මේ ගෙවෙන්නේ වසරකට වරක් ශ්‍රී ලාංකිකයන් මහත් උද්යෝගයෙන් සමරන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයයි. කෙසේවෙතත් වර්තමානය වන විට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව වෙළෙඳ අරමුණු වෙනුවෙන් යොදාගන්නක් බවට පත්ව තිබේ. මේ ඒ පිළිබඳ රූපවාහිනී හා ගුවන්විදුලි ධර්මදේශක, දෙහිඕවිට සුශිලෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය පලුගොල්ලේ විජිත හිමි හා කළ සංවාදයකි.
සාම්ප්‍රදායිකත්වය
පෙර සිටම අපේ මුතුන් මිත්තන්ගේ පැවති සිරිත්විරිත් වලට ගෞරව කරමින් ඒවා අනුගමනය කරපු ක්‍රමවේදය තමයි සම්ප්රදායිකත්වය කියෙන්නේ. ඒ තුළින් තමයි සම්ප්රදාය ගොඩනැගිලා තිබෙන්නේ. වර්තමානය අපි අරගෙන බැලූ විට ඒ සාම්ප්‍රදායිකත්වය මිලට මුදලට යටවෙලා. සියල්ල මුදල් මත තීරණය වෙන යුගයක් බවට පත්ව තිබෙනවා. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙසට ඒ අයගේ අරමුණු ඉටු කර ගන්න සාම්ප්‍රදායික උත්සව අවස්ථාවක් බවට පත්ව තිබෙනවා.
ආහාර රටාව
ප්‍රධාන වශයෙන්ම අපට ආහාර රටාව පිළිබඳව කතා කරන්න පුළුවන්. නැකතට සියලුදෙනාම ආහාර අනුභව කිරීම ඇතුළු වෙනත් සිරිත්විරිත් තිබෙනවා. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අලුත් අවුරුද්ද පැමිණෙනවා. ඒ අනුව සිරිත්විරිත් සිදුකළ යුත්තේද සාම්ප්‍රදායික වශයෙන්. ආහාර අනුභවය ගත්තත් අපි සම්ප්‍රදායෙන් බැහැරවෙලා තිබෙන්නේ.
සිරිත්විරිත් ඉටුකරන අවස්ථාවට පවුලේ සියලුදෙනාම එකට එක්වයි එය සිදුකළේ. නමුත් වර්තමානය වන විට එය කිරීමට නොහැකි වී තිබෙනවා. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන විට අලුත් අවුරුද්දට පවා නිවාඩුවක් ලබාගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.
කැවිලි වෙනුවට කේක් හා බිස්කට්
අපි කැවිලි පිඟානක් අරගෙන තමයි අසල්වාසී නිවෙස් වලට ගියේ. නමුත් දැන් එය කේක් හා බිස්කට් රැගෙන යන තැනට පත්ව තිබෙනවා. කේක් බිස්කට් කියන්නේ අපේ සාම්ප්‍රදායික ආහාර නෙමෙයි. නමුත් කැවිලි පිඟාන රැගෙන යද්දී ඒ තුළ කැවුම්, කිරිබත්, කෙසෙල්, වැලිතලප, අලුවා, ආස්මී කොකිස් සියල්ල තිබෙනවා. මේ අපේ සාම්ප්‍රදායික දේවල්. ගොවිතැන් බතෙන් සපයාගත් ධාන්‍යයෙන් පිළියෙළ කළ දෑ.
නිවෙස් අලුත්වැඩියාව තරගයක් වෙලා
නිවෙස් අලුත්වැඩියා කිරීම ගත්තත් අද වන විට එය තරගයක් බවට පත්ව තිබෙනවා. අසල්වාසී නිවෙස් හිමියන් නිවෙස් අලුත්වැඩියා කරයි නම් අපිත් ඒ සඳහා යොමු වෙනවා. එදා ගොම මැටි ගාමින් තමයි ගේ පිරිසුදු කර ගත්තේ. තමන්ට ඇති හැකි අයුරින් තමයි ගෙවල් පිරිසුදුකර ගත්තේ. තීන්ත, පොලිෂ් ගා ගෙවල් පිරිසුදු කිරීම ගැටලුවක් නෙමෙයි. නමුත් එය සිදුවිය යුත්තේ තමන්ට හැකි අයුරිනුයි.
අවුරුදු උත්සවත් මාධ්‍යයට අවශ්‍ය ලෙසයි
දැන් තිබෙන්නේ රාජකීය මට්ටමින් කරන අවුරුදු උත්සව. එදා තිබුණෙත් රාජකීය මට්ටමේ අවුරුදු උත්සව තමයි. නමුත් එහිදී සාම්ප්‍රදායිකත්වය ආරක්ෂා වුණා. අද අවුරුදු උත්සව කරන්නේ මාධ්‍යයට අවශ්‍ය ලෙසයි. ඒ අනුව තමයි රාජකීය මට්ටමට ඇවිත් තිබෙන්නේ.
අවුරුදු කුමරිය හා කුමරා වෙළෙඳ භාණ්ඩයක් වෙලා
අවුරුදු කුමරිය හා අවුරුදු කුමරා එදා තෝරාගත්තේ පංචකල්‍යාණය අනුව. නමුත් අද එය සිදුවෙන්නේ නෑ. මිලට මුදලට, දැන හැදුනුම්කමට ජයග්‍රාහකයන් තේරීම තමයි සිදුවෙන්නේ. අද අවුරුදු කුමාරයා හා කුමරිය තෝරන තරගයට ඉදිරිපත්වන තරගකරුවන්ට කොපමණ පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවාද?
අවුරුද්ද කියන්නේ අලුත් ඇඳුම් පමණක්ද?
අද වන විට සිංහල හින්දු අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් ඇඳුම් පැලඳුම් වලින් සැරසෙන උත්සවයක් බවට පත්කරගෙන අවසන්. අලුත් ඇඳුම් ඇදීමම තමයි අලුත් අවුරුද්ද කියන දේ අලෙවිකරණය හරහා ජන මනසට ඒත්තුගන්වා තිබෙනවා. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට මුළු අවුරුද්ද මුළුල්ලේම විකුණා ගැනීමට නොහැකි වූ රෙදිපිළි අවුරුදු කාල සීමාවට විවිධ ප්‍රචාරණ ක්‍රම හරහා අලෙවි කරනවා.
තමන් අමාරුවෙන් උපයාගත්ත සියලු දේ වැයකරමින් ඇඳුම් සියල්ලම මිලට ගන්නවා. එහෙම නෙවෙයි, එදා ගවුම් මැහුවේ ලස්සන මල් මල් චීත්ත වලින්. ඒ තත්ත්වයක් දැන් නෑ. මෙයින් අලුත් ඇඳුම් අඳින්න එපා කියල කියන්නෙ නෑ. ඇඳුම් අඳින්න ඕන තමයි. නමුත් ඒ දේවල් කළ යුත්තේ තමන්ට හැකි අයුරින්. ව්‍යාපාරිකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීමට අපි පෙළඹිය යුතු නැහැ. බඩු බාහිරාදිය ගත්තත් මේ අයුරින්ම තමයි. අවශ්‍ය දේ නෙවෙයි මිලට ගන්නේ. අඩු මිලට ඇති බව පවසමින් අවශ්‍ය නැති දේවල් පවා ගොඩගසා ගන්නවා.
සතුටු වෙන්න මත්පැන් ඕනද?
අලුත් අවුරුද්දේ සතුටු වීම කියන්නේ මත්පැන් බෝතලයක් පානය කිරීම කියලා හිතන තරමට අද සමාජය පත්ව තිබෙනවා. මත්පැන් බෝතල් නැත්නම් අද සතුටක් නෑ. එදා සියලුදෙනාම සාමකාමීව එකට සෙල්ලම් කළා. පවුලේ වැඩිහිටියන් ගත්තත් එකිනෙකා සාමකාමීව කටයුතු කරමින් අලුත් අවුරුදු සිරිත් සමරමින් සැබෑ සංතුෂ්ටියක් ලැබුවා.
වර්තමානය වන විට මත්පැන් පාලනය නිසා විශාල ගැටුම් ඇතිවීමක් වෙලා තිබෙනවා. මේ වන විට අවුරුදු දවසේ රාත්‍රියට ගැහැනු ළමයෙකුට, පිරිමි ළමයෙකුට පාරේ යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. විවිධ ගැටුම්, ඇනකොටා ගැනීම් උත්සන්න වෙලා තිබෙනවා. විවිධ අනතුරු හේතුවෙන් අද වන විට කී දෙනෙක් අලුත් අවුරුද්දේ රෝහල්ගත වෙනවද?
ගිණිකෙළි සංදර්ශන
ගිණිකෙළි සංදර්ශන ඉහළ ගොස් තිබෙනවා. එදා අවුරුද්ද සැමරුවේ පන්සල මුල් කරගෙන. කමත මුල් කරගෙන. අද ඒ වගේ තත්ත්වයක් නෑ. සෑම දෙයක්ම මිලට මුදලට, වත්පොහොසත්කම් වලට වෙනස් වී තිබෙනවා. අතීතයේදී සිල්ලන්ම එකට එක්ව විනෝද වුණා. නමුත් අද එවැනි තත්ත්වයක් නෑ. ගිණිකෙළි නිසාත් බොහෝ පිරිසක් රෝහල්ගත වෙනවා. අපේ ළමයින්ට සාම්ප්‍රදායික ක්‍රීඩා මතක නැති වෙලා.
ණයවෙලා අවුරුදු කන්න එපා
විලාසිතා ලෝකය, ආහාර රටාව, නිවෙස් අලුත්වැඩියා කිරීම වැනි අවුරුදු කාලයට සිදුකරන සියල්ලම විවෘත ආර්ථිකයෙන් ආපු සුළඟ විසින් නැති කරගෙන ඉදිරියට ගමන් කිරීමක් සිදුව තිබෙනවා. අලුත් අවුරුදු සමරන අයගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ඇති හැටියට සමරන්න. නිවෙස් අලුත්වැඩියා කිරීම, ආහාර සකස් කිරීම, ඇඳුම් මිලදී ගැනීම, බඩුමූට්ටු මිලදී ගැනීම මේ සියල්ලම තමන්ට හැකි අයුරින් සිදුකිරීම තමයි වටින්නේ.
ණය වී අවුරුදු සමරන්න එපා. ඇති මුදලට ඇති පහසුකම් අනුව සිරිත්විරිත් තමන්ට හැකි අයුරින් සිදුකිරීම තමයි සාම්ප්‍රදායිකව අවුරුදු සැමරීමක් වෙන්නේ. එවිට අපේ සාම්ප්‍රදායිකත්වය රැකගනිමින් අර්ථවත් අවුරුද්දක් ගත කිරීමට අවස්ථාව ලැබේවි. අපි අවුරුද්ද කියන්නේ භෞතික වශයෙන් අලුත් වීම පමණක්ම නෙමෙයි. මානසිකව වශයෙන් ආධ්‍යාත්මය අලුත් වීමක් සිදුවෙන්නේ.