මෙයට කලකට පෙර වැඩිහිටියෙකු මා සමග පැවසූ වදනකින් මෙම ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමි. ඉතාමත් නිහතමානීව, නිහඬ ජීවිතයක් ගත කළ ඔහු එකල රටේ පැවතුණු භීෂණකාරී අවස්ථාවේ අවිගත් දේශප්‍රේමීන් කියාගත් මැර කණ්ඩායමකගේ මර උගුලකින් ජීවිතය බේරාගත්තේ හාස්කමකින් මෙනි.
එසේ දිවි ගලවාගෙන පැමිණීමෙන් පසුව ඉමහත් කලකිරීමකින් යුතුව ඔහු මා සමග පැවසුවේ, ''පුතා, හොඳ කියන දේ ඕනෑවටත් වඩා හොඳ නැහැ කියන්නේ මේකට තමයි. අර ජාතක කතාවේ උපාසක නයාට වෙච්ච දේ තමයි මටත් වුණේ.'' ඔහුගේ එම කියමන එදාට මෙන් අදටත් සමස්ත සමාජයටම වලංගු වී ඇති බව දිනෙන් දින මේ රට පරිහානියට පත්වන අයුරු දෙස බලන විට පෙනී යන්නේය.
මෙයට තවත් ඌනපූරණයක් එක් කිරීමට මාහට හැකිවන්නේ යුරෝපා රටක ජීවත්වන මාගේ මිතුරෙකු පසුගියදා නිවාඩුවක් ගත කිරීමට පැමිණි අවස්ථාවක ඔහු ඉතා කලකිරීමෙන් යුක්තව පැවසූ දෙයක් හේතුවෙනි.
''මේක කවදාවත් දියුණු කරන්න පුළුවන් රටක් නෙමේ. ලෝකයේ අනික් රටවල් ඉස්සරහට යනකොට අපි පස්සට යනවා. කවදාහරි අපේ රට සෝමාලියාවටත්, වඩා පහත් තත්ත්වයට වැටෙනවා. මේක හොරු, දූෂකයෝ, වංචාකාරයෝ රජකරන රටක් වෙනවා. ඒක දැන් අපට පේන්නම තියෙනවා.ප්‍රශ්න වෙලා තියෙන්නෙ මේව දැක්ක නොදැක්ක ගාණට රටට හෙණ ගහල ගියත්, තමන්ගේ මල්ල පිරුණොත් හොඳටෝම ඇතියි කියල හිතන ආත්මාර්ථකාමී සමාජයක් බුදුන් වැඩි මෙහෙව් රටේ පවතින එකයි.''
ඇත්තෙන්ම ඔහුගේ එම කතාවේ සත්‍යතාව පැහැදිලියි. මේවනවිට අපේ රට ආර්ථිකමය වශයෙන් සෝදාපාළුවටම පත්වෙලා. හිඟමන නහුතෙටම නැගලා ගන්ඩ පුළුවන් හැම තැනකින්ම ආණ්ඩුව ණයට ගන්නවා.මේකට හේතුව මොකක්ද කියන එක දැන් කවුරුත් දන්නවා. හැබැයි නොදන්නවා වගේ ආණ්ඩුවට ආඩපාලි කියනවා. පොල් ගෙඩිය හැටට හැත්තෑවට නැග්ගත් මේ ආර්ථික අහේනියට වගකිවයුත්තෝ රොත්ත පිටින් රට වටේ දේවාල, කෝවිල් ගානේ ගිහිල්ල පොල් ගහනවා. 'අනේ කාලේ වනේ වාසේ' කියල අපේ සීයල,අත්තම්මල කිව්වෙ මේ වගේ වැඩවලටයි.
2015 ජනවාරි 08 කියන්නේ අපේ රටේ දේශපාලනය උඩු යටිකුරු කළ දිනයක් ලෙස සැලකෙනවා. එයට දායක වන්නේ මේ රටට ආදරය කරන පුංචි මිනිස්සු ටිකක්. වසර ගණනක් මුළුල්ලේ මේ රටේ දේශපාලනීකරණය වී තිබූ වංචාව, දූෂණය සහ මැරකමට ආවරණය සැපයූ රාජ්‍ය ත්‍රස්තවාදය නිසා බොහෝ දෙනෙකුට ලියන්න අත පණ නැතිව ගියා, කතා කරගන්න බැරුව ගොළු වුණා.
නිතර දෙවේලේ දසතින්ම ඇහෙන්න ගත්තේ රාජ්‍ය වන්දිභට්ටයන්ගේ ප්රශස්ති ගායනා විතරයි. ඒ නිසාමද කොහෙද මිනිස්සුන්ගේ කන් අගුල් වැටිලා තිබුණෙ. ජනතාව තුළ පැවැති එම පීඩනය පුපුරා ගියේ කවුරුත් හිතපු නැති අවස්ථාවකයි. ශරීරයෙන් කෙසඟ වුවත් චරිතයෙන් දැවැන්තයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කරන්න යෝධ ජන බලවේගයක් ඔහු වටා ගොඩනැගුණා.
ඒ ජන බලවේගයේ පෙරමුණේ හිටියෙ අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොයි, උන්වහන්සේ වටා එක් වුණ සිවිල් සමාජ බලවේග සමූහයයි. හැබැයි එයට ජීව වායුව පිම්බෙ යූ.ඇන්.පී.කාරයෝ කියන එක අමතක කළ නොහැකියි. එහි වැදගත්ම අගය වන්නේ එ.ජා.ප.යේ දැවැන්ත බහුතරයම ශ්‍රී ලංකාකාරයෙකුට ඡන්දය දීල බලයට පත් කිරීමයි. මෙය ලෝක දේශපාලනය අනුව බලපුවම සමස්ත ලෝකයටම යූ.ඇන්.පී.කාරයෝ ලබාදුන්නෙ ආදර්ශයක්. ඔවුන් කුහකත්වයෙන් තොරව ලබාදුන් එම කැපවීම මේ වනවිට ඔවුන්ටම පාරාවළල්ලක් බවට පත්වෙමින් තිබෙන බවට ඉඟි පහළ වෙමින් තිබෙනවා.
ඒ කෙසේ වෙතත් යහපාලනය ආරම්භයත් සමග බොහෝ දෙනෙක් සිතුවේ හොරුන්ට වැඩේ හරි ඔක්කොම පොදිය පිටින්ම බෝඩිමට යයි කියලා. ඒත් ඒක සිතුවිල්ලක්ම විතරයි. හොරු මාංචු දාගෙන දත් විලිස්සාගෙන මාධ්‍ය සංදර්ශන දාගෙන ඇතුළට යනවා. ඒ එක්කම ඇතැමුන් ලෙඩ වෙනවා ආණ්ඩුවේ මහ ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවේ හරි නැත්නම් පෞද්ගලික රෝහලක හරි නැවතිලා සැප ගන්නවා.
එහෙමත් ඉඳගෙන ආණ්ඩුව පතුරු හරිනවා. සමහරු අධිකරණයට යන්නේ ගිලන් රථයෙන්මයි. නඩුකාර හාමුදුරුවෝ චූදිතයා ගාවටම ඇවිල්ල බලල යනවා. හැබැයි ඇප දීපු හැටියේ අර හතර ගාතේ දාල හිටපු මනුස්සයා කන් දෙක ගාවටම කට දිග ඇරගෙන පනාව දාගෙන ඇවිදගෙන ඇවිත් තමන්ගේ සුඛෝපභෝගී වාහනයට නැගල ගෙදර යනවා. හැබැයි මේ වැඩේ අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් වුණා නම් අධිකරණයට අපහස කළයි කියල ඒ වෙලාවෙම කණින් ඇදගෙන ඇවිත් කූඩුවට දාවි.
මේ රටට අද පාලනයක් නැති බවයි මෙයින් පේන්නේ. යහපාලනය මිනිස්සුන්ට විහිළු සපයනවා. ජාත්‍යන්තරයේම අවධානය මුලින්ම යොමුවන්නේ අපේ ආර්ථික මර්මස්ථානය වන කොළඹ නගරයටයි. මෙරටට පැමිණෙන විදේශකයන් විශාල වශයෙන් මෙහි ගැවසෙනවා. දැන් කොළඹ නගරයේ විදේශිකයන්ට කෙසේ වෙතත් මෙරට ජනතාවටවත් නිදහසේ සිය වැඩ කටයුතු කරගන්න පැවැති අවස්ථාව මුළුමනින්ම ඇහිරිලා.
මීට අවුරුදු දෙකකට කලින් පාරවල් වැහුණෙ අධි ආරක්ෂිත කලාප නිසයි එහෙමත් නැතනම් රජයේ ප්රභූවරයෙකුගේ වාහන පෙරහරකට විතරයි. ඒත් දැන් ඒ දේවල් නැති වුණත් සතියකට කිහිප වතාවක්ම කොළඹ නගරය තුළ දැවැන්ත උද්ඝෝෂණ, පෙළපාළි පැවැත්වෙනවා. මේවා බොහෝ දුරට අවසාන වන්නේ කඳුළු, ගෑස් ජල සහ බැටන් ප්‍රහාරවලිනුයි.
මෙයින් සයිටම් නාඩගම ප්‍රධාන තැනක් ගන්නවා. මෙහි අල ගිය, මුල ගිය, වැල ගිය තැන් මොනවද කියන්න කවුරුත් දන්නවා. සයිටම් කියන අයිටම් එක රෝපණය කරපු සෙට් එකම අපි මුකුත් දන්නෙම නැහැනේ කියන පූස් පාට් එකෙන් දොස්තර මහත්වරුත් එක්කම මේ නාඩගමේ රඟපාන එක. හොරු හෙළුවෙන් කිව්වොත් නිවැරදියි. හැබැයි එයාලගේ මේ හෙළුව දකින අපට ඇතිවෙන්නේ ඔක්කාරයත් සමග හිරිකිතයක්.
සයිටම් උණ හැදිල දඟලන දොස්තර මහත්වරුන්ට රටේ රෝගීන් ගැන වගේ වගක් නැහැ. උදේට රජයේ රෝහලේ වර්ජනය කරන ඔවුන් හවසට චැනල් පාරේ ගිහින් ගතමනාව හිරිකිතයකින් තොරව සාක්කුවට ඔබා ගන්නේ දවල් මිගෙල් රෑදනියෙල් න්‍යායෙන්. එයාල කියන්නේ සයිටම් උපාධියෙන් ප්‍රමිතියක් නැති වෛද්‍යවරු බිහිවෙන නිසා ලෙඩ්ඩු මැරේවි කියලා.අනේ පව් පහුගිය කාලවල රජයේ රෝහල්වල වගේම පෞද්ගලික රෝහල්වලත් අත් වැරදීම්වලින් රෝගීන් මැරුණෙ කාගේ ප්‍රමිතියේ වරදින්ද කියල අපට මේ අයගෙන් අහන්න සිද්ධ වෙනවා.
මෙතන තියෙන්නේ වාර්ගික කුහකකමක්. තමන්ගේ සනුහරේට තවත් එකෙක් එන එකේ තියන ඉරිසියාව. ඒක රුසියාවටත් වැඩිය ලොකුයි කියනවනේ. රුසියාවට හරි වෙන රටකට හරි ගිහින් වෛද්‍ය උපාධිය අරගෙන එන්නේ කඩේකින් නෙමේ සාප්පුවකින් කියලයි මේ අය හිතනව ඇත්තේ. ඒ නිසා වෙන්න ඇති ඒ අයට විභාග තියල මෙහේ වැඩ කරන්න අවසර දීල තියෙන්නේ තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි මේ උගත් රෑනට මේ ටික අමතක එකයි පුදුමේ.
අධිකරණ නියෝග තුට්ටුවකටවත් මායිම් නොකර අද උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ රටේ තියෙන ලොකුම ප්රශ්නය සයිටම් එකම නම් එය වැසිය යුතුමයි. එහි කිසිදු මතවාදයක් හෝ තර්කයක් නැහැ. හැබැයි එයට කලින් මේ රටේ ළදරු පාසලේ සිට උපකාරක පංති, ජාත්‍යන්තර පාසල් යන මේ සෑම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ම වසා දැමිය යුතුයි. මන්ද මේවත් කතාවේ හැටියට අධ්‍යාපන කඩ නිසයි.
මේ ආන්දෝලනය අද රට කරවන තැනටත් ගිහින් මේච්චර කල් ඒකාබද්ධය හා ජ.වි.පෙ. කරේ එල්ලගෙන තලු මරපු බැඳුම්කරේ, කෝප් එකෙන් බයිස්කෝප් වෙලා දැන් ඒක ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රසිද්ධියේම රඟදැක්වෙනවා. රුපියල් දෙදහස් පන්සීයකින් පවුලකට මාසයක් කන්ඩ පුළුවන් 'පයිතගරස්'ගේ ගණිත ඥානයත් පරද්දවල කියපු බන්දුල ගුණවර්ධන මහත්තයා බැඳුම්කරේ රස කරන්න තෙම්පරාදු බොරුවක් කියන්න ගිහින් ජනාධිපති කොමිසම ඉදිරියේ චොර වෙලාම ගියා.
සිය සනුහරේටම බොක්කෙන්ම යුතුකම් ඉටුකරපු වීරවංශ මහත්තයා වෙනුවෙන් පාර්ලිමේන්තුවෙදි උගුරේ ලේ නහර පුප්පගෙන සීනි කිරපු දිනේෂ් ගුණවර්ධන මහත්තයට සතියකට පාර්ලිමේන්තු තහනමක් වැටුණෙ මේ අතරෙයි. බොරලුගොඩ සිංහයා විදිහට දේශපාලන ලෝකයේ අභිමානය ලබපු පිලිප්ගේ පුතා දිනේෂ් ගැන මේ රටේ මිනිස්සු තුළ තියෙන්නේ ලොකු ගෞරවයක්. පිලිප්ල සටන් කළේ එදා පැවැති අධිරාජ්‍යවාදයට එරෙහිවයි.
මෙරට පාර්ලිමේන්තුවේ වේගවත්ම කථිකයා වුණේ පිලිප් ගුණවර්ධනයි කියල මම අහල තියෙනවා. ඒ වගේම ඔහුගේ බිරිය කුසුමා ගුණවර්ධනත් හොඳ කථිකත්වයකින් හෙබි සටන්කාමී චරිතයක්. ඔවුන්ගේ ජාන ශක්තිය රුධිරගත වුණ දිනේෂ් වගේ නායකයෙක්, මේ වෙලාවේ සිටිය යුත්තේ අවංකව රට කරවන්න උත්සාහයක යෙදෙන තැනක මිසක් අලි බබා සහ හොරු රැකගන්න තැනක නම් නෙවේ. එහෙම වුණොත් එය අර ගෞරවනීය වරිග පරම්පරාවටම කරන අවමානයක් වෙනවා.
පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනය අද මානසික රෝහලක් ගාණට පත්වෙලා, මේ පිස්සන් කොටුව නඩත්තු කරන්න දවසකට රුපියල් ලක්ෂ ගණනක් වැය කරනවා. එපමණක් වියදම් කරලත් රටට යහපතක් වන දෙයක් සිදුවෙලා තියෙනවද? පසුගිය දශක දෙකක් වැනි කාලයක් තුළ මෙතැනට පැමිණි බොහෝ දෙනෙකු රටේ සංවර්ධනයට දායක වූවාට වඩා සිය පවුලේ සංවර්ධනය ඉස්මුරුත්තාවට යනතුරු ගොඩනගාගැනීමට කාලයත්, ශ්‍රමයත් කැප කරපු බව මේ රටේ බහුතරයම දන්නවා.
ඒ සියල්ලක්ම වහගන්න දැන් මේ උත්තරීතර ආයතනය තොවිල් පොලක් කරගෙන විපක්ෂය දෙපක්ෂයක් වෙලා ඒකාබද්ධය කියන කණ්ඩායම බද්ධ වෛරයෙන්ම සිය මෙහෙයුම දියත් කර තියෙන්නේ 'ඩූ ඕ ඩයි' මෙහෙයුමක විලාසයෙනුයි. මෙය ඔවුන්ගේ සුරක්ෂාව හා පැවැත්ම සඳහා කරන මෙහෙයුමක් බව රහසක් නොවේ. මේ නාඩගම නවත්වන්ඩ ආණ්ඩුව ගතයුතු ක්‍රියාමාර්ග නිසියාකාරව අරගෙන නැහැ.
ප්රජාතන්ත්රවාදය කියන්නේ ලොවම පිළිගත් මානුෂීය පාලන ක්‍රමයක්. මෙම ක්‍රමයට අනුගත වූ යුරෝපා රටවල සමාජ සංස්කෘතිය මෙන්ම ඒ තුළින් ගොඩනගාගත් ආර්ථිකය තුළින් ඒ රටවල් ඉහළම තලයක පවතිනවා. බෞද්ධ දර්ශනයට බොහෝ සෙයින් සමීප වූ ප්රජාතන්ත්රවාදය මේ බෞද්ධ රටේ මෙතෙක් හරියාකාරව ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා. මෙය ඇතැම් විට කුවේණියගේ සාපයෙන් ආපු කරුමයක් දෝ කියලත් හිතෙනවා.
කවුරු කොහොම කිව්වත් ගෙදරක වගේම රටකද නිසි පාලනයක් තිබිය යුතු වෙනවා. නිවසක පාලනය දුර්වල වුණොත් දරුවෝ අයාලේ යාවි, ගෙදර සුරක්ෂාව නැතිවේවි. රජයක් වුවද නිසි තැනට නිසි අයුරින් ක්‍රියාත්මක නොවන්නේ නම් මුළු රටම අරාජික වීම වැළැක්විය නොහැකියි. අද ඒකාබද්ධයත්, ජවිපෙත් දෙකම එක් වී කරන්නේ රට එතැනට තල්ලු කිරීමයි. ජවිපෙ ඉතිහාසයේ තියෙන්නෙත් ඒ ටිකමයි. එම තත්ත්වය තුළ ආයෝජකයන් මෙරටට එන්නේ නැහැ.
විදේශ ආධාර ලැබීමද ඒ නිසා වැළකෙනවා. එහෙම වුණාම යහපාලනය හාන්සියි. එතකොට අලි බබාලට හොරු එක්ක රජ වෙන්න පාර කැපෙනවා. එහෙම නොවන්නට නම් දර මිටියේ බැන්ද උපාසක නයා පෙණේ පිප්පුවා වගේ අධිපති ප්රජාතන්ත්රවාදය මෙහි නිසි අයුරින් ක්‍රියාත්මක විය යුතුම වෙනවා. එසේ නොමැතිව මේ මුස්පෙන්තු, මළ පෙරේත, කාලකණ්ණි, වසංගත දේශපාලනයෙන් රට බේරාගන්න බැරි වේවි.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ