Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
දරුවන් වර්තමානය වන විට ළමා අපචාරයන් හි සුලබ ගොදුරක් බවට පත්වන්නේ ප්‍රධාන වශයෙන් දෙමාපියන්ගේ අවධානය මඳකම හේතුවෙනි. කෙසේවුවද ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ අතීතයේ පටන් දරුවන් අපචාර සිද්ධීන් වල ගොදුරු බවට පත්වීම සදාකාලික සංසිද්ධියක් ලෙසින් සිදුවේ. ජනගහනය වැඩිවීමට සාපේක්ෂව මේ ආකාරයට අපචාර ප්‍රමාණයත් වැඩි වීම සිදුව තිබේ.
වර්තමානයේ මෙන් නොව අතීතයේ වැඩිහිටියන් නිවෙස්වලම සිටි අතර, ආච්චිලා සීයලා නැන්දලා මාමලා ආදීහුද සිටියහ. නිවෙස්වල මව්වරු රැකියාවලට නොගිය අතර, ඒ නිසා සෑම අවස්ථාවකම දරුවන් පිළිබඳ විශාල අවධානයකින් සිටින්නට ඔවුන්ට කාලය තිබුණි. දරුවන් ඉන්නා ගෙදර පමණක් නොව අවට සිටි නෑදෑයෝද සෑමවිටම දරුවන් පිළිබඳ අවධානයෙන් සිටියහ. නමුත් වර්තමානය වන විට තත්ත්වය එසේ නොවේ. දෙමාපියන් හා සමීපතමයන් රැකියාවලට යාම නිසා දරුවා පාසල නිම වී පැමිණෙන වෙලාව වන විට දරුවා සමග රැදෙන්නට කිසිවෙකුත් නිවසේ නැත. එසේත් නොවේ නම් සවස පාසලේ කටයුතු සඳහා සිටිනා දරුවෝ සවස් වන විට පාසලේ හිඳින්නේද තනිවමය.
අතීතයේ ගුරුවරු අවසන් දරුවා පාසලෙන් යනතුරුත් පාසලෙන් ගියේ නැත. එහෙත් වර්තමානයේ ටියුෂන් කිරීමේ උවමනාව මත ගුරුවරු පාසල නිමාවෙද්දීම පාසලෙන් ඉවත්ව යන්නේ දරුවන් පිළිබඳ සොයාබැලීමේ උවමනාවෙන් නොවේ. පෙර දැක්වූ පරිදි බොහෝ වෙලාවන් හිදී වැඩිහිටියන්ගේ අවධානය දරුවන් කෙරෙහි නොමැති වීම මෙසේ දරුවන් අපචාරයන්ට අපයෝජනයන්ට ගොදුරු වීමට වීමට ප්‍රධානම හේතුව වෙයි.
අතීතයේ දරුවෝ ටියුෂන් නොගිය අතර දැන් පුංචිම දරුවාත් ටියුෂන් යාම එක් අතකින් මෙම ගැටලුවලට හේතුවක් වෙයි. ඒ නිසාම දරුවන්ට බාහිර සමාජයත් සමග ගොඩනැගෙන සබඳතා වැඩි වෙයි. පන්තිවලදී විවිධ වයස් තරාතිරම් වල දරුවෝ හමුවීමත් දරුවන් අපයෝජනයට ලක්වීමට තවත් ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය.
ප්‍රධානම දේ වර්තමානයේ දෙමව්පියන් දෙමව්පියන් වෙන්නට සුදුසු නොවීමයි. දරුවෙකු හදන්නේ තමන්ට අවශ්‍ය නිසා නොව සාමාජ අපවාදයෙන් ගැලවෙන්නටත්, එමෙන්ම ඇතැම් දරුවෝ අහඹු සිද්ධියක් නිසා හැදිච්ච බිහිවූ දරුවෝ වීමත් වැනි දේ හේතුවෙන් දෙමාපියන් දරුවන් පිළිබඳ සොයා නොබැලීම ඛේදනීය තත්ත්වයකි.
දරුවෙකු ශාරීරිකව පමණක් නොව මානසිකවද අපයෝජනයට ලක්වේ. සමාජයේ වඩාත්ම වැඩි වශයෙන් සිදුවන්නේ මානසික අපයෝජනයයි. කුඩා අවධියේ පටන්ම දරුවෙකු මානසිකව දූෂණය වන අතර, එය ආරම්භ වන්නේ නොතේරෙන වයසේදීමය. පළමුවෙනි වසරට දරුවෙකු ඇතුළු කරන්නට යන දෙමාපියෝ දරුවාට විවිධ ආකාරයෙන් බොරු උගන්වන්නේ කෙසේ හෝ පාසලට ඇතුළත් කිරීමටයි. එසේවුවද නොමේරූ කුඩා දරුවාගේ මනස ඒ අවස්ථාවේ සිටම දූෂණය වෙයි. එය දරුවෙකුට ශාරීරිකව මෙන්ම මානසිකවත් දරුණු වදයක් බවට පත්වෙයි. පළමු ශ්‍රේණියට ඇතුළත් වූ මොහොතේ පටන් පහ වසර ශිෂ්‍යත්වය සමත් කරවීමට දෙමාපියන් දරන විශාල උත්සාහය යළිත් වරක් දරුවා කෙරෙහි බලපාන්නේ විශාල වදයක් ලෙසිනි.
වැඩි වශයෙන්ම දරුවෙකු අපයෝජනයට ලක්වෙන්නේ පහේ ශිෂ්‍යත්වය සඳහා බලෙන් තල්ලු කිරීමෙනි. වයස අවුරුදු දහයට අඩු මේ කුඩා වයසේ දරුවෙකුට දැරිය නොහැකි බරක් දෙමාපියන් විසින්ම පැටවීමම දරුවෙකු වෙත කරන විශාල හානියකි. සෑම මවකටම අවශ්‍ය වන්නේ තම දරුවා ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගත් බව පෙන්වන්ට වෙද්දී ඒ හරහා දරුවෙකු විශාල වශයෙන් මානසික අපයෝජනයට ලක්වෙයි. ගුරුවරුන්ද මේ තරගයට හුරුව ඇති අතර, තම පාසලේ ලකුණු වැඩිකර ගැනීම පමණක් ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
මීට අමතරව දරුවන් විශාල වශයෙන් මානසික අපයෝජනයට ලක්වන තවත් අවස්ථාවක් දක්නට ලැබේ. එනම් නිවසේම හිඳිනා දරුවාගේ මව, පියා ඇතුළු වැඩිහිටියෝ දරුවන් විහිළුවට ලක්කර තෘප්තියක් ලබන්නට අැතැම් අවස්ථාවල උත්සාහ දරයි. එය දරුවෙකුට විශාල වශයෙන් මානසික වදයක් වන අතර, දරුවා දිගුකාලීනව පසුගාමී කිරීමට ද එය හේතු විය හැක. ඇතැම් දෙමව්පියන් විශාල පිරිසක් හෝ නිවසටම එකතුවන පිරිසක් ඉදිරියේ තම දරුවාට නටන්නට, සිංදු කියන්නට බල කරන්නේ එමගින් තම දරුවාගේ මේ මේ හැකියා ඇතැයි අන් අයට පෙන්වා සතුටු වන්නටය. එහෙත් වැඩිහිටියන්ගේ සතුට ඉදිරියේ දරුවාගේ මානසිකත්වය බිඳවැටෙන බවත්, එය දරුවා කෙරෙහි විශාල වශයෙන් බලපෑ හැකි බවත් දෙමාපියන් සිතන්නේ නැත.
බිත්තියේ කුරුටු ගාන්නට කැමති දරුවෙකුට එය කරන්නට නොදී එළවීම, දරුවගේ සතුට ප්‍රීතිය අවශ්‍යතාව පිළිබඳ සිතීමට වඩා නිවසේ බිත්ති කිලුටු වීම පිළිබඳ වද වීම දරුවෙකුට සිදුකරන විශාල මානසික පීඩාවකි. ඒ දරුවාගේ අවශ්‍යතාව වන්නේ එය සිදුකිරීම නම් ඒ සඳහා අවස්ථාව දිය යුතුය. නිවසේ බිත්තිවල අලංකාරය පිළිබඳ සිතා දරුවෙකු හිර කිරීම සාධාරණ නොවේ.
අපයෝජනයකින් පසුව නඩුවකදී හෝ සමාජයේදී දරුවා මානසික අපහසුතාවකට පත්විය හැක.දරුවෙකු උසාවියට ගෙන ඒමද යම් ආකාරයක දරුවාට වන අපයෝජනයකි. උසාවියේ සිටින අනිත් පුද්ගලයින් ඒ දරුවා දෙස වැඩි අවධානයකින් බැලීමත්, මේ දරුවා අර සිද්ධියට මුහුණ දුන් දරුවා නේද යැයි මිනිසුන් අතර කතා ඇතිවීමත් පිළිබඳ වැඩිහිටියන් බරපතළ ලෙස නොසිතන මුත් එය දරුවන්ට දැඩි අපහසුවක් දැනෙන්නකි.
එසේම සාක්ෂි ගන්නට කතාකරන අවස්ථාවලදී දරුවෙකුට තමන්ට වූ සිද්ධිය වැඩිහිටියන්ට කියාගන්නට හැකියාවක් නොවේ. උසාවිය දරුවාට හුරු තැනක් නොවෙනවා පමණක් නොව එහි සිදුවන කිසිදෙයක් දරුවාට තේරෙන්නේද නැත. උසාවියේ සියලුදෙනා කළු පාට ඇඳීම සම්ප්රදායක් වුවද පොදුවේ ගත් කල දරුවන් කළු පාටට දක්වන්නේ බියකි. එසේම උසාවියේ වෙනත් නඩු ඇසෙද්දී වැඩිහිටි පුද්ගලයන්ගේ නඩු කතාකරද්දී දරුවන් බෙහෝසෙයින් බිය වෙයි. බොහෝ වෙලාවට නඩුව විමසන්නේ තමන් අයත් පළාතේම උසාවියක වෙද්දී දන්නා හඳුනන පිරිස් ඉදිරියේ දරුවා විශාල අපහසුතාවකට පත්වෙයි. නඩුවට ආවේ මේ දරුවාය, නඩුව ඇසුවේ මේ ගැනය කියන සියල්ල ගමේ අය, උසාවියේ සිටින ප්‍රදේශයේ පිරිස්, ගුරුවරු ආදීන් දැනගැනීම දරුවා ජීවිත කාලය පුරා විශාල අපහසුතාවකට පත්කරයි.
එවන් තත්ත්වයක් යටතේ ලංකාවට ළමා මහේස්ත්‍රාත් උසාවි කිහිපයක අවශ්‍යතාව මතුවෙමින් තිබේ. දැනට අනුරාධපුරයේ විශේෂ ළමා අධිකරණයක් පවතින අතර, මීට අමතරව බත්තරමුල්ලේ ළමා මහේස්ත්‍රාත් අධිකරණයක් පිහිටුවා තිබේ. දිවයින පුරා දරුවන් මෙතැනට රැගෙන ඒම කළ නොහැක්කක් නිසාම දරුවන් වෙනුවෙන් අධිකරණ පද්ධතියක අවශ්‍යතාව විශාල වශයෙන් මතු වන්ෙන් අද වැරදුණු හෝ වරදකළ දරුවා හෙට යහපත් දරුවෙකු කළ හැකි බැවිනි.
දරුවෙකුට තමන්ගේ ශරීරයේ කොටස් පිළිබඳව අවබෝධයක් ලබාදිය යුතුය. තවත් අයෙක් තමාගේ ශරීරයේ කොටස් අතපත ගාන්නට හොඳ නැති බවත්, දරුවාගේ රහස් ප්‍රදේශ තවකෙනෙකුට අතපත ගාන්නට නොදිය යුතු බවත් කියාදෙන්නට දරුවෙකුට වයසක් අවශ්‍ය නොවේ. අවුරුදු තුනේ හතරේ දරුවන්ට වුවද මේ දේ දරුවාට තේරෙන භාෂාවෙන් තේරුම් කර දෙන්නට අම්මාට පුළුවන් විය යුතුය. ඒවා ඇත්තටම හොඳ පුරුද්දක් ලෙස දරුවාට ඉගැන්වූයේ නම් දරුවා ඒවාට හුරු වෙයි. තමන්ගේ ශරීරය පිරිසුදුවට, පරිස්සමට තබාගැනීම හොඳ පුරුද්දක් ලෙස පුංචිම දවස්වල පටන් දෙමාපියන්ට කියන්නට පුළුවන් විය යුතුය.
ගැහැනු පිරිමි ඕනෑම දරුවෙකුට හැම වෙලාවකදීම යට ඇඳුමක් අන්දන්නට දෙමාපියෝ දැනගත යුතුය. නමුත් බොහෝ විට රස්නෙයි, දාඩියයි කියමින් මවුවරුන් දරුවා නිරුවතින් තබයි. ඒ තුළින් ශරීරගත වන විෂබීජ පිළිබඳ ඔවුන් සිතන්නේ නැත. ඇඳුමක් අන්දවා දරුවාට ඒ ගැන කියාදුනහොත් දරුවා තමන්ගේ අවයව පරිස්සමින් රැකගන්නට ඉගෙන ගන්නේ නිතැතින්මය. අම්මා කෙනෙක් ඕනෑම දෙයක් කියාදෙන්නට පුළුවන් අයෙකු විය යුතුය. දෙවෙනි දරුවා ලැබෙන්නට ඉද්දී පළමුවෙනි දරුවා අසන ප්‍රශ්නවලට දරුවාට තේරෙන සරල භාෂාවකින් කුස තුළ වැඩෙන කළලය ගැන කියාදෙන්නට පුළුවන්කම තිබිය යුතු අතර, දරුවන්ට සත්‍ය පිළිබඳ සුරංගනා කතා ගැළපෙන්නේ නැත. දරුවන් විසින්ම ගවේෂණය කර අධ්‍යයනයට යන්නේ එවන් අවස්ථාවලදීය.
ලංකාවේ දැනට කාන්තාවන් උදෙසා පවත්නා නීති ප්රමාණවත්ය. කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් නීති උපරිමයෙන් පවත්නා අතර, දැනට පවත්නා නීති ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් උද්ගත වී තිබේ. කෙසේවුවද කාන්තාවන් අපයෝජනයට ලක්වන්නේ කාන්තාවන්ගේම වරදිනි. සෑම පිරිමියෙක්ම කුමන හෝ කාන්තාවකගේ දරුවෙකු වන අතරම සෑම පිරිමියෙකුම උපදින්නේ මවකගේ කුසිනි. එම මව තම දරුවාට කාන්තාවන්ට ගරු කරන ආකාරය ඉගැන්වූයේ නම් ස්වාමිපුරුෂයෙකු ලෙස හෝ වෙනත් සමාජ ජීවියෙකු ලෙස කාන්තාවන්ට ගරු කරන්නට මෙන්ම අකටයුත්තක් නොකරන්නටත් හුරුවෙයි. කෙසේවුවද පිරිමියෙකු අතින් කාන්තාවක් හෝ දරුවෙකු අපයෝජනයට ලක්වන්නේ හෝ හිංසාවකට ලක්වන්නේ තවත් කාන්තාවකගේම වරදින් බැව් කියන්නේ එබැවිනි.
දරුවෙකු අපයෝජනයකට ලක්වී නම් පොලීසියට පැමිණිල්ලක් ලැබුණු විට පළමුව දරුවාගේ කටඋත්තරය සටහන් කරගෙන දරුවා වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරයි. මෙය අදාළ කාරණාවට සම්බන්ධව එක් සාක්ෂියක් පමණක් සේ සලකයි. ඉන්පසුව දුටුවන්ගේ, අසල්වැසියන්ගේ, සැකකරුවන්ගේ ආදී සියල්ලන්ගේ කටඋත්තර ලබාගන්නා අතර, ඒ කටඋත්තර සියල්ලත්, වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවේ පිටපතකුත් ගෙන පොලීසිය ගොනුවක් සකස් කිරීම සිදුකරයි. ඉන්පසුව එම ගොනුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා හරහා නීතිපති දෙපාර්තමේන්තුවට එවයි. එහිදී අධ්‍යයනයකින් පසුව නඩුවකට ප්‍රමාණවත් සාක්ෂි තිබේදැයි විමසා බැලිය යුතුය. ඉන්පසු නඩුවකට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් කුමන නඩුවක් ලෙසද, කුමන වගන්ති යටතේද යන්න විමසා අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන අතර, ඒ අධිචෝදනා පත්‍ර ලැබුණු පසුව මහාධිකරණය වැඩිකල් නොගොස් නීතිමය කටයුතු සිදුකරයි.
කෙසේවුවද ලංකාව පුරා සමස්තයක් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් සිටින්නේ 72ක් පමණක් නිසා මෙම ප්‍රමාණය කෙතරම් ප්‍රමාණවත්ද යන ගැටලුව මූලිකවම පැන නගියි. මීට අමතරව මහාධිකරණද පවතින්නේ යම් ආකාරයක සීමිත ප්රමාණයකි. කෙසේවුවද අධිකරණ පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීම අධිකරණයට කළ හැක්කක් නොවේ.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නයක් කරගන්නේ කුමක් නිසාද යන්න පළමුව මතුවන ප්රශ්නයයි. කුමක් හෙයින්ද යත් මරණ දඬුවම යනු ශ්‍රී ලංකාවේ නීතියක් ලෙස නීති පොතේ ලියැවුණු දඬුවමක් හෙයිනි. කොළඹ මහාධිකරණය පසුගිය සතියේ පවා මරණ දඬුවම නියම කළේ එම තත්ත්වය යටතේය. ඒ අනුවම පෙනී යන්නේ මරණ දඬුවම තවමත් පිළිගත් වලංගු නීතියක්ම වන බවයි.
රටේ නීති සකස් කරන ආයතනය පාර්ලිමේන්තුව නම් පාර්ලිමේන්තුව තුළ සිටින්නවුන් නීති විහිළුවට නොගන්නට මුලින්ම සිතිය යුතුය. රටේ ජනතාව මෙන්ම රටේ නීති සකස් කරන්නවුන් හෙවත් ජනතා නියෝජිතයන්ද නීතියට ගරු කළ යුතුය. කුමක්නිසාද යත් ඔබ කෙතරම් උස මිනිසෙක් වුවද නීතිය පවතින්නේ ඔබේ හිසට ඉහළින් බැවිනි. එය සාමාන්‍ය නීති සේම නීතියක් වෙයි. එහෙයින් එය පාර්ලිමේන්තුව තුළ නැවත නැවත කතා කරන්නට තරම් දෙයක් නොවේ.
කෙසේවුවද වර්තමානය වනවිට මරණ දඬුවම සම්බන්ධ ප්රශ්නය වී ඇත්තේ එය 1976න් පසු ක්‍රියාත්මක නොවීමයි. මහාධිකරණ විනිශ්චයකාරවරුන් විසින් මරණ දඬුවම නියම කරන්නේ ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයක නියම කරන වෙලාවක එල්ලා මැරීමටය. ජනාධිපතිවරුන් විසින් දිනයක් යොදා අත්සන් නොකිරීම මෙතෙක් කාලයක් පුරා මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමට හේතුවයි.
අපරාධ විද්‍යාව විද්‍යාවක් ලෙස දියුණු වෙමින් පවතින වර්තමානයේ අපරාධයක් කරන්නට පෙළඹෙන බොහෝදෙනෙකු හඳුනාගන්නේ විවිධ වූ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන් ලෙසිනි. එවන් තත්ත්වයක් තුළ නීති මගින් මානසික ව්‍යාධීන් සුවපත් කළ හැකිද යන පැනයද ඉතිරි වෙයි. සිරගත කිරීම හෝ දඬුවම් පැනවීම ව්‍යාධියකට පිළියමක් නොව එය තවත් ඉහළ දැමීමක්, වර්ධනය කිරීමක් වනවා නම් එය රෝගියෙකුට හෝ රෝගයකට පිළියමක් නොවේ. නීති කෙතරම් තද කළද අපරාධයට හේතුව යම් ආකාරයක මානසික ව්‍යාධියක් නම් මූලයේ පවත්නා එම තත්ත්වයට පිළියම් කළ යුතු වන්නේ එය නොවිසඳා පිළියම් යෙදීම පමණක් ප්‍රමාණවත් නොවන හෙයිනි.
නීති මගින් රෝගීන්ට පිළියම් කළ නොහැකි අතර, රෝගයන් සඳහා අවශ්‍ය වන්නේ එය සුව කළ හැකි ප්‍රතිකර්මයන්ය.අපරාධකරුවෙකු ව්‍යාධියෙකු නම් ඔහු මරා දැමීම රෝගය සුව වීමට හේතුවක් නොවේ. ලංකාව තුළ නීති ආධාර ලබාදීම සිදු කෙරෙයි. විත්තිකරුවාට නීතිඥයෙකු යොදාගන්නට හැකියාවක් නොමැති නම් රජයේ වියදමින් හෝ නීතිඥයෙකු යොදයි. එහෙත් ගැටලුව වී ඇත්තේ එසේ යොදන්නේ කණිෂ්ඨ නීතීඥයන් වීමයි. අපරාධ සිදුකරන මුදල් බලය සහිත ධනවතුන් හා බලවතුන් තම මූල්‍යමය ශක්තිය යොදා ගනිමින් අතළොස්සක් වූ දක්ෂ නීතීඥයන් තමන් වෙනුවෙන් යොදා ගනී. ඔවුන්ගේ තර්ක විතර්ක හමුවේ කෙතරම් දරුණු අපරාධයක් කළද නීතියෙන් ගැලවී යන්නට අවස්ථාව ඔහුට හිමි වේ.
එසේ වූ කල හැකියාවක්, වත්කමක් නොමැති අසරණ පුද්ගලයා එල්ලුම්ගහට නියම වෙයි. එවන් අවස්ථාවක ඇතැම් විට නිවැරදි පුද්ගලයාද දඬුවමට ලක්වීමට ඉඩකඩ තිබේ. ෆොරීන් ඩි කෘස් නඩුව ඊට හොඳ නිදසුනකි. එම කාන්තාව දිගු කලක් සිර ගෙදර සිටියේ නිවැරදිකාරිය බව තහවුරු වෙමින් තිබියදීය. ඇය මරා දැමුවා නම් එයම අපරාධයක් වනු ඇත. අදටද ඇය ජීවතුන් අතර සිටින්නීය.
මීට අමතරව ඇප මත නිදහස්ව සිටින පුද්ගලයන්ද අපරාධ සිදුකිරීම පිළිබඳව විමසා බැලිය යුතුය. මෙහිදී ඇප දීම රීතිය වන අතර, රක්ෂිත බන්ධනාගාරගත කිරීම ව්‍යතිරේකය වෙයි. වරදකරු බවට හෙළිවෙනතුරු කිසිම සැකකරුවෙකු වරදකරුවෙකු ලෙස නොදකින අතරම ඔප්පුවනතුරු උසාවිය අදාළ පුද්ගලයා සලකන්නේ නිවැරදි පුද්ගලයකු ලෙසිනි. එවන් අවස්ථාවක වරදකරුවෙකු ලෙස හෙළි නොවන අයෙකුට ඇප දීම සිදුකෙරෙයි. කෙසේවුවද එකම වරද කිහිප වතාවක් කර ඇප ලබාදීම සිදුකර ඇත්නම් පොලීසිය ඒ පිළිබඳ දැනුම් දීමක් කළහොත් අධිකරණය ඒ පිළිබඳ යම් සැලකීමක් සිදුකරයි.
කෙසේවුවද ඇප දීමකදී ඇප ලබාදෙන පුද්ගලයාගේ චරිතවත් බව වැදගත් වෙයි. කුමක්නිසාද යත් ඔහුට අඩු වන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ඇඳුම පමණක් වන අතර, වගකීම එලෙසම වෙයි. සැකකරු ඔහු යටතට පත්කිරීම මෙහිදී වෙයි. ඒ බව අපේ රට තුළ මැනවින් හඳුනා නොගැනීම ගැටලුවකි. රටේ කෙතරම් නීති තිබුණද ප්‍රමාණවත් නොවන අතර, වඩාත් වැදගන්නේ ඒවාට පිළියම් යෙදීමයි. අනෙක් අතට තිබෙනා නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවී නව නීති ගෙන ඒමද ප්‍රමාණවත් වන්නේ නැත. ඒ අනුව නීති පද්ධතියේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd