ජල හිඟයක් අත ළඟ නම් වී වගාව කොයිබටද?
ජල හිඟයක් අත ළඟය. හාල් මිලද අර්බුදයකි. ගොවියාගේ කුසගින්න නිවා ගැනීමට ගොවියා දෙස බලා සිටින ජනතාවගේ මැසිවිල්ල නිසාම නියඟයට දොස් තබමුද? විධිමත් පියවර අනුගමනය කරමුද? මේ සම්බන්ධයෙන් බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තට මහත්මිය විසින් ඉකුත් 23 වැනිදා බෝඹුවල ප්‍රාදේශීය වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වූ දේශනයක් මෙලෙස පෙළගස්වමු.
2016/17 වසර උදාවූයේ වැහි ලකුණු පමා කරමිනි. කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයද මෙයට පෙර ජල හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳ පුරෝකථනය කර තිබිණි.
වී වගාවේ අර්බුදය
කලට වැසි නොලැබීම හේතුවෙන් මාස 4 - 4 1/2 ට වැඩි වයස් කාණ්ඩයේ වී වගාව ගොවීන් විසින් අත්හැර දැමූ අතර, මාස 3 1/2 වී වගාවද කළ හැකිදැයි සැක පළකළහ. ඔක්තෝබර් මාසයේ ලැබුණු වැස්ස අනුව ඇතැම් ගොවියෝ මාස 3 ½ වී වගාව ආරම්භ කළහ. පෙර සූදානමක් නොමැති වූ හෙයින් ගොවීහු කල් ඇතිව බිම් සකස් කරගෙන නොතිබූ නිසා ඇතැමුන්ට එයද කළ නොහැකි විය.
වල්නාශක භාවිතයද තහනම් නිසා ඒවා භාවිතයෙන් එතෙක් කළ ඉක්මන් වල් මර්දනය වැනි කටයුතුද සිදු නොවීය. වියළි කලාපයේ ජලාශවල ජල මට්ටම වගාවට ප්‍රමාණවත් නොවීය. එනිසා වියළි කලාපයේ බොහෝ ගොවියෝ වගාව අත්හැර දැමූහ. ගොවීන් වැඩි දෙනෙකුගේ ඉල්ලීම මාස 03 සහ මාස 2 ½ වී සඳහා වුවද, මාස 3 සහ 2 ½ වයස් කාණ්ඩයේ බිත්තර වී ප්‍රමාණය මුළු බිත්තර වී නිෂ්පාදනයෙන් 30%ක් පමණ විය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික සැලසුම් මධ්‍යස්ථානයේ දත්තවලට අනුව 2015/2016 මහ කන්නයේ දිවයිනේ වගා කළ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 756,005 කි. 2016/17 මහ කන්නයේ හෙක්ටයාර 808,579 ක් වගා කිරීම ඉලක්කය විය. එහෙත් 2016 නොවැම්බර් මස අවසාන වනවිට වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 326,781 ක් පමණක් විය.
සාමාන්‍යයෙන් ලංකාවේ වසරකදී යල හා මහ කන්න දෙකේම හෙක්ටයාර් ලක්ෂ 12 ක් පමණ වී වගා කරයි. එයින්ද හෙක්ටයාර ලක්ෂ 08 ක් පමණ මහ කන්නයේදීද, හෙක්ටයාර ලක්ෂ 04 ක් පමණ යල කන්නයේද වගා කරයි. වියළි කලාපයේ වර්ෂාපෝෂිත හා වාරිපෝෂිත යන ක්‍රම දෙකෙන්ම වී වගාව සිදුකළද වර්ෂාපෝෂිත තත්ත්වය යටතේ තෙත් කලාපයේ වී වගාව සිදු කෙරේ.
2016 නොවැම්බර් මාසය අග වනවිට ලංකාවේ ඉලක්කගත කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් වගා කර ඇත්තේ 40%ක් පමණි. එනිසා අප පළමුව කළ යුත්තේ එම වගා කළ බිම් ප්‍රමාණය රැකගැනීමය. එනිසා පොම්ප කිරීම හෝ ජලය ඉසීම මගින් හෝ ජලය ලබා දී වගා කළ කුඹුරු අස්වද්දාගත යුතුය. තෙත් කලාපයේ ගොවීන්ට නිතර වැසි ලැබෙන නිසාදෝ ඔවුන්ට ජල කළමනාකරණය පිළිබඳ එතරම් තැකීමක් නැත.
ජල කළමනාකරණය
එක් පසෙකින් කුඹුරු හරහා එන ජලය අනිත් පසින් බැස යයි. නමුත් මෙවැනි අවස්ථාවකදී අනවශ්‍ය පරිදි ජලය කපාහැරීම සිදු නොකළ යුතුය. එහිදී කුඩා වැටි මගින් කුඹුරේ ඇළ මාර්ගවල තැනින් තැන ජලය රඳවා තබාගැනීම මගින් ලැබෙන වැසි ජලය කළමනාකරණය කළ හැකිය.
ජල හිඟකම නිසා වියළි කලාපයේ වී වගා කළ හැකි කුඹුරු ඉඩම් ප්‍රමාණය සීමාසහිත වන මෙවැනි අවස්ථාවක තෙත් කලාපයේ ගොවියාට රටට බත සැපයීම වෙනුවෙන් ඇති වගකීම වැඩිය. තෙත් කලාපයේ වී වගාවේදී යකඩ මළ විෂවීම, පෝෂණ විෂවීම, ලවණතාව, පස් ආම්ලික වීම, වැලිමය අර්ධ වගුරුමය පාංශු තත්ත්වයක් පැවතීම වැනි ගැටලු පැවතියද හැකි සෑම කුඹුරක්ම තෙත් කලාපයේ ගොවීන් වගා කළේ නම් එය මහත් වූ අස්වැසිල්ලකි. එහෙත් අවාසනාවකට මෙවර තෙත් කලාපයේ අත්හැර දැමුණු කුඹුරු ප්‍රමාණය විශාලය.
වල් මර්දනය, කෘමි උවදුරු වැළැක්වීම
දැනට වගාකර ඇති කුඹුරු නියමිත පරිදි පොහොර යොදමින් යන්ත්‍ර මගින්, අතින් හෝ නිර්දේශය අනුව රසායනික ක්‍රම මගින් වල් මර්දනය කරමින් අවධානයෙන් රැකගැනීම වැදගත් වන්නේ මෙවැනි විශේෂිත දේශගුණික තත්ත්වයන්වලදී කෘමි පළිබෝධ හානියද වැඩිවීමේ අවදානමක් පවතින බැවිනි. විශේෂයෙන් පැළ මැක්කන්ගේ හානිය වැඩිවීමේ අවදානමක් ඇත.
මේ වනවිටත් රටේ ඇතැම් ප්‍රදේශවල ජල පහසුව ඇති ස්ථානවල ප්‍රමාද වී හෝ වී වගාව කරන ගොවි මහතුන් පළිබෝධ හානි අවම කරගැනීම සදහා බීජ ප්‍රතිකර්ම යොදා වී වැපිරීම කළ යුතුය. පළිබෝධකයෙකු නොවන පිට සුදු කීඩෑවා වැනි කෘමීන්ද අනපේක්ෂිතව වැඩී විශාල හානියක් සිදු කළ හැක. දුඹුරු පැළ කීඩෑවාගේ හානිය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එහිදී ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම අනුගමනය කළ හැකි අතර, හදිසියේ කෘමි හානි තත්ත්වයක් ඇතිවන්නේ නම් නිර්දේශිත මාත්‍රාවෙන් නිසි කෘමිනාශකයක් යෙදිය හැක.
බීජ හිඟය
පැරෂුට් ක්‍රමයට වී වගාවේදී මෙවැනි අවස්ථාවකදී වැදගත් වන්නේ දින 12-18 ක් වයසැති පැළයක් ක්ෂේත්රයේ ස්ථාපනය වන බැවින් අවශ්‍ය වන ජල ප්‍රමාණය අඩුවන හෙයිනි. එහිදී අක්කරයකට අවශ්‍ය බීජ ප්‍රමාණය කි. 8-12 ක් පමණ වෙයි. එය බීජ හිඟයට පිළියමකි. මෙම කන්නයේ වගාකර ඇති බිම් ප්‍රමාණය අඩු නිසා ඉදිරි 2017 යල සහ 2016/17 මහ කන්න සඳහා බිත්තර වී හිඟයක් ඇති විය හැකිය. දැනට පවතින අනාවැකි අනුව ජල හිඟයක්ද අපේක්ෂා කළ හැකිය.
කෙසේ වුවද ඇතිවන බිත්තර වී හිඟයට පිළියමක් ලෙස දැනට වගා කර ඇති ගොවියන්ට තම කුඹුරු කොටසක අස්වැන්න බිත්තර වී ලෙස සකස් කරගත හැකිය. එසේ වෙන් කරගත් ලියදිවල කලවම් වී ශාක තිබේ නම් ඒවා ගලවා ඉවත් කර, හොඳින් වල් මර්දනය කළ යුතුය. උසස් තත්ත්වයෙන් තමාම සකස් කරගත් බීජ හොඳින් ගබඩා කර කෘමීන්ගේ උවදුර අවම කරගැනීම සඳහා එම වී ගෝනිවලට දෙහිකොළ, කොහොඹ කොළ යෙදිය හැකිය.
අස්වනු හානිය
වගා වපසරිය අඩුවන විට වගාවට කුරුල්ලන්ගේ හානියද සිදුවෙයි. එනිසා එයට පියවර නොගන්නේ නම් වගාව කුරුළු පාලුවක් වනු ඇත. එසේම අස්වනු නෙළීමේදී ගොවියන් වඩාත් සැලකිලිමත් විය යුතුය. වී වගාවේදී 12%ක පමණ පසු අස්වනු හානියක් සිදුවන නිසා එය රැකගැනීමට ගොවියා උනන්දු විය යුතුය.
නව වී වර්ග
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට මාස 2 1/2 වයස් කාණ්ඩයේ වී වර්ග හතක් හඳුන්වා දී ඇත. එයින්ද බීජී 252 සහ එල්ඩී 253 වර්ග දෙක හඳුන්වාදුන්නේ 2016 දෙසැම්බර් 19 වැනි දිනය. එම ප්‍රභේද පහත පරිදි දැක්වෙයි.
බීජී 250 විශේෂය
අස්වැන්න නෙළීම සඳහා දින 85 ක කාලයක් ගතවන අතර, සහල් ඇටය සුදුපැහැ වටකුරුය. සාමාන්‍ය අක්කර අස්වැන්න බුසල් 90 කි. වියළි සහ තෙත් කලාපයේ වගා කළ හැකිය. දුඹුරු පැළ කීඩෑවාට හා කොළ පාළුවට මධ්‍යස්ථ ප්‍රතිවිරෝධීතාවක් දක්වයි.
බීජී 251 විශේෂය
අස්වැන්න නෙළීමට දින 75-80 ක කාලයක් ගන්නා අතර, සුදුපැහැ මධ්‍යස්ථ දිගැටි සහලකි. වර්ෂාපෝෂිත තත්ත්වය යටතේ අක්කරයට බුසල් 80 ක් වන අතර, වාරිපෝෂිත තත්ත්වය යටතේ බුසල් 100 ක් පමණ ලබාගත හැක. ප්‍රධාන කෘමි හා රෝග පළිබෝධීන්ට ප්රතිවිරෝධතාවක් දක්වයි. මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අඩු ජල තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාවයි.
බීජී 252 විශේෂය
අස්වැන්න නෙළීමට දින 85 ක කාලයක් ගතවන අතර, සුදුපැහැ දිගටි සහලකි. සාමාන්‍ය අස්වැන්න තෙත් කලාපයේදී අක්කරයට බුසල් 70-80 ක් පමණ වෙයි. වියළි සහ අතරමැදි කලාපවලදී අක්කරයට බුසල් 120-130 ක් පමණ වෙයි. බීජ අවපැහැ නොවන අතර ගොයම ඇද නොවැටේ. දුඹුරු පැළ කීඩාවාට සහ කොළ අංගමාරයට මධ්යස්ථග්රාහී වෙයි.
(බෝඹුවල ප්‍රාදේශීය වී පර්යේෂණ මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ - පර්යේෂණ එන්.පී.එස්. ද සිල්වා මහතා සැකසූ ලිපියක් ඇසුරෙනි.)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

