පොල් මද ආනයනය කිරීම පෞද්ගලික අංශය මගින් සිදුවන්නක්
ලංකාවේ දේශීය ආහාර සංස්කෘතිය තුළ පොල්වලට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ ආශ්රිත නිෂ්පාදන රැසක්ද හඳුනාගත හැකි අතර, මේ සියල්ලටම ගැටලුකාරී තත්ත්වයක් ඇතිකරමින් පොල් හිඟයක් රට තුළ ඇතිවිය. එයට විසඳුමක් ලෙස නොයෙක් යෝජනා ඉදිරිපත් වූ අතර, පොල් මද විදේශයෙන් ආනයනය කිරීම මේ වනවිට රජය ගෙන ඇති එක් විසඳුමකි.
මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂව සමාජය තුළ කතිකාවතක් ගොඩනැගෙමින් පවතින අතර, කැබිනට් පත්‍රයක් මගින්ද පොල් සඳහා පාලන මිලක් පසුගියදා නියම කෙරිණි. මෙය ක්‍රියාවට නැංවීමට නොහැකි දෙයක් බව ඇතැම් පිරිස් පවසති. කෙසේ වෙතත් පොල් මද ගෙන්වීම මෙරටට අලුත් දෙයක් මෙන්ම පොල් මද ආශ්රිත නිෂ්පාදනවලට එය කිනම් අයුරින් බලපෑමක් එල්ල කරාවිද? මේ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් සැපයීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
Q පොල් මද ආනයනය කිරීම පිළිබඳ මේ දිනවල මාධ්‍ය හරහා නොයෙක් ලෙස තොරතුරු ගලනයක් සිදුවෙනවා. මුලින්ම ඒ පිළිබඳ දැනුවත් කළොත්?
පොල් මද ආනයනය කිරීමට තීරණය කළේ, ලංකාවේ කර්මාන්ත හැම එකක්ම 40෴ක ධාරිතාවකින් ක්‍රියාත්මක වන නිසා. ඒ වගේම මේ වෙලාවේ පාරිභෝජනයට සහ කර්මාන්තයට පොල් අවශ්‍ය ප්‍රමාණයට සැපයීමේ අඩුවක් තිබෙනවා. ඒ අඩුව පිරිමසා ගැනීම සඳහා තමයි අපි පොල් මද පිටරටින් ගෙන්වීමට යෝජනා කළේ. ඊට අමතරව හොඳ දියුණු පොල් කර්මාන්තයක් අපේ රටේ තිබෙනවා. මදය ආශ්‍රිතව අපි අපනයනය කරනවා විවිධ වර්ගයේ නිෂ්පාදන 20ක් පමණ. පොල් මද ආනයනය කර දේශීය අවශ්‍යතාව සපුරාලනවා වගේම ප්‍රතිඅපනයනය කිරීමට හැකි නම් අපට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවෙනවා. ඒ දෙයංශයම පොල් මද ආනයනය කිරීමෙන් අපට ලැබෙනවා.
Q පොල් මද වෙනත් රටකින් ආනයනය කරනවා නම් සමාන්‍යයෙන් එය සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සඳහන් කළොත්?
සමාන්‍යයෙන් පොල් ගෙඩියේ කටුව ඉවත් කරලා, මදය අරගෙන එහි තිබෙන පුහුට්ටත් ඉවත් කර යම්කිසි උෂ්ණත්වයකින් එය රත් කිරීමක් සිදු කරනවා. ඉන්පසු එය ශීතකරණය කරනවා. එවැනි ශීත කන්ටේනර් තුළ තමයි පොල් මද අප රටට ගෙන්වීමට යෝජනා කර තිබෙන්නෙ.
Q එවැනි ශීත කළ පොල් මදයක් සමාන්‍යයෙන් කොපමණ කාලයක් තබාගත හැකිද? පොල් මද වශයෙන් ගෙන්වීමට යම් හේතුවක් තිබෙනවාද?
මෙවැනි පොල් මද ශීතකර‘ණයේ ඇසුරුම් කරමින් දිගු කාලයක් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.
පොල් පාරිභෝජනයට යම් අඩුවක් තිබෙනවා. අපි නිෂ්පාදන කර්මාන්ත සඳහා පොල් මද ආනයනය කළ විට ලංකාවේ තිබෙන පොල්වලින් කර්මාන්තවලට යන ප්‍රමාණය එයින් කොටසක් සිල්ලර අලෙවිය සඳහා වෙන්වෙනවා. මේ හේතුව නිසයි අපි පොල් ගෙන්වීමට යෝජනා කළේ. නමුත් මෙහිදී පොල් ගෙඩි වශයෙන් ගෙන ඒමේ හැකියාවක් නැහැ. මේ හරහා යම් රෝග කාරකයක් රටට ඇතුළු වේ යන මතය පොල් වගාකරුවන් අතර ඇතිව තිබෙන නිසා. ගෙඩි වශයෙන් ගෙනාවොත් එය ධූමානයට භාජනය කරලා ගෙන ආ යුතුයි. නමුත් එය අපහසු දෙයක්. එනිසා වඩා ආරක්ෂිත ලෙස පොල් මද වශයෙන් ගෙන ඒමට යෝජනා කළා.
Q ලංකාවට මෙවැනි අමුද්‍රව්‍ය ගෙන ඒමේදී ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට, නියාමනය කිරීමට යම් නිලධාරී පිරිසක් අවශ්‍යයි. ඒ පිළිබඳ යම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවාද?
මේ සියල්ල ගෙන්වන්නේ පෞද්ගලික අංශයෙන්. ඒ පිළිබඳ පෞද්ගලික අංශයට අවසරය ලබාදී තිබෙනවා. පරීක්ෂා කිරීමේ හා නියාමන කටයුතු සිදුවන ක්‍රමවේදය පිළිබඳ මේ වනවිට යෝජනා සාකච්ඡා මට්ටමින් පවතිනවා.
Q මේ පොල් ආශ්‍රිතව පොල්තෙල් කර්මාන්තය මෙන්ම තවත් නිෂ්පාදන කර්මාන්ත රැසක් බැඳී පවතිනවා. එවැනි කර්මාන්තවලට මෙය කිනම් ආකාරයේ ප්‍රතිඵලයක් අත්කර දෙයිද?
වාර්ෂිකව ෆාම්තෙල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදාහක් පමණ විදේශ රටවලින් ආනයනය කරනවා. ඒ නිසා අපට කොහොමත් තෙල් කර්මාන්තයේ අඩුවක් තිබෙනවා. ඒ නිසා පොල් මද මෙරටට ගෙන ඒම තුළින් පොල්තෙල් නිෂ්පාදනයත් ඉහළ නංවාලිය හැකියි. මෙය පෞද්ගලික අංශයෙන් ක්‍රියාත්මක වුවත්, එවැනි ක්‍රියාමාර්ග තුළින් මෙරට නිෂ්පාදකයන්ටද ලාභයක් උපයා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
මේ සඳහා කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් සිදුවන්නේ නැතිද?
Q නැහැ. සියල්ල සිදුවන්නේ පෞද්ගලික අංශය මගින්. රජය විසින් සිදුකරන්නේ එය නියාමනය කිරීමේ ක්‍රියාවලිය පමණි. එය පොල් සංවර්ධන අධිකාරිය මගින් සිදුකිරීමට අපේක්ෂා කරනවා.
රටේ පොල් මිල මේ වර්ෂයේ ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. කැබිනට් මණ්ඩලය මේ නිසා ගැසට් පත්‍රයක් මගින් එහි පාලන මිලක් නියම කිරීම පවා සිදුකළා. ඒ ගැන කතා කළොත්?
පොල් ඵලදාව මේ වර්ෂයේ ක්‍රමයෙන් අඩු වූ එකක් නොවෙයි. එයත් මේ වර්ෂයෙන් 17%න් තමයි පහළ බැස ඇත්තේ. ලොකු අඩුවීමක් නැහැ. පසුගිය වර්ෂයේ මේ කාලය වනවිට පොල් වගාකරුවන්ට හිමිවූයේ රුපියල් 18ක් හෝ 20ක් වැනි අඩු මුදලක්. නමුත් මේ වර්ෂයේ එය ඉහළ ගියා. සමාන්‍ය කෘෂිකාර්මික භෝගයක ඇති රටාව තමයි මෙය. ඒ ඒ කාලවලට මිලේ අඩුවැඩි වීමක් සිදුවෙනවා. එය නවතාලිය නොහැකි ක්‍රියාවලියක්.
Q විදේශ රටවලින් ගෙන්වීමට තරම් ලංකාවේ පොල් හිඟයක් ඇතිවීම පිළිබඳ ඇතැම් පිරිස් විවිධ මත පළකරනවා. මේ පිළිබඳ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ඔබේ මතය කුමක්ද?
කාලගුණ විද්‍යා දත්ත අනුව පදනම් වී වාර්ෂික වර්ෂාපතනය ගත්විට පසුගිය අවුරුදු 20 ඇතුළු කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබෙන්නේ මේ වසරේ. එය තමයි පොල් ඵලදාව අඩු වීමට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ. පසුගිය වර්ෂයේ (2016) අපට කවුරුන් හෝ පවසනවා නම්, අපේ සේවාවල ප්‍රමාදවීමක් නිසා මේ දේ සිදුවූවා කියා නමුත් එය බාරගත නොහැකි තර්කයක්. මොකද අපි පසුගිය වර්ෂයේ වාර්තාගත නිෂ්පාදනයක් හිමිකර ගත්තා. ඒ ගෙඩි මිලියන 54ක වාර්තාගත අස්වැන්නක්. ඒ නිසා මෙවර පොල් නිෂ්පාදනය එකවරම අඩුවීම කාලගුණ විපර්යාස මත සිදුවූ දෙයක්.
Q ඇතැම් අයගේ මතයක් තමයි පොහොර සහනාධාරය අක්‍රමවත් වීම නිසා මෙවර පොල් ඵලදාව අඩුවීමට එක් හේතුවක් කියලා. මේ පිළිබඳ ඔබ කුමන ස්ථාවරයකද සිටින්නේ?
ලංකාවේ පොල් වගාවට පොහොර දැමීමේ හුරුවක් නැහැ. ඒ නිසා එය නිශ්චිතව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. ඉතා සීමිත පිරිසක් තමයි පොල් වගාවට පොහොර යොදන්නේ. නමුත් පොල් වගාවට පොහොර යෙදීම තුළින් පොල් නිෂ්පාදනය දෙගුණ කර ගැනීමේ හැකියාව තිබෙනවා.
අපි දැනට අවශ්‍ය පිරිස්වලට පොල් පොහොර සහානාධාරය ලබාදීම සිදුකරනවා. කලින් පොල් සහනාධාරය දුන්නා. නමුත් ඒ දෙන ලද පොහොරවල ගුණාත්මකභාවය කෙරේ ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. ඒ නිසා එයින් එතරම් හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. නැතිනම් මීට වඩා පොල් ඵලදාවක් තිබෙන්න ඕන. පසුගිය වර්ෂවල සමාන්‍යයෙන් ලැබී තිබෙන්නේ 2700, 2800, 2600ක් වගේ ඵලදාවක් තමයි. නමුත් අපි පසුගිය වර්ෂයේ 3000ක ඵලදාවක් ලබා ගත්තා. මෙයින් ඒ තර්කය බිඳහෙළුණු නිසා එවැන්නක් ප්‍රකාශ කරන්න බැහැ. කොහොමටත් අපි තෝරාගත් ඉඩම්වල ගොවි මහතුන්ට පොල් පොහොර සහනාධාරය පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් දෙනවා. පසුගිය වසර තුළ මිලියන 06ක් වියදම් කර පොල් පොහොර සහානාධාරය ලබා දුන්නා. මේ අවුරුද්දෙත් ඒ අයුරින්ම ලබා දෙනවා.
Q කෘමි ගැටලුවත් මේ වනවිට පොල් නිෂ්පාදන ක්ෂේත්රය තුළ නිෂ්පාදනයේ අඩුවක් වීම සඳහා පසුගිය කාලවල බලපෑවා. මේ පිළිබඳ කතා කළොත්?
පොල් වගාකිරීමේ මණ්ඩලයේ ක්‍රියාත්මක වන සහානාධාර රැසක් තිබෙනවා. එමෙන්ම ලංකාවේම ගොවිජන සේවා කාර්යාල රැසක් තිබෙනවා. මේ යටතේ පොල් වගාකරුවන් දැනුවත් කිරීම් සිදු කරනවා. ඒ සඳහා සුදුසු පළිබෝධනාශක පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. එවැනි වැඩසටහන් වසර ගණනාවක සිට සිදු කරනවා.
Q මේ පොල් ගැටලුව සම්බන්ධයෙන් නොයෙක් විසඳුම් ගත්තද, අනාගතයේදී මේ තත්ත්වය අවම කරමින් පොල් ඵලදාව වැඩි කර ගැනීමට මොනවගේ ක්‍රියාමාර්ග කෙරේද අවධානය යොමුකර ඇත්තේ?
අපේ ක්ෂේත්‍ර වැඩ කොටස් සෑම වසරකම ක්‍රියාත්මක වෙනවා. අපේ ව්‍යාප්තිය සමාන්‍යයෙන් පොල් අක්කර 50,000ක් සිටවන එක. අපි එම වැඩසටහන ක්‍රියාත්මක කරමින් යනවා. නමුත් ස්වාභාවික හේතු මත සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපට සෑම වසරකම සැලකිය යුතු පොල් ප්‍රමාණයක් අහිමි වෙනවා.
අපි එය අවම කරගන්න ඊට වඩා වැඩි වේගයකින් වගාකිරීමේ කටයුතු සිදු කරනවා. පොල් වගාකිරීමේ මණ්ඩලය ලෙස අපි රුපියල් බිලියන 02ක් පමණ පොල් වගා ඇතිකිරීම, ඊට අවශ්‍ය උපදසේ ලබාදීම සඳහා යොදවනවා.
මෙය ඇත්තටම ඒ සඳහා වැයකරන විශාල මුදලක්. ක්ෂේත්‍ර වැඩසටහන්, අලුත් ඉඩම්වල වගා කිරීම් සහ පොල් ගහනය වැඩි කිරීම වගේ වැඩමුළු රාශියක් සිදුකර ගෙන යනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


