තේරීපත් වූ කාන්තා නියෝජිතයන් රටට ආදර්ශයක් දෙමින් ජනතා සේවයක් කළ යුතුයි
ජනතාවට සමීපතම ආයතනයක් ලෙස පළාත් පාලන ආයතනය හැඳින්විය හැකිය. නව සංශෝධනයන්ට අනුව රට තුළ පළාත් පාලන ආයතන 341ක් පවතින අතර, එම ආයතනවලින් 340ක මැතිවරණ පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවැත්විණ. පැවති මැතිවරණයේදී සෑම පළාත් පාලන ආයතනයකම සභික ප්‍රමාණයෙන් 25% ක් කාන්තා නියෝජිතයන් විය යුතු බවට නීතියක්ද පනවා තිබුණි. ජනතාව ලබාදෙන ඡන්දයෙන් 25%ක කාන්තා නියෝජනය නොමැති අවස්ථාවල අතිරේක ලැයිස්තුවක් හරහා ඉතිරි ප්‍රමාණය සම්පූර්ණ කළ යුතු බවටත් නීතියක් පනවා තිබේ. මේ නිසා මේ පිළිබඳව අද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරිනී ගයනි ප්‍රේමතිලක මහත්මිය සමග කතාබහක නිරත විය.
Q පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% කිරීමෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද
මේක ගොඩක් දුරකට යන කතාවක්. අපේ රටේ ජනතාවට සර්වජන ඡන්ද බලය හිමිවෙන්නේ 1931 තරම් ඈත අතීතයක.ඒත් මෑතක් වනතුරුම පළාත් පාලන ආයතනවල පමණක් නෙවෙයි, පළාත් සභාව, පාර්ලිමේන්තුව තුළත් කාන්තා නියෝජනය පවතින්නේ අවම මට්ටමක. මේ නිසා මෙතෙක් පැවතුණ බොහෝ රජයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළින් කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් කරලා තිබුණා.
ඒත් විවිධ හේතූන් මත මෙම කටයුත්ත සිදුකිරීම කල්ගත වුණා. වත්මන් රජය බලයට පත්වෙද්දී ඉදිරිපත් කරල තිබුණ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළත් පැහැදිලිවම සඳහන් කරලා තිබුණා පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු යන ආයතන සඳහා 25% ක කාන්තා නියෝජනයක් සහතික කරනවා කියලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශවල සඳහන් කරුණු ඵලදරමින් තමයි මෙම අමාත්‍යාංශය පළාත් පාලන ආයතන සඳහා 25% ක කාන්තා නියෝජනය ඇති කරන්න අවශ්‍ය මූලික කටයුතු කළේ.
Q මෙතෙක් මෙම ආයතන තුන නියෝජනය කළ කාන්තා නියෝජිතයන් වගකීම් ඉටුකර නොමැති බවට චෝදනාවක් නැගෙනවා
ආයතන තුන තුළම කාන්තා නියෝජනයක් තිබුණ එක ඇත්ත. ඒත් ඒ නියෝජනය කොතරම් ප්‍රමාණයක්ද කියන එක ගැන කතා කරන්න ඕන. මොකද මෙහිදී පළාත් පාලන ආයතනවල හිටියේ 1.8% වැනි සුළු ප්‍රතිශතයක්. එවන් විටක ඔවුන්ට හඬක් නැගීමට ඇති හැකියාව ගැන මෙහිදී අප සිතිය යුතු වෙනවා. හැමවිටම කාන්තා නියෝජිතයන්ගේ හඬ යටපත් කරමින් පුරුෂ පාර්ශවයේ හඬ නැගීසිටින ආකාරය දකින්න ලැබුණා. නමුත් මේ වන විට හිමි වී ඇති 25% ක් ප්‍රමාණය සාපේක්ෂව මදක් වැඩිවීම තුළ ඔවුන්ට යමක් කිරීමට හැකියාව ලැබේවි. ඒත් අපි මතක තියාගන්න වෙනවා 25% ක කාන්තා හඬ ඇති කරන්න වෙන්නේ 75% ක පිරිමි මන්ත්‍රීවරුන්ගේ හඬත් එක්ක.
Q ඡන්දයෙන් තේරී පත්වෙලා ඉන්නේ සුළුතර කාන්තා නියෝජිත ප්‍රමාණයක්. ඇයි මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ
ඒක අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්. දකුණු ආසියාතික රටක් ලෙස අපේ රට තුළත් කාන්තාවන් දේශපාලනයේ නිරත වීම පිළිබඳව තියෙන්නේ හොඳ මතයක් නෙවෙයි. මේක අපි කාලයක් පුරා අත්දැකපු දෙයක්. මේ නිසා එකපාරටම කාන්තාවන් සඳහා ඡන්දය ලබාදීමට අපහසු වෙන්න ඇති.
පවතින තත්ත්වය ගැන කතා කළොත් අපේ රටේ කාන්තාවන් අතින් තමයි නිවසේ සියලුම කටයුතු සිදුවෙන්නේ. මේ පිළිබඳව තියෙන බිය නිසා වෙන්නත් පුළුවන් ඡන්දය ලබා නොදීමට හේතුව. ඒත් මෙවර මැතිවරණයේදී කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්දපොළට ගිහින් ඡන්දය භාවිත කරන ආකාරයක් දැක්කා. 25% කාන්තා නියෝජනයත් මේකට හේතුවෙන්න පුළුවන්.
Q නරගාධිපති හෝ සභාපති තනතුරුවලට කාන්තා නියෝජිතයන් පත්කිරීමේ අඩුවක් තිබෙනවා නේද
මේ රටේ මුල් වරට කොළඹ මහ නගර සභාව සඳහා කාන්තා නගරාධිපතිනියක් පත්වෙලා ඉන්නවා. ඒ හැරුණු කොට නීතිය තුළ 25% ක කෝටාවක් හඳුන්වා දී තිබුණත් තවමත් අපේ රටේ කාන්තාවන් සඳහා දේශපාලනය තුළ ඉඩක් නැහැ. ඉතිං තේරීපත් වූ කාන්තා නියෝජිතයන්ට නගරාධිපති හෝ සභාපති තෝරාපත්කර ගැනීමේදී ඉඩකඩ නොලැබී ගොස් තිබෙනවා. මේ නිසා පක්ෂ හැමවිටම කාන්තාවන් සඳහා තනතුරු ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුයි. ප්රජාතන්ත්රවාදය තුළ කාන්තාවන්ට හොඳ ඉඩකඩක් ඉදිරියේදීවත් ලැබේවි කියල හිතනවා. මොකද මේ 25% තුළ හොඳ නායිකාවන් බිහිවීමේ අඩිතාලම වැටී තිබෙන නිසා.
Q මැතිවරණය පැවැත් වූ ආයතන 340 තුළම 25% කාන්තා නියෝජනය තිබෙනවාද
අපට දැනගන්න ලැබිලා තියෙන ආකාරයට ආයතන 325ක ප්‍රමාණයක 25% කාන්තා නියෝජනය තිබෙනවා. පනත තුළ 25% කාන්තා නියෝජනය අනිවාර්යයි. ඒත් නීතිමය ගැටලු ඇතිවන විට 25% කාන්තා නියෝජනය නැතිවෙන්න පුළුවන්. ඒත් අදටත් අපිට දැනගන්න ලැබිලා නැහැ කුමන ආයතන තුළද 25% තියෙන්නේ, කුමන ආයතනවලද නැත්තේ කියලා. මොකද තාමත් කාන්තා සභිකයන් පිළිබඳව පැහැදිලි ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් වෙලා නැහැ. මේ නිසා තවමත් අපි දන්නේ නැහැ කාන්තාවන් කොතරම් පත්වෙලා ඉන්නවද කියලා.
Q තේරීපත් වූ කාන්තාවන්ගේ කාර්යභාරය කුමක් විය යුතුද
පළාත් පාලන ආයතන තුළ 25% කාන්තා නියෝජනය ඇති කිරීම සඳහා විෂයභාර ගරු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් විශාල කාර්ය භාරයක් සිදුකළා. මේ නිසා තේරීපත් වූ කාන්තා නියෝජිතයන් පෙන්නන්න ඕන ඔවුන්ට ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කියලා. දූෂණ වංචාවෙන් තොරව දේශපාලනය කරන්නේ කොහොමද, ජනතා සේවය කරන්නේ කොහොමද කියලා කාන්තා නියෝජිතයන් පෙන්විය යුතුයි. මේ තුළින් ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩි කිරීමට නිසැකවම හැකියාව ලැබෙනවා. සෑම කාන්තාවක්ම මතක තබා ගත යුතු දෙයකුත් තියෙනවා. ඒ තමයි මෙය ඕනෑම මොහොතක අහිමි වී යාමේ හැකියාවකුත් පවතිනවා යන්න. මේ නිසා සියලු දෙනාම හොඳ ජනතා සේවයක් කළ යුතු වෙනවා. ඒ සඳහා මගපෙන්වීමට අප අමාත්‍යාංශය සෑමවිටම සූදානමින් ඉන්නවා.
Q සුදුසුකම් නොමැති කාන්තාවන් පවා නියෝජිතයන් වී ඇති බවට චෝදනා එල්ලවෙනවා
මෙවැනි චෝදනාවන් එල්ල වෙනවානම් අපිට අහන්න සිදුවෙනවා තේරීපත්වී සිටින පුරුෂ පක්ෂයේ අයට කොතරම් දුරට සුදුසුකම් තියෙනවාද කියලා. මේ චෝදනාවන්ට පිළිතුරු දීමටනම් මම තේරීපත් වූ සියලුම කාන්තා නියෝජිතයන්ගෙන් ඉතාමත්ම ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිනවා සෑම විටම රටට ආදර්ශයක් දෙමින් සුපිරිසුදුව කටයුතු කරන්න කියලා. තේරී පත්වූ නියෝජිතයන් සිදුකරන වැඩ කොටස හරහා ඉදිරි මැතිවරණවලදී ඡන්දදායකයන්ගේ මනාපයෙන් කාන්තා නියෝජනය වැඩිකරගන්න පුළුවන්කම ලැබෙනවා.
Q පළාත් සභා මැතිවරණයටත් කාන්තා නියෝජන කෝටාවක් ඇතිවේවිද
මා දකින ආකාරයට පළාත් සභා මැතිවරණ පනතේත් අනිවාර්යය කාන්තා නියෝජනයක් තිබෙනවා. ඒත් ඉදිරියේදී එය කුමන ආකාරයකින් සිදුවේවිද කියලා දැන්ම කියන්න බැහැ. පළාත් පාලන මැතිවරණයේදී ලද අත්දැකීම් සමග ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට පෙර මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධනයක් ඇති විය හැකියි. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ අප අමාත්‍යාංශයට වගකීමක් නැහැ. මේ නිසා එම ක්‍රමය ගැන කිසිවක් කීමට හැකියාවක් නැහැ.
Q ජනතාවට සේවය කරන මහජන නියෝජිතයෙකු නිර්මාණය කිරීමට කුමක්ද සිදුකරන්නේ
පළාත් පාලන ආයතනයක කාර්යභාරය අනෙක් ආයතන දෙකේ කාර්යභාරයට වඩා ටිකක් වෙනස්. මොකද මේක බිම් මට්ටමේ ජනතාවට සමීපතම පාලන ආයතනය. මෙය නීතිමය අත්තිවාරමක් මත ගොඩනැගුන ආයතනයක්. මේ නිසා එකී නීතිත් තුළ හිඳිමින් ජනතා සේවය කරන්නේ කුමන ආකාරයකටද යන්න දැනුවත් කිරීම් කළ යුතු වෙනවා. පොදුවේ කියනවා නම් පළාත් පාලන ආයතන නියෝජිතයෙකු වශයෙන් ඔහුගේ කාර්ය භාරය කුමක්ද යන්න වැඩමුළු පවත්වමින් දැනුවත් කළ යුතු වෙනවා. සභා පිහිටුවීම ආරම්භ කළාට පස්සේ අප අමාත්‍යාංශය යටතේ තියෙන පුහුණු ආයතනය වන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හරහා එය සිදු වේව්.
Q මැතිවරණය පෙබරවාරි 10 පැවැත්වුවත් තවමත් මංගල සභා රැස්වීම ආරම්භවෙලා නැහැ නේද
මැතිවරණය පැවැත්වුණේ නව මැතිවරණ ක්‍රමයකට අනුව. මැතිවරණ ක්‍රමය තුළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ප්‍රා‘යෝගික ගැටලු ඇතිවෙන්න ඇති. කොහොම වුනත් මාත් දකිනවා ගතවූ කාල සීමාව අනවශ්‍ය ලෙස දීර්ඝ වූ බව. කල්ගතවීම මේ ආයතන වලින් සිදුවන ජනතා සේවාවන් වලට යම් යම් බලපෑම් වෙන්න පුළුවන්.නමුත් ඉදිරියේදී ප්‍රතිපල නිකුත් කිරීමට අදාල ක්‍රමවේද විධිමත් කරගෙන එම කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකිවේවි. මොකද ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිවීම පිළිබඳව මෙම අමාත්‍යාංශයට යමක් පැවසීමට බැහැ. ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව සතුව නිසා.
Q නගරාධිපතිවරයෙක් හරි සභාපතිවරයෙක් හරි අක්රමිකතාවයන් සිදුකළොත් මොකද වෙන්නේ
නගරාධිපතිවරයෙක් හෝ සභාපතිවරයෙක් වරදක් කළහොත් අමාත්‍යවරයාගේ නියෝගයක් මත පවත්වන විනය පරීක්ෂණයක් මත මිස ඔහු ඉවත් කිරීමට මෙම පනතේ ප්‍රතිපාදන නැහැ. යම් වරදක් කළත් පළාත් පාලන අයතන තුළ දෝශාභියෝග ගෙන ඒමට හැකියාවක් නැහැ. ඒත් තුන්වන අයවැයේදී නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා අත්තනෝමතික ආකාරයට කටයුතු කරනවා නම් සභිකයන්ට යම් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තියෙනවා. ඒත් එය සිදුකළ හැක්කේ එම අයවැය තුළ පවතින දෝෂ තිබෙනවා නම් එය නිවැරදි කරගැනීමට සභාපතිට හෝ නරාධිපතිට අවස්ථාව ලබා දීමෙන් පසුවයි. මේ නිසා නගරාධිපතිට හෝ සභාපතිට හැකියාව ලැබෙනවා තුන්වන හෝ හතරවන අයවැය නිවැරදිව ඉදිරිපත් කරලා සභාව ඉදිරියට ගෙනයන්න.
Q තනි පක්ෂයකට 50% ක බලයක් නොමැති අවස්ථාවක සභාවේ තනතුරුවලට නියෝජිතයන් පත්වෙන්නේ කෙසේද
මාර්තු 09 වන දින සභිකයන් පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. මේ අනුව තනි පක්ෂයක් 50% බලයක් නොමැති අවස්ථාවක පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 66 ඇ වගන්තියට අනුව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාපති නගරාධිපතිවරයා පත්කර ගත යුත්තේ කුමන ආකාරයෙන්දකියලා ක්‍රියාමාර්ග ගන්නවා. මේ අනුව මාසයක කාලය තුළ සියලුම පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ප්‍රථම රැස්වීම පැවැත්වෙන දිනයේදී සභිකයන්ගේ ඡන්දයෙන් මෙම තනතුරු සඳහා නියෝජිතයන් තේරීපත්වෙනවා. පළාත්පාලන ආයතන මැතිවරණ ක්‍රමය හොඳ වුවත් සභිකයන් වැඩි බවට චෝදනාවක් එල්ල වෙමින් තියෙනවා. සභිකයන්ගේ ප්‍රමාණය වැඩියි කියන කාරණය ගැන කතාකරනකොට මෙම ක්‍රමය හරහා කොට්ඨාසයට වගකියන නියෝජිතයෙකු පත්වුණා. 1978 පෙර පැවැති කොට්ඨාස ක්‍රමය යටතේ ඒ කියන්නේ ගම් සභා ක්‍රමය යටතේත් නියෝජිතයන් 8000කට වැඩි ප්‍රමාණයක් ඉඳලා තියෙනවා.
ඒ කාලයේදී ජනගහනය අදට වඩා අඩුයි. එහෙම බලන කොට අද සිටින ජනගහනයට සාපේක්ෂව මෙම ක්‍රමය තුළ මෙවන් සභික ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. මෙම ක්‍රමය තුළ පත්වෙලා සිටින්නේ 8500කට ආසන්න නියෝජිත ප්‍රමාණයක්. කොට්ඨාසයට වගකියන නායකයකු අවශ්‍ය නම් මා දකින විදිහට නම් මෙවන් ජනතා නියෝජිතයන් ප්‍රමාණයක් සිටි යුතුයි. අවශ්‍ය වන්නේ ඒ අය රටට බරක් නොවන ආකාරයට සිය කටයුතු පවත්වාගෙන යාමයි.
Q මහජන නියොජිතයන් නඩත්තු කිරීමේ බර ජනතාව මතට පැවරෙනවා නේද
ඔව්. මොවුන් වෙනුවෙන් වියදමක් දැරීමට සිදුෙවනවා. ගම් සභා ක්‍රමය තුළ පත්වුණ නියෝජිතයන් සිදුකළේ ගරු සේවාවක්. ගරු සේවාව තුළ ඔවුන් දීමනාවක් බලාපොරොත්තු වූයේ නැහැ. හැබැයි වර්තමානය වන විට පළාත් පාලන ආයතනවලට තේරී පත්වන සභිකයන්ට දීමනාවක් ලැබෙනවා. මේ නිසා මා හිතනවා මේ දීමනාවෙන් පරිබාහිරව කිසිවක් මොවුන් බලාපොරොත්තු විය යුතු නැහැ. අවශ්‍ය වන්නේ සිය ඡන්දදායකයන්ගේ වෙත සිය උපරිම සේවය සැලසමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


