අෙප් උරුමය ලොවට හෙළිකළ පඬිරුවන මහාචාර්ය සෙනරත් පරණවිතාන
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා නොවන්නට අපට කිසි ලෙසකින් හෝ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් පිළිබඳ සිතන්නට හැකියාව නොලැබෙන්නට තිබිණි. සදාකල් සැඟව යෑමට තිබූ අපගේ උරුමයන් රැසක් ලොවට නිරාවරණය කරමින් එතුමා කළ සේවයට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම ණයගැතිය. පසුගිය 26 වැනිදාට යෙදුණු මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ 121 වැනි ජන්ම දිනය නිමිත්තෙන් හිටපු පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ සිරිසමන් විජේතුංග මහතා සමග මෙම සටහන ගෙන එනුයේ පරණවිතානයන්ගේ අනුපමේය සේවයෙන් බිඳක් පාඨක ඔබ හමුවේ තැබීමටය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා තමයි මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා කියන්නේ. එතුමා උපත ලබන්නේ ගාලු දිස්ත්‍රික්කයේ මැටරඹ ගම්මානයේදී 1896 දෙසැම්බර් 26 වැනිදා. ඔහු සිංහල, සංස්කෘත සහ පාලි කියන භාෂා ත්‍රිත්වය හොඳින් ප්‍රගුණ කළේ පන්සලේ පිරිවෙනෙන්. ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළේ ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුර. %සිංහල තරුණයා^ කියන සංගමයකින් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පවත්වනු ලබන විභාගයකින් ඉහළම ලකුණු ලබාගන්න සමත් වූ පරණවිතාන තරුණයාට ඒ සංගමය විසින් ත්‍යාගයක් විදියට %EPIGRAPHIA ZEYLANIC^ කියන ඉතිහාස ග්‍රන්ථය ලබාදෙනු ලැබුවා. මේ ග්‍රන්ථය තමයි සෙනරත් පරණවිතානයන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙන්නේ.
1922 වසරේදී සිංහල විෂය සම්බන්ධයෙන් උපගුරුවරයෙකු වශයෙන් ගුරු සේවයේ නියුතු වෙලා හිටපු සෙනරත් පරණවිතාන මහත්මයා එක්තරා පුවත්පතක තිබුණු දැන්වීමක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලාලේඛන සහකාර තනතුරට ඇබෑර්තුවක් ඇති බව දැනගෙන ඒ සඳහා ඉල්ලුම් කළා. ඒ වෙනකොට පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරුවේ ඉංග්‍රීසි ජාතික ඒ.එම්. හෝකාර්ඩ් මහත්මයා. ඔහු පුදුම වුණා සෙනරත් පරණවිතාන මහත්මයාට සිංහල, සංස්කෘත, පාලි සහ ඉංග්‍රීසි කියන භාෂා පිළිබඳ තිබුණ දැනුම සම්බන්ධයෙන්. ඒ අනුව ඔහු පරණවිතාන තරුණයාව සේවයට බඳවා ගෙන ශිෂ්‍යත්වයක් ලබාදීලා ඉන්දියාවට යැව්වා පුරාවිද්‍යා සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩිදුරට හදාරන්න. වසර 03ක කාලයක් එහි අධ්‍යාපනය සම්පූර්ණ කරලා නැවත ලංකාවට ආපු එතුමා, ශිලා ලේඛන සහකාර තනතුරේ වැඩ බාරගෙන තමන්ගේ සේවය ආරම්භ කළා.
මේ අතරවාරයේ 1934 වසරේදී ඔහු තමන්ගේ පළමු කෘතිය සම්පාදනය කළා %STUPA IN CEYLON^ නමින්. ඔහු ඒ සෑම දෙයක්ම කළේ ඉතාමත් තරුණ වයසකදී. ඒක දැන් සිටින තරුණ පරපුරටත් හොඳ වැදගත් ආදර්ශයක්. මේ කෘතිය අධ්‍යයනය කරපු ඕලන්දයේ 'ලේඩ්න්' විශ්වවිද්‍යාලය සෙනරත් පරණවිතාන මහත්මයාට ආචාර්ය උපාධියක් පිරිනමන්න කටයුතු කළා. මේ විදියට වර්ෂ 1940දී ආචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා ශ්‍රී ලාංකික ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් පත්වෙලා 1956 වසර වෙනකම් වැඩකටයුතු කළා. ඒ වසර 16 තුළ මෙරට ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය ලෝකයට නිරාවරණය කරන්න එතුමා විශාල වැඩ කොටසක් ඉටුකළා. මුල් කාලයේදී ජේතවනාරාම දාගැබ අභයගිරි දාගැබ විදියටත්, අභයගිරි දාගැබ ජේතවනාරාමය ලෙසත් පටලවාගෙන තිබුණා. සාක්ෂි සහිතව ඒ පැටලීම නිවැරදි කරන්න කටයුතු කළේ සෙනරත් පරණවිතාන මහත්මයා. ඒ වගේම දක්ඛිණ විහාරය සහ එළාර සොහොන සම්බන්ධයෙන් තිබුණු ගැටලුවත් ඔහු විසඳුවා. එතුමා කරපු විශාලම කටයුත්ත තමයි සීගිරි කුරුටු ගී ලේඛනගත කිරීම. එතුමා ලංකාව පුරාම ගිහිල්ලා ගවේෂණ කටයුතු කරලා අපේ සැඟවිලා තිබූ උරුමයන් රාශියක් මතුකර ගෙන ඒවා සංරක්ෂණය කරමින් පාලන වාර්තාවලටත් ඇතුළත් කළා.
මේ විදියට සිංහල බෞද්ධ උරුමය හොඳින් අවබෝධ කරගෙන රටට විශාල සේවයක් කරලා එතුමා 1956 වර්ෂයේදී විශ්‍රාම ගියා. ඒ සමගම එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරපු නිකලස් ආටිගල මහත්මයා සහ පාලක මණ්ඩලය ආචාර්ය සෙනරත් පරණවිතානයන්ට විශේෂ ආරාධනාවක් කළා විශ්වවිද්‍යාලයේ තිබෙන ඉතිහාසය අධ්‍යයනාංශය බාරගන්න කියලා. එතුමා බොහෝම සතුටින් ඒ ආරාධනය බාරගෙන 1957 දී ඒ අධ්‍යයනාංශයේ ප්‍රධානියා විදියට කටයුතු කළා. ඒ අතරවාරයේදී එතුමා ප්‍රථම වරට පුරාවිද්‍යා විෂයය විශ්වවිද්‍යාල පද්ධතියට හඳුන්වා දී පුරාවිද්‍යා අධ්යනාංශයකුත් ආරම්භ කළා. මේ එක්ක ඔහු අතින් තවත් විශාල සේවාවන් රැසක් සිදුවුණා. ඒ කාලයේදීමයි ආචාර්ය සෙනරත් පරණවිතානයන්ට මහාචාර්ය පදවිය ලැබෙන්නේ. මෙතැනදී සිහිපත් කළ යුතු විශේෂිතම කාරණයක් තිබෙනවා. ඒ තමයි ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අධ්‍යාපනය ලබන අවධියේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු අයෙක් නොවෙයි. ඒ අනුව ඔහු තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබපු එකම මහාචාර්යවරයා.
කාලයක් තිබුණා මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට රටේ ඉතිහාසය වසන් කළා කියලා චෝදනා කරපු. ඒවාට මුල්වුණේ එතුමා %රාවණ^ කියලා රජ කෙනෙක් නොසිටිය බවට ප්‍රකාශ කිරීම සහ බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති බවට කළ ප්‍රකාශය වැරදි ලෙස වටහා ගැනීමයි.
මම ඒ සෑම චෝදනාවක්ම ප්‍රතික්ෂේප කරනවා. නිසි පුරාවිද්‍යාත්මක සාක්ෂියක්වත් නැතුව සෑම දෙයක්ම අන්ධ විශ්වාසය මත පිළිගන්න පුරුද්දක් සෙනරත් පරණවිතාන පඬිවරයාට තිබුණේ නැහැ. මම කියනවා සෙනරත් පරණවිතානයන් අද හිටියා නම්, එතුමා රාවණ රජතුමා සිටි බවට සාක්ෂි රාශියක් එක්කම ඔප්පු කර පෙන්වනවා. මේ වගේ එදා තාක්ෂණික දියුණුවක් තිබුණේ නැහැ. ජනශ්රැතිය පිළිබඳ පුළුල් අධ්‍යයනයන් තිබුණේ නැහැ. ඒ නිසා එතුමා එක්වරම රාවණ රජු සිටි බවට පිළිනොගත්තෙ. ඒ වගේමයි එතුමා කිසිම අවස්ථාවක කිව්වේ නැහැ බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ නැහැ කියලා. එතුමා කිව්වේ බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ කියලා විතරයි. ඒ ප්‍රකාශයට වැරදි අර්ථකථනයක් ලබාදීලා සමහර මාධ්‍ය ඔහුට පහරගහන්න කටයුතු කළා. එතුමාට ඉතිහාසය හංගන්න ඕන නම්, පුරාවිද්‍යාව වෙනුවෙන් මෙතරම් විශාල සේවයක් කරන්න අවශ්‍යතාවක් නැහැ.
ඇත්තටම මහාචාර්ය සෙනරත් පරණවිතාන තමයි මේ රටේ පුරාවිද්‍යා විෂයයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් පදනම වෙන්නේ. අද සිටින තරුණ පුරාවිද්යාඥයන්ටත්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයටත් එතුමාගෙන් ලබාගන්න පුළුවන් ආදර්ශ ගණනාවක් තිබුණා. එතුමා වගේම අද සිටින තරුණ පුරාවිද්යාඥයන්ටත් සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂාවන් ප්‍රගුණ කරන්න හැකි නම්, එය ඉතාමත්ම වටිනවා. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා තමන්ගේ ජීවිත කාලයෙන් වැඩිම කොටසක් වැය කළේ පුරාවිද්‍යාවේ අභිවෘද්ධිය වෙනුවෙන්. ඔහු තමන්ගේ දේපොළ සියල්ල මහාභාරකාර දෙපාර්තමේන්තුවට පවරලා කිව්වා ඒ මුදලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයය හදාරන දරුවන් දෙදෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදෙන්න කියලා. ඒ කාර්යය අදටත් සිදුවෙනවා. එතුමා අපට මතුකර දුන්න අපේ උරුමයන් ඉදිරියටත් ආරක්ෂා කර ගනිමින් ඔහු පෙන්වා දුන් ආදර්ශ ඔස්සේ වැළලිලා තිබෙන අපේ අනෙකුත් උරුමයනුත් මතුකර ගැනීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ වගේම පාලකයන්ගේත් වගකීමක් වෙනවා.
මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් කියන සෑම ජාතියක්ම මතක තබාගත යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය මොකක්ද කියලා ඇහුවොත් පැහැදිලි පිළිතුර තමයි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය. ගොඩනැගිල්ලක් ගත්තොත් ඊට ශක්තිමත් අත්තිවාරමක් තිබෙනවා. ඒ වගේ මේ ශ්‍රී ලාංකික ජාතිය කියන ගොඩනැගිල්ලේ අත්තිවාරම තමයි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ. මෙතැනදී කිසිම සිංහලයෙකුට කියන්න බැහැ අපට පමණයි මෙහි ඉන්න පුළුවන් කියලා. ඒ වගේම අනෙක් ජාතීනුත් සිහිපත් කරගත යුතුයි මේ ශිෂ්ටාචාරය ගොඩනැගිලා තියෙන්නේ සිංහල බෞද්ධ පදනම මත බව. මේ කාරණය පැහැදිලිවම අවබෝධ කරගත් අයෙක් තමයි අපි පන්සලේ පියතුමා කියලා හඳුන්වන මර්සලින් ජයකොඩි පියතුමා කියන්නෙ.
අද හමුවන අපේ විශිෂ්ට ශිෂ්ටාචාරයට අයිති නටබුන් රැකගත යුත්තේ සිංහල බෞද්ධ ජනතාව පමණක් නොවෙයි. ඒක සමස්ත ජනතාවගේම වගකීමක්. හොඳම උදාහරණයක් විදියට පෙන්වා දෙන්න පුළුවන් රටක් තමයි පාකිස්තානය කියන්නේ. පාකිස්තානයේ තමයි බුදු පිළිම නිර්මාණය කිරීම මුලින්ම ආරම්භ කළේ, කනිෂ්ක රජතුමාගේ කාලයේ. අද පාකිස්තානය කියන්නේ සම්පූර්ණයෙන්ම ඉස්ලාම් රාජ්‍යයක්. නමුත් ඔවුන් අදටත් කැණීම්වලින් හමුවන බෞද්ධ ශිෂ්ටාචාරයට අයත් නිර්මාණ අපටත් වඩා හොඳින් සංරක්ෂණය කරමින් ආරක්ෂා කරගන්නවා. ඊට හේතුව විදියට ඔවුන් පෙන්වා දෙන්නේ කිසිම අවස්ථාවක ඔවුන් සූදානම් නැහැ තමන්ගේ පදනම වූ බෞද්ධ ශිෂ්ටාචාරය අමතක කරන්න හෝ විනාශ කරන්න. ජනතාවගේ පටන් පාලකයන් දක්වාම ඒවා ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා. ඒ වගේම ඔවුන්ට සංචාරක කර්මාන්තය අතින් විශාල ආදායමක් ලැබෙන්නේ මේ බෞද්ධ ශිෂ්ටාචාරයට අයත් නටඹුන් නිසා. අපේ රට ගත්තොත් අද ගවේෂණයකින් හොයාගන්න නටබුන් හෙට හොයාගන්නවත් බැරිවෙන්න ඩෝසර් කරලා දානවා. පැහැදිලිවම යම් පිරිසකට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අතුගාලා දාන්න. මේ අතුගෑවෙන්නේ සිංහල බෞද්ධයාට විතරක් අයිති උරුමයක් නොවෙයි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අභිමානයක් ලබාදුන්න ශිෂ්ටාචාරය බව මතක් කරන්න කැමැතියි. ඒ වගේම බලධාරීන් වගේම පාලකයන් මෙය අවබෝධ කරගෙන තවදුරටත් මුනිවත රකින්නේ නැතුව මේ දූෂිතයන්ට නිසි දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

