අල වගාවට නිසි විසඳුමක් නැතිව ‘අල’ වන ගොවියා
දේශීය ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වාතාවරණයක් පැන නැඟී ඇත්තේ අද ඊයක සිට නොවේ. වසර ගණනාවක සිට පැන නැඟ ඇති මෙම ගැටලුවට මෙතෙක් කිසිදු රජයක් නිසි විසඳුමක් ලබා නොදී පැලැස්තර විසඳුම් ලබාදීම හේතුවෙන් පීඩා විඳින්නේ අසරණ ගොවියාය.දුක් මහන්සියෙන් ණය වී වගාකරන ගොවියාගේ අස්වැන්නට නිසි වෙළෙඳපොළක්, වටිනාකමක් නොලැබීම හේතුවෙන් අද වන විට ගොවියාට තම අස්වැන්න විනාශ කර දැමීමට පවා සිදුව තිබේ. මෙය අප රටේ සෑම වගාවකටම ඇති වී තිබෙන්නා වූ ශෝචනීය තත්ත්වයකි.
මේ දිනවල මෙම තත්ත්වයට වැඩියෙන් මුහුණ දෙනු ලබන්නේ අල ගොවියාය. අල ගොවියාට මේ දිනවල අල කිලෝවකින් රුපියල් 30, 40ක් පාඩු ලබමින් සිය අස්වැන්න කුණුකොල්ලයට විකිණීමට සිදුවී තිබෙන්නේ රජය විසින් ගනු ලබන අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසාය. ණය වී වගා කරන ගොවියාට අස්වැන්න නෙළා ගත් පසු ගෙල වැලලා ගැනීමට සිදුවන තත්ත්වයට ඔවුන්ව ඇද දමා ඇත්තේ රජයේ නිසි පදනමක් නැති ආර්ථික ප්රතිපත්තීන්ය. මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
“මේ වන විට අල කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් 65ක 70ක මුදලක් ගොවියාට වැය වෙනවා. නමුත් මේ වන විට අල කිලෝවක මිල රුපියල් 80 දක්වා පමණ පහළ වැටී තිබෙනවා. මෙයට බලපාන එක් හේතුවක් වන්නේ අල සඳහා ගසා තිබූ බද්ද 2%ක් දක්වා අඩු කිරීමයි. ඒ අඩු කිරීමත් සමග පිටරටින් අල ආනයනය කිරීම සිදුකළා. ඒ ආනයනය කළ අල ගබඩා කිරීම සිදුකළා. ඒ තත්ත්වය අල මිල මේ තරම් පහත වැටෙන්න හේතු වී තිබෙනවා.
අපට ඉල්ලුමට සරිලන තරම් නිෂ්පාදනය කිරීමට නොහැකි වීම නිසා රටේ අල අවශ්‍යතාවයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් පිටරටින් ආනයනය කිරීමට සිදු වී තිබෙනවා. නමුත් රජය විසින් අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙනවා නම් රටට අවශ්‍ය තරම් අල නිෂ්පාදනය කරන්න පුළුවන්.
රටේ අවශ්‍යතාවත් එක්ක ගතහොත් අපේ ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය කරන්නෙ නැහැ. නමුත් මේ වන විට රට තුළ අර්තාපල් අතිරික්තයක් හටගෙන හමාරයි. එය එසේ නම් මේ වගේ විකෘතියක් එන්නේ ඇයි? එයට ප්‍රධානම හේතුව තමයි මෙරට අස්වනු නෙළන සමය වන විට පිටරටින් අල ආනයනය කිරීම. ලොකු ලූනු ගත්තොත් එහි ප්‍රශ්නයත් මේ වගේමයි. ලොකු ලූනු අස්වනු නෙළන සමයේදී ලොකු ලූනු ආනයනය කරනවා. එවිට ලූනු මිල පහළ බහිනවා. වී අස්වනු නෙළන සමයේදී හාල් ටික පිටරටින් ගෙනෙනවා. එවිට වී මිල පහළ බහිනවා. අප රටේ සෑම භෝගයකටම මේ කාරණය බලපානවා. ඒ නිසා ගොවියාට පැනනඟින ප්‍රධාන ගැටලුව වන්නේ මිල සම්බන්ධවයි.
ඇත්තටම අපේ රටේ හොඳම අල තිබෙන්නේ ඌව වැලිමඩ ප්‍රදේශයේයි. අප රටේ අල වවන ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයි. ඊට අමතරව යාපනය දිස්ත්‍රිකයෙත් අල වගා කිරීම සිදුකරනවා. වැලිමඩ අල ගත්තාම පිටි ගතිය වැඩියි. දිය ගතිය අඩුයි. රසය වැඩියි. නුවරඑළිය ගත්තාම අල වල දිය ගතිය වැඩියි. පිටි ගතිය අඩුයි. රසය අඩුයි. ඒ නිසා අප රටේ වැලිමඩ අල වලට විශේෂ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම යාපනයෙනුත් අල එනවා. නමුත් ඉන්දියාවෙන් ගෙනෙන අල යාපනයේ අල ලෙස රට මැදට එනවා. ඉතින් මේ වගේ අක්රමිකතාවන් ගණනාවක් සිදුවෙනවා.
ඒ වගේම අපේ රටේ එළවළු හෝ පලතුරු කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. අස්වනු නෙළන කාලයට ලොකු අස්වැන්නක් වෙළෙඳපොළට එන විට කෑමට අවශ්‍ය ප්‍රමාණය රටට නිදහස් කරලා අතිරික්තය අපි ගබඩා කරන්න අවශ්‍යයි. නමුත් ගබඩා පහසුකම් නැතිකමත් එක්ක මේ ගැටලුව මතුවෙනවා. ඇත්තටම අපේ රටේ එළවළු, පළතුරු වගාවේ විකෘතියක් තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් තාක්කාලි අස්වනු නෙළන සමයට සති දෙක තුනක් ඇතුළත පරිභෝජනයට ගන්න අවශ්‍යයි. එසේ නැති වුණොත් කල් තබා ගන්නා ක්‍රමවේද නැහැ.
ඒ කිසිවක් නැති ක්‍රමවේදය තුළ ලොකු අස්වැන්නක් වෙළෙඳපොළට පැමිණෙද්දී ඒවා පරිභෝජනය කර අවසන් කරන්න ඕන. ඇත්තටම මේ ආශ්රිත කර්මාන්ත තිබෙනවා නම්, මේවා ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් තිබෙනවා නම්, අස්වනු නෙළන විට රටට අවශ්‍ය ප්‍රමාණය නිදහස් කරලා ඉතිරි ප්‍රමාණය ගබඩා කරන්න පුළුවන්. එවිට මේ වගේ විකෘතියක් හටගන්නේ නැහැ. මේ වගේ ගැටලු නිසා තමා අපේ ගොවීන් අස්වනු නෙළන කාලයට අස්වනු නෙළීම අතහරින්නේ. මොකද ගොවියාට විකුණ ගන්න නොහැකි වීම තුළ ගැටලු මතුවෙනවා. මේ තත්ත්වය අපේ රටේ එළවළු පළතුරු හැම එකටම බලපාලා තිබෙනවා. අල ගොවියාටත් මේ දේ අඩු වැඩි වශයෙන් බලපාලා තිබෙනවා. මේ වන විට අල ගොවියා ලොකු ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. මේ විදියට දිගටම පැවතුණොත් අල ගොවියා අල වගාවෙන් ඉවත් වෙනවා.
මෙහිදී රජය විවිධ අවස්ථාවන් වලදී පියවර ගත් නමුත් ඒ සෑම අවස්ථාවකදීම සිදුකර ඇත්තේ අශ්වයා ගියාට පසුව ඉස්තාලය වහන එක. මේ තුළ තිබෙන්නේ ඇත්තටම බිස්නස් එකක්. අල, ලූනු පිටරටින් ගෙනෙන විට ඒ ගේන අයට කොමිස් ලැබෙනවා. ඒ අය මේ වැඩේ කරන්නේ ඒ කුට්ටිය බලාගෙන. නමුත් අවසානයේ මහජන විරෝධය පැමිණීමේදී බදු ගැසීම සිදුකරනවා. බද්ද ගසන විට සියල්ල සිදුවී හමාරයි. ආණ්ඩුව මේ වන විට ගෙන ඇත්තේද එවැනි පියවරක්.
අපේ රටට අවශ්‍ය අල ප්‍රමාණය අපේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා පියවරක් ගෙන නැහැ. ගොවියා හුදකලාව, සිතා බලා වගා කරනවා විනා රාජ්‍ය මැදිහත්වීමක් සිදුවන්නේ නැහැ. රටේ අර්තාපල් අවශ්‍යතාව මෙච්චරයි, ඒ සඳහා මේ තරම් භූමි ප්‍රමාණයක වගා කළ යුතුයි, ඊට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි කියා පදනමක් අවශ්‍යයි. නමුත් එවැනි වගා සැලැස්මක් අප රට තුළ නැහැ. එවැනි සැලැස්මකට අනුව මෙය මෙහෙයවනවා නම් මේ තත්ත්වයට විසඳුම් තිබෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



