ගෙවී ගිය කාලය පුරා මේ රටේ බොහෝ දේශපාලන පක්ෂ තුළ විවිධ ගැටලු ඇති විය. මෙම ගැටලුකාරී තත්ත්වයන් නිසා සමහර කුඩා පක්ෂ කණ්ඩායම් දෙකක් බවට පත් විය. ප්‍රධාන පක්ෂ බොහෝ ප්‍රශ්න පක්ෂය තුළම විසඳා ගත්තද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මෙතෙක් විසඳා ගැනීමට නොහැකි වී තිබේ. මෙම අර්බුදකාරී තත්ත්වය කොරම් දුරදිග ගොස් ඇත්ද යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වී සිටින කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය යටතේ නව පක්ෂයක් සකස් කිරීමට පවා අවශ්‍ය කටයුතු කර තිබේ. මේ නිසා නව පක්ෂය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ 'අද' ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සංසදයේ කැඳවුම්කරු, හිටපු ප්‍රාදේශීය සභා සභාපති උදේනි අතුකෝරළ මහතා සමග කතාබහක නිරත විය.
Q පක්ෂ ලාංජනයට නෙළුම් මල තෝරාගත්තේ ඇයි?
නෙළුම් මල කියන්නෙ සාමයේ පණිවුඩය ලෙස ආපු දෙයක්. මීට අමතරව මහින්ද චින්තනය, මහින්ද චින්තන ඉදිරි දැක්ම හා සුබ අනාගතයක් කියන කාරණා වලදීත් නෙළුම් මල භාවිත කළා. මේ සියලුම කාරණා සැලකිල්ලට අරගෙන නව පක්ෂය වටා එකතු වී සිටින දේශපාලඥයන්, විද්වතුන් සහ කලාකරුවන්ගෙන් වැඩි දෙනෙක් කියා සිටියා පක්ෂයේ ලාංඡනය ලෙස නෙළුම් මල හොඳයි කියලා. ගමේ ජනතාවත් සාමය ගැන කතා කරනවා, ඒ අය හිටපු ජනාධිපතිතුමා ගැන කතා කරනවා. මේ නිසා ඒ අයගේ කැමැත්තත් නෙළුම් මලයි. පක්ෂයේ ලාංඡනය වගේම පක්ෂයේ නමත් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා. එය පක්ෂ නායකයාගේ ප්‍රකාශයක් ලෙස රටට හෙළි කරනවා. ඒක තමයි නිවැරදි ක්‍රමය කියලයි අපි හිතන්නේ.
Q පක්ෂ නායකත්වයට පත් කරන්නේ කවුද?
අපේ පක්ෂයට නායකයෙක් ඉන්නවා. ඔහු තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. තවම පත් කරලා තියෙන්නේ පක්ෂ නායකයා විතරයි. පක්ෂයේ නම එළිදැක්වූවාට පසු පක්ෂයේ අනෙක් තනතුරු පත් කරනවා.
Q හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මොනවගේ රාජකාරියක්ද පැවරිලා තියෙන්නේ?
තවමත් පත් කරලා තියෙන්නෙ පක්ෂ නායකයා විතරයි. මේ නිසා තනතුරු ලබාදෙන තෙක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නව පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවරලා තියෙනවා. මෙම වගකීමට අමතරව නව පක්ෂය ගොඩනැගීමේ කටයුතුවලට සහ බිම් මට්ටමේ කටයුතුවලට සම්බන්ධ වෙනවා.
Q නව පක්ෂය හදන්නේ පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වෙන්නද?
නැහැ, නව පක්ෂය සකස් කළේ එන ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න බලාගෙන. ඒ කියන්නෙ පළාත් පාලන ආයතන මැතිවරණය වෙන්න පුළුවන්, පළාත් සභා මැතිවරණය වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන්, ජනමත විචාරණයක් වෙන්න පුළුවන්. නීත්‍යනුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න තමයි නව පක්ෂය ගොඩනැගුවේ.
Q නව පක්ෂයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලැබෙනවාද?
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සියලු දෙනාගේ හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආශීර්වාදය නව පක්ෂයට ලැබෙනවා. ඒ කියන්නේ නව පක්ෂයට ඔවුන්ගේ කැමැත්ත ලැබිලයි තියෙන්නේ.
Q නව පක්ෂයට ජන බලය ගොඩනගන්න මොනවගේ වැඩපිළිවෙළක්ද තියෙන්නේ?
මෙතෙක් නව පක්ෂයක් හැදුණු හැම මොහොතේම පක්ෂයේ ආරම්භක අවස්ථාවේ ජන සහභාගිත්වය අඩුයි. මේ නිසා සංවිධායකවරුන් පත් කරගන්න අමාරු වුණා. ඡන්දවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම අමාරු වුණා. නමුත් නව පක්ෂය හදන්නත් කලින් අති විශාල පිරිසක් මේ වටා ගොනු වුණා. නව පක්ෂය බිහි කරන බවට ප්‍රකාශ කළාට පස්සෙ තවත් පිරිස් එකතු වුණා නව පක්ෂයේ සාමාජිකත්වය ගන්න රැයක් දවාලක් නැතුව මිනිස්සු උනන්දු වෙනවා. මේ නිසා නව පක්ෂයට ජන බලයක් ගොඩනගන්න අපට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද නිරතුරුවම පක්ෂයේ සාමාජිකත්වය ගන්න, පක්ෂය සමග ඉදිරියට යන්න ජනතාව විශාල ලෙස එකතු වෙනවා.
Q පක්ෂයේ සංවිධාන කටයුතු සිදු කෙරෙන්නේ කොහොමද?
පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාම පක්ෂයේ ශාඛා සමිති පිහිටුවා, ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කරනවා. මේ කටයුතු කරන්නේ අදියර දෙකකින්. මේ අනුව පළමු අදියරේදී ග්‍රාම නිලධාරී වසම් 12,000 ක් ආවරණය වන ලෙස ශාඛා සමිති පිහිටුවීම ඇතුළු වැඩ කටයුතු කරනවා. පොදුවේ රට තුළ ග්‍රාම නිලධාරී වසම් 14,022 ක් තියෙනවා. මේ නිසා දෙවැනි අදියරේදී ඉතිරි ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණය ආවරණය වන ලෙස පක්ෂයේ වැඩ කටයුතු දියත් කරනවා. මෙම කටයුතු කෙටි කාලයක් තුළ සිදුකරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
Q නව පක්ෂයක් හැදීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙනවා නේද?
නව පක්ෂය ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට මම රට පුරා ගිහින් තියෙනවා. ඒ ගියපු වෙලාවේ නව පක්ෂයට එකතු වූ පිරිස් දිහා බැලුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙන්නේ නැහැ. සිදුවෙන්නේ 90% ක් නව පක්ෂයට එකතු වීම. ඒ කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරි වෙන්නේ 10%ක් වගේ ප්‍රමාණයක්. මේ නිසා පක්ෂය දෙකට කැඩෙනවා කියන එක බොරු.
Q අලුත් පක්ෂයෙන් තනිවම මැතිවරණවලට ඉදිරිපත් වෙලා දිනන්න පුළුවන් කියා හිතනවාද?
එදා බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා 1956 පක්ෂය හදලා, පළමු මැතිවරණයට ඉදිරිපත් වෙලා නෙවෙයි ජයග්‍රහණය ගත්තේ. දෙවැනි අවස්ථාවේ තමයි රාජ්‍ය බලය ගත්තේ. හැබැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සන්ධානයක් ගොඩනගලා නව පක්ෂය සකස් කළේ පළමු අවස්ථාවේදීම ජයග්‍රහණය කරන්නයි. නව පක්ෂය වටා ජනතාව එකතු වන ආකාරය අනුව දැනටමත් එය තහවුරු වෙමින් තියෙනවා. ඉදිරි මැතිවරණයේදී අපට ඒ බව රටට පෙන්වන්න පුළුවන්.
Q ඔබ ඇතුළු පිරිස දේශපාලන වශයෙන් අනාථ වීම නිසා නොවෙයිද මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ නව පක්ෂයක් ගොඩනගාගත්තේ?
කිසිසේත්ම නැහැ අපි දේශපාලන අනාථයන් නෙවෙයි. හැබැයි දේශපාලන අනාථයන් වුණු පිරිසක් රට තුළ සිටිනවා. ඒ කියන්නේ ජනවාරි 08 වැනිදායින් පසු බිහි වූ යහපාලන ආණ්ඩුව, එහෙම නැත්තම් ජාතික ආණ්ඩුවට පත්වුණ අය මැතිවරණ වේදිකාවේදී ජනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. ඒ දුන් පොරොන්දුවලට මොකද වුණේ? ඒ වගේම ලබාදුන් පොරොන්දුවකට අනුව ස්වාධීන කොමිෂන් සභා ඇතිකළා ඒ අනුව පොලිස් කොමිසම පත්කළා. මොකද වුණේ? පොලීසිය ස්වාධීන වුණේ නැහැ. මැතිවරණ කොමිසම පත් කළා, මැතිවරණ නැහැ. ජාතික විගණන කොමිසම පත් කළා. වැඩ කරන්න බලය නැහැ. හැම කොමිසමේම තත්ත්වය ඕක තමයි. කොමිෂන් සභා පත් කළාට ඒවායේ වැඩ කටයුතු කරන්න වෙලා තියෙන්නේ දේශපාලඥයන් කියන විදියට. ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න බැහැ. මිනිස්සුන්ට අසාධාරණයක් වුණාම ඒ ගැන බලන්න ස්වාධීන කොමිෂන්වලට හැකියාවක් නැහැ.
අද සියලුම දේවල් සිදුවෙන්නේ ජාත්‍යන්තරයට ඕන ආකාරයටයි. මෙවැනි දේවල් සිදුවුණත් මැති ඇමැතිවරුන් මුනිවත රකිමිනුයි සිටින්නේ. ඒ නිසා දේශපාලන අනාථයන් කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ.
Q නව පක්ෂය මැතිවරණයට සූදානම් වෙන්නේ කෙසේද?
අපි එන ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න සූදානම්. ආසන්න වශයෙන් ඉදිරියේදී එන්න තියෙන පළාත් පාලන මැතිවරණය එය ඉලක්ක කරලා වැඩ කරමින් සිටිනවා. ඒ අතර කාන්තා ශාඛා සමිති, තරුණ සමිති හා ප්‍රධාන සමිතිය වශයෙන් ශාඛා මට්ටමින් වැඩ කටයුතු කරනවා. ආසන සංවිධායකවරුන් පත් කරන තෙක් කමිටුවක් විසින් එම කටයුතු සිදුකරනවා. ඒ වගේම මැතිවරණයට ඉදිරිපත් වෙන්න පසුගිය පළාත් පාලන ආයතන නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් 2156 දෙනෙකු දැනටමත් ඉදිරිපත් වෙලා සිටිනවා. මීට අමතරව අනෙක් පක්ෂ නියෝජනය කළ විශාල පිරිසකුත් ඉන්නවා. අලුතින් එකතු වුණ විශාල පිරිසකුත් ඉන්නවා.
Q පක්ෂයේ සැකැස්ම කොයි ආකාරද?
සියලුම ජාතීන් පක්ෂය නියෝජනය කරනවා. ඒ වගේම දැනට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ කිහිපයකුත් අප සමග එකතු වෙන්න කතාබහ කරමින් සිටිනවා. ඒ වගේම අපේ පක්ෂයේ ප්‍රධාන අරමුණ තමයි දේශීයත්වයට මුල් තැන දෙන ආර්ථිකයක් සකස් කිරීම. මීට අමතරව සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයට අමතරව රණවිරුවන් නියෝජනය කරමින් නව බලවේගයකුත් එකතු කරගෙනයි තියෙන්නේ. මොකද රටට සාමය උදාකර දුන්නු රණවිරුවන් අමතක කරලා අපට ගමනක් යන්න බැහැ.