ආගමේ හරය වන දර්ශනය නැත්නම් බුද්ධාගම තිබුණට පමණක් මදි
නිර්මල බුදුදහම විකෘති කරවන දේශනා ඇවතුම්-පැවතුම් පිළිබඳ සමාජය තුළ කතිකාවතකි. එහෙම වන්නේ ඇයිද යන පැනය බෞද්ධයන්ට සහ බුදුදහමේ හරය සොයා යන්නන්ටද අර්බුදයක් වූ යුගයකට පත්වෙමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අංශයේ විශ්‍රාමික මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරළ මහතා සමග 'අද' කෙරෙන මත විමසුමකි.
Q ජ්‍යෝතිෂය සහ බුදුදුහම ගැළපෙනවාද?
ජ්‍යෝතිෂය, නැකත් භාවිතයේදී අප අනවශ්‍ය තැනක රැඳී සිටිනවා. ඒ කියන්නේ වුවමනාවට වඩා අතාර්කික දේට යොමු වෙනවා. ජනමාධ්‍ය බලන්න. ඒවායේ වැඩි පිටු ගණනාවක් හෝ කාලයක් යොදවන්නේ එවැනි දේ ජනතාවට සමීප කර දෙන්නයි. ලග්න පලාපලවලටත්, රාහු කාලයටත්, මරු සිටින දිසා හෝ නැකැත් වේලාවන් වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ජනතාවගේ අවධානයට ලක් කරවනවා. ඒ අතර තවදුරටත් යම් යම් ඇදහිලිවලටත් අනවශ්‍ය ආකාරයෙන් පෙළඹවීමක් ඇති කරවනවා.
බුදුහිමි දේශනා කළේ 'අප්පමාදෝ අමතපදං පමාදො මච්ඡුනෝ පදං^ කියලයි. හැබැයි අපි හැමදාම නිදි යහනෙන් නැඟිට ගත් මොහොතේ සිට මරු සිටින දිසාවන්, රාහු කාලය අනුව අපේ කටයුතු හිතාමතා පමා කරනවා නම් අපි කාර්යක්ෂම වන්නේ කවදාද? අපේ වගකීම් ඉටුකිරීමට අපි කැප වෙන්නේ කොහොමද?
Q ඔබ ආගම සමග දර්ශනය ගැන කතා කරනවා. ඒ දර්ශනය ගැන පෙරවදනක් කළොත්?
දැන් අපි දර්ශනය අමතක කර ආගම මත යැපෙන සමාජයක් බවට පත්වෙලා. එතැන රැඳෙමින් ඇදහිලි විශ්වාසවලට මුල් තැන දෙනවා. ආගම සහ දර්ශනය කියන්නේ දෙකක්. බුදුදහම තුළ මේ දෙකම තියෙනවා. වෙනත් ආගම්වල මේ ලක්ෂණය දකින්න අමාරුයි. දර්ශනය කියන්නේ නිවැරදි දැක්මයි. එයින් පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවරය, විනය ගොඩනැගෙනවා. ඒ හේතුවෙන් යහපත් මාර්ගයකට යොමු වෙනවා.
ආගම කියන්නේ වෙනත් දෙයක්. ආගම නමින් එය පදනම් කර ගනිමින් තවදුරටත් එය පවත්වාගෙන යාම සඳහා සංස්ථාවක් බවට පත්වෙනවා. ඒක තමයි පන්සල කියන්නේ.
Q එහෙම නම් මේ දෙක වෙනස්ද? දුරස්ථද? සමීපද? සමානද?
ලංකාවේ බෞද්ධ දර්ශනයට පවතින ප්‍රධාන බාධකය නම් ආගමේ හැසිරීමයි. බෞද්ධ දර්ශනයේ ඇති මූලික පිළිගැනීම් අමු අමුවේම වළක්වා ගැනීමට මෙම සංස්ථාවන් බොහෝ විට බොහෝ තැනක කටයුතු කර තිබෙනවා.
ප්‍රවේශය ගනිමු. බුදුහිමි කුලය බැහැර කළා. ඒ නිසා සැඩොල් කුලයේ සෝපාක, සුනීත වැනි අයටත්, රාජ වංශයේ රාහුල හිමියන්ටත් සමාන අවස්ථාව ලබාදුන්නා. නමුත් අද කුලය පදනම් කරගෙන නිකාය ස්ථාපනය වී ඇතැයි චෝදනාවක් තියෙනවා.
Q විවිධ ආගමික වැඩසටහන් නිතර ජනගත වෙනවා. මේවායේ සැබෑව කුමක් විය හැකිද?
ආගම සහ පන්සල විසින් ඇදහිලි මෙන්ම විශ්වාසයන් තුළ ජනතාව සිරකර තිබෙනවා. තරගකාරී බණ ගැන හිතන්න. හැමතැනම ප්‍රදර්ශනය කරවන පුවරුවල තියෙන එක එක රූපවාහිනී වැඩසටහන් මගින් පන්සල සහ චරිත පිම්බීමට ගන්නා උත්සාහය බලන්න. ජනතාවට පෙන්වන අනගි ධර්ම දේශනා ගැන හිතන්න. ඒවායේ බුදුහිමි වදාළ දර්ශනය නැහැ. බුද්ධාගම තියෙනවා. නිවන හෝ සසර කෙටි කිරීම වැනි දර්ශනය වෙනුවට තව තවත් තණ්හාව, මෝහය ඇති කරවන දේ විකාශය වෙනවා. බුදුන් වහන්සේ දේශනා කළ අනගි ධර්ම දේශනා මොනවාද?
Q අද බුදුදහම සමග විවිධ පූජා, විශ්වාස සම්බන්ධ කිරීමේ උත්සාහයක් පෙනෙන්නට තිබෙනවා. මෙහෙම වන්නේ ඇයි?
අද විවිධ ඇදහීම්, වත්පිළිවෙත් ආගම තුළට පැමිණ තිබෙනවා. සරල උදාහරණයක් හැටියට මල් පූජා කිරීම හිතන්න. ඒ සඳහා කියන ගාථාවවත් හරියට නිවැරදිව තේරුම් ගෙනද ඇතැමුන් මේ පූජාවන් කරන්නේ. අනික ඒ පූජාව තුළත් බුදුහිමි යම් දර්ශනයක් පෙන්වනවා. මල් පිපීම සහ පරවීම කියන තැන ජීවිතයේ අනිත්‍ය බව සංකේතවත් කරනවා. එයින් ජීවිතයේ අනිත්‍ය බව වෙනුවෙන් දක්වන විවරණය විශාලයි. පහනක් පත්තු කර පවසන්නේත් ආලෝකය සහ එය නිවී යාම තුළින් ජීවිතය පිළිබඳ විවරණයක්. නමුත් අද ඇසෙන්නේ විවිධ මල්පහන් පූජාවන් ගැන නම් එතැන් බුද්ධ දර්ශනය තියෙනවාද? දහස්පෙතියා, නිල් මහනෙල්, සමන්පිච්ච මල් මෙතරම් යැයි ප්‍රමාණාත්මකව පූජා කළ පමණින් මේ දර්ශනය යථාර්ථයක් බවට පත්වෙනවාද? ජනතාවට භික්ෂූන් වහන්සේලා ඉගැන්විය යුත්තේ මේ අනිත්‍ය සහ නැසෙන සුලු බව හෝ එහි යථාර්ථයයි.
Q අතිවිශාල බුදුපිළිම ඉදිකරනවා. දැවැන්ත චෛත්‍ය ඉදිවෙනවා. දායකයා පන්සලේ ප්‍රාණ ඇපකාරයන් බවට පත්කර ගන්නවා. ඒත් ඒවා ඉදිකළ පමණින් මේ බුද්ධ දර්ශනයට නිසි වටිනාකමක් ලැබෙනවාද?
එතැන ඇත්තේ තරගයක් පමණයි. ඒකත් ව්‍යාපාරයක්. අතමිට තියෙන අයගේ එකතුවක්. එය කුසල් හෝ පින නෙවෙයි. බුද්ධ ධර්මයත් නොවෙයි. නමුත් ආගම කියන දේ එයින් සංකේතවත් කරනවා. මෙවැනි දේ අරමුණු දෙකක් සඳහා ඉවහල් වෙනවා. පළමුවැන්න එයින් ලැබෙන ලාභයයි. දෙවැන්න හිත් පිනවීමයි.
මිනිසා ගුණාත්මකව සංවර්ධනය වන්නේ මෙවැනි විශාල දර්ශන ඉදිරියේ නොව සැබෑ බුද්ධ දර්ශනය හිතට කාවැදීම තුළයි. දේශපාලකයන්ගේ අත්වල ගැට ගසා තිබෙන නූල් වර්ග බලන්න. විවිධ නූල් මිටි ගණන් තිබෙනවා. භික්ෂූන් වහන්සේලා කළ යුත්තේ දේශපාලකයා තුළ විශ්වාසය ඇති කරවීමයි. ජනතාව තුළ තමන් කරන කියන දේ පිළිබඳ වගකීම, විශ්වාසය ඇති වන තැනට මග පෙන්වීමයි. ඇත්ත ඇති සැටියෙන් බුද්ධ දර්ශනයට අනුකූලව වටහා දීමයි. ඒක ආගමෙන් වෙනවාද කියන ප්රශ්නය තියෙනවා.
Q තාක්ෂණය මෙයට වගකිව යුතුද?
අද තාක්ෂණය ගැන හිතන්න. එය අපට සමීප වුණේ අපේ සංවර්ධනය වෙනුවෙන්. ජාතික සහ මානව අවශ්‍යතා වෙනුවෙන්. එයින් ගත හැකි අනුබලය හිතන්න. නමුත් ඒ තාක්ෂණය තුළින් අප කරන්නේ ඒ යථාර්ථය සොයා යාමක්ද? ඒ වෙනුවට අන්ධ විශ්වාසයන්, භක්තීන් හෝ ඇදහීම් ප්‍රවර්ධනය කර දෙන ආකාරයට ඒවා භාවිත වීම පසුපස යාමද කියන දේ සිතිය යුතුයි. එහෙමනම් සංවර්ධනය සහ තාක්ෂණයේ ප්රවණතා යනුවෙන් අපි තවමත් මෝහයෙන් ජීවත්වන පිරිසක් ලෙස අතරමං වෙලා නේද? භාවිතය අනුව පන්සලට සිදුවී තිබෙන්නේ කුමක්ද? මිනිසා ආගම තුළ මුළාවී ආගම නමින් කරගෙන යන දේ තවදුරටත් ආගම වශයෙන් විවිධාකාරයෙන් නිර්මාණය කර ගනිමින් සිටිනවා. වාණිජ රැල්ලට ඉස්සෙල්ලාම අසුවී තිබෙන්නේ පන්සලයි. බණවලට සාහිත්‍යයක් නිර්මාණය කරගෙන තියෙනවා. සමහර තැන්වල කියන්නේ ඇත්ත බණද කියන ප්රශ්නය ජනතාවටත් තියෙනවා. මිනිසුන්ට සිතීමට දේ වෙනුවට බණ දේශනාව සාහිත්‍යකරණය වෙනවා. බණ තුළින් කිවයුත්තේ බුද්ධ දර්ශනයයි. ඒක එහෙම වෙනවාද කියන ප්රශ්නය තියෙනවා. බුදුන් සමයේ තිබුණු ආගම් අනුව හින්දු හෝ වෙනත් ආගම්වලින් කරපු දේ අද සමහර පන්සල්වලින් කරනවා. බුදුන් වහන්සේ උත්සාහ කළේ බමුණු මත සහ වැරදි ආකල්ප සමාජයෙන් ඉවත් කිරීමටයි. සසර මග කෙටි කර ගැනීමටත්, නිවන් දැකීමට අනුබලයක් වෙන්නේත් එතැනයි. ඒක අද පන්සල්වලින් වෙනවාද? ගුරුකම්, කට්ටඩිකම් කරන තැනට ඇතැම් තැන් පත්වෙලා. බෞද්ධ දර්ශනය තුළ පවතින හික්මීම සහ පැවැත්මට අදාළ චර්යා ධර්මයන්, විනය වැනි දේ සඳහා මගපෙන්වීමට ආගමික ආයතන ශක්තිමත් විය යුතුයි. එතැන බිඳෙන විට ජනතාව අසරණ වෙනවා.
Q භික්ෂූන් වහන්සේලාට දේශපාලනය අකැපද?
භික්ෂූන් වහන්සේලා දේශපාලනයට අත ගැසීම සීමා විය යුතුයි. අද පවතින වාතාවරණය අනුව භික්ෂූන් වහන්සේලා අතර කාකොටා ගන්නා තැනට සංඝ ශාසනය පිරිහී යනවා. විවිධ ගැටුම් නිර්මාණය වෙනවා. දේශපාලනය දේශපාලකයන්ට පවරා භික්ෂූන් වහන්සේලා බුද්ධ දර්ශනය ව්‍යාප්ත කිරීම සහ එයට පවතින බාධකවලට විසඳුම් සොයා යුතුයි.
මම මෑතකදී කළ නිරීක්ෂණයක් කියන්නම්. ගතවූ අවුරුදු දෙක තුන තුළ වැඩියෙන්ම අන්තර්ජාලය තුළ කියැවුණේ 'සෙක්ස්' කියන වචනයයි. ඒ වගේම මම හිතන හැටියට මේ වන විට අන්තර්ජාලයේ පවතින අනෙක් යුගල පදය බවට මන්ක් ඇන්ඩ් වයලන්ස් යන වචන දෙක පැහැදිලි වෙනවා.
හැමතැනම ගැටුම් අර්බුද නිර්මාණය වන විට එතැන සංඝයා වහන්සේලා ඉන්නවා නම් බුද්ධ දර්ශනයට මොකද වෙන්නේ? රෝහින්ග්‍යා සරණාගතයන් ගැන හිතන්න. එතැනත් ඒ බව තහවුරු වුණා. හාමුදුරුවරු ඉස්සර කරගෙන ඇතැමුන් හැම තැනකදීම අරගලවලට යනවා.
ඒ බුද්ධාගම පැත්තෙන්. නමුත් දර්ශනය පැත්තෙන් බුදුන් වහන්සේ දේශනා කළේ වෙනත් දෙයක්. ඒ දර්ශනය ඉහත සිදුවීම් තුළ නැහැ. බුදුන් වහන්සේට රටක් නැහැ. සීමා මායිම් නැහැ. උන්වහන්සේ ලෝකයටම අයිතියි. එහෙමනම් උන්වහන්සේගේ දර්ශනය අනුව හැම රටකම ජනතාවට ඒ දර්ශනයේ පිළිසරණ අවශ්‍ය විට ලැබිය යුතුයි. බිය, කුසගින්න, ආරක්ෂාව කොයි රටක ජීවත් වුවත් ඒ පුද්ගලයාට අවශ්‍ය බව බුද්ධ දර්ශනය තුළ දේශනා කර තිබෙනවා. රෝහින්ග්‍යා සිදුවීමේදී හැසිරුණු ආකාරය සිතන්න. එදා බුදුන්වහන්සේ වැඩ විසූ පන්සලට එහා පැත්තේ මස් මරන්නෙකු වූ චුන්දසූකර සිටියත්, උන්වහන්සේ එයා එතැනින් එළවා දැමීමට උත්සාහ කළේ නැහැ. උන්වහන්සේ පොලිස් බලතල හෝ නීතිය අතට ගත්තේ නැහැ. බුද්ධ දර්ශනය එතැනයි.
දළදා මාලිගාව ඉදිරියේ වරක් එක් භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගත්තා. ජීවමාන බුදුහිමියන් වැඩ වෙසෙන එවැනි තැනක ඒ දේ සුදුසුද යන තර්කය තිබෙනවා.
අද පන්සල් ගැන ජනතාව කතා කරන්නේ සුපිරි පන්සල් හෝ ගොඩනැගිලි ගැනයි. නැත්නම් හැමදේටම පන්සලට සල්ලි එකතු කිරීම සඳහා යොදාගත් වැඩසටහන් ගැනයි. එහෙමත් නැත්නම් උත්සව, වාහල්කඩ, බෝධි ප්‍රකාර, පිළිම ඉදිකිරීම්, මල් පහන්වැට සෑදීම්වලට මුදල් එකතු කිරීම ගැනයි. පන්සල තුළ තරගයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙම තැනක බුද්ධ දර්ශනය තියෙනවාද? මේවාට මුදල් ගෙවීමට නොහැකි මිනිසුන් පන්සලෙන් ඈත්වෙනවා.
බුදුන් වහන්සේ ආත්මවාදී නැහැ. ඒත් උන්වහන්සේගේ අනුගාමිකයන් කියන ඇතැම් භික්ෂූන් වහන්සේලා පිරිසක් ව්‍යාපාරිකයන් බවට පත්වෙනවා නම් එතැන ආගම තිබුණට ආගමේ හරය වන බුද්ධ දර්ශනය නැහැ.
ගඩොල්, සිමෙන්ති, කම්බි බරපැන දැරීම දායකයක්ට පැවරිලා. ඒවා විගණනය වන්නේ නැහැ. එතැන තියෙන්නේ පන්සල වටා එක්රැස් වූ අනුගාමිකයන් කීපදෙනෙකු පන්සල ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යාමක්. ඒ සඳහා අනුන් වෙතද මෝහය පතුරවනවා. ඒවා බුද්ධ දර්ශනයට එකඟ නැහැ.
Q පන්සලෙන් සිදුවන සදොස් දේ හඳුනා ගත්තද ඒවා ප්‍රතික්ෂේප කළොත් සමාජ අපවාදයක් එයි යන බිය ගිහියන්ට තිබෙනවා. එහෙම වෙනකොට?
සමාජ අපවාදය කෙරෙහි මිනිසුන් බයයි. නමුත් අපි මරණයටවත්, පාංශුකූලයටත් නැතැයි යමෙකු පන්සල ගැන පමණක් සිතා පවසනවා නම් ඒක ප්‍රාණ ඇපකාරයන් බවට පන්සල විසින් දායකයන් පත්කර ගැනීමේ අපරාධයක්. ආගම මගින් තමන්ට යමක් ලබා ගැනීමට යොදාගැනීම හෝ ඒවාට අවනත නොවන අයට අවලාද, අපවාද නැගීම හෝ නොසලකා හැරීම බුද්ධ දර්ශනයට අදාළ නැහැ.
Q ආගමෙන් යමක් වෙලා නැහැයි කිව හැකිද?
එහෙම ඇසීමට පෙර මෙහෙම හිතන්න. ආගම කියන දෙයින් සැබෑ සේවයක් වෙලා නම් අපේ රටේ හැමදාම මේ තරම් අපරාධ, මිනීමැරීම් ගැන ඇහෙයිද? ස්ත්‍රී දූෂණ දේශපාලකයන් සහ නායකයන්ගේ වංචා ඇසෙයිද? සියදිවි නසාගැනීම්, හොරකම් ඇසෙයිද? බියෙන් සැකයෙක් තොරව ජීවත්වීමට බැරි යැයි සමහරු අවලාද නගයිද? ඒ බුද්ධ දර්ශනයේ අනුබලය ජනතාවට නිසි ආකාරයෙන් ලබානොදීම නිසා නේද? දර්ශනයක් නැති තැනක ආගමට කළ හැකි සැබෑ මැදිහත්වීමක් නැහැ.
ආගම ලෞකික වෙලා. තරගකාරී සමාජයක දර්ශනයක් පවත්වාගෙන යාම අපහසුයි. ආගම පැවැත්ම සඳහා මුදල් සෙවිය යුතුයි. බෞද්ධ ප්‍රදර්ශනය තුළ සමානාත්මතාව අපේක්ෂා කළ හැකියි.
සමාජවාදී රටවලට බුද්ධ දර්ශනය ගැළපෙයි. ධනවාදය ගැන කතා කරන රටවලට ඒක අමාරු දෙයක්. එතනදි දර්ශනය තුළින් සමානාත්මතාවත්, ආගම තුළින් ධනවාදී සමාජයක්ද පවත්වාගෙන යාමේ ස්වරූපයක් පවතිනවා. ඒ කිව්වේ ආගම නමින් තමාට ධනය උපයා ගැනීමේ හැකියාව තියෙනවා. බුද්ධ දර්ශනය එහෙම නෙවෙයි. එයට වඩා වෙනස්. මේ වෙනස දකිනතුරු නිර්මල බුදුදහම සහ එහි දර්ශනයට නිසි වටිනාකමක් ලබා ගැනීම අපහසුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

