මේ දිනවල දිස්ත්‍රික්ක ගණනාවක මතුව ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 12ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කර තිබිණි.
මේ පසුබිම තුළ ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය සිදුකරන්නෙ කුමක්දැයි ජනතාව බලා සිටිති. මේ පිළිබඳ අදහස් දැනගැනීමට අප එම අමාත්‍යාංශයේ ලේකම් සරත් විතාන මහතා සම්බන්ධ කරගතිමු.
Q දැනට හටගෙන ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය සැපයීම සඳහා අමාත්‍යාංශය මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
ජල සම්පාදන අමාත්‍යාංශය ලෙස නළ මගින් ජලය සැපයෙන සෑම ප්‍රදේශයකම අවශ්‍යතාව අනුව පාලනය කරගෙන යනවා. එම ජල සැපයුම්වල ගැටලුවක් මතුව නැහැ. නමුත් නළ ජලය නැති ප්‍රදේශවලට නියඟය නිසා පානීය ජලය සම්බන්ධව ගැටලු ඇතිවී තිබෙනවා.
එම තත්ත්වයන්ට මුහුණ දී ඇති ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට කිසිම අයකිරීමකින් තොරව බවුසර් මගින් ජලය බෙදාහරිනවා. ඒ සඳහා ප්‍රාදේශීය ලෙකම්වරුන් සිදුකරන ඉල්ලීම්වලට අපි නිරතුරුවම ඇහුම්කන්දී තිබෙනවා. මීට අමතරව ප්‍රාදේශීය ජලසම්පාදන කාර්යාලවලින් අදාළ ප්‍රදේශවලට ජලය ලබාදෙමින් තිබෙනවා.
Q කුමන ආකාරයෙන්ද බෙදාහැරීම් කටයුතු සිදුවන්නේ?
අප විසින් සපයනු ලබන ජලය සම්බන්ධව ප්‍රධාන ගැටලුව තියෙන්නේ කුරුණෑගල, මහව ප්රදේශයටයි. එම ප්‍රදේශවලට දින දෙකක් පමණයි අපට ජලය ලබාදීමට හැකිව තිබෙන්නෙ. එයට දීර්ඝකාලීන විසඳුමක් විදියට තවත් බවුසර් කිහිපයක් අරගෙන ජලය බෙදාදීම ඉක්මන් කිරීම මේ සතියේ සිට ආරම්භ කරනවා.
අපට බවුසර් 40ක් පමණ තිබෙනවා. ඊට අමතර ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ආපදා කළමනාකරණ ඒකකවලට ලබාදී තිබෙන බවුසර් සියල්ල ගත්තාම බවුසර් එකසිය ගාණක් තිබෙනවා. දැනට ලංකාව පුරා ජලය බෙදාහැරීම් සිදුවන්නේ එම බවුසර්වලින් තමයි. එම ජලය බෙදා හැරීමේදී සපයනු ලබන දුර ප්‍රමාණය අනුව එක ප්‍රදේශයකට වාර 3ත්, 7ත් වශයෙන් බවුසර් මුදාහරිනවා. අවශ්‍ය නම් රාත්‍රී කාලයේ පවා ජලය ලබාදෙන්න සූදානම්. ඒ සඳහා පිරිපහදු කළ ජලය අපට තියෙනවා.
නියඟයට මුහුණ දී ඇති දිස්ත්‍රික්කවලට ජල බවුසර් 23ක් ලබාගැනීම සඳහා පසුගිදා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් අපි ඉදිරිපත් කළා. එම පත්‍රිකාව අනුමත වී පැමිණි පසුව මේ මාසය තුළදී අපි එම බවුසර් ප්‍රමාණය අරගෙන අවශ්‍ය ස්ථානවලට මුදාහරිනවා.
අපි නිරන්තයෙන් නියඟයට ලක්ව ඇති ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධවෙලා කටයතු කරනවා. දැනට පාසල් නිවාඩුව හේතුවෙන් පාසල්වලට ජලය අවශ්‍ය වීමක් නැහැ. නමුත් පාසල්වලට පානීය ජලය අවශ්‍ය අවස්ථාවලදී අපි පැහැර හැර නැහැ. මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරින් හා සේවකයින් ලබාදෙන සහය මතක් කළ යුතුයි.
Q නමුත් ඇතැම් ප්‍රදේශවලට ප්‍රමාණවත් පරිදි ජලය බෙදාහැර නැති බවට ජනතාව චෝදනා කරනවා?
ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී අප නිතරම උත්සාහ කරනවා දිවා, රාත්‍රී ජලය ලබාදීම සඳහා. සාමාන්‍යයෙන් වැඩි වශයෙන් අපි දිවා කාලයේ තමයි ජලය බෙදාගෙන යන්නෙ. අත්‍යවශ්‍ය වන ආකාරය අනුව රාත්‍රී කාලය දක්වා සේවාව දිගු කරනවා.
පසුගිය පොහොය දක්වා මහනුවර සහ කතරගම ආගමික උත්සව තිබුණා. එම ප්‍රදේශවලට වැඩි බවුසර් ප්‍රමාණයක් යෙදවීමට සිදුවුණා. දැන් එම උත්සව අවසන් නිසා එම ජල බවුසර් නියඟයට පත් ප්‍රදේශවලට අපට යොදවන්න පුළුවන්.
Q මේ අවස්ථාව වනවිට පානීය ජලය අඩුවක් නැතිව ලබාදෙන බවට සහතික වන්නේ කෙසේද? සමහර ප්‍රදේශවල ජනතාව තවමත් පවසනවා බවසර් දුටුවේ නැති බව? ජලය ගෙන ඒම සඳහා ඔවුන් කිලෝමීටර් ගණන් දුර යන බවත් කියනවා?
අපි සෑහීමකට පත්වෙනවා දැනට අවශ්‍ය ජලය බෙදාහැරීම ගැන. රෝහල්, විහාරස්ථාන වැනි ජනතාව නිතර ගැවසෙන ස්ථානවල කිසිම ගැටලුවක් මේ දක්වා ඇති වී නැහැ. ජලය පිළිබඳ ඉල්ලීමක් ලද වහාම සැපයිය හැකි ජාලයක් අපට තියෙනවා. බවුසර් මටට්මින් ලබාදෙන ජලය කළමනාකරණය කරගැනීමට හැකිව තියෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන එම ජාලය නිසයි. ජනතාවට ජලය ගබඩා කරගැනීම සඳහා යුනිසෙෆ් ආධාර යටතේ ජල ටැංකි ටිකක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව ජනතාව විසින්ම ගම්මානවලට ජලය සැපයීමේ මාර්ග ඇතිකර ගෙන තිබෙනවා. අප සතුව තිබෙන ප්‍රජා ජල දෙපාර්තමේන්තුව විසින් එම ස්ථාන අධීක්ෂණය කරනවා. ප්‍රජා මූල සංවිධානවල අවස්ථා දෙකක හැර ජල හිඟයක් අපට වාර්තා වෙලා නැහැ. ඒ අය පුළුවන් විදියට පාලනය කරමින් කටයුතු කරනවා.
Q දැනට තිබෙන බවුසර් ගණන ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද? මීට වඩා බවුසර් ප්‍රමාණයක් රජයට මිලදී ගන්න හැකියාව තිබේනම්, ජනතාවගෙන් චෝදනා එල්ල වෙන එකක් නැහැ නේද?
කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන ප්‍රමාණය ලැබෙන කොට ප්‍රමණවත් වේවි කියලා අපි හිතනවා. ඒ කෙසේ වෙතත් ඉල්ලුම් කරන ජල ප්‍රමාණය ලබාදීමට තවමත් අපට හැකියාව තිබෙනවා. එය සතුටට කරුණක්.
Q ජල සම්පාදන මණ්ඩලය මුදල් ලබාගෙන බවුසර් මගින් ජලය ලබාදෙනවාද? ජනතාව එවැනි චෝදනාවකුත් කරනවා?
අපි සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ජලය ලබාදෙන්නෙ. නමුත් පෞද්ගලිකව මුදල් අයකර ගෙන ජලය ලබාදෙන බවට අපට වාර්තා වී තිබෙනවා. විවිධ පුද්ගලයන් පෞද්ගලික ට්‍රැක්ටර් මගින් ඒ විදියට මුදල් අයකරමින් ජලය බෙදාදෙන බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ වගේම පිරිසුදු කරලා ජලය මුදලට විකුණන බවටත් වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී ජලය ඉතා වටිනා බැවින් එසේ බෙදාහරින ජලය පාලනය කිරීම සුදුසු නැහැ කියලා අපි හිතනවා. තිබෙන තත්තවය මත ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ජලය පමණයි. පසුව එවැනි පුද්ගලයන් දිහා අපට බලන්න පුළුවන්.
Q අලුතින් ජල පොම්පාගාර ඉදිකිරීමට සහ දැනට තිබෙන ජල පොම්පාගාර දියුණු කිරීමට ඇති සැලැස්ම කුමක්ද?
අපි ගිය සතියේදී මාතර දිස්ත්‍රික්කයේ විශේෂ ජල ව්‍යාපෘතියක් ආරම්භ කළා. එය සැලසුම් කළේ 2046 වනවිට පවතින ජල අවශ්‍යතාව සම්පූර්ණ වන විදියට. දැනට ජල පාරිභෝගිකයෝ 285000ක් ඉන්නවා. එම ප්‍රමාණය දෙගුණයක් වේවි කියලා අපි හිතනවා.
මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ජල අවශ්‍යතාව සම්පූර්ණ වන විදියට නිල්වලා ගඟ හරස් කරලා වැඩසටහන් ඇතිකිරීමට සැලසුම් කර තිබෙනවා. එවැනි ව්‍යාපෘති අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල හාලිඇළ දෙමෝදර සිදුකරනවා. ඒ වගේම අඹතලේ වගේ තවත් ව්‍යාපෘති දෙකක් හදාගන්න අපි උත්සාහ කරනවා. අවශ්‍යතාවක් වනවිට ජලය රැස්කර තබාගෙන ජනතාවට බෙදා දෙන්න එමගින් හැකිවේවි.
Q ඒ සඳහා ගෙන ඇති පියවරයන් මොනවාද?
දැනට හැඩඔය, මීඔය හා වැලිවිට ජල යෝජනා ක්‍රමය සඳහා පාරිසරික අධ්‍යයන කරගෙන යනවා.
Q සෑම වසරකම නියං කාලයට මතුවන මෙවැනි ගැටලුවලට ස්ථිර විසඳුමක් දෙන්න අමාත්‍යාංශයට හැකියාවක් ඇතැයි විශ්වාසයක් තිබෙනවාද?
අපි පානීය නළ ජලය සපයන්නේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලට. එම අවශ්‍යතා අපි හැමවිටම පාලනය කරගෙන තිබෙනවා. නියඟය සමග සම්බන්ධ වෙන්නේ ළිං වැනි ස්වාභාවික ජලය ලබාගන්නා ස්ථානයි. නළ ජලය සපයන නාගරික ප්‍රදේශවලට නියඟ‘යේ බලපෑම පාලනය වෙලා තිබෙනවා. ළිං සිඳී ඇති ප්‍රදේශවලට තමයි අපි බවුසර් මගින් ජලය ලබාදෙන්නෙ.
Q නියඟය පවතින දිස්ත්‍රික්කවලට පානීය නළජල ව්‍යාපෘති ආරම්භ කරන්න රජයට සැලැස්මක් තිබෙනවාද?
නළජල ව්‍යාපෘති සිදුකිරීමේද පාරිභෝගිකයාට සාධාරණයක් කරන්නත් ඕන, ජලය දෙන්නත් ඕන, ඒවා ඔරොත්තු දෙන මට්ටමේ ව්‍යාපෘති වෙන්නත් ඕන. එවැනි ව්‍යාපෘති දැන් සැලසුම් කරගෙන යනවා.