මෙවර සූර්ය සංක්‍රාන්තිය සිදුවී පැය දොළහක් ඉක්ම යනවාත් සමගම වසර ගණනාවක් මුළුල්ලේ සිට කොලොන්නාව සිසාරා දුර්ගන්ධය පතුරවමින් හමාගිය මීතොටමුල්ලේ කුණුකන්ද නායයෑමකට පත්වූයේ ඒ අවට වාසය කළ පවුල් තවත් අසරණ කරමිනි. වසර තිහකටත් වැඩි කාලයක සිට ගොඩගැසෙන මේ කුණු කන්ද විෂබීජ බලාගාරයක් යැයි පැවසීම අතිශ්යෝක්තියක් නොවන්නේය. එවැනි පරිසරයක වෙසෙන ජනයා මෙලොව අපායේ ජීවත් වන්නවුන් වැනිය.
අපායට කවුරුත් කැමැත්තෙන් නොයන්නේය. එහෙත් අකමැත්තෙන් හෝ එතැන රැඳී සිටින්නේ ඔවුන්ට වෙනත් විකල්ප වාසස්ථානයක් නොමැති නිසාය. රජගෙදර සිට කොළඹ ඇතුළු අවට ප්‍රදේශයන්හි ජනයා විසින් බැහැර කරනු ලබන කසළ මෙතෙක් හැළුණේ මීතොටමුල්ලේ ජනතාවගේ හිස මතටය.
දරාගත නොහැකි ගඳ, සුවඳක් සේ ඉවසමින් මීතොටමුල්ලේ වෙසෙන්නේ ජීවිතයේ අනේක විධි දුක් කම්කටොළු හිස මත දරාගත් පිරිසකි. දෛනිකව විඳින මානසික පීඩනයන් නිසාම හසරක් නොමැතිව ජීවිතයේ අතරමංව සිටින ඔවුන්ට නිදහසේ හුස්ම ගැනීමේ අයිතියද උදුරා ගෙන ඇත. මිනිස් අයිතිවාසිකම් පිළිබඳව කතා කරන මේ රටේ කෙරුම්කාරයන් වසර ගණනාවක් මුළුල්ලේ මීතොටමුල්ලේ වෙසෙන ජනතාවගේ ජීවත්වීමේ අයිතියට එල්ලවී ඇති මෙම උවදුරට නිසියාකාර විසඳුමක් ලබාගැනීමට උත්සුක නොවීම කනගාටුවට කරුණකි.
මෙරට දිනපතා එකතු වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට විධිමත් සැලසුමක් මේ දක්වා කිසිදු පාලකයෙකු විසින් ගෙන නොමැත. ගෙනෙන ලද සියලු ක්‍රමවේදයන් ලත් තැනම ලොප් වූ ඒවාය. මැති ඇමතිවරුන්ට මෙම කසළ කන්ද සිහිපත් වන්නේ මැතිවරණයක් පැමිණි විටදීය. එවිට කසළ කන්ද ඡන්ද අපේක්ෂකයන්ට අපූරු නිධානයකි. ඔවුන්ගේ පොරොන්දු අනුව ජයග්රහණයෙන් පසුව හනුමා හිමාලයෙන් කොටසක් කරගසා ගෙන මෙහි පැමිණියාක් මෙන් ඔවුහුද කසළ කන්ද රැගෙන යන බව පවසති.
එහෙත් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට, පළාත් සභාවට එසේත් නැතිනම් නගර සභාවට මොවුන් රැගෙන යන්නේ කුණු කන්දේ අඬහැරයෙන් සොරාගත් ඡන්ද පමණි. සිය දරිද්‍රතාව කසළ ගොඩට හේත්තු කරගත් මිනිසුන් සිය ඡන්දයෙන් පත්වූ මැති ඇමතිවරුන් පැමිණෙන තුරු, විසඳුමක් ලබාදෙන තුරු, කාලාන්තරයක් මුළුල්ලේ මග බලා සිටින්නේ අපේක්ෂා භංගත්වයෙන් යුතුවය. මෙසේ මිනිසුන් රැවටීම පාපකර්මයකි. බුදුදහම අනුව එවැන්නන් මරණයෙන් මතු උපදින්නේ කසළ ගොඩක පණුවන් ලෙසය.
හැටේ දශකයේ කොළඹ නගරයේ කසළ බැහැර කෙරුණේ මාලිගාවත්තේ පිහිටි පස් පාටිය නමින් හැඳින්වූ වගුරු බිමටය. එකලද අධික දුර්ගන්ධයක් ඒ අවට ප්‍රදේශවල පැවතිණි. 1965 පැවැති එ.ජා.ප. රජයේ පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් ඇමතිවරයා ලෙස කටයුතු කළ මැද කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ ආර් ප්‍රේමදාස මහතා විසින්, කසළ බැහැර කරන ලද එම වගුරු බිම පස් යොදා ගොඩ කරවා එහි සුවිසල් නිවාස ක්‍රමයක් ආරම්භ කරනු ලැබීය.
මාලිගාවත්ත නිවාස සංකීර්ණය ගොඩනැගෙන්නේ එපරිද්දෙනි. ඉන් පසුව කොළඹ නගර සභාවේ පවිත්‍රතා අංශය මගින් දෛනිකව එකතු වන කසළ බැහැර කරනු ලැබුවේ මට්ටක්කුලිය, බ්ලූමැන්ඩල් ප්‍රදේශවලටය. මේ සෑම ප්‍රදේශයකම ජීවත් වූයේ නැතිබැරිකමින් ඉහවහ ගිය පීඩිත පන්තියේ මිනිසුන් වීම සුවිශේෂී කරුණකි. ඔක්කොම කුණු බේරුවල බොක්කටයි කියන්නා සේ සියල්ලන්ගේම කුණුවල උරුමයේ කරුමය පීඩිතයන්ටම පමණක්ද? යන ගැටලුව මෙහිදී පැනනැගේ.
මෙයට වසර ගණනකට පෙර බ්ලූමැන්ඩල් කුණු කන්ද ගිනි ගත්තේය. එය වටා සිටි නිවැසියන්ගේ නිවාස හා දේපොළවලට සිදුවූ හානිවලට ලැබුණේද සොච්චම් වන්දි මුදලකි. එයද ඔවුන් අතට වැඩැම්මුවේ නැත. එම සොච්චම ලබාගැනීමට ඔවුන්ට නිලධාරී වන්දනාවේ යෑමට සිදුවිය. පසුගිය වසරේ කොලොන්නාවේ සිදුවූ ගංවතුර ව්‍යවසනයේදී සිදුවූයේද එවැන්නකි. මෙවර තක්සේරු කරන වන්දි මුදලටද සිදුවන්නේ පෙර සිදුවූ දෙයමය බව අමුතුවෙන් කිවයුතු නැත. මෙවැනි ආපදා අවස්ථාවන්හිදී රජයේ නිලධාරීන්ගේ මන්දගාමී ක්‍රියාකාරීත්වයෙන් පවතින රජය වෙත එල්ල වන චෝදනා අපමණය.
නිලධාරීන්ගේ අලස ක්‍රියාකාරකම් රජයේ මැති ඇමතිවරුන්ටවත් පාලනය කරගත හැකි නොවන තරමටම නිලධාරීවාදය ඉස්මතු වී තිබේ. වත්මන් යහපාලන රජයටද අඩුවක් නොමැතිව එය බලපා ඇති බව මනා ලෙස පෙනීයයි. මෙරට පැවැති සෑම රජයක්ම ජනතාවගෙන් ඈත් කරනු ලැබුවේ මේ නිලධාරී පැලැන්තියයි. මෙම තත්ත්වයෙන් මිදීමට නම් රජයට ඔවුන් සමගින් සූක්ෂම අරගලයක් කළයුතු වන්නේය. ඒ සඳහා ආර්. ප්‍රේමදාස චරිතයෙන් ලබාගත හැකි ගුරුහරුකම් අපමණය.
දිළින්දෙකුව අසරණ වී සිටි පුද්ගලයෙකු මී කුණක් විකුණා ධනවත් සිටුවරයෙකු වූ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මිනිසෙකුට දියුණු වෙනවා නම් මී කුණත් ඇති යනුවෙන් පැරැණ්නන් කීවේ ඒ නිසාය. මේ කසළ ගොඩද එවැනි ධන නිධානයකි. මෙයින් අප රටේ සංවර්ධනයට අතිවිශාල මුදලක් උපයාගත හැකිවන්නේය. එය පෙනිපෙනීත් පැවැති රජයන් මෙන්ම වත්මන් රජයද කටයුතු කරන්නේ, මැණික් ගලේ පය හැපුණත් කනෙක් අහුලලා ගනීද යන පිරුළ තවදුරටත් සනාථ කරමිනි.
වත්මන් රජය පවසන පරිදි අද මුළු රටම ණය උගුලක හිරවී ඇත. අපේ ඉපැයීමට වඩා ගෙවීම් අධිකව පවතී. එසේනම් අප කළයුත්තේ එතෙරට යන අපේ මුදල් මෙරට රඳවා ගැනීමට පියවර ගැනීමය. අනවශ්‍ය බදු මගින් ජනතාවගේ බොටුව හිර කිරීම ජනතාවාදී ආණ්ඩුවකින් බලාපොරොත්තු විය නොහැකි ක්රියාදාමයකි. එසේනම් මේ කුණු කන්ද නිසි අයුරින් කළමනාකරණය කිරීමෙන් ධන උල්පතක් කරගැනීමට හැකිවනු ඇත. එමගින් අපහට එදිනෙදා භාවිතය සඳහා අවශ්‍ය ගෑස් මූලිකව නිෂ්පාදනය කිරීමට හැකිය. එමගින් විදුලිය උත්පාදනය කිරීමටද හැකියාව ලැබේ.
එම ගෑස් මෝටර් රථ ධාවනය සඳහාද යෙදවිය හැකිය. එමගින් අප මුහුණ දෙමින් පවතින බලශක්ති අර්බුදයට ක්‍රමවත් විසඳුමක් සපයා ගත හැකිය. ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර හානියද එයින් වළකාගත හැකිය. එපමණක් නොව ඉහත ප්‍රතිශක්ති ක්‍රියාවලීන් අවසානයේදී ඉතිරි වන්නේ අතිශයින් ගුණාත්මක බවින් යුක්ත කාබනික පොහොරය. අපගේ කෘෂිකර්මාන්තය සඳහා ආනයනය කරන විෂ සහිත කාබනික පොහොර වෙනුවට මෙම කොම්පෝස්ට් පොහොර භාවිතයට ගැනීමෙන් වකුගඩු අක්‍රිය වීමේ තර්ජනයෙන් ගොවියා මිදෙන්නේය. එසේම විෂ රහිත ආහාර නිෂ්පාදනයෙන් ජන සෞඛ්‍ය වර්ධනයටද ඉමහත් රුකුලක් වනු ඇත. මේවා සුන්දර කතා ලෙස ඇතැමුන් සිතන්නට පුළුවන.
එහෙත් කසළ ගොඩේ අසුන්දර කතාන්දරයේ අවසානය රටට ඵලදායී ලෙසට පරිවර්තනය කරගත හැකිවේ නම් එය අපේ නොව අනාගත පරපුර වෙනුවෙන් කරන සාර්ථක ආයෝජනයකි. මෙය මෙතෙක් ප්‍රමාදයට හේතුවී ඇත්තේ බඩගෝස්තරවාදී කොමිස් කාක්කන්ගේ මැදිහත්වීම නිසා බව පැහැදිලිය. මාධ්‍යයකින් මෙතෙක හෙළිදරව් නොවූ මෙයට වසර දහයකට පෙර සිදුවූ සැබෑ සිදුවීමක් මෙලෙස සටහන් කරන්නේ ඉහත දැක්වූ කොමිස් කපුටන්ගේ කෙරුවාවට නිදසුනක් ලෙසිනි.
මෙරට ජනමාධ්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය ප්‍රකට ව්‍යාපාරිකයෙකු ජර්මන් ආයතනයක් හා එක්ව කසළ කළමනාකරණ ව්‍යපෘතියක් සැලසුම් කළේය. ඒ සඳහා දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට අවශ්‍ය වූ බැවින් කොළඹට නුදුරු ප්‍රදේශයකින් ඉඩමක්ද ඔහු මිලදී ගත්තේය. එහි මූලික සැලසුම් උපදෙස් ලබාදුන් ජර්මන් සමාගමේ ඉංජිනේරුවරයෙකුද මාස ගණනක් තරුපහේ හෝටලයක රඳවා ගනිමින් අවශ්‍ය කටයුතු සියල්ලක්ම සම්පාදනය කළද ඒ සඳහා මහ කොළඹ ආර්ථික කොමිසමෙන් අවසරය ලබාගැනීමට නොහැකි විය. අනතුරුව එවකට පැවැති රජයෙන් හෝ මේ සඳහා අවසරය ලබාගැනීමට ඔහු ගත් උත්සහයද නිෂ්ඵල විය. ඒ වනවිටත් කෝටි ගණනක මුදලක් එම ව්‍යපෘතිය සඳහා එම ව්‍යාපාරිකයා වැයකර තිබිණි.
මෙය හේතු කරගෙන ඔහුගේ පුවත්පත් ආයතනයේ කටයුතුද අඩාල වූ බැවින් සිදුවූ අලාභය පියවා ගැනීම සඳහා වසර ගණනාවක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි සිය මාධ්‍ය ආයතනය එවකට පැවැති රජයේ ප්‍රබලයෙකුට විකුණා දැමීමට ඔහුට සිදුවිය. එදා එම ව්‍යපෘතිය ආරම්භ වූයේ නම් දිනකට මුළු දිවයින පුරාම එකතු වන කසළ මිලදී ගෙන එය නැවත ප්රතිශක්තීකරණය කිරීමට ඔහු සැලසුම් කර තිබිණි. එහෙත් අත්තනෝමතික නිලධාරී පුස්සන්ගේ සහ දේශපාලකයන්ගේ අමන ක්‍රියාදාමය හේතුවෙන් රටට ජනතාවට හිමිවීමට තිබූ අතිවිශාල ධනයක් අහිමි වී ගියේය. ජාතික මෙහෙවරක් කිරීමට ගිය ව්‍යාපාරිකයාද බංකොළොත් විය.
රටක සංවර්ධන ව්‍යපෘති සැලසුම් කළයුත්තේ කුණු කැබැල්ලේ සිට කළමනාකරණය කිරීමෙනි. එසේ නොවන්නේනම්, එයින් පරිසරයට හා ජන ජීවිතවලට සිදුවන හානිය අපමණය. මෙරට සිදුනොවන්නේද එයමය. නව ව්‍යපෘති සඳහා පාරසරික වාර්තා අගැයීම් කිරීම් කොපමණ සිදුවුවද කසළ බැහැර කිරීම පිළිබඳව හා නිසි අයුරින් විමර්ශනය කරන්නේද යන්න පිළිබඳව විමසා බැලීම අවශ්‍ය වන්නේය.
කෙසේ වුවද දැන් විනාශය සිදුව හමාරය. මේ විනාශය වන්නට ප්‍රථම මේ පිළිබඳව මීතොටමුල්ල හා අවට ප්‍රදේශයන්හි ජනතාව මහමගට බැස සිය ජීවිත අවදානමෙන් ඔවුන්ව රැක ගන්නා ලෙස හඬ නැගුවද එයින් කිසිදු ප්‍රතිඵලයක් අත්නොවීය. මෙයින් පිළිබිඹු වන්නේ මේ රටේ පාලකයන්ට හිතක්, පපුවක්, නාසයක්, දෑසක් නොමැති බවය. මෙම කුණු කන්ද මුදල් දී ලබාගැනීමට විදේශ ආයෝජකයෙකු පසුගියදා පැමිණ සිටි බවද මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි. එහෙත් එම ගැනුම්කරුවාටද නැවත හැරී යාමට සිදුවී ඇත්තේ කොතැනක හෝ සිදුවන කොමිස් අක්‍රමිකතාවක් හේතු කරගෙන බව පැහැදිලිය.
යහපාලනය තුළද මෙවැන්නන් සිටීම කනගාටුදායකය. වර්තමාන ආණ්ඩුවේ පරිසරය සුරැකීම පිළිබඳව වගකීම ඇති නිසි බලධාරියා වන්නේ ජනාධිපතිවරයාය. පරිසරය සුරැකීම යනු සීමාරහිත විෂයකි. ජනිධිපතිවරයා සිය විෂය පිළිබඳව අවධානය නිසි ලෙස යොමුකළේ නම් ගෙවී ගිය වසර දෙකහමාර තුළ මෙම කුණු කන්දට විසඳුමක් ලබාදීමට කාලය ප්‍රමාණවත් බව පෙන්වා දිය යුතුය. පැහැර හැරීම් සහ අතපසුකිරීම් මේ යහපාලනය තුළ දක්නට ලැබෙන මූලික දුර්වලතාවකි. ‘ප්‍රමාදය මරණයට හේතුවයි’ බුදු බණේ සඳහන් වන්නේ ඒ නිසාය. පාලකයන් ධාතු කර`ඩුව හිසමත තබා ගෙන මල්වට්ටි දෝතින් දරාගෙන බුද්ධ වන්දනාවේ යාමෙන් පලක් නොවන්නේය. බෞද්ධකම වන්නේ බුදු බණ නිසි ලෙස අධ්‍යයනය කර එහි හරයන් රටේ පාලනයට බද්ධකර ගැනීමය. බුදුන් වැඩි රටේ සිදුනොවන්නේද එයමය.
දැන් මීතොටමුල්ලේ කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙනයාමට කටයුතු කරන්නේනම් එය හිසරදයට කොට්ටය මාරුකළා සේ වනු ඇත. එය එලෙස වන්නේනම් පාලකයන් මෙයද හොඳින් වටහාගත යුතුය. මීතොටමුල්ලේ මෙන්ම වෙනත් ප්‍රදේශයන්හි ජීවත් වන්නේද ඇට, ලේ, මස්, නහර, ගඳ, සුවඳ දැනෙන මිනිසුන් මිස මේ කිසිවක් නොදැනෙන අමුතුම වර්ගයේ සත්ත්ව කොට්ඨාසයක් නොවන බවය. මෙවැනි අවස්ථාවන්හි තීරණ ගැනීමේදී යළිත් මෙවන් විපත් නොවන්නට ක්‍රමවේදයන් සකස් කිරීම බලධාරීන්ගේ වගකීම වන්නේය. අපේ කුණු ගන්නට එතෙර ගැනුම්කරුවන් සිටී නම් තවත් එයට ප්‍රමාද වන්නේ කිනම් කරුමයක් නිසාද යන්න විමසිය යුතුව ඇත්තේ ඒනිසාය.
සටහන -අතුල රංජිත් වෙදමේස්ත්‍රීගේ /ඡායාරූප - ශමිර රාජපක්ෂ