අනුමත වුණු කැබ්නට් පත්‍රිකාවයි වරාය ගිවිසුමයි අතර පරස්පර තියෙනවා
හම්බන්තොට වරාය බදුදීමට අදාළ ගිවිසුමට නැගෙන විරෝධය තවමත් පහව ගොස් නැත. මෙම ගිවිසුම නීතිවිරෝධී බව ඒකාබද්ධ විපක්ෂයේ අදහසය. ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැනගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අප සම්බන්ධ කර ගතිමු. මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.
Q හම්බන්තොට වරාය බදුදීමේ ගිවිසුම නීතිවිරෝධී බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම පවසන ආකාරය අපි දුටුවා. එසේ පැවසීමට කරුණු තිබෙනවාද?
ඕනැම ගිවිසුමක් අවලංගු විය හැකි කරුණු කිහිපයක් තිබෙනවා. එහි ප්‍රධාන කරුණ තමයි අවනිදේශනය හෙවත් කරුණු වරදවා දැක්වීම. හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුමේ කරුණු වරදවා දැක්වීමක් තිබෙනවා. මෙම වරාය විදේශීය සමාගමකට බදු දෙනවා නම් මුලින්ම සමස්ත වරාය පිළිබඳව නිවරදි තක්සේරුවක් කළ යුතුයි.
ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවන් යෙදවිය යුතුයි. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම යටතේ වරාය තක්සේරු කිරිම සඳහා වන දැනුම අවබෝධය සහිත පිළිගත් ජාත්‍යන්තර තක්සේරු ආයතනයකින් වරාය තක්සේරු කළ යුතුයි. නමුත් එවැනි තක්සේරුවක් මෙහිදී සිදුකර නැහැ. වරාය බදු දෙනව නම් විවෘත මිල ගණනන් කැඳවීමක් කළ යුතුයි.එසේ කළෙත් නැහැ.
පසුගිදා අත්සන් කළ ගිවිසුමේ සඳහන් වෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කළ අයිතියේ පංගුව නෙමෙයි. වරායට අවශ්‍ය සේවා සහ පොදු පහසුකම් සැපයීම සඳහා 'හම්බන්තොට ඉන්ටනැෂනල් පොර්ට් සර්විසස්' කියලා සමාගමක් මෙහි ඇති කරනවා. මෙම සමාගමේ කොටස් අයිතිය ගැන කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන්නේ ශ්‍රී ලංකා රජයේ වරාය අධිකාරියට 50.3%ක් බවයි.
සී. එම්. පෝර්ට් සමාගමට 49.7%ක් තිබිය යුතු බවයි. ඒ අනුව අධ්යක්ෂ මණ්ඩලයේ තීරණ ගැනීමේ හැකියාව වරාය අධිකාරියට එනවා. මෙහි සමස්ත කොටස් ප්‍රාග්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 606යි. නමුත් අත්සන් කළ ගිවිසුමේ සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා රජයට සියයට 42ක් හා එච්.අයි.පී.එස් සමාගමට සියයට 58ක් කොටස් අයිති බවයි. කැබිනට් මණ්ඩලය අනුමත කළ කොටස් ප්‍රමාණය නෙමෙයි සත්‍ය වශයෙන්ම ගිවිසුමෙන් අපිට ලැබිලා තිබෙන්නේ. ඒක නීතිවිරෝධී අයුරින් වෙනස් කර තිබෙනවා.
වරාය අධිකාරි පනතට අනුව වරායට යම් ගිවිසුමක් අත්සන් කිරීමට හැකියාව ඇත්තේ වරාය අධිකාරියේ සභාපතිවරයාට සහ තවත් එක් අධ්‍යක්ෂවරයෙකුට පමණයි.
වරාය ඉඩමක් ගන්නවා නම්, වරාය ණය මුදලක් ගන්නවා නම්,වරාය බදු දෙනව නම් ආදි වශයෙන් නෛතික කටයුතු සිදුකළ යුතු බවට පාර්ලිමේන්තුව අනුමත කර ඇත්තේ ඒ ආකාරයටයි. නමුත් මෙවර අත්සන් කළේ වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයා. අයිතිකරුවන් නැතිව වෙන අය අත්සන් කරලා ඉඩමක් විකුණන්න බැහැ. ඒ නිසා මේක නීත්‍යනුකූල නැහැ.
කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාවේ තිබෙනවා මෙම ගිවිසුම සභාගත කර, විවාද කරලා මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා මත අවසන් තීරණයකට එළඹෙන්න ඕන කියලා. නමුත් එසේ විවාද කළේ නැහැ. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් මෙයට ඇතුළත් විය යුතු යෝජනා අදහස් ආවේ නැහැ.
ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කිරීමේදී පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බලය නොසලකා හැරියා. ඒ අනුව මෙම ගිවිසුමේ ගැටලුවක් තිබෙනවා.ඒ වගේම මෙම වරාය ගිවිසුම සම්බන්ධයෙන් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් තිබෙනවා.
එම නඩුව තිබියදී තමයි මෙම ගිවිසුම අත්සන් කරන්නේ. නඩුවක් තිබෙන දෙයක් ගැන පාර්ලිමේන්තුවේවත් කතා කරන්න බැහැ. එහෙම තිබියදී තමා මෙම ගිවිසුම අත්සන් කළේ. ඒ නිසා මෙම වරාය විකිණීමේ ගිවිසුම නීතීවිරෝධී බව පැහැදිලියි.
Q පසුගිය කාලය පුරා ආණ්ඩුව ඉදිරිපත් කළ විවිධ අණ පනත්වලටත් මෙවැනිම විරෝධයන් එල්ල වූවා. නමුත් ආණ්ඩුව එම පනත් සම්මත කළා. උදාහරණයක් විදියට අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්බන්ධව පාර්ලිමේන්තුවේ විරෝධතා තිබියදී පනත සම්මත වුණා. ඔබතුමාලා ඉදිරිපත් කළ කිසිදු විරෝධතාවයක් ආණ්ඩුව සැලකිල්ලට අරන් නැහැ නේද?
ආණ්ඩුව නිතරම උත්සාහ කරන්නේ විරෝධතා සැලකිල්ලට නොගෙන ඉන්න තමයි. නමුත් ආණ්ඩුවට එහෙම කරන්න පුළුවන් වුණේ නැහැ. අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත මාර්තු මාසයේ සම්ම්ත වුණා. පාර්ලිමේන්තුවේ වගකිව යුතු පනතක් සම්මත කරන ආකාරයට නෙමෙයි එය සම්මත කළේ.
ජනතා විමුක්ති පෙරමුණ සංශෝධන ඉදිරිපත් කළත් ඒ අය දන්නෙත් නැහැ මොනවද ඇතුළත් කළ සංශෝධන කියලා. පාර්ලිමේන්තුවේ කාලගෝට්ටියක් මැද්දේ සම්මත වුණු බව කථානායක කිව්වා. ඒ අවස්ථාවේ හරියට පාර්ලිමේන්තුව තිබුනේ මැනිං මාර්කට් එක වගේ. මෙවැනි පනතක් සම්මත කළ යුතු තත්ත්වයක නෙමෙයි ඒ මොහොතේ පාර්ලිමේන්තුව පැවතුනේ.
පසුව කථානායකතුමා පනතට අත්සන් කළා. නමුත් කාර්යාලය පිහිටුවීම සිදුවුණේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවෙන් මෙම කාර්යාලයේ මණ්ඩලය සම්බන්ධව ජනාධිපතිවරයාට දන්වා යැවුවා. නමුත් ඔහු එයට අත්සන් කළේ නැහැ. ජනාධිපතිවරයාට සිදුවුණා අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතේ 16 (1) (ආ) වගන්තිය සංශෝධනය කරන්න.
ජාත්‍යන්තර ආයතන සමග ගිවිසුම්වලට එළැඹීම, ජාත්‍යන්තර ආයතන වලින් සහයෝගය ලබාගැනීම, මූල්‍යමය සහ විශේෂඥ සහය ලබාගැනීම වැනි කාරණා ඉවත් කිරීමට සිදුවුණා. එම පනතේ තිබුණු වැඩි නපුර එමගින් යම් පමණකට අඩුවුණා.එය තමයි අප කළ අරගලයේ, විරෝධයේ ප්‍රතිඵලය. බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීම පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්ති පනත පසුගිය දිනක විවාදයට ගැනීමට තිබුණා. නමුත් විවාදයට ගත්තේ නැහැ.
හතරවටින් මේ පිළිබඳව විරෝධය ආවා. සුද්දන්ට දී තිබෙන එකඟතාවය අනුව ආණ්ඩුවට මෙය විවාදයට නොගෙන ඉන්න බැහැ. අයි.එම්.එෆ් එකේ ණය මුදල නවත්වගෙන හිටියා.
ආර්ථික සම්බාධක පනවන්න යනවා.අපි කරපු විරෝධතා නිසා තමයි මෙ පමණකට මෙම විරෝධතා ගමන නතර වී තිබෙන්නේ. ජනතාවගේ විරෝධය බලවත් අඩයක් බවට පත්වෙලා තිබෙනවා. නැත්නම් ආණ්ඩුව පසුගිය වසර දෙකට මේ රට විකුණලා ඉවරයි. ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය පිහිටුවලා ඉවරයි. වරාය විතරක් නෙමෙයි සියලුම දේවල් විකුණලා ඉවරයි.
Q පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය වැරදියි,නියමිත පරිදි විවාද කළේ නැහැ,පාර්ලිමේන්තුව මැනිං මාකට් එක වගේ ප්‍රකාශ ඔබ සඳහන් කළා. මේ ඝෝෂා ඇති කරන්නේ, පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නේද? එවැනි කටයුතුවල යෙදෙන ගමන් වෙනත් අදහසක් පැවසීමට උත්සාහ ගන්නේ ඇයි?
මේ රටේ ජනතාවගේ අයිතීන් සුරැකෙන ,රට වෙනුවෙන් ගෙන එන ඕනම පනතකට අත් දෙකම උස්සලා ඡන්දේ දෙන්න ඒකාබද්ධ විපක්ෂය ඕනැම අවස්ථාවක ලැහැස්තියි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයේදී අපි එහෙම කළා. ඝෝෂාවක් ඇතිවුණේ නැහැ. තොරතුරු දැනගැනීමේ පනතට ඝෝෂාවක් ඇතිවුණේ නැහැ. ඡන්දේ දුන්නා.
මේ ආණ්ඩුව ආවට පස්සේ එහෙම පනත් කොච්චර ගෙනාවද? අපි ඡන්දේ දුන්නා. එම අවස්ථාවලදී පාර්ලිමේන්තුවට ගැළපෙන දියුණු පරිනත විදියට අපි හැසිරුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මත, පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය මත, පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට මිසක් විපක්ෂයට නෙමෙයි.
ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය පාර්ලිමේන්තුව තුළ ලැබෙන තරමට ,ආණ්ඩුව ස්ථාවර නියෝග රකින තරමට තමයි විපක්ෂය ස්ථාවර නියෝග රකින්නේ. බලන්න මේ පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය තිබෙනවාද කියලා. නියෝජිත ප්රජාතන්ත්රවාදය පාර්ලිමේන්තුවෙන් පිළිබිඹු වෙන්න ඕන.
කාලය බෙදද්දී,ගිණුම්කාරක සභාවට,පොදු ව්‍යාපාර සභාවට පත්වෙද්දී ඒකාබද්ධ විපක්ෂයේ 51ට දෙන්නයි,ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනාට හතර දෙනයි. මේක ප්‍රජාතන්ත්‍රවාදයද?.කාලය බෙදද්දී සම්පූර්ණ කාලයෙන් සියයට දශම ගාණක් තමයි ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන්නේ. මේක මුළුමනින්ම ප්රජාත්ත්රවාදය බිඳ වට්ටපු පාර්ලිමේන්තුවක්.
Q නමුත් වැදගත් විවාදයන් පැවැත්වීමට තිබුණු අවස්ථා ගණනාවක් ඒකාබද්ධ විපක්ෂයේ බාධාකිරීම් නිසා මගහැරුණ අාකාරය අපි දුටුවා.අවසන් වශයෙන් වරාය ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ බාධාකිරීම් නිසා කථානායකරවරයාට සභාව කල්දැමීමට පවා සිදුවූවා. එසේ පාර්ලිෙම්න්තුව තුළ හැසිර ඉන් එළියට විත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය නැති බව පැවසීම සාධාරණද?
එම අදහස මම පිළිගන් නෑ. 28 වැනිදා අත්‍යවශ්‍ය නියෝග සම්මත කිරීමේ විවාදය පැවතුණා. එම විවාදය අවසන් කළේ පසුවටත් විවාදය දිගුකරලා. පසුවදා උදේ වරාය ගිවිසුමට අදාළ ඡන්ද විමසීමකට ලෑස්ති වුණා.එම අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයෙ නායක දිනේෂ් ගුණවර්ධන මහතා බෙදීමක් ඉල්ලුවා. එහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා විවාදයට අදාළ ප්‍රශ්න කිහිපයක් මතුකළා.
එම ප්‍රශ්නවලට කෝ උත්තර කියලා ඇහුවා. උත්තර දෙන්නැතිව තමයි ඡන්ද විමසීමට යන්න හැදුවේ. ඒ සඳහා ආණ්ඩුවට සදාචාරමය අයිතියක් නැහැ. කොලොන්නාවේ මරික්කාර් ගෙනාපු මැරයන්ගේ නම් ගම් සහිතව හඳුන්වා දුන්නා.
ඒ මැරයන්ට පොලිස් ආරක්ෂාව දීම ගැන ප්‍රශ්න කළා. ඒක හරිද වැරදිද කියලා ආණ්ඩුව කිව යුතුව තිබුණැ. නමුත් මැරයන් අත්අඩංගුවට ගත්තේ නැහැ, කම්කරු නායකයන් අත්අඩංගුවට ගත්තේ. ඒක හරිද වැරදිද කියලා කිව යුතුයි. ආණ්ඩුවෙ මාධ්‍ය වාර්තා පළකළා ප්ලෑන් ඒ, ප්ලෑන් බී කියලා. ප්ලෑන් ඒ තමයි අත්‍යවශ්‍ය සේවා සඳහා හමුදාව ඇතුළට යන එක.
ප්ලෑන් බී තමයි වැඩවර්ජිත කම්කරුවන්ට පොලුවලින් පහරදෙන එක. ප්ලෑන් ඒත් කළා,බීත් කළා.පොලුමුගුරුවලින් පහරදීම ගැන පරීක්ෂණයක් ඉල්ලුවා, වාර්තාවක් ඉල්ලුවා. ඒවට නිරුත්තර ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කාලගෝට්ටියක් නටන්න පටන් ගත්තා.
ඒක විපක්ෂයේ ප්‍රශ්නයක් නෙමෙයි. අප බලන් හිටියේ හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් විවාදයට මැදිහත් වෙන්න. විවාදයට ආව නම් අනුමත වුණු කැබිනට් පත්‍රිකාවයි,ගිවිසුමයි අතර පරස්පරය අපි කියනවා. ටෙන්ඩර් කළේ නැත්තේ ඇයිද කියලා අපි අහනවා.
තක්සේරුවේ තියෙන දෝෂය අපි කියනවා. ඒ හින්දා තමයි පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත්කරලා මේ වැදගත් විවාදය කරන්න ඉඩ දුන්නැත්තේ. අතවශ්‍ය සේවා සම්මත කළා කියමුකෝ. කථානායකවරයාට තිබුනේ පාර්ලිමේන්තුව පැය භාගයකට කල්දාලා නැවත පාර්ලිමේන්තුව ආරම්භ කරන්න.
එවිට ප්රශ්නය අවසන්. අපි කිව්වා වහාම විවාදය කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ හස්ත මුද්‍රාවෙන් කතානායකවරයාට එපා කිව්වා. ඉන්පසුව සභාව කල්දැම්මා හතරවැනිදා දක්වා.
අපි ලෑස්තියි හෙට පාර්ලිමේන්තුව පැවැත්වුණත් වරාය සම්බන්ධ විවාදය හෙට වුණත් පාර්ලිමේන්තුවේ කතා කරන්න. මේ වරාය විකීණිමේ ප්‍රෝඩාව කරුණු සහිතව පාර්ලිමේන්තුව තුළ ඔප්පු කරන්න අපි ලැස්තියි. පාර්ලිමේන්තුවේ නිරෝගීභාවය ,ප්රජාතන්ත්රවාදය අපිට ඕන.
Q කොළඹ වරායේ ආදායම ආරක්ෂා කරගන්න, ණය බර අඩුකරන්න මෙම ගිවිසුමට එළැඹුනු බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් පැවසෙනවා.පසුගිය කාලයෙදී හම්බන්තොට වරායෙන් ලාභයක් ලැබුණේ නැහැ කියනවා.මෙවැනි තත්ත්වයක් තුළ වරාය සංවර්ධන කිරීමේ අරමුණෙන් මෙවැනි ගිවිසුමකට එළැඹීම සාධාරණ නැද්ද?
කිසිසේත් සාධාරණ නැහැ.හම්බන්තොට වරායට අදාළ ණය වාරිකය ගෙවා තිබියදීත්,කොළඹ වරාය බිලියන ගණනින් ලාභ ලැබුවා. කන්ටේනර් 29000ක් බහාලන්න පුළුවන් ලෝකයේ විශාලතම නැව්වලට පැමිණිය හැකි වරායවල් 15යි ලෝකයේ තියෙන්නේ. හම්බන්තොට වරාය කියන්නේ ලෝකයේ තිබෙන එවැනි ගැඹුරුතම වරායක්. ආසියානු කලාපයේ එවැනි වරායවල් 2යි තියෙන්නේ.
ඒ කොළඹ සහ හම්බන්තොට වරායන් දෙක. හම්බන්තොට වරාය කියන්නේ සොබාදහමින් අපිට දීපු දායාදයක්. හම්බන්තොට ගැඹුරු මුහුදු පත්ල අපිට ලැබුනේ සොබාදහමින් මේ රටේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ ආර්ථිකය සෞභාග්‍යමත් කරන්න. එහි වරායක් හදන්න ඉතිහාසයේ නායකයො ගණනාවක් උත්සාහ කළා.
නමුත් එම අවස්ථා හැම එකක්ම සුද්දෝ නැවැත්තුවා ඔවුන්ගේ වරායන්වලට මෙයින් අවැඩක් සිදුවන නිසා. මේක සේද මාවතේ පිහිටලා තිබෙන්නේ. තායිලන්තය හරහා ප්‍රා ඇළ කැපුවට පස්සේ චීනයේ සිට යුරෝපයට යන නැවුවලට කිලෝමීටර් 1600ක දුරක් අඩුවෙනවා. එම නැවු සියල්ල දැන් හම්බන්තොට පෙනී පෙනී තමයි යන්නේ.
අපේ දොරකඩට නැවු 500ක් දවසකට එනවා. ඒ නැව් ටිකට තේල් ටික ගැහුවත් ඇති රට දියුණු කරන්න. ඒ නිසා තමයි ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් කියන්නේ වරායේ නැව් තෙල් අංශය අපිට දෙන්න කියලා. තෙල් ටික ගහලා වතුර ටික ගැහුවත් ඇති කියලා. හම්බන්තොට වරායේ ණය වාරිකයත් ගෙවලා මේ මුළු රටම මහා සෞභාග්යකට ගෙනියන්න තිබුණු නිධානය තමයි මේ විකුණලා දැම්මේ. ණය ගත්තාම ණය ගෙවන්න ඕන.
ආණ්ඩුව කරන්න ඕන කළමනාකරණය කරන එක. ඒ අයගේ මුදල් වාර්තා කියනවා හම්බන්තොට ණය වාරිකය ගෙවලත් කොළඹ වරාය ලාභ ලබන බව. දැන් විකුණුවා කියලා ණය ලැබෙනවද? දැන් විකුණුවාට පසුව ණය වාරිකය ගෙවන්නේ මොකෙන්ද? මේ සල්ලි ටික අරගෙන විදේශ වත්කම් සංචිතයට දාවි.ටිකක් හොරා කාවි.ඇමතිවරුන්ට ගෙවල් ටිකක් ගනීවි,වාහන ටිකක් ගෙන්න ගනීවි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට තව සුර සැප ටිකක් දේවි.
ඒ විදියට මේ බිලියන 1.2 කාලා විනාශ කරලා දාවි. ඊළඟට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඉන්දියාවට විකුණන්න ලැහැස්තියි. එවිට ලෝකයේ ගැඹුරුම,විශාලම වරාවල් දෙකම අපිට අහිමි වෙනවා.
Q දැන් ගිවිසුම අත්සන් කරලා ඉවරයි. බැසිල් රාජපක්ෂ මහතා කියා තිබුනා මහින්ද රාජපක්ෂ පාලනයකදී නැවත මෙම වරාය පවරා ගන්නවා කියලා. රටවල් දෙකක් අතර අත්සන් කළ මෙම ගිවිසුම අවලංගු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ඇති සූදානම කුමක්ද?
ජාත්‍යන්තර ගිවිසුම් නීතිය අනුවත්,ලංකාවේ නීතිය අනුවත් ගිවිසුමක් වලංගු වෙන්න කාරණා පහක් තිබෙනවා. එහි ප්‍රධාන කාරණය තමයි කරුණු වරදවා දැක්වීම හෙවත් අවනිදේශනය. මෙම ගිවිසුම උපත ලබන්නේම අවනිදේශනය සහිතව. අනුමත කැබිනට් පත්‍රිකාවයි අත්සන් කරපු වරාය ගිවිසුම අධ්‍යනය කිරිමේදී එය ඔප්පු කර පෙන්විය හැකියි.
එය චීනයට පමණක් නොව මුළු ලෝකයටම අපි පෙන්වනවා. අයිතියේ පරස්පරතාවය, විවෘත මිල ගණන් නොකැඳවීම, තක්සේරුවේ තිබෙන දෝෂ සහගත භාවය, පාර්ලිමේන්තුවට විවාද කරන්න නොදීම, වරාය වෙනුවෙන් අත්සන් කිරිමේ දෝෂය ඇතුළු මෙම ගිවිසුම නීති විරෝධී බව ඔප්පු කරන්න පුළුවන් සියලු සාධක අරන් අපි අධිකරණයට යනවා.
අනිත් පැත්තෙන් මහජනතාව සමග බරපතළ උද්ඝෝෂණ සිදුකරන්නත් බලාපොරොත්තු වෙනවා. මෙම නීතිවිරෝධී ගිවිසුම අවලංගු කරන තුරු එයට එරෙහිව අපි ක්‍රියාත්මක වෙනවා. අපේ පාලන බලයක් ආපු ගමන් මේක අවලංගු වෙන්න දෙයක් නැහැ. මේක ඉබේම අවලංගු වෙනවා. මේක ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

