ප්‍රමිතියකින් තොර LED විදුලි බුබුළු නිසා පාරිභෝගිකයන් අමාරුවේ
- 10 10 2017
- 09:49
- {{hitsCtrl.values.hits}} views
- . .
මෙරට විදුලි පරිභෝජනය ඉහළ යෑමත් සමග විදුලි බිල්පතද ඒ හා සමගාමීව ඉහළ ගොස් ඇත. එයට හේතු වී ඇත්තේ අපට විදුලිය උපදවන ජල විදුලිය සමස්ත ඉල්ලුමට සැපයුම ලබාදීමට තරම් ප්‍රමාණවත් නොවීමය. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයන් මගින් පවත්වාගෙන යනු ලබන විකල්ප විදුලි උත්පාදනයන් වෙතද යොමු වීමට විදුලිබල මණ්ඩලයට සිදු වී ඇත. එහිදී ඒ සඳහා වැය වන මුදල අධික වීමත් සමග පාරිභෝගිකයාට එහි වන්දිය යම් ප්‍රමාණයකින් ගෙවීමට සිදුව තිබේ.
විශේෂයෙන් මෙම මිල වැඩිවීම බලපාන්නේ ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ටය. විදුලිය භාවිත කිරීමේදී නිවාස සඳහා විදුලිබල මණ්ඩලය විසින් මසකට යම් ඒකක ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එය ඉක්මවන්නන්ට වැඩි මුදලක් සිය බිල්පතට එක් වේ. එය සීමා කරගැනීම පාරිභෝගිකයාට මෙන්ම සමස්ත විදුලිබල උත්පාදනයටද ලැබෙන්නා වූ සහනයකි. මේ පිළිබඳ විදුලිබල මණ්ඩලය නිරතුරුව ජනතාව දැනුවත් කිරීම තුළින් මේ වනවිට ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සිය විදුලි බිල්පත සීමා කරගැනීම සඳහා අඩු ක්ෂයවීමකින් හා වැඩි ආලෝකයක් ලබාදෙන විදුලි බුබුළු භාවිතයට යොමු වී ඇත. එය සුබවාදී ප්‍රවණතාවක් වුවද එම ක්‍රමවේදය කෙතරම් සාර්ථකද යන්න විමසා බැලිය යුතු වේ. මන්ද වෙළෙඳ පොළේ අලෙවිය සඳහා ඇති එවැනි විදුලි බුබුළුවල ප්‍රමිතිය පිළිබඳ නිසි සොයා බැලීමක් මේ වනතුරු සිදු වී නොමැති නිසාය.
විදුලි ආලෝකය ලබාගැනීමේදී අප මුලින්ම භාවිතයට ගනු ලැබුවේ ටංග්ස්ටන් වර්ගයේ පිලමන්ට් සහිත වූ සාමාන්‍ය විදුලි බුබුළුය. එමගින් නිකුත් වන ආලෝකයෙන් එහි විදුලි ආලෝක ධාරිතාව අනුව 100%ක්ම දැල්වෙන බැවින් එය පිරිමැසුම්දායක් ක්‍රමයක් නොවීය. ඉන් කලකට පසු ‘'ටියුබ් ලයිට්’ යනුවෙන් 'විදුලි ආලෝක ‘ටියුබ්’ වෙළෙඳ පොළට පැමිණීමත් සමගම බොහෝ දෙනෙක් එය නිවාස සහ කාර්යාල සඳහා බෙහෙවින් භාවිත කළහ. එහෙත් එයින්ද බලාපොරොත්තු වූ ප්‍රමාණයෙන් විදුලිය පිරිමසාගැනීමට නොහැකි බව පෙනී ගියෙන් පසුගිය දශකයේ අවසානයේදී CFL යනුවෙන් නව විදුලි බුබුළක් වෙළෙඳ පොළට පැමිණීමත් සමගම ‘'ටියුබ් ලයිට්’ සහ ‘'ටංග්ස්ටන්’ විදුලි බුබුළු සඳහා වෙළෙඳ පොළ ඉල්ලුම ශීඝ්‍රයෙන් පහත වැටෙන්නට විය.
එහෙත් එම විදුලි බල්බයේද POWER FACTOR (බලශක්ති ගුණකය) 60෴ ක් පමණ බව මේ පිළිබඳ විශේෂඥ දැනුමැති අයෙකු මා සමග පැවසීය. CFL විදුලි බල්බය නිෂ්පාදනයේදී රසායනික ගෑස් වර්ගයක් ඒ සඳහා භාවිත කරන නිසා එය මිනිස් සිරුරට හානිකර බවත්, එමගින් පිළිකා රෝගය වැලඳීමේ ප්‍රවණතාවක් ඇති බවත් පසු විපරමකදී සොයාගනු ලැබීය. මෙම තත්ත්වය මත විදුලියත් සමගම එම වේගයෙන්ම ශරීර සෞඛ්‍යයට සිදුවන බලවත් තර්ජනය හේතු කොටගෙන ඉතා කුඩා විදුලි බල්බ රැසකින් යුක්ත වූ LED විදුලි බුබුළු වෙළෙඳ පොළෙහි ස්ථානගත විය.
මේ වනවිට මෙම LED විදුලි බල්බ නිෂ්පාදනය මෙරට ප්‍රධාන පෙළෙහි වෙළෙඳ නාමයන්ගෙන් අලෙවිය සඳහා නිකුත්කර ඇති අතර, ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන්ද පවත්වාගෙන යනු ලැබේ. මෙම විදුලි බුබුළු මගින් මිනිස් සිරුරට හානියක් වන බව මෙතෙක් සොයාගෙන නොමැත. එමෙන්ම මෙම විදුලි බුබුළු යම් ප්‍රමිතියකට නිෂ්පාදනය කරන්නේ නම් එයින් විදුලිය ඉතා හොඳින් පිරිමසාගත හැකි බව පෙනී ගොස් ඇත. එහෙත් සිදු වී ඇත්තේ මෙම විදුලි බුබුළු නිෂ්පාදනය කරන ආයතන හා පුද්ගලයන් මෙහි ප්‍රමිතිය පිළිබඳ කිසිදු තැකීමක් හෝ දැනීමක් නොමැතිව සිය නිෂ්පාදන කටයුතු කරගෙන යෑමය. එයින් සිදුවන්නේ බලාපොරොත්තු වන විදුලිය අරපිරිමැස්මේ ලාභය පාරිභෝගිකයා වෙත නොලැබීමය.
POWER FACTOR යනුවෙන් හඳුන්වනු ලබන බලශක්ති ගුණකය LED විදුලි බුබුළු සඳහා පැවතිය යුතු ප්‍රමාණය ලෙස ගැනෙන්නේ 0. 9 ක් හෝ එයට ආසන්න සංඛ්‍යාවක් විය යුතු බව මේ පිළිබඳ දැනුමැති විදුලි කාර්මික ශිල්පියෙකු මා සමග පවසා සිටියේය. ඔහු සතුව පවතින POWER FACTOR මැනුම් උපකරණය වෙත මා කැඳවාගත් ඔහු දැනට වෙළෙඳ පොළෙහි අලෙවි කිරීමට ඇති ප්‍රධාන පෙළේ වෙළෙඳ නාමයන්ගෙන් යුත් LED විදුලි බුබුළු කිහිපයක් එකිනෙක එම යන්ත්‍රයේ සවිකර දල්වමින් එම බල්බවල ඇති POWER FACTOR ප්‍රමාණය මට පෙන්වීය. ඒ සියලුම බල්බ වර්ග බලශක්ති ගුණකය 0 .757ටත් අඩු ප්‍රමාණයකින් පවතින බව එම සටහන්වලින් පෙනී ගියේය. එසේම ඔහු පවසන පරිදි මේ වනවිට වෙළෙඳ පොළෙහි බෙහෙවින් අලෙවියට තබා ඇත්තේ POWER FACTOR 0.5ට අඩු විදුලි බුබුළුය.
එම සොයා බැලීමේදී ඔහු මා හට පෙන්වා දුන්නේ ඉහත සඳහන් ප්‍රමිතිගත බලශක්ති ගුණක ප්‍රමාණයට ඉතාමත් ආසන්නව එනම් 0.978 ප්‍රමාණයට පැවැති සුප්‍රකට වෙළෙඳ නාමයන් නොමැති මෙරට නිෂ්පාදිත විදුලි බුබුළු නිෂ්පාදන දෙකේ පමණි. ඒ අනුව අනෙක් සියලුම නිෂ්පාදනයන් ප්‍රමිතියට ආසන්නම ප්‍රමාණයක් හෝ නොගැනීම නිසා ඒවා භාවිතයෙන් පාරිභෝගිකයා බලාපොරොත්තු වන විදුලිය බිල අඩු කරගැනීමෙන් ලැබෙන වාසිය නොලැබේ. මෙම බල්බ වර්ග වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් ආලෝකය අඩු වී කෙමෙන් අඳුරු ස්වභාවයක් ගනු ලබයි. ඒවා අලෙවි කරනු ලබන්නේද ඉහළම මිලකටය.
මේ අනුව දැනට වෙළෙඳ පොළෙහි පවතින LED විදුලි බුබුළු භාවිතයෙන් පාරිභෝගිකයා බලාපොරොත්තු වන ඉලක්කය වෙත යෑමට නොහැකි වී ඇත. මේ පිළිබඳ වගකිවයුත්තන් කවුද? යන පැනය මෙහිදී අප හමුවේ පැන නගින ප්‍රධානතම ගැටලුව වන්නේය. එම පැනයට පිළිතුර ලබාදිය යුත්තේ රජයයි. එසේ නැතහොත් පාරිභෝගික සේවා අධිකාරියයි. ඔවුන් මේ පිළිබඳ වහා ක්‍රියාත්මක වී නියමිත බලශක්ති ගුණක ප්‍රමාණය පිළිබඳ ප්‍රමිතිය ප්‍රකාශයට පත් කළ යුතු අතර, එය වෙළෙඳ පොළේ ඇති සෑම
LED විදුලි බුබුළකම සටහන් කර එය සහතික කළ යුතුද වන්නේය. එයින් පාරිභෝගිකයා දැනුවත් වන අතර, පදික වේදිකාවල පවා අලෙවියට තබා ඇති බාල වර්ගයේ විදුලි බුබුළු මිලදීගැනීමෙන් වැළකී සිටීමට පාරිභෝගිකයාට එයින් හැකි වනු ඇත.
මෙයට මාස කිහිපයකට ඉහතදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් විදුලිබල මණ්ඩලය හරහා පාරිභෝගිකයන්ට පහසු ගෙවීමේ ක්රිමයට
LED විදුලි බුබුළු ලබාදෙන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබුවද එය තවමත් ක්‍රියාත්මක නොවීමද කනගාටුවට කරුණකි. විදුලිබල මණ්ඩලය එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් නියමිත POWER FACTOR (බලශක්ති ගුණක) ප්‍රමාණයෙන් යුත් විදුලි බුබුළු පාරිභෝගිකයන් වෙත ලබාදිය යුතුය. එවිට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වන බලශක්තිය පිරිමැසීමේ ඉලක්කය සපුරාගැනීමට එය ඉමහත් පිටුවහලක් වනු ඇත.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



