Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 29 වන සිකුරාදා
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින අතර, දසදෙසින් ඩෙංගු රෝගීන් වාර්තා වේ. මේ හේතුවෙන් රජයේ රෝහල් තුළ රෝගීන් බාරගැනීම පවා සීමා කර ඇති අතර, පෞද්ගලික රෝහල් තුළද දැඩි තදබදයක් පවතී.
මේ වනවිට ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර, ජාතික ව්‍යසනයක් ලෙස සැවොම පිළිගෙන තිබේ. එමෙන්ම ඇතැම් විදෙස් රටවල් සිය රටවැසියන්ට නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය උත්සන්නව ඇති අතර, සංචාරය කරන්නේනම් සැලකිලිමත් වන ලෙසයි.
ඩෙංගු රෝගය මර්දනය කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන ආරක්ෂක අංශ සහ සියලුම මාධ්‍ය එකම වේදිකාවකට පැමිණ ඩෙංගු මර්දනය කිරීමේ ජාතික යාන්ත්‍රණය ඇරඹීම පැසසිය යුතුය.
ඒ අනුව හෙට (15දා) දිනයේදී රටම පිරිසුදු කරන ජාතික සත්කාරය දියත් කෙරෙන අතර, මේ සඳහා පෞද්ගලික වශයෙන් තම තමන් දායක වීම වැදගත්ය.
පිං පෙට්ටියට සීල් තිබ්බේ අද ඊයේ නොවෙයි
නව ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධ කතාබහ මෙන්ම රංගිරි දඹුල්ල ප්‍රශ්නයද දිග්ගැස්සෙමින් පවතී. සංරක්ෂණ කටයුතු ඉතා ඉක්මනින් සිදුකිරීමට තාවකාලිකව දඹුල්ල විහාරය වසා දැමීමට පුරාවිද්‍යා උපදේශක සභාව තීරණය කළද, කිසිසේත් දඹුල්ල වසා දැමීමට නොදෙන බව එම විහාරාධිපති ඇතුළු සඟ පිරිස දැඩි ලෙස පවසා සිටිති. මේ අතර අගමැති රනිල් පවසන්නේ, දඹුල්ලට ලෝක උරුම තත්ත්වයෙන් ඉවත් වීමට අවශ්‍ය නම්, අස්ගිරි මහානායක හිමියන් සමග සාකාච්ඡා කර තීරණයක් ගන්නා ලෙසයි.
ආණ්ඩුව පන්සලේ පිංකැට සීල් තබන බවට වන කතාවට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් පිළිතුරක් ලබාදුන්නේ අගමැති රනිල් රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේදීය.
''පිං පෙට්ට්වලට සීල් තියෙන කතාවක් ඇහෙනවා. අපේ නම් පිං පෙට්ටිවලට සීල් තිබ්බේ අද ඊයේ නොවෙයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මයා තමයි ඒ කාලෙ පිං පෙට්ටිවලට ඉබ්බො දාලා සීල් තිබ්බේ. එදා ඉඳන් ඉතින් මාස තුනෙන් තුනට මුදල් ගණන් බලලා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හරහා බැංකුවේ දාලා ඒවායේ කටයුතු කරගෙන ගියා. මේක අලුත් දෙයක් නොවෙයි.''
සමාව ගන්න නම්, මාසයක් වෙහෙර ශුද්ධ කරන්න
රුවන්වැලි මහා සෑයේ වැලි මළුව ප්‍රතිසංස්කරණය කර සඟසතු කර බාරදෙන අවස්ථාවේ අගමැති රනිල් මල්වතු පාර්ශ්වය දෙකඩ කිරීමේ සිදුවීමක් ගැන පැවසුවේ ඉතිහාස කරුණුද උපයෝගී කරගනිමිනි.
''72 ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ප්රමුඛ ස්ථානයක් ලබාදෙනවා කියා සඳහන් වුණා. එම ප්රමුඛ ස්ථානය ලබාදුන්නාට, බෞද්ධයෝ රට පාලන කළාට ඒ ආරක්ෂාව මීට අවුරුදු පහ හයකට කලින් ලැබුණේ නෑ. තමන්ගේ විරුද්ධවාදියෙකුට දළදා මාළිගාවේ පූජාවක් දෙන්න ඉඩ දුන්න නිසා අපේ මල්වත්තේ මහනායක ස්වාමීන් වහන්සේට තර්ජනය කළා.
මල්වතු පාර්ශ්වය කඩලා අලුත් පාර්ශ්වයක් හදනවා කිව්වා. එදා සන්ධ්‍යාවක මල්වතු විහාරයේ තිබුණු සාකච්ඡාව ගැන මම මේ වෙලාවේ කියන්න යන්නේ නෑ. එය කඩා දමනවා කිව්වා. හරියට මහසෙන් රජ්ජුරුවො වගේ.
ඒ විතරක් නොවේ. මේ පූජා භූමිය දැන් තියෙන්නේ අටමස්ථානයේ. අපට තියෙන එකම මහා සෑය මේ රුවන්වැලි සෑය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එවකට කියා සිටියේ ජේතවනාරාමය, අභයගිරිය මේ තත්ත්වයට ගෙන එන්න එපා. අපි සංරක්ෂණය කරමුයි කියා.
පුරාවිද්‍යාවේ හැටියට විශාල සෑයවල් තුනයි, දෙකක් සංරක්ෂණය කරලා, වන්දනාමාන කටයුතුවලට මහාසෑය වෙන්කළා. අපේ අටමස්ථානේ නායක හාමුදුරුවන්ට කියන්නේ නැතිව මොකද කළේ? තවත් මහා සෑයක් දාන්න ගියා, රුවන්වැලි සෑයටත් වඩා උසින්. ලංකාවේ කොහේවත් බෑ රුවන්වැලි සෑයටත් වඩා උස සෑයක් හදන්න.
ඒක හදලා මොකක්ද කරන්න හිටියේ. අර අලුත් පාර්ශ්වය එතැන්ට දාන්න තමයි හැදුවේ. උසම ස්ථූපය මේකයි කියා ජනතාව ඇවිත් සාධුසාධු කියයි කියලා මේ අය හිතුවා. මේ වගේ දේවල් ලංකාවේ කරන්න බෑ. අන්තිමට මහසෙන් රජ්ජුරුවොන්ට වුණාට වඩා දෙයක් වුණා. සම්පූර්ණයෙන් බලය නැති වුණා. මහසෙන් රජු අවසානයේ කලබල දැකලා එතැනින් අවසන් කර ගත්තා. ගිහින් සංඝයා වහන්සේ මුණ ගැහුණා.
එහෙනම් දැන් අපේ මල්වත්තේ නායක ස්වාමීන් වහන්සේ හමුවෙලා, බැගෑපත්ව බිම වැතිරිලා, ඊට පස්සේ මාසයක් ඉරටු තියෙන කොස්සක් අරගෙන උදේ සවස මල්වතු විහාර භූමිය ශුද්ධ පවිත්‍ර කරන්න ඕනෙ.
ඊට පස්සේ මෙහාට ඇවිත් අටමස්ථාන නායක හාමුදුරුවන් හමුවෙලා, ඒ වගේම වැඳලා මාසයක් තිස්සේ ජය ශ්‍රී මහා බෝධිය වටේ ශුද්ධ කළ යුතුයි. ඊටත් පස්සේ, පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ ළඟට ඇවිත් වැඳලා, මාසයක් රුවන්වැලි සෑ මළුව වටේ ශුද්ධ කළ යුතුයි. අන්න එතකොට සමාව දෙන්න පුළුවන්. මෙහෙම තර්ජනය කරලා වැඩකටයුතු කරන්න බෑ.''
ගෝඨා පන්සල්වල
තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානම්ක් ඇති බව කියමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට පෙර පිහිට පැතුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. නමුත් මෙවර එය වෙනස් වී ඇත. තමන්ව ළඟදීම අත්අඩංගුවට ගන්නවා යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ නායක හිමිවරුන් දැනුවත් කරමින් විහාරස්ථානවලට යමින් සිටියි.
ඇමති මහින්ද අමරවීර මන්ත්‍රී කණ්ඩායමකට එසේ පැවසූ බව ඔහු පවසයි. මේ අතර මහින්ද අමරවීර පවසන්නේ තමන් එසේ නොකියූ බවය. මන්ත්‍රී කණ්ඩායමට පැවසූ බව පවසමින් ගෝඨාභය මේ පවසන්නේ දේශපාලන උපක්‍රමයක් බවත්, ඔහු කියා තිබිණි.
ඇමති මහින්ද අමරවීරද මෙම ක්‍රියාවෙන් තරමක් තිගැස්සී ඇති හැඩයි. ඒ නිසාම ඔහු පවසන්නේ රාජපක්ෂවරුන්ට සමාව දිය යුතු බවයි. සමාව දිය යුතු බව පවසන ඔහු නොකියා කියන්නේ ඔවුන් වැරැද්දක් කර ඇති බවද?
සමාව දෙන එක කැබිනෙට්ටුවේ වැඩක් නොවෙයි
මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමති රාජිත පවසන්නේ හොරුන්ට සමාව නොදිය යුතු බවයි. සමාව දෙනවා නම් එය උසාවියේ කාරණයක් මිස කැබිනෙට්ටුවේ කාරණයක් නොවන බවද ඔහු පැවසුවේ මෙවර කැබිනට් මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. වැරදිකරුවන් නිදහස් කරන කැබිනෙට්ටුවක් ලෝකයේ කොහේවත් නැති බවද ඔහු පැවසුවේ ආවේගයෙනි.
දූෂණ මර්දන කමිටු කාර්යාලය පිළිබඳ කතා කරන්නට වෙන නිසාදෝ දයාසිරි ජයසේකර මෙවර කැබිනට් මාධ්‍ය හමුවට සහභාගි නොවුණි. කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමති රාජිත පැවසුවේ දූෂණ මර්දන කාර්යාලය වසා දමා නොමැති අතර, ජුනි මස 30 වැනිදායින් පසු දීර්ඝ නොකරන බවයි. පැමිණිලි දැමීමට අවශ්‍ය නම්, තවත් ආයතන 14ක්ම තිබෙන බවද ඔහු පැවසීය.
වැහුවට කමක් නැහැ හැබැයි පරීක්ෂණ ටික නවත්වන්න බැහැ
පළාත් පාලන මැතිවරණය සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන්ගේ රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. එම සාකච්ඡාවෙන් පසු එයට සහභාගි වූ ඇමති රිසාද් බදියුදීන් සහ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, අනුර දිසානායක කතාබහ කරමින් පිටතට පැමිණි අතර අනුර දිසානායක රිසාද්ගේ පිටත තට්ටු කර පැවසුවේ,
''බලපන්කො මචං, දූෂණ මර්දන විමර්ශන කාර්යාලය වහන්න හදනවා. ඒක වැහුවට අවුලක් නැහැ. ඒ වුණාට පරීක්ෂණ ටික නතර කරන්නෙ නැතුව යන්න ඕන.'' යනුවෙනි. අනුර එසේ කියන විට දිනේෂ්, අනුර සහ රිසාද්ට මුවාවී රහසක් පැවසූ අතර, ඔවුන් දෙදෙනාම එය අසා මද සිනහ පළ කළේය. රිසාද් බදියුදීන්ට විරුද්ධවද මෙම කාර්යාලය මගින් විමර්ශනයක් කිරීම විශේෂත්වයකි.
හැමෝම එකට
'සත්හඬ' පුවත්පතේ සමකර්තෘව සිටි අභාවප්‍රාප්ත ප්‍රභාත් වීරරත්නගේ අවසන් කටයුතු සඳුදා දිනයේදී සිදුකෙරුණු අතර, මේ සඳහා දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වන චරිත බොහොමයක් සහභාගි වී තිබිණි.
ඇමති දුමින්ද දිසානායක, ශිරාල් ලක්තිලක, අශෝක අබේගුණවර්ධන, දීප්ති කුමාර ගුණරත්න, ඩිලන්ත කුමාර විතානගේ, නිශාන්ත වර්ණසිංහ, ගාමිණී වියන්ගොඩ, මන්දනා ස්මයිල් ආදී වත්මන් රජය බලයට පත්කිරීමට දායක වූ අය මෙන්ම රජයයට විරුද්ධ පිරිස් මෙහිදී එක්ව සිටීම විශේෂත්වයක් විය. තම දේශපාලන මතවාද වෙනුවෙන් දිවිපුදා කටයුතු කරන මොවුන් පෞද්ගලික ජීවිතයේදී කොතරම් සමීපද යන්න මෙහිදී බොහෝ දෙනාගේ සාකච්ඡාවට ලක්විය.
අපි බලමු තව කොච්චර කල් මේ විදියට ආණ්ඩු කරාවිද කියලා
ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ගොවීන් සංවිධානය කිරීමටද අවධානය යොමුකර තිබේ. ඒ අනුව විමලවීර දිසානායක අම්පාර දිස්ත්‍රික්කය පුරා සිටින ගොවීන් එකතු කරගනිමින් ගොවි සංවිධාන පිහිටුවීම ආරම්භ කර කළේය. හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ ආශීර්වාදයද මේ සඳහා ලැබී තිබේ.
මේ සතිය මුලදී දෙහිඅත්තකණ්ඩියේ ගොවීන් පිරිසක් හමුවී ගොවි සංවිධානයක් පිහිටවූයේ ඒ අනුවය. වී ඇතුළු බෝග වර්ගවල නිරත ගොවීන් 300ක් පමණ මෙම ගොවි සංවිධානයට සම්බන්ධ වූහ.
පොහොර මිල ඉහළ යෑම, අස්වනු විකුණාගත නොහැකිවීම, ජල ප්රශ්නය, පොහොර සහනාධාරය නොලැබීම, ඉදිරියේදී ඉදිකිරීමට යන සීනි කර්මාන්ත ශාලාවට විරුද්ධ වීම යන කරුණු ඔස්සේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමද මෙම ගොවි සංවිධාන පිහිටුවීමේ අරමුණු අතර වෙයි. දෙහිඅත්තකණ්ඩියේ ගොවි සංවිධානය පිහිටුවීමට පැමිණි අවස්ථාවේදී ගොවීන් පිරිස සඳහන් කළේ,
''සර් මේ ආණ්ඩුවෙන් කිසිම ගොවි සංවිධානයකට සැලකිල්ලක් නෑ. ගොවියන්ට සැලකිල්ලක් නැහැ. අපිට ජීවත් වෙන්න විදියක් නැහැ.'' යනුවෙනි.
මේ අතර පසුගිය යුද සමයේදී ඉඩම් අතහැර ගොස් සිටි ගොවීන් පිරිසක් නැවත වගාකිරීම් කරන්න යාමේදී මතුව ඇති ගැටලු කිහිපයක්ද මන්ත්‍රිවරයාට ඉදිරිපත් කළහ.
''අපිට පසුගිය ආණ්ඩුව කාලයේදී වගාවක් කරගෙන ඉන්න ලැබුණා. ඒත් මේ ආණ්ඩුව කාලයේදී අපි එළවලා දැම්මා. මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටින දේශපාලන නායකයන්ගේ හරක් දහස් ගාණක් අපේ ඉඩම්වලට ගෙනල්ලා දාලා තිබෙනවා. මේ නිසා අපේ වගා සේරම විනාශ වෙලා ගිහින්'' යනුවෙන් ගොවීහු පෙන්වා දුන්හ.
''අපි සියලුම දෙනා එකතුවී විරෝධය පළ කරලා මේ ප්රශ්නය ඉහළට අරන් යන්න ඕන. අපි එකාවන්ව හිටියොත් එයාලට මුකුත් කරන්න බැහැ. අපි බලමු තව කොච්චර කල් මේ විදියට ආණ්ඩු කරාවිද කියලා.'' යනුවෙන් විමලවීර මන්ත්‍රීවරයා ගොවින් හමුවේ සඳහන් කළේය.
ජනතා මුදල් කොල්ලකාපු අය පැත්තක
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය පසුගිය ජුනි 30 වැනිදා සිට අවසන්වීමත් සමග කාලය දිගු නොකළ ආණ්ඩුව එය වැසී යන තත්ත්වයට පත්කිරීමට කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයන්ද විශේෂ අවධානයක් යොමු කළේය.
“මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙනකොට රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණෙ වංචා දූෂණ. වංචා දූෂණවලට තිබුණු ජනතා විරෝධය තමයි එතුමා ජනාධිපති බවට පත්කළේ. ජනතා ඉල්ලීමට අනුවම තමයි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයත්, එෆ්.සී.අයි.ඩී.යත් හැදුවේ. අද ජනාධිපතිතුමාටත් ඒක අමතක වෙලා, කනගාටුවට කරුණ ඒකයි” විජිත හේරත් කීවේය.
“රාජපක්ෂලාගේ වංචා දූෂණ ගැන කතාකරන කොට මේ ආණ්ඩුවේ ඇමතිවරුත් ලොකු තල්ලුවක් ඒකට දුන්නා. ඒත් පසුගිය ආණ්ඩුවේ හොරු ටිකත් ජනාධිපතිතුමා තමන්ගේ ඔඩොක්කුවේ දාගත්තට පස්සේ එයාලගේ කටවල් හිරවුණා” සුනිල් හඳුන්නෙත්ති කීවේය.
“මේ ආණ්ඩුවේ රාජිතට, රවිට, අනුර යාපාට, නිමල් සිරිපාලට, හැරිසන්ට, බෝගොල්ලාගමට, අකිලට, එස්.බී.ට එරෙහිව මේ කාර්යාලයට පැමිණිලි ආවා. ඒවා විමර්ශනය පටන් ගන්න නිසා කට්ටියම එකතු වෙලා මේක වහන්න තීරණයක් ගත්තා. එකයි ඇත්ත” වසන්ත සමරසිංහ පවසා සිටියේය.
“ආණ්ඩුව මේකට ගොතන කතාව තමයි මිලියන ගාණක් මේ කාර්යාලයට වියදම් කළත් වැඩක් වුණේ නැහැ කියන එක. ඒක රාජිතලගේ මෛත්‍රීපාල සිරිසේනලගේ නොදන්නාකම. කොහොමත් ජනාධිපතිතුමා රාජිතගේ ලණු කාලා වැඩ අනාගන්නවා.
මේ කාර්යාලයට මේ වෙනකොට වියදම් කරලා තියෙන්නේ මිලියන 32ක් විතරයි. ඒත් දැනටත් මිලියන ගාණක් හොරුන්ගෙන් අයකර ගෙන තියෙනවා. සී.එස්.එන්. එකෙන් විතරක් මිලියන 159ක්. බැසිල්ගේ මල්වානේ නිවස මිලියන 300ක්. ඩී.ඒ. රාජපක්ෂ පදනමට ආණ්ඩුවෙන් වියදම් කරපුවා මිලියන 25ක් අයකර ගත්තා. නාමල්ලා, බැසිල්ලා, වීරවංශලා ගුවන්ගමන් වෙනුවෙන් කළ වියදමෙන් මිලියන 16ක් අයකර ගත්තා.
මේ ටික විතරක් මිලියන පන්සියයක් විතර. තව අයකර ගන්න තියෙනවා. එතකොට මේ ආණ්ඩුවේ ඇමතිවරු ගසාකාපු ඒවා තවත් මිලියන ගාණක්. වියදම ගැන කතා කරන රාජිත ඒවා ගැන දන්නේ නැද්ද?” විජිත හේරත් පවසා සිටියේය.
“දූෂණ මර්දන ලේකම් කමිටුවට පැමිණිලි 1100කට වඩා ලැබිලා තියෙනවා. මේවා විමර්ශනය කරන්න තියෙද්දි කාර්යාලය වහනවා. මේක වහලා දැම්මා කියන්නේ එෆ්.සී.අයි.ඩී.යත් වහලා දැම්මා වගේ. මොකද පැමිණිලි බාරගන්න තැනක් නැහැ. ජනතා මුදල් කොල්ල කාපු අය පැත්තක. අද දූෂණ ගැන හොයපු නිලධාරීන් වැරදිකරුවන් කරන්න මේ ආණ්ඩුව හදන්නේ” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
සදා කෝකිල ජෝතිගම
එච්.ආර්. ජෝතිපාල ප්‍රවීණ ගායන ශිල්පියාගේ අභාවයට තිස් වසරක් සපිරීම නිමිත්තෙන් නිවාස 39කින් සමන්විත 'සදා කෝකිල ජෝතිගම' සඳහා සජිත් අතින් මුල්ගල් තැබුණේ හම්බන්තොට 'සිරිබෝපුර'දීය. මෙය ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ඉදිකෙරන 'ග්‍රාම ශක්ති' වැඩපිළිවෙළේ ප්‍රථම ගම්මානයද වෙයි.
මෙම ගම්මානය ජෝතිපාල කලාකරුවා නමින් නම් කිරීමට උත්සවයට පැමිණ සිටි රජයේ නිලධාරීන්ගේ විශේෂ ප්‍රශංසාවට ලක්විය.
''අවසන් වරට කතරගම ගම්උදාවට ඇවිත් ජෝති සින්දු කිව්වා අපි කාටත් මතකයි. එතුමා අපේ තාත්තා ඉතා ආදාරය කළ කලාකරුවෙක් වගේම ගම්උදාව වැඩසටහන්වලට ලොකු ශක්තියක් ලබාදුන් කෙනෙක්. මගේ තාත්තා 'කලා පුරය' නිර්මාණය කළෙත් ජෝතිගේ යෝජනාවකට අනුවයි.
'ජගත් නිවාස වසර' නිල වැඩසටහනටත්, ජෝතිගේ අකල් මරණයටත් වසර 30ක් සපිරෙනවා. සැඟවුණු හැකියාවන් ඇතිව සිටින ප්‍රාදේශීය කලාකරුවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම කලා ගම්මාන පිහිටුවා එම වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කිරීමටයි අපේ බලාපොරොත්තුව'' සජිත් කීවේ සිය මතකයද අවදි කරමිනි.
සමන්ත කපලා
බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව උමා ඔය ව්‍යාපෘතිය දැන් හඳුන්වන්නේ 'බහු විනාශකාරී ව්‍යාපෘතිය' ලෙසය. එම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට ඒ අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාව විශාල පීඩාවකට පත්ව සිටිති. සිය එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය වතුරද, සිය ගෙවල් දොරවල්ද පාසල් ඇතුළු පොදු ස්ථානද එම ප්‍රදේශවල ජනතාවට අහිමි වෙමින් තිබේ.
මේ පීඩනය හේතුවෙන්ම පසුගියදා දසදහස් ගණනින් බණ්ඩාරවෙලට පැමිණි ජනතාව හර්තාල් ව්‍යාපාරයක්ද දියත් කළහ. මේ නිසා ජනාධිපතිවරයාට ඇමති අනුකමිටුවක් පත්කිරීමට සිදුවුවද, කමිටුවෙන් මේ වනවිට සිදුවෙමින් තිබෙන්නේ කළ යුතු දේ වෙනුවට ජනතා අයිතීන් වෙනුවෙන් මුලසිටම පෙනී සිටි ජනතා සංවිධානය නොසලකා ආණ්ඩුවට හිතවාදී සංවිධාන සමග සාකච්ඡා පැවැත්වීම බව උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ නායකයන්ට දැනගන්නට ලැබී ඇත.
ඇමති කමිටුවේ සාමාජිකයෙකු වන මහින්ද අමරවීර අමාත්‍යවරයා පසුගියදා බණ්ඩාරවෙලට ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර ජනතාවගෙන්ද විරෝධයක් එල්ල විය. පසුව අමාත්‍යවරයා මාධ්‍ය ඔස්සේ කියා සිටියේ ජවිපෙ සමන්ත විද්‍යාරත්න නිසා තමන් ජනතාව වෙනුවෙන් ලබාදීමට ගිය සහන සියල්ල ලබාදෙන්නට නොහැකි වූ බවයි.
මේ අතර මහින්ද අමරවීර ඇමතිවරයා බ්‍රහස්පතින්දා උමා ඔය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් කොළඹදී සංවිධානය කළේය. නමුත් එම රැස්වීමට උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණට ආරාධනා කර නොමැත. ඒ වෙනුවට ස්වාමීන් වහන්සේ කිහිප නමකට ආරාධනා කර තිබේ.
“අපේ සංවිධානයට කතා කරන්නේ නැතිව ඇමතිතුමා අපි ටික දෙනෙක්ට කතා කරලා තියෙන්නේ මන්ත්‍රීතුමා මේකෙන් කපන්න. අපිට පෞද්ගලිකව ආරාධනා කරලා වැඩක් නැහැ. අපි ජනතාව වෙනුවෙන් සංවිධානයක් නියෝජනය කරන්නේ. අපේ සංවිධානයට ආරාධනා නැති නිසා අපි යන්න ඕන නෑ” ස්වාමීන් වහන්සේලා සමන්ත විද්‍යාරත්නට මේ බව සැලකරමින් කියා සිටියහ. ඒ අනුව ඇමතිවරයාට හිතවත් සංවිධාන කිහිපයක් සමග සාකච්ඡාව සිදුකිරීමට සැලසුම් කර තිබූ බව වාර්තා වේ.
මංගල්ලෙට වඩා දිනේෂ්ගේ වැඩේ ලොකුයි
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට සඳුදා කැඳවා තිබුණේ පසුගිය රජය සමයේදී අම්පාර ජල ව්‍යාපෘතියක් සිදුකිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටය.
එම අවස්ථාවට සහභාගි වීමට පෙර දිනේෂ් කොළඹ 07, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට පිහිටි ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ විහාරස්ථානයට පැමිණියේය. දිනේෂ් පැමිණෙන විට බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, ගාමිණී ලොකුගේ බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, ගීතාංජන ගුණවර්ධන සමග නීතිඥ කණ්ඩායමක් විහාරස්ථානයට පැමිණ සිටියහ.
''පුදුම විදියේ බියගුළු වැඩපිළිවළක් රටේ තියෙන්නේ. මේවා තනිකරම පළිගන්න කරන දේවල්. රටේ කිසි ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. මේවාට විරුද්ධව ඕනෑම වේදිකාවක නගින්න මම සූදානම්*‘ ඇල්ලේ ගුණවංශ හිමියෝ දිනේෂ් සමග කතාකරමින් සිටියදී පැවසූහ. අනතුරුව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටුවා ඇති ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට දිනේෂ් ගියේය.
ඔහු සමග මන්ත්‍රී පිරිස සහ නීතිඥ කණ්ඩායමද ගියහ. ඒ වනවිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ස්ථානයට පැමිණ සිටියේය. ''විශේෂ මංගල උත්සවයකට සහභාගි වෙලා අත්සන් කරන්න තියෙද්දි තමයි දිනේෂ් වෙනුවෙන් මං මෙතැනට ආවේ. මඟුල් ගෙදර අත්සන් කරන්නෙ නැතිව කලින්ම ආවේ දිනේෂ්ගෙ වැඩේ ඊට වඩා ලොකු නිසා'' සිනාසෙමින් මහින්ද කීවේය.
''මේ අයට දැන් මේවා තමයි හොයන්න තියෙන්නේ. බලන්න නියඟයෙන් මිනිස්සු දහස් ගාණක් අනාථ වෙලා. ගංවතුරෙන් අනාථ වුණු මිනිස්සුන්ට තාම සහන නැහැ. ඩෙංගු ලෙඩ්ඩුන්ගෙන් ඉස්පිරිතාල පිරිලා. කිසිම ප්‍රශ්නකට විසඳුම් නැහැ.
ආර්ථිකය හරිම අමාරුවෙන් මිනිස්සු ගෙනියන්නේ.'' දිනේෂ් සමග කතාකරමින් සිටියදී මහින්ද වැඩිදුරටත් කීවේය. කොමිසමේ නිලධාරීන් විසින් දිනේෂ්ගෙන් පැය දෙකක ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. අම්පාර ජල ව්‍යාපෘතියට අනුමැතිය දුන්නේද නැද්ද කියා දිනේෂ්ගෙන් විමසා තිබිණි.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ප්‍රකාශයක් ලබාදීම සඳහා එම අවස්ථාවේම ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ සිටියේය. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි ද්‍රව්‍ය විකිණිමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධ ගෝඨාභය කැඳවා තිබිණි.
දිනේෂ් ප්‍රකාශය දෙන අවස්ථාවේදී ඊට යාබද කාමරයක ගෝඨාභය සිටි අතර, ඔහු කලින් ලබාදී තිබූ ප්‍රකාශයක් සත්‍ය බවට සාමාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ තහවුරු කර විනාඩි 10කින් පමණ පිටව ගියේය. දිනේෂ්ගේ සහායට පැමිණි මන්ත්‍රීවරුන් ගෝඨාභය ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන බව නොදැන සිටියහ.
මේ අවස්ථාවේදී ගෝඨාභය පැමිණි කාරණය කුමක්දැයි විමසීමට දිනේෂ් සමග පැමිණි මන්ත්‍රී පිරිසට වුවමනා වූ අතර, ඔවුහු ගෝඨාභය සිටි කාමරය දෙසට ගියහ. ගෝඨාභය එළියට පැමිණ මන්ත්‍රීවරුන් සමග සුහදව කතාකර මාධ්‍යයටද ප්‍රකාශයක් ලබාදී පිටත්ව ගියේය.
මැතිවරණය ඉක්මනින්ම
පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වන ලෙස අගමැති රනිල් සිය පක්ෂයට උපදෙස් ලබාදී තිබේ. මැතිවරණය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ සඳුදා පැයක සාකච්ඡාවක් පැවැති අතර, ඇමතිවරුන් වන මනෝ ගනේෂන්, ෆයිසර් මුස්තාෆා, ලසන්ත අලගියවන්න, අජිත් පී. පෙරේරා, මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, සුමන්දිරන් එහිදී අග්‍රාමාත්‍යවරයා හමුවූහ. මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඔවුන්ගේ දැඩි ස්ථාවරය විය.
තීරණාත්මක හමුවක්
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් අද (14දා) සිරිකොෙතදී පැවැත්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙන්ම 77 ජයග්‍රහණයට වසර 40ක් පිරීම, අගමැති රනිල්ගේ පාර්ලිමේන්තු ගමනේ වසර 40ක් සැමරීම, යහපාලන ආණ්ඩුවට වසර 02ක් සපිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සියලු ජයග්‍රහණ සමරා දිස්ත්‍රික්ක සියල්ල නියෝජනය වන පරිදි ජාතික සංවර්ධන ප්‍රදර්ශනයක් පැවැත්වීමට එජාපය තීරණය කර ඇත.
මෙහෙයුම් කමිටුවෙන් ඉවත් නොවන ඒකාබද්ධය
ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ පසුගිය කණ්ඩායම් රැස්වීමේදී තීරණයක් ගෙන තිබුණද මේ දක්වා ඔවුන්ගේ නියෝජනය ඉවත් කර නොගැනීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ එකිනෙකාට චෝදනා කරගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මන්ත්‍රී කණ්ඩායමට යෝජනා කර තිබුණේ මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වීමට ඒකමතික තීරණයක් ගතයුතු බවයි. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්දෙනා කලින්ම මෙම ක්‍රියාවලියෙන් ඉවත් වී තිබුණි. එහෙත් දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරු තවමත් එම කමිටුව නියෝජනය කරති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ සකස් කරන්නේදැයි දැනගැනීමට අවශ්‍ය බැවින් මේ දක්වා ඉවත් නොවුණු බව පැවසේ. ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂ නායකයන් වන මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන,පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයට එක් ස්ථාවරයක සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත්වීමට නොහැකි වී තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රසිද්ධියේ අදහස් පළ කළද දිනේෂ්, ගම්මන්පිල, තිස්ස එම ක්‍රියාවලියෙන් ඉවත් නොවී සිටීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නොසතුට පළවී ඇතැයිද වාර්තා වෙයි.
එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පැවැත්වූ සාකච්ඡාකදී විමල් වීරවංශ මහතා සඳහන් කර ඇත්තේ මුල් අවස්ථාවේදීම තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට එම කැපකිරීම කළ නොහැකිවීම ප්රශ්නකාරී බවයි.
මලික් ගැන එජාපයේ කසු කුසුවක්
එක්සත් ජාතික පක්ෂ සභාපති, ඇමති මලික් සමරවික්‍රමගේ ක්‍රියාකලාපයන් පිළිබඳ පක්ෂයේ සමාජිකයන් මෙන්ම බොහෝ දෙනෙක් කලකිරී සිටිති. ආණ්ඩුවේද බොහෝ දෙනා ප්‍රසිද්ධියේ නොකියුවද, ඔවුහු කලකිරුණු ස්වභාවයෙන් කතා කරති.
ජන පදනම හෝ දේශපාලන පක්ෂයක ඉදිරිය පිළිබඳ කිසිවක් තේරුම් නොගෙන ඔහු කටයුකු කිරීම තුළ පක්ෂ අභ්‍යන්තරයේද පිටතද දැවැන්ත අර්බුද නිර්මාණය වී ඇත. එක්සත් ජාතික පක්ෂයෙ නිලධාරීන් පිරිසක් හමුවූ ආණ්ඩුවට හිතවාදී පිරිසක් පසුගියදා පවසා සිටියේ,
''මලික් සමරවික්‍රම ගැන තීරණයක් ගත්තෙ නැතිනම් යූ.ඇන්.පී.යට ඉදිරි ගමනක් නැහැ. දැන් එයා සම්පූර්ණයෙන්ම අගමැති පාලනය කරනවා. මෙහෙම ගියොත් ආණ්ඩුවටයි, පක්ෂයටයි දෙකටම ඉදිරි ගමනක් නැතිවෙවි. එයා සභාපති නේද?'' යනුවෙනි.
දියවන්නාරාළ විසිනි
diyawannarala@gmail.com
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd