසන පන්ති තිබෙනවා. විෂය මාලාව උගන්වන්න තමයි 7.30-1.30 කාල රාමුවක් දීලා තියෙන්නෙ.අද වෙනකොට ළමුන්ටත්, දෙමවුපියන්ටත්, ගුරුවරුන්ටත් ජීවිතයක් නැහැ. ඒ නිසා මේවා වෙනස් වෙන්න ඕන. මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්නේ මෙවැනි පීඩාකාරී ක්‍රමයක් නිසා තමයි. විභාග නිසා ළමුන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වී තිබෙනවා. මේ විකෘතිය නිවැරදි වෙන්න ඕන. එම ක්‍රමය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය අනුගමනය කරන ක්‍රමය නෙමෙයි. ඊට වඩා ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න ඕන. විෂයයන් හයක් කරනවා කියලා අනෙත් පැත්තෙන් ගුරුවරයා බරපතළ විදිහට පීඩනයට ලක් කරලා තිබෙනවා. ළමුන් සමත් වීමේ ප්‍රතිශතය සියයට 40ට අඩු නම් හැටන් වැනි සමහර කලාපවල ගුරුවරුන්ගේ වැටුප් වර්ධක නතර කර තිබෙනවා. දකුණු පළාතේ ගුරුවරුන්ට විගණන පරීක්ෂණ කළා'.
'විභාගවලට ප්‍රශ්න පත්‍ර හැදිය යුත්තේ මහාචාර්යවරුන් නොව පාසල්වල උගන්වන ගුරුවරුන්' - සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර
'ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කරන්නෙත් ප්‍රශ්න පත්‍ර හදන කට්ටියමයි. එයාලා හුඟක් වෙලාවට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු. ඉස්කෝලවල ඉගෙන ගන්න ළමුන්ගේ තත්ත්වය ගැන එයාලට අවබෝධයක් නැහැ. මේ වගේ ඇබැද්දි මීට කලිනුත් වෙලා තිබෙනවා. එක සැරයක් මගේ පුතා උසස් පෙළට පෙනී සිටි ගණන් පත්‍රයට කිසි කෙනෙකුට සම්මානයක් ගන්න බැරිවුණා. මීට අවුරුදු විස්සකට ඉස්සර එය සිදුවුණේ. අලුතෙන් මහාචාර්ය කෙනෙක් ඇවිල්ලා තමයි ඒ ගණන් පත්‍රය හදලා තිබුණේ. පසුව එය වෙනස් කරන්න වුණා. මෙවැනි දේවල් ගැන විභාග දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුවෙන්න ඕන. මේ විදිහට ප්‍රශ්න පත්‍ර අමාරු ආකාරයට හදලා තිබ්බ නම් ළමුන්ට සහනයක් අත්වන විදිහට ඉදිරි තීන්දු ගන්න ඕන.
මගේ පෞද්ගලික අදහස නම් ළමුන්ට සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට ප්‍රශ්න පත්‍ර දෙනකොට ඒවා හැදිය යුත්තේ මහාචාර්යවරුන් නොව පාසල්වල උගන්වන ගුරුවරුන්. හොඳට පලපුරුද්ද තියෙන උගත් ගුරුවරු ඕන තරම් පාසල්වල ඉන්නවා. එවිට මෙවැනි ඇබැද්දි සිද්ධ වෙන්නෑ. ළමුන්ගේ මානසික මට්ටම ගැන පාසල් ගුරුවරුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ කාර්යය මහාචාර්යවරුන්ට දුන්නාම ඒ අයගේ මහාචාර්යකම පෙන්වන්න බහුභූත හදනවා. ඒ නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍ර හදන වැඩේ ගුරුවරුන්ට භාර දෙන්න. එහෙම නැතිව කොහේවත් ඉන්න මහාචාර්යවරුන්ට දුන්නාම මහාචාර්යකම පෙන්නන්න හදනවා. අලුත් විභාග කොමසාරිස්වරයෙක් පත් කරලා තිබෙනවා. ඒ මහත්මයාගේ අවධානයට මෙම කරුණ වහාම යොමුවෙන්න ඕන.
දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය නිසි වැඩකට ඇති එකක් නෙමෙයි. මේකෙන් කරන්නේ රේස් අස්පයෝ පුරුදු කරන එක විතරයි. මේක තුන්වැනි ලෝකයේ කිසිම රටකට සුදුසු නැති අධ්‍යාපන ක්‍රමයක්. අනිත් සියලු දේ වගේම අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕන.
පසුගිය කාලය පුරාම මේ අධ්‍යාපන ක්‍රමයෙන් කරලා තියෙන්නේ රේස් අස්පයෝ හදපු එක මිසක් රටට වැඩදායක විචාරශීලී බුද්ධිමත් පරපුරක් හදන එක නෙමෙයි. දැන් ඒක එන්න එන්නම වැඩි වේගෙන යනවා. ඒලෙවෙල්, ඕලෙවෙල් ටියුෂන් පන්තිවලට යන එක මිසක් රට ගැන අවබෝධයක්, සංවේදී බවක් මේ ක්‍රමයෙන් ඇතිවෙලා නැහැ. සම්පූර්ණයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න නිකන්ම බැහැ.
ඒ සඳහා සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමයත් වෙනස් වෙන්න ඕන. ආණ්ඩුවේ ඉන්න බහුභූත දේශපාලඥයෝ මැදිහත් කරගෙන මේවා කරන්න බැහැ. දැනඋගත් ජාතිහිතෛෂී පුද්ගලයෝ මේවට සම්බන්ධ වෙන්න ඕන. දැන් ඉන්න අයට එවැනි උපදෙස් වැඩක් නැහැ. මේගොල්ලන්ට ඕන කොහොමහරි බලයේ ඉන්න විතරයි*.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

