Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ප්රචණ්ඩත්වය යනු මානව සමාජයක් තුළ ඇති මූලික මනෝවිද්‍යාත්මක ලක්ෂණක්. මිනිසා තුළ ප්රචණ්ඩත්වය තිබිය හැකියි. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අතීතයේ ගෝත්‍රික සමාජය තුළ මෙය යොදා ගත්තා.
සමාජය ශිෂ්ට සම්පන්න වන විට මනස පාලනය කර ගැනීමේ හැකියාව තුළ ශිෂ්ටත්වයට පත්වෙමින් ප්රචණ්ඩත්වය අවම කිරීමේ යම් උත්සාහයක් ඇති වුණා. එහිදී මිනිසා බලය නමැති සාධකය භාවිත කළ බව අමතක කළ යුතු නැහැ.
අද වන විටත් අප ශිෂ්ටාචාරය ඇතැයි පිළිගන්නා රටවල පවා ගොන් පොරය පැවැත්වෙනවා. ඒ තුළ ප්රචණ්ඩත්වය නිතැතින්ම සිදුවෙනවා. මිනිසුන් අදටත් බොක්ෂිං තරග කෙරෙහි උනන්දුයි. එතැනදී සිදු වන්නේත් ප්‍රහාරයක්. එයද ප්රචණ්ඩත්වයේ තවත් පැත්තක්. එවැනි දේ දැකීමට මිනිසුන් තුළ ඇත්තේ දැඩි කැමැත්තක්. එවැනි දේ දැකීමට ඇති එම කැමැත්තද මානව ලක්ෂණයක්.
ප්රචණ්ඩත්වය සඳහා මිනිසා බලය යොදා ගන්නවා. එහිදී එය මානසික සහ ශාරීරික වශයෙන් අංශ දෙකකින් දැක්විය හැකියි.
ප්‍රචණ්ඩත්වයට වඩා ලිංගිකත්වය කියන කරුණ බටහිර සමග ගැළපීමේදී දැකගත හැකියි. අපේ රටවල සංස්කෘතිය තුළ පවතින ලිංගික වාරණයන් තුළ එයට යොමු නොවී ප්රචණ්ඩත්වය පැත්තට අපේ මාධ්‍ය විසින් ජනතාව යොමු කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙනවා. පොදුවේ සමාජය තුළ පැවතිය යුතු විනය ශික්ෂණය වෙනුවට ජනතාවට ප්රචණ්ඩත්වය මුදා හැරීම මාධ්‍ය තුළ නිතර සිදුවන දෙයක්.
ප්රචණ්ඩත්වය ඇති රටක් ලෙස මම ලංකාව දකිනවා. එය අපේ ඉතිහාසයේ සිට පැවතෙන පුරාවෘත්ත ඇසුරෙන්ද මම නිරීක්ෂණය කළ දෙයක්. එහිදී මේ කතාබහ අපේ ජාතික හෝ සංස්කෘතික නැතහොත් පුරාවෘත්ත බොරු යැයි කීමට හෝ ඒවා හෙළා දැකීමට ගන්නා උත්සාහයක් ලෙස වැරදි අර්ථකථනයක් ගතයුතු නැහැ.
මම කියන්නට යන්නේ ඒ ඒ සිදුවීම් පෙළ ගැසීමේදී ඒ තුළ පවතින ප්රචණ්ඩත්වය කෙබඳු ආකාරයෙන් අප විමසුමට ලක්කළ යුතුද යන කරුණ පමණයි. මන්ද අපි සාහිත්‍යකරණය තුළ අසන දකින ඇතැම් දේ අද පෙරපාසල් දරුවන් වෙනුවෙන් හෝ ප්‍රාථමික සිසුන් කෙරෙහි නාට්‍යානුසාරයෙන් පවා රඟදැක්වෙන නිසා එහිදී යම් වගකීමක් මෙවැනි කරුණු තුළ ගැබ්ව තිබෙනවා.
අපි ප්‍රවාදයක් ලෙස පළමුව සිංහබාහු කතාව ගනිමු. එහි දරුවන් විසින් තම පියා මරනවා. පියා මරා දැමීම පංචනාන්තරීය පාප කර්මයන්ගෙන් එකක්. අපි බෞද්ධයන් හැටියට එවැනි දේ අනුමත කරන්නේ නැහැ. නමුත් එතැනින් ඒ ප්රචණ්ඩත්වය පිළිබඳ දක්වනවා නම් සමාජයට එවැනි කතාවක් ආස්වාදනය කර ගැනීම කෙතරම් සුදුසු දැයි විමසීම වැදගත්. ප්රචණ්ඩ සංස්කෘතියක් පවතින සමාජයක ශිෂ්ට සම්පන්න දෙයක් අපේක්ෂා කළ නොහැකියි. නමුත් මහාචාර්ය සරච්චන්ද්‍ර එය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන ගියා. අපිත් ප්රවණතාවට නැඹුරු වීම තුළ ඒ කතාව තවත් ඉදිරියට ගෙන ආවා.
මගේ දැනුම හැටියට අපේ රාජ්‍යත්වය තුළ තම පියා මරා දැමූ දරුවන් හතළිහක් ගැන අසා තිබෙනවා. එතනදී පියා මරා දැමුවා යන චෝදනාව මත කිසිවෙකු තම රජතුමා ප්‍රතික්ෂේප කළේ නැහැ. දුටුගැමුණු කුමාරයා තම පියාට කාන්තා ඇඳුම් පැලඳුම් යැවූවා. කවුරුත් ඔහු ප්‍රතික්ෂේප කළේත් නැහැ.
අනෙක් අතට ඒ සිදුවීම් සියල්ල නැවත සියුම්ව විමසුමට ගත්තොත් ඒ අතර ව්‍යාභිචාරය, ලිංගික අපයෝජනය, මිනීමැරීම් වැනි නොයෙකුත් දේ තිබෙනවා. ඒවා සියල්ල බලය වෙනුවෙන් ප්රචණ්ඩත්වය මුදා හැරීමක්. එහෙම නම් අපේ සාහිත්‍යකරුවා එවැනි දේ වෙනස් ආකාරයෙන් කතා කළ යුතුයි කියන තැන මම ඉන්නවා. එහෙම නොවන තැනකදී එය ප්රචණ්ඩ සංස්කෘතියක ගතිලක්ෂණ පෙන්වනවා.
ඒ විතරක් නෙවෙයි. අපි සිංහයා අපේ වීරත්වය ලෙස ජාතික කොඩියට එකතු කරන විට එල්ටීටීඊ සංවිධානය එයට පිළිතුරු දෙන්නේ මිනීමරු කොටියාගේ සංඛේතය යොදා ගනිමින් නම් එතැනත් තියෙන්නේ අපි ප්රචණ්ඩත්වයෙන්ම උත්තර දෙනවා යන අදහසක්.
එතෙනදී ඔවුන් ළමයින් අපයෝජනය කරමින් ළමා හමුදා නිර්මාණය කර ගන්නවා. මිනිස් බෝම්බ නිර්මාණය කරනවා. මරාගෙන මැරෙන එක එම සංවිධානයේ උත්තරීතර පරිත්‍යාගයක් බවට ප්‍රකාශ කරනවා. දැන් බලන්න ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් එම සංවිධාන ගන්නා උත්සාහය ජන සමාජයේ පැවැත්මට කළ හානිය කෙතරම්ද කියලා. ඔවුන් තමන්ගේ ප්‍රචණ්ඩකාරී ගෝත්‍රිකභාවය සනාථ වන ආකාරයට හැසිරෙනවා.
නමුත් අපි ජාතික කොඩියේ සිංහයා භාවිත කළේ එයට වඩා ගුණාත්මක සහ ප්‍රමිතිගත තත්ත්වයකින් බව අමතක නොකළ යුතුයි.
අපි අපේ සාහිත්‍යකරුවන්ගේ අතිශයෝක්තීන්ට හැරෙමු. ගුත්තිල මූසිල කතාව ගන්න. බෝසතුන් ලෙස ගුත්තිල හුවා දක්වන විට දේවදත්තයා මූසිල බවට පත්කරනවා. එතනදී ගුත්තිල ඇදුරුතුමා වීණාවේ තත් බිඳ සක්දෙවිඳුගේ අනුහසින් ජයග්‍රහණය ලබනවා. ගෝලයා ස්වාභාවිකව පියවි ලොව පවතින අනුබලයෙන් වාදනය කරනවා. ගුත්තිල ඇදුරුතුමා වංචාව හරහා නායකයෙකු ප්රබලයෙකු සහ ජයග්‍රාහකයෙකු බවට පත් කෙරෙනවා. ජනතාව මූසිලට ගල් ගසා පළවා දමන්නේ ඇයි? අර කියපු සක්දෙවිඳුගේ අනුබලය සමග ජනතාව මූසිලට එරෙහිව ප්රචණ්ඩත්වය භාවිත කරනවා.
එතනදී බලයක් නැති කෙනාට ගහලා පන්නා දමන එක හොඳයි කියන මතය ජනතාව තුළ රෝපණය කිරීමට සාහිත්‍යකරුවා කටයුතු කරනවා. සාහිත්‍යකරුවාගේ කාලීන වගකීම විය යුත්තේ එයද කියන ප්රශ්නය තියෙනවා. කතානායකවරයා ලෙස ගුත්තිලගෙන් එතනදී පූර්වාදර්ශයක් ලැබුණේ නැහැ.
වෙස්සන්තර කතාව ගන්න. එතනදී ප්‍රේක්ෂකයා බලා සිටින්නේ ජූජකයා අසරණ දරුවන්ට පහරදෙන ආකාරය පිළිබඳවයි. පියා විසින් තමන් දන්දීම තුළ දරුවන් අසරණ වෙනවා. කාන්තාවට තමන්ගේ නොකැමැත්තෙන් වෙනත් අයෙකු සමග යෑමට සිදු වෙනවා. මෙවැනි දේ තුළ කාන්තාව අත්විඳින හිංසන, දරුවන් පත්වන අපහසුතා, පුරුෂාධිපත්‍ය වැනි දේ සාකච්ජා වෙනවා. නමුත් බෝසත් චරිතය එබඳු දුෂ්ට ආකාරයෙන් වර්ණනය කළ යුතු කතාවක් නෙවෙයි. සාහිත්‍යකරුවාගේ අතිශයෝක්තිය තුළ සිදුකර ඇත්තේ බෝසත් චරිතයට නිසි වටිනාකමක් නොදී ප්රචණ්ඩත්වය ආරෝපණය කිරීමක්.
මද්දුමබණ්ඩාර කතාව හිතන්න. රාජ්‍ය පාලකයා කාන්තා සහ ළමා අයිතීන් විනාශ කරනවා. බෙලි කපමින් වංගෙඩියේ දමා කොටමින් ප්රචණ්ඩත්වය ව්‍යාප්ත කරනවා. අප මේ කතාවන් තුළ රසවිඳින්නේ ඒ ඒ පුද්ගලයන් හිංසනයට පත්වන ආකාරය හෝ වේදනාවට පත්වන ආකාරය නම් එය ප්රචණ්ඩත්වය බවට පත්වෙනවා.
සමහරවිට කතාකරුවන් විසින් පැවැති දේශපාලන සහ රාජ්‍ය බලය පිළිබඳ විරෝධය දැක්වීමට අතිශයෝක්තියෙන් කළ දෙයක්ද විය හැකියි. කුමක් වුවත් මේ තුළ ජනතාව සාහිත්‍ය තුළ අසා ඇත්තේ ප්රචණ්ඩත්වය නම් එය ක්‍රමයෙන් ජනතාවගේ උරුමයක් බවට සාහිත්‍යකරුවා විසින් පත්කර තිබෙනවා. අප කළ යුතුව ඇත්තේ මෙවැනි තැන් උපුටා විදහා දැක්වීමට වඩා එවැනි කතාවන් තුළ ඇති සැබෑ මානව හිතවාදී අංගයන් ජනතාවට ප්‍රදර්ශනය කිරීමයි.
මෙතනදී බෝසත් චරිතය නැමති දෘෂ්ටි කෝණයෙන් අප බලන්නේ කෙබඳු පුද්ගලයෙකු සහ චරිතාංග දෙසද කියන එක අමතක කරන්න හොඳ නැහැ. නිකමට බෝසත් චරිතය ගැන හිතන්න.
මෙවැනි ආකාරයෙන් බෝසත් චරිතය පවා නිර්මාණය කිරීමට යාමේදී එයට ප්රචණ්ඩත්වය එකතු කිරීම තුළ ඒ ඒ සමාජයන්හි පැවැති යථාර්ථයද අනාවරණය වෙනවා.
ඉතිහාසයේ කතාකරුවා කතාව ලියන තැන සිට රැඳී එදා තමන්ගේ සමාජය පිළිබඳ කතා කරනවා. එතනදී කතාව ලියන පුද්ගයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන ආකාරය ලෙස මෙය දැකිය යුතුයි. බෝසත් චරිතය අර්ථ ගැන්වෙන්නේද ඒ ආකාරයෙන්. මෙය සාහිත්‍යකරුවාගේ ලක්ෂණයක්.
අපි බෝසත් ගතිගුණ වෙනුවට ඒ චරිත යොදාගෙන තියෙන්නේ ප්රචණ්ඩත්වය වර්ධනය කිරීමට නම් එහිදී උද්දීපනය වන්නේ ප්රචණ්ඩත්වය පමණක් බව අමතක නොකළ යුතුයි.
දුටුගැමුණු කතාවේදී දුටුගැමුණු රජු පළමු අවස්ථාවේදී දුෂ්ට ගාමිණී ලෙස නම් කළා. මිය යන තුරුම දුෂ්ට ගාමිණී යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඔහු දුටුගැමුණු බවට පත්වුණා. නමුත් ඉන්දියාවේ ධර්මාශෝක ගන්න. ඔහු චණ්ඩාශෝක බවට පත්කළ සාහිත්‍යකරුවා එයින් පසු ඔහු ධර්මාශෝක බවට නම් කළා. එතනදී ලංකාවේ සාහිත්‍යකරුවා හෝ කතාකරුවා දුටුගැමුණු ධර්ම ගැමුණු කෙනෙකු බවට පත්කළේ නැහැ. ඔහුගේ ප්රචණ්ඩත්වය ඒ ආකාරයෙන්ම ගෙන ගියා. එයින් අදහස් කළේ ඔහු ප්රචණ්ඩ වීරයෙකු බවට පත්කිරීමයි.
නමුත් පරාක්‍රමබාහු චරිතය ගැන හිතන්න. එය වෙනස් ආකාරයකින් ලියවෙනවා. එම කතාව තුළ කොතැනකවත් ප්රචණ්ඩත්වය නැහැ. කෘෂි කර්මාන්තය ගැන කතා කරනවා. අහසින් වැටෙන එක දිය බිඳක්වත් මුහුදට නොයවන ලෙස ඔහු දෙන පූර්වාදර්ශය මග පෙන්වීම අදටත් වලංගුයි.
ඒ ඒ කාලයේ ඒ ඒ රාජ්‍ය නායකයන්ගේ පාක්ෂිකයන් විසින් ඒ ඒ කාලයට සමානව යම් ලේඛන සකස් කරවනවා. එතනදී රාජ්‍ය නායකයන්ට, පාලකයන්ට අදාළ ප්රස්තූතය භාර දෙන ලේඛකයන් මගින් තමන් ගැන අවශ්‍ය දේ ලියවීම හෝ පුනපුනා අතිශයෝක්තියෙන් වර්ණනා කරවා ගැනීම මූලික අරමුණ වෙනවා.
ඉතිහාසය පුරාවට ඇතැම් සාහිත්යකරුවෝත්, කලාකරුවෝත් දේශපාලකයන්ගේ අවශ්‍යතා සහ අරමුණු ඉටු කරනවා. එය අදටත් එසේම සිදු වෙනවා. ගත වූ කාලයේ ලක්ෂ සියයක් වියදම් කරමින් එක් නායකයෙක් තමන් ගැන කලා නිර්මාණයක් කිරීමට ජනප්‍රිය කලාකරුවෙකුට භාර දුන්නා කියලා කතාවක් ඇසුණා. තවත් අය ලක්ෂ ගණනින් මුදල් වැය කර නැවත නැවත පොත් ලියවා ගෙන තියෙනවා. එහිදී තම කතා නායකයාගේ වීරත්වය ලෙස ඔවුන් සමාජයට දෙන පණිවිඩය තුළ පවා ප්රචණ්ඩත්වය ගැබ් වෙනවා. මෙවැනි පසුබිමක් තුළ අපි ප්රචණ්ඩත්වය ගැන කතා කරනවා.
බටහිර සාහිත්‍ය තුළ ඇත්තේ මෙයට වඩා වෙනස් තත්ත්වයක්. එහි නිර්මාණ පෝෂණය කිරීමට යොදා ගන්නේ ලිංගිකත්වයයි. එහිදී කතාකරුවා ලිංගිකත්වය කියන කාරණයට යොමු වෙනවා. නමුත් සංස්කෘතිමය වශයෙන් අපි ලිංගිකත්වය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට අකමැතියි. එහිදී ඒ වෙනුවට ප්රචණ්ඩත්වය යොදා ගන්නවා. සාහිත්‍ය නිර්මාණයකදී එය ප්‍රධාන වශයෙන් ලිංගිකත්වය සහ ප්රචණ්ඩත්වය නමැති සාධක තුළ පවතිනවා.
අද පාරේ යනවිට ඇතිවන ප්රචණ්ඩත්වය ගැන හිතන්න. ඉදිරියෙන් යන බසය මගියෙකු නංවා ගැනීමට නතර කළොත් පසුපසින් එන වාහනවලට ඉවසීමක් නැහැ. නොකඩවා නළාව නාද කරනවා. නැතහොත් අසභ්‍ය ලෙස බැණ වදිනවා. පාගමනින් යන අයෙකු කහ ඉර මාරුවීමේදී පමාවුණොත් වාහනකරුවන් හැසිරෙන ආකාරය හිතන්න.
ඊළඟට පවුල තුළට යන්න. බිරිඳ සැමියාට පහර දෙනවා. මවුපියන් දරුවාට හිංසනය සිදුකරනවා. දරුවන් දෙමවුපියන්ට පහර දෙනවා. කෘෘරතර ආකාරයෙන් සලකනවා.
පාසල ගන්න. සිසුන් අතර ගහගැනිලි තිබෙනවා. ගුරුවරුන් ළමයින්ගේ කණ පැළෙන්නට ගහනවා. ළමයි ගුරුවරුන්ට ගහනවා. පාසැලේ පොදු දේපොළ විනාශ කරනවා.
රජය පැත්තෙන්ද සමසමව ප්රචණ්ඩත්වය මුදා හරිනවා. තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටින උද්ඝෝෂකයන්ට රජය විසඳුම ලෙස ප්රචණ්ඩත්වය පාවිච්චි කරනවා. ඇයි අර්බුධය තේරුම් ගෙන ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට උත්සාහ නොකරන්නේ. එයට වඩා ප්‍රචණ්ඩත්වයෙන් පාලනය කිරීම පහසු බව රජය තේරුම් ගෙන තියෙනවා. එය මර්ධනය කිරීමක්.
බුද්ධිමත් පිළිතුරු රාජ්‍ය පාලකයන්ට තිබෙනවා නම් ප්රචණ්ඩත්වය අවශ්‍ය වන්නේ නැහැ. අර්බුදය බුද්ධිමතුන් රට පාලනයට පත්කිරීමට ජනතාව කටයුතු නොකිරීමයි.
රට හදන තැන ප්රචණ්ඩත්වය
අනුන්ට අවලාද නගන දේශපාලකයන් ප්රචණ්ඩත්වය වපුරනවා. අඩුම තරමින් රට හදන තැන කියන පාර්ලිමේන්තුවට විශ්වාසභංගය දවසේ ළමයින්ට එහි ඇතුළු වීමත් තහනම් කරන තැනට රටේ ශිෂ්ටත්වය පිරිහිලා නම් එතැන තියෙන්නෙත් රට හදන මහජන නියෝජිතයන්ද ප්රචණ්ඩත්වය පතුරවන බවට සාක්ෂියක්. ගෞරවයෙන් පිළිගන්නා සෙංකෝලය පවා ඔසවාගෙන ගොස් කඩා බිඳ දමන තැනට මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව, පළාත් සභා තුළ කටයුතු කරන බව රහසක් නෙවෙයි. මේවා ජනතාව ආදර්ශ ලෙස යොදා ගන්නවා.
බලය ප්රචණ්ඩත්වය ලෙස මුදා හරිනවා නම් එය රජයකින් නොවිය යුතු දෙයක්. ජනතාව එවැනි දේට යොමු නොවිය යුතුයි. ඒවාට විරුද්ධත්වය දැක්විය යුතුයි. ඒ ප්‍රචණ්ඩත්වයෙන් නෙවෙයි. එවැනි පාලකයන්ට එරෙහිව කරුණු පෙන්වා දීමෙන් සහ මැතිවරණවලදී ඔවුන් පන්නා දැමීමෙන් එය කළ හැකියි.
පාසල තුළදී ගුරුවරයාටද විනය පවත්වා ගැනීමට නොහැකි තැනට ප්රචණ්ඩත්වය පවතිනවා. එවැනි අවස්ථා හඳුනා ගෙන ඒ තැන් නිවැරදි කළ යුතුයි.
ප්රචණ්ඩත්වය දුරු කිරීමට නම් තවදුරටත් කළ යුත්තේ තමා එවැනි ක්‍රියාකාරකම්වලින් වැළකී එවැනි දේ දුටු විට එයට එරෙහි වීමයි. එය පවුල පාසල සහ සමාජය තුළ අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු වගකීමක්.
මාධ්‍ය අපට අනාවරණය කරන්නේද ප්රචණ්ඩත්වයයි. මාධ්‍ය ලේ දැකීමට සහ පෙන්වීමට කැමැත්තක් දක්වනවා. හැම අවස්ථාවකදීම ඔවුහු ගැටුම් සමග ප්රචණ්ඩත්වය අප වෙත මුදා හැරීමට උත්සුක වෙනවා. ඔවුන් ඒවා මැනවින් අලෙවි කරනවා. එය ඔවුන්ගේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය දෙයක්.
අපේ සැඟවුණු ප්රචණ්ඩත්වය තවතවත් උද්දීපනය කිරීමට ඔවුන් අනුබලයක් කර ගන්නවා. පාසලක සිදුවන ගැටුමක් පවා ඔවුන් ඉතා විශාල ලෙස පුම්බා අපට ඉදිරිපත් කරනවා. එය අන් සිසුන්ටත් වැරදි පූර්වාදර්ශ සපයනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd