ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන ගමන්මග දිශානුගතව ඇත්තේ කොයිබටදැයි බැලිය යුත්තේ විචාරාත්මකවය. මතුපිටින් පෙනීයන සුන්දරත්වයත්, අභ්‍යන්තර පැටළිලි සහගත ව්‍යුහයත් විශ්ලේෂණාත්මකව විමසීමට නම් හැදෑරීමත්, තර්කන හැකියාවත් නියතවම අවශ්‍යය. ඒ පිළිබඳව ආලාපාළු ආර්ථීකය - මෙගා ඩීල් ද? නවෝත්පාදනය ද? යනුවෙන් ජාතික හෙළ උරුමයේ මහලේකම් හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ග්රන්ථයක් තුළින් ප්‍රශ්න කරන්නේ පොදු මහජනතාවගේ දැනගැනීම වෙනුවෙනි.
ඩැරල් හෆ් (Darrell Huff) විසින් 1954 වසරේ How to Lie With Statistics කෘතිය රචනා කරමින් Crooks already know these tricks. Honest men must learn them in self diseases යැයි කීවේය. වංචනිකයෝ සංඛ්‍යා‘ලේඛන රහසිගත වැඩ සඳහා යොදාගත්තද අවංක මිනිසුන් මේවා ඉගෙනගත යුත්තේ ස්වයං ආරක්ෂාව වෙනුවෙනැයි ඩැරල් හෆ් කී කතාව සනාථ කරන්නට පාඨලී චම්පික රණවකගේ ආලාපාළු ආර්ථිකය ඉදිරිපත් වෙයි. මේ ආලාපාළු ආර්ථිකය වෙනුවෙන් හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදට කළ අනාවරණ සටහනයි.
ආලාපාළු ආර්ථිකය ලියැවෙන්නේ?
පවතින ආර්ථික රටාව තුළ වැරදි දෙකක් දැකිය හැක. දිගුකාලීන උපාය මාර්ගයක් අපේ ආර්ථික රටාවේ දක්නට නැත. 77 අනුගමනය කළ සාධක මිල ගණන් අඩු කරගැනීමේ හෙවත් ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය, සුලබ ප්රාග්ධනය, බටහිර වෙළෙඳ පොළ ඉලක්ක කරගත් අපනයන අභිමුඛ ප්‍රාග්ධනයක් ගොඩනගාගැනීම, සංචාරක ව්‍යාපාරය මූලික කරගත් සේවා යුගයක් පිළිබඳ මතය තුළ තවමත් ශ්‍රී ලංකාව හිඳී. මෙම ආර්ථික ක්‍රමය 1983 න් පසුව ඇදවැටෙද්දී එය ත්‍රස්තවාදය නිසා සිදුවෙතැයි කරුණු දැක්වීම සිදුවිය. නමුත් එය ත්‍රස්තවාදයෙන් එහා ගිය අභ්‍යන්තර හේතුද බලපෑ කාරණයක්ම විය.
උපාය මාර්ගයක් ලෙස 1990 සිට, විශේෂයෙන් 2010 සිට ඇරඹි නවක ආර්ථික විප්ලවයත් සමග වත්මන් ලෝකයේ පවතින උපායමාර්ගය බවට නවෝත්පාදනය පත්විය. ඒ දෙසට යාමට කිසිදු වැඩපිළිවෙළක් හෝ වැඩසටහනක් ශ්‍රී ලංකාව සතුව නැත.
එසේම පවතින ආර්ථිකය තුළ අප කරනු ලබන අපගේ උපක්රමික වැඩ, විශේෂයෙන්ම මෙගා ව්‍යාපෘති ගැටලුවක්, අභියෝගයක් වී තිබේ. මේවා නඩත්තු කරන්නේ කෙසේද? මේවා සඳහා වියදම් සකසාගන්නේ කෙසේද? ආදායම් උපදවන්නේ කෙසේද ආදී කරුණු නොසිතා මේ මෙගා ව්‍යාපෘතිය සමග ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබේ. එය මෙම ආර්ථික තත්ත්වයේ හරයයි.
මෙම මෙගා ව්‍යාපෘතිවල අන්තර්ගත අවුල් සහගත කරුණු 05 ක් පෙන්විය හැකිය. ඉන් පළමු කරුණ ජාතික ආර්ථිකයේ ප්‍රමුඛතා හඳුනාගැනීමක් නොමැතිව මෙම මෙගා ව්‍යාපෘති වර්තමානයේ ක්‍රියාත්මක වීමයි. එහෙත් කතුවරයාගේ හැඟීම පරිදි මෙහි මුල් තැන වියයුත්තේ ජලයයි.
ආහාර හා ඖෂධ සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය ඒත් සමග පැමිණිය යුතුය. ඉදිකරගෙන යමින් පවතින වරාය, ගුවන්තොටුපොල, මහාමාර්ග, දුම්රිය මාර්ග, නගර නවීකරණය සහ නගර අලංකරණය මේ ප්‍රමුඛතා ලැයිතුවේ පවතින්නේ අවසාන හරියේය. එසේම ඒවායින් මහජනයාට ඍජු ප්‍රතිඵල ලැබෙන්නේද නැත. ඒ නිසා කිසිදු ප්‍රමුඛතාවක් නොමැතිව %කොම්පැනිකාරයන්^ ටිකක් විසින් නිර්මාණය කරන ප්‍රමුඛතා ලැයිස්තුවක ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබේ.
දෙවැනි කාරණය වන්නේ මේවායේ ප්රමිතියයි. මේවායේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න පැනනැගී තිබේ. විදුලි බලාගාරයක් වසර 35ක්ද, පාරක් වසර 60 ක් පැවතිය යුතුය. නමුත් මේවා එපමණ කලක් පවතීද යන්න ගැන පැනනැගිය හැකි ප්‍රමිතියේ අඩුවක්ද තිබේ.
2005 වසරේ කාපට් කළ මාර්ග අද නැවත කාපට් කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. 2005 කොන්ක්‍රීට් කළ පාර අද වනවිට කෑල්ලක්වත් සොයාගන්නට නැත. එසේම පසුගිය වසරේ නගර අලංකරණය කළ දේ නැවත සැකසීමට සිදුවී තිබේ. ඒ නිසා ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති බව කීම ගැටලුවක් නොවේ. තවද නොරොච්චෝලේ බලාගාරය මේ සඳහා හොඳම උදාහරණයද වේ.
මේවායේ මිල ගණන් තෙවැනි කාරණය බවට පත්වී තිබේ. අප 10% කොමිස් නිතර අසා තිබේ. නමුත් මේවායේ ඇත්තේ 2000% ගණන් වැඩිවීම්ය. 1:20, 1:30 අනුපාතයන් 1:3 න් පටන්ගෙන මේ දක්වා වර්ධනය වී තිබේ. එය අලාපාළු ආර්ථිකය කෘතියේ මහාමාර්ග, දුම්රිය කේෂ්ත්‍රවල විකාශනය වූ ආකාරය 33 – 34 පිටුවල මැනවින් විස්තර කර තිබේ.
මෙම තත්ත්වය අනාගතයේදී 1:50 විය හැකිය. මේවාත් සමග ආර්ථිකයට වැරදි චිත්‍රයක් මතුවෙයි. එක් අතකින් මේවායේ මිල ගණන් ඉහළ යාමත්, ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් තරම් ආදායමක් ජනනය නොවීමත් නිසා ප්‍රශ්න පැනනැගෙනු ඇත. අනෙක් අතින් දළ දේශීය නිෂ්පාදනයටද වැරදි චිත්‍රයක් ගොඩනැගෙයි. රුපියලක් ඇති තැන රු. 20 ක් පෙන්වීමෙන් දළ දේශීය නිෂ්පාදනයද ඒ අනුව වෙනස් වෙයි. දළ දේශීය නිෂ්පාදනය වැඩි වනවිට ඒකපුද්ගල ආදායම වැඩිවනවා සේ පෙනුණද එය සැබෑවටම සිදු වී නොමැත. මෙවැනි යෝධ මෙගා ව්‍යාපෘතිවලින් එසේ සංඛ්‍යාලේඛනවල විශාල විකෘතියක් මේ වනවිට සිදුවෙමින් තිබේ. මෙය සිදුව ඇත්තේ ජාතික ආර්ථිකයටද බලපෑම් කරමිනි.
මීළඟට පැන නගින්නේ මේවා ගෙවන්නේ කවුරුන්ද යන පැනයයි. අද වනවිට මෙරට ආණ්ඩුවේ ආදායමට වඩා ණයත්, පොලියත් ගෙවීම ඉහළ ගොස් තිබේ. ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවාගැනීමටද 7% පොලියට ණය ගැනීමට සිදුව තිබේ. එසේම ජනතාවගේ ආර්ථිකය දෙගුණයක් වී යැයි කීවද, ජනතාවගේ පවුලක ශුද්ධ ආදායම වැඩි වී ඇත්තේ 3%කිනි. ශුද්ධ වියදම 7%කින් වැඩි වී තිබේ.
ඉතිරි කිරීම් 27%කින් අඩු වී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස ගත්විට පැහැදිලි ආර්ථික ප්‍රශ්නයකට මිනිස්සු මුහුණදෙමින් සිටිති. රටේ ආදායමෙන් 80෴ක්ම සාමාන්‍ය ජනතාවගෙන් උපයාගන්නා බදු මුදල්ය. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, කිරිපිටි, රතුලූනු, සුදුලූනු, කොත්තමල්ලි, මිරිස්, මුංඇට ආදී සියල්ලේම අධික බදුවලින් මෙම ආදායම උපයාගනියි.
පාන් පිටිවලින් මිනිසුන් බදු ගෙවුවද, ඒ බදුවලින් හැදූ ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ස්හි කඩයකින් රු. 200කට ආප්පයක් කන්නට වත්කමක් බදු ගෙවූ මිනිසුන්ට නැත. ත්‍රිරෝද රථකරුවා රු. 52 ක බද්දක් ගෙව්වද ඔහුගේ ත්‍රිරෝද රථය අධිවේගී මාර්ගයට ඇතුළු කළ නොහැක. කොත්තමල්ලි කිලෝවට රු. 202 ක බද්දක් ගෙවන ජනතාවට සංවර්ධනයේ ප්රතිලාභ විඳින්නට ජොගින් ට්‍රැක් එකෙහි ජොගින් කිරීමට හැකියාවක් නැත. මේ වූ කලී ඉතා ක_ර අසාධාරණයකි. එ.ජා.ප. සමයේ සැකසූ මහවැලි ව්‍යාපාරයේ ගැහිලි තිබුණද එහි ඍජු ප්‍රතිලාභය ලැබුවේ ගොවීන් හෙවත් ඉදිරිපෙළ පාරිභෝගිකයෝය. නමුත් වත්මන් සංවර්ධනය එක්තරා සමාජ පන්තියකට හිමි වූ සංවර්ධනයක් වී තිබේ. එහෙත් එහි බර දරන්නේ දුප්පත් මිනිසුන්ය. එය වත්මනේ පවතින සමාජවාදයේ විසංවාදයයි.
මේ සියලු සංවර්ධන කටයුතු සිදුකරන්නේ විදේශිකයන් විසිනි. ඒ නිසා රට තුළ ආර්ථිකයක් ගොඩනැගෙන්නේද නැත. ගුණාකාර බලපෑම් හෙවත් Multi Player set ලෙස මෙම දූෂිත සංවර්ධනය රට තුළම සිදුකළේ නම් අවම වශයෙන් රට තුළ හෝ ආර්ථිකයක් ගොඩනැගේ.
එහෙත් මේවා විදේශවල යැවූ හෙයින් ධනය විදේශගත වනවා විනා රටේ ආර්ථිකයක් තැනෙන්නේ නැත.ආලාපාළු ආර්ථිකය මෙගා ඩීල් ද? - නවෝත්පාදනය ද? කෘතියේ විස්තර වන්නේ මෙම ඉහත කී කරුණු 05 ය.
ආලාපාළු වුණු අපේ ආර්ථිකය
ආලාපාළු වුණු කාබාසිනියා වූ රටක් කියන අරුතෙන් මීට නම් තබා තිබේ. ලස්සනට පිටින් තිබුණද රටේ ඇතුළත කාබාසිනියා වී තිබේ.
මෙය අනිවාර්ය‘යෙන්ම සමාජගත කළ යුතුය යන්න කතුවරයාගේ ස්ථාවර මතයයි. මිනිසුන් තමන්ගේ රීරිමාංසවලින් ඇදදෙනු ලබන මුදල්වලින් කෙරෙන්නේ තමන්ට අයිති නොවන සංවර්ධනයක් බව මිනිස්සු දැනගත යුතු සේම, ප්‍රමුඛතා හඳුනාගැනීමත්, ආණ්ඩුව ආර්ථිකය අතින් බංකොළොත් බවත් ජනතාව දැනුවත් විය යුතුය.
ආලාපාළු ආර්ථිකය තුළ ඇතුළත් සියලු තොරතුරු මහ බැංකුවේත්, සංඛ්‍යා‘ලේඛන දෙපාර්තමේන්තුවේත් සටහන් වූ ඒවාය. ඒවායේ නිරවද්‍යතාව ඒ අනුව තහවුරු වී තිබේ.