ජාවාරම්කාරයන් නීතිය ඉදිරියට ගේනවා
විප්ලවය යනු ඓතිහාසික අවශ්‍යතාවක පැනනැගීමක් මිස හිතුවක්කාරකමේ හෝ පුද්ගල කැමැත්තක ප්‍රතිඵලයක් නොවේ. කිසිවෙකුට විප්ලවය වැළැක්විය නොහැකිවාක් මෙන්ම විප්ලවය බලෙන් පැටවිය නොහැක. විප්ලවය වනාහී අතිමහත් අවශ්‍යතාවක පැනනැගීමකි යැයි සන්නද්ධ අරගලයේ වැඩ කොටස නම් කෘතියේදී ෆිදෙල් ක්රස්ත්රෝ පැවසීය. පසුගිය ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට එවක ආණ්ඩුවෙන් එළියට ආ පිරිස පසුගිය වසර් නොවැම්බර් 21 වැනිදා පෙළගැසුණේ සැබැවින්ම විප්ලවයක් සඳහාද? ඔවුන් එදා දුටු සිහින යථාර්ථයක්ව මේ පොළොවේ ඇසට දකින්නට පැනනගිනවාද? එදා ගල්ලෙන බිඳ, ලෙන් දොර හැර ආ ගමනේ අද දවස ගැන ඒ ගමනේ ඉදිරිපෙළ නායකත්වය දී එදවස සිටි, වත්මන් මහ නගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග කළ සංවාදයකි මේ.
Q මීට වසරකට පෙර එවක ආණ්ඩුවෙන් එළියට ඇවිත් කළ දේ ගැන සතුටු වෙනවාද?
මේ රටේ අපි කරපු සමාජ පෙරළියට අවශ්‍ය ආරම්භය එදා අපි ලබාදුන්නා. ඒ ගැන සතුටු වෙනවා. ඒ සමාජ පෙරළිය කරන්නට බොහෝදෙනෙක් බයවෙලා පැකිළිලා හිටපු අවස්ථාවක එවන් දෙයක් කරන්නට ලැබීම පිළිබඳව ආඩම්බර වෙනවා. ඒ වගේම මේ රටේ ඒකීයභාවය රැකගැනීමට බියවීමක්, පැකිළීමක් 90 දශකයේ තිබුණා. හුඟක් දෙනෙක් ඒකීයභාවය ගැන වීරයෝ වගේ කතා කරනවා.
නමුත් ෆෙඩරල්වාදය පරාජය කරන්න නිර්භීත පියවරක් තැබුවෙ අපියි. ඊළඟට 2006 දී ත්රස්තවාදීන් මාවිල්ආරුවේ කරපු ක්‍රියා හේතුවෙන් ත්රස්තවාදීන් පරාජය සඳහාත් නිර්භීත පියවර තැබුවේ අපි. මේ අවස්ථා අපේ ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨ අවස්ථා කිහිපයක්. පසුගිය දශක දෙකක කාලය තුළ ත්‍රස්තවාදය පරාජය කරන්නටත්, ෆෙඩරල්වාදය පරාජය කරන්නටත්, යහපාලනය ඇති කරන්නටත් අපට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. ඉදිරි කාලය තුළදීත් මේ රටේ ජනතාවගේ පැත්තෙන් රට පැත්තෙන් එන අභියෝගවලදී මෙවැනිම තීරණ ගැනීමට අපි පසුබට වෙන්නෙ නැහැ.
Q එදා කරපු දේ ඇත්තටම කියන තරම් ලොකු විප්ලවයෝද?
විප්ලවයක් කියන්නේ එතෙක් පැවැති සමාජ රටාවෙන් සහමුලින්ම වෙනස් මගකට රට, සාමාජීය ආර්ථික වශයෙන් ගෙනයාමයි. දේශපාලන වශයෙන් ගත්තොත් ඒක මේ රටේ මහජනතාව කරපු විප්ලවයක්. බොහොම අවිහිංසාවාදී නිහඬ විප්ලවයක්. ආයුධ සන්නද්ධ දහස් ගණන් ජනතාවගේ පාරට බැසීමේ විප්ලවවලින් ඇතැම් රටවල ආණ්ඩු පෙරළා දැමීම් අපි දැකලා තියෙනවා. නමුත් මේක බොහොම නිහඬව යෝධ ප්රචාරක ව්‍යාපාරයකට එරෙහිව, අරමුදල් යොදවා කරපු යෝධ සංවර්ධන මායාවකට එරෙහිව, මුදල් ගෙවා දේශපාලඥයන් මිලදී ගැනීමේ යෝධ ව්‍යාපාරයකට එරෙහිව, මාධ්‍ය ව්‍යාපාර, මාධ්‍යවේදීන් මුදලට ගැනීමේ ව්‍යාපාරයකට එරෙහිව තමයි ඒ නිහඬ විප්ලවය ගෙන ගියේ.
ඒක මේ රටේ අලුත් අත්දැකීමක්. ලේ නොසල්වා කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික දේපළක් විනාශ නොකොට මහා බලගතු මාධ්‍ය ප්රවාහයකට පුද්ගලයන් විකිණීමේ ප්රවාහයකට එරෙහිව සටන් කොට ලබාගත්ත ජයග්‍රහණයක්.
Q වත්මන් ආණ්ඩුවේ ඇතැම් දේවල් එක්ක ජනතාවට හිතෙනවා නම් අපි ඉඟුරු දීල මිරිස් ගත්තා කියලා, ඒකට ඔබ දෙන පිළිතුර කුමක්ද?
නෑ. එහෙම එකක් නෑ. මෙතන වෙලා තියෙන්නෙ සමහරුන්ට ඕනකම තිබුණෙ මහින්ද රාජපක්ෂ මහත්තයා එළවගන්න විතරයි. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නෙ ඒ වෙලාවෙ පැතිරිලා තිබුණ රෝගයේ රෝග නිධානයේ එක් කොටසක් විතරයි. ඒකෙ කැපී පෙනෙන කොටස පමණයි ඔහු. පසුගිය කාලෙ භාවිත කරපු වචනයක් තමයි රෙජීමය කියන්නේ. ඒ රෙජීමය කියන වචනය ලංකාවේ දේශපාලනයට ගෙනාවෙ ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලෙයි, ජයවර්ධන රෙජීමය කියලා.
ඒකෙන් අදහස් කළේ වෙනම දෙයක්. ලංකාවේ රාජ්‍ය කියලා දෙයක් තියෙනවා. ඒක කුමන දේශපාලන පක්ෂයක් බලයේ හිටියත් පවතින දෙයක්. ඊළඟට තියෙනවා ආණ්ඩුව කියලා දෙයක්. රාජ්‍ය‘යේ දේශපාලන බලාධිකාරය ඒ නිශ්චිත මොහොතේ උසුලන පිරිස තමයි ආණ්ඩුව. ඒ ආණ්ඩුව විසින් රාජ්‍යය විනිවිද යාම තමයි රෙජීමයකදී සිදුවෙන්නේ. ඒ කියන්නෙ ආණ්ඩුව පාලනය කරන මිනිස්සු ආණ්ඩුව, රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන සියල්ලම පාලනය කිරීමයි මෙහි ස්වරූපය. පසුගිය කාලෙ මේ තත්ත්වය ඇතිවෙමින් තිබුණා.
දැන් මහින්ද මහත්තයා ඉවත්වුණත් රෙජීමය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් තියෙනවා. ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙ හදා වඩාගත්ත දූෂිත ව්‍යාපාරිකයො, අවි ජාවාරම්කරුවො, මාධ්‍ය පාලනය කරන දූෂිත බලවේග, රාජ්‍ය නිලධාරී කල්ලි, ඒ වගේම අධිකරණය හා වෙනත් තැන්වලට අරක්ගත් පිරිස්වල උත්සාහයක් තියෙනවා පැරණි තැනට, පැරණි පාලන තන්ත්‍රයටම නැවත මේ රට ගෙනියන්න. එක්තරා දුරකට ජනතාව නගන හඬ සාධාරණයි.
රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂ නම හැලිච්ච එක විතරයි වුණේ කියලා මිනිස්සු කියනවා. ඒක යම් දුරකට සාධාරණයි. ඒ නිසා දැන් මේක නොනවතින විප්ලවයක් බවට පත්කරගන්න ඕනේ. මේ රෙජීමය ඉවත් කරලා ආණ්ඩුවෙන් පුළුවන් තරම් රාජ්‍ය ආයතන ස්වාධීන කරලා, දූෂිත ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරික කල්ලිවල ග්රහණයෙන් ජනමාධ්‍යත්, රාජ්‍ය නිලධාරී තන්ත්රයත් අධිකරණය ඇතුළු අනිත් ඒවාත් නිදහස් කරගන්නට මේ නොනවතින විප්ලවය ඉදිරියට ගෙන යා යුතු යැයි අපි කියන්නේ ඒකයි.
Q එදා වේදිකාවේ හඬ නැගූ ඔබත්, රතන හාමුදුරුවන් වැනි අයත් අද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි?
අපි කිසිම නිහඬතාවක් නෑ. පසුගිය කාලේ තීරණාත්මක ප්‍රශ්න ගණනාවකටම අපි තමයි මැදිහත්වීම් කළේ. අපට ආණ්ඩුවක් හැටියට එක් සාමූහික වගකීමක් තියෙනවා. නමුත් අපි තමයි ඒ තීරණාත්මක මැදිහත්වීම කරලා ආණ්ඩුව හරිමගට ගැනීමත්, සමාජයට අවශ්‍ය කරන දේත් ගත්තේ. ඇවන්ට් ගාඩ් ජාවාරම් සිද්ධිය මීට හොඳ නිදසුනක්. මේ අවි ජාවාරම්කාරයන්ගේ බලයට නතුවෙලා තිබිච්ච ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ ඇතැම් කොටස්, රාජ්‍ය නිලධාරීන් ගලවාගැනීමට ඉදිරිපත් වෙලා වෙනස් කළේ. අපේ ක්‍රියාකාරීත්වය තුළින් තමයි සමාජය වෙනස් වෙන්නේ. විවේචන කරන සද්ද බද්ධවලින් විතරක් කටයුතු කරන පිරිසක් නොවෙයි අපි. ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය මගිනුයි අපි එය කරන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම වගේ දේවල් අපි අරගල කරලා දිනුවා. දැන් අපට තියෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. වේදිකාවේ රඟදෙන ව්‍යාජ සටන්කරුවන්ගේ ප්‍රකාශ වගේ නොවෙයි අපි. අනාගතයේ අපේ රටේ ඒකීයභාවය පිළිබඳව හෝ රණවිරුවන්ගේ අනාගතය හෝ ඕනෑම ප්‍රශ්නයකදී අපි මැදිහත් වෙනවා. අපේ තියෙන සාමූහික විනය නිසා ඇතැම් දේවල් අපි එළියට දෙන්නෙ නෑ. ඒ හැරුණාම අපි අපේ දේවල් කරගෙන යනවා.
Q ඔබ කෙරෙහි ජනතාව එදා තැබූ විශ්වාසය හා ගෞරවය මේ වෙද්දි අඩුවෙලා කිව්වොත්?
ඒක විවේචකයන්ගේ කතාවක්. විවේචකයන් අපිව ඒ විදිහට පහළට හෙළාදැකීම සඳහා කියන කතා. ඒ පිටිපස්සෙ ඉන්නේ දූෂිතයෝ, විවිධ ආයතන හරහා ත්රස්තවාදීන්ගෙන් මුදල් ගත්ත පිරිස්, ඇවන්ට් ගාඩ් ආයතනයේ මුදල් ගත්ත පිරිස්. ඔය චෝදනා වගේම තමයි ජාතික හෙළ උරුමය නැතිවුණා කියලා කිව්වා 2010 න් පස්සේ. නමුත් අපි 2014 වෙනසට මුල්වුණා. අවතක්සේරු කරලා කතා කරලා මහින්ද රාජපක්ෂට වුණා වගේ එහෙම කියන අනිත් අයටත් දැනෙයි. ඕවා සමාජයේ පියවරෙන් දෙකෙන් මනින්න පුළුවන් දෙයක් නොවෙයි. ඉදිරි පියවරවලදී පෙනී යයි අපි කොච්චර සේවාවක් කළාද කියලා.
Q ඔබ නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ට් ගාඩ් සමාගමෙන් සල්ලි ඉල්ලුවා නේද?
ඒක අමූලික බොරුවක්. ඔහුට විරුද්ධව මම පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා.
Q වඩා හොඳ මෙගා පොලිස් ඇමතිකමද? විදුලිබල ඇමතිකමද?
විදුලිබල ක්ෂේත්රයේ අපි ප්‍රශ්න විසඳලා දුන්නනේ. විදුලිබල මණ්ඩලයට අපි එද්දි රටේ විශාල පිරිසකට විදුලිය තිබුණෙ නෑ. දැන් සෑම ගමකටම විදුලිය ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට පැය 24 ම විදුලිය ලබාදීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. බාල විදුලි බලාගාර ගෙනත් ඒවයෙ අර්බුදයක් තිබුණා. තාප විදුලි බලාගාරවලින් විදුලිය ගැනීමෙන් අර්බුදයක් තිබුණා.
ඒ වගේම විදුලිබල මණ්ඩලේ ප්‍ර‘කෝටි ගණන් පාඩු වෙන තත්ත්වක් තිබුණා. දැන් ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. ගුණාත්මක ලෙස 24 පැයම විදුලිය ලබාදෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලය ලාභදායීව පවත්වාගෙන යනවා. විදුලිබල මණ්ඩලයෙන් මම ඉවත් වුණේ ලංකා විදුලිබල මණ්ඩලයේ තිබුණු ප්‍රශ්න සියල්ලම විසඳලා. රට කන බහිරවයෙක් විදියට තිබුණ විදුලිබල මණ්ඩලය රටට ආලෝකය දෙන පහන් ටැඹක් බවට පත්කරලයි අපි ඉවත් වුණේ.
Q මෙගා පොලිස් යටතේ ඔබ මොනවද කරන්න යන්නේ?
අපි සහභාගීත්ව සංවර්ධනයක් කරන්නයි යන්නේ. බස්නාහිර පළාත තුළ නගර යායක් ලෙස, එකම පාසල් නගරයක් විදිහට අනාගත අභියෝග ජයගන්නටත් වර්තමාන නාගරීකරණයේ ප්‍රශ්න විසඳගන්නටත් හැකි විදියටයි සකස් කරන්නේ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ බස්නාහිර පළාතේ හැමතැනක්ම කොන්ක්‍රීට් වනාන්තරයක් හදනවා කියලා.
බස්නාහිර පළාත අපි නාගරීකරණ උරුමයන් හා සමාජ සංස්කෘතික උරුමයන් එලෙසම ආරක්ෂා කරගනිමින් තමයි සකසන්නට යන්නේ. වත්මන් නාගරීකරණයේ ප්‍රශ්න, දුගී පැල්පත්වාසීන්ගේ ප්‍රශ්න, ගංවතුර, කැළිකසළ ප්‍රශ්න වැනි ගැටලුවලට පිළිතුරු දෙන ගමන් මධ්‍යම පාන්තික ජනතාව මුහුණදෙන මාර්ග තදබදයට, දරුවන් පාසල්වලට දැමීම පිළිබඳ අර්බුද, රෝහල් ප්‍රශ්න, ඒ වගේම බෝ නොවන රෝග පිළිබඳ ගැටලු වැනි දේ විධිමත් විසඳුම් ලැබෙන පරිදි, රටේ අනාගත ආර්ථික වර්ධනයට, සමාජ සුරක්ෂිතභාවයට, සමානාත්මතාව රැකෙන පරිදි, මුළු රටම ආර්ථික කලාපයක් ලෙස දියුණුවීමට අවශ්‍ය තෝතැන්න බවට බස්නාහිර පළාත පත්වන ආකාරයට තමයි මේක සකස් කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ මූලික සැලැස්ම ජනවාරි 08 වැනිදා ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් එළිදක්වන්න.
Q කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කරන්න ගන්න තියෙන ලේසිම විසඳුම විදිහට ඇයි වාහනවල මිල ඉහළ දැම්මෙ?
ඒක අපේ තීරණයක් නොවෙයි. මුදල් අමාත්‍යාංශයේ තීරණයක්. පොදුවේ ගත්තොත් පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යාංශය හරහා එය ක්‍රියාත්මක වේවි.
Q කාලෙකට කලින් අදහස් ගැටුණු ඔබටත්, එ.ජා.ප.යටත් දැන් එකට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්ද?
එ.ජා.ප.යත් වෙනස් වෙලා තියෙනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම ඔවුන් අනුගමනය කළ ෆෙඩරල්වාදය අතහැරලා ඒකීයභාවයටත්, විවෘත වෙළෙඳ පොළ ක්‍රමය අතහැරලා සමාජ ආර්ථික වෙළෙඳ පොළ ක්‍රමයත් පිළිඅරන් තියෙනවා. වෛරයෙන් පිරිච්ච ශ්‍රී.ල.නි.ප.යත් එක්ක සාමූහිකත්වයෙන් වැඩ කරන්න එකඟවෙලා. මේක රටට අරන් දෙන්න අපි තමයි මැදිහත් වුණේ. නමුත් සමහරු තවමත් ගෝත්‍රික විදිහට පක්ෂ භේදයක් ගැන කතා කරනවා. උදේ හවස එ.ජා.ප.යට මහ ලොකුවට කෑගහන අය තමන්ගේ සොරකම් වහගන්න ඕන වුණාම, කරපු ඩීල් වහගන්න ඕන වුණාම රෑට ගිහිල්ලා හොඳට කතා කරනවා. අපි ඉන්නෙ ප්‍රතිපත්තිගරුක සම්බන්ධයක් එක්කයි.
Q යුද්ධය ඉවරවෙලා වසර 07 ක් යන තැනදිම මේ රටේ ආරක්ෂක ක්‍රියාවලියේ යම් යම් තැන් ලිහිල් කරන එක සාධාරණද?
කිසිසේත්ම නෑ. ආරක්ෂක අංශවල අනුමැතිය යටතේ පමණක් එය කළ යුතුයි. රටේ ආරක්ෂාව තමයි පදනම. ඒ ජාතික ආරක්ෂාව බිඳවැටෙන කිසිම තීරණයක් ගත යුතු නෑ.
Q මේ ආණ්ඩුවට තව අවුරුදු 05 ක් යන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව යනවා. නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ බිහිවෙනවා. 2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී.ල.නි.ප.යේ වික්ෂිප්තභාවයක් තිබුණා. දැන් එය දුරුවෙමින් තිබෙනවා. නීති පද්ධතිය වෙනස් කර හෝ නැවත වතාවක් ආණ්ඩුව පෙරළන්නට උත්සාහ දරමින් ඉන්න ජාවාරම්කාරයන් සියලු දෙනා නීතිය ඉදිරියට ගේන්න කටයුතු කරමින් ඉන්නවා.
Q මීට අවුරුද්දකට කලින් ඔබ ඇතුළු පිරිස ගල්ලෙන බිඳලා ඇරපු ලෙන් දොර තවමත් ඇරලාද?
ලෙන්දොර ඇරලා අපට අවශ්‍ය මිනිස්සු එළියට අරගෙන රටට අවශ්‍ය ආරම්භක ප්‍රහාරය දුන්නා. මේක නොනවතින විප්ලවයක්. ඒක ඉදිරියට ගෙන යා යුතුයි.
Q ඒ ඇරපු ලෙන් දොරින් තවත් දූෂිත පිරිස් ඇතුළට ඒවිද?
එහෙම ඉඩකඩක් තියනවා. එහෙම දේවල් වාර්තා වෙලත් තියෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

