විශේෂිත සිදුවීම් රැසක් සිදුවූ බිනර පුරපසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට පොහොය දිනය වැදගත් වනුයේ, බුදුදහම හා බැඳුණු බොහොමයක් වැදගත් සිදුවීම් පොහොය දිනය නිමිති කරගෙන සිදුවීමය. එවන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස පොසොන් පොහොය දිනයද හැඳින්විය හැකිය. එහිදී මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය හා ඉන් දේශීය වෙදකමට ලැබුණු දෑ පිළිබඳ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ වෛද්‍ය නිලධාරී පරාක්‍රම විජයනාග මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
පොසොන් පොහොය වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවට පමණයි. බෞද්ධ දර්ශනය ලංකාවේ ස්ථාපිත වුණේ පොසොන් පොහොය දිනයේ නිසා පොසොන් පොහොය ලංකාවට තරම් වෙනත් කිසිදු රටකට වැදගත් වෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය ලෙස හඳුන්වන බුදුන් වහන්සේගේ ධර්මය ඉන්දියාවේ සිට ලංකාවට එන්නේ ක්‍රි.පූ 250-210 කාලයේ ශ්‍රී ලංකාවේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේයි. එකල ඉන්දියාවේ රජ කළ ධර්මාශෝක අධිරාජ්‍යයා ලංකාවට බුදුදහම ගෙන ඒමට මූලිකව කටයුතු කර තිබෙනවා.
බුදුදහම රැගෙන ලංකාවට ආවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයා වූ මහින්ද තෙරණුවන්. අරහත්භාවයට පත්වීමෙන් පසු මිහිඳු මහ රහතන් වහන්සේ ලෙස ප්‍රචලිත වූ උන්වහන්සේ ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව දෙවැනි බුදුන් ලෙස හඳුන්වනවා. මහින්දාගමනයේදී බෞද්ධ දර්ශනයත් සමග ඉන්දියාවේ තිබූ හින්දු සංස්කෘතියත් ලංකාවට ආවා. හින්දු සංස්කෘතිය බුදුන් වහන්සේ ලොව පහළවීමටත් පෙර සිටම තිබූ දෙයක්. බුදුන් වහන්සේගේ ධර්මය නිර්මාණය වීමටත් හින්දු සංස්කෘතියේ බලපෑම ඉවහල්ව තිබෙනවා.
හින්දු සංස්කෘතියත් සමග කලා ශිල්ප, විද්‍යාව මෙන්ම සාහිත්‍යයත් ලංකාවට ආවා. ඉන්දියාවේ හටගැනුණු ආයුර්වේදය නම් වූ පරිපූර්ණ වෛද්‍ය විද්‍යාව බෞද්ධ ගුණාංග සමග ලංකාවට එන්නේ මහින්දාගමනය සමගයි. ඉන්දියාව, ආයුර්වේදයේ මහා වෘක්ෂය නම් මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමග එම වෘක්ෂයේ අංකුර ශ්‍රී ලංකාවේ වැඩෙන්න පටන් ගත්තා. එය අද ශ්‍රී ලාංකේය ආයුර්වේදය නමින් මහා වෘක්ෂයක් බවට පත්ව තිබෙනවා. නමුත් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීමට පෙරත් ආයුර්වේදයේ ප්‍රාථමික අවස්ථාවන් ලංකාවේ තිබුණා. ඒවා බොහෝ විට ස්වදේශීය වශයෙන් වර්ධනය වූ ආයුර්වේද සංකල්පයි. මෙම ස්වදේශීය ආයුර්වේද සංකල්ප සඳහාත් භාරතයේ බලපෑම් තිබුණා. එයට අමතරව හින්දු සංස්කෘතියත් සමග ප්‍රධාන පුරුෂාර්ථයන්ද ලංකාවට ආවා. ඒ අතර පුරුෂාර්ථ 04ක් ප්‍රධානයි. කාම (ඉන්ද්‍රයන් පිනවීම), අර්ථ (ධනය සැපයීම), ධර්ම (යුතුකම් ඉටු කිරීම) සහ මොක්ෂය (ජීවිතයේ අවසන් අරමුණ අධ්‍යාත්මික සුවය) මෙම කරුණු 04යි.
මහින්දාගමනයට පෙර ලංකාවේ ජීවත් වුණේ යක්ෂ, නාග ආදී ජන කොට්ඨාසයි. ඇතැම් අය ගෝත්‍ර වශයෙන් හඳුන්වන්නේත් මේ ජන කොට්ඨාසමයි. මෙවැනි ස්වදේශීය ජන කොට්ඨාසවලට ආවේණික වූ වෛද්‍ය සංකල්ප ලෙස වැඩි වශයෙන් තිබුණේ භූත විද්‍යාවට අදාළ ප්‍රතිකාර ක්රමයන්. භූත වශයෙන් හඳුන්වන්නේ කායික චිකිත්සාවට වඩා මානසික චිකිත්සාව ප්රමුඛ කරගත් වෛද්‍ය ප්‍රතිකාර විධික්රමයි. බලි-බිලි, යාදිනී මේවායේ තිබූ ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම කිහිපයක්. මේවායෙන් මිනිසාගේ ස්වාධීනත්වය වෙනත් අද්භූත බලවේගයකට පවරා තිබුණා.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයට පෙරත් ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයන් සිටි බවට සාධක තිබෙනවා. ක්‍රි.පූ. 377-307 කාලයේ පණ්ඩුකාභය රජතුමා ‘රජ සිරිකා’ නමින් තිබිරිගෙයක් සකස් කළ බව මහාවංශයේ 10 වැනි පරිච්ජේදයේ සඳහන් වෙනවා. පණ්ඩුකාභය කුමාරයා ශිල්ප ශ්රාස්ත්ර හදාරා තිබෙන්නේ පණ්ඩුල නම් වූ බ්‍රාහ්මණයාගෙන් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. රටේ ඉහළ සමාජය ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ බ්‍රාහ්මණයන්ගෙන්. ඒ නිසාම බ්‍රාහ්මණයන්ගේ එක් එක් පරම්පරාවල මුඛ පරම්පරාගත ගුරුකුල තිබුණා.
වෛද්‍ය ශාස්ත්‍රය තුළ පරතෙරට ගොස් තිබුණෙත් බ්‍රාහ්මණයන්. නමුත් මොවුන් දේවනිර්මාණ වාදයෙන් ඉවත් වන්නට අපොහොසත් වුණා. මේ නිසා ආයුර්වේද වෙදකමෙත් කර්තෘත්වය පවරා තිබෙන්නේ මහා බ්රාහ්මයාටයි. මේ නිසාත් මිනිසාගේ ස්වාධීන අයිතිය මිනිසාටම අහිමි වෙලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවට බෞද්ධ දර්ශනය පැමිණීමත් සමග එතෙක් ලංකාවේ පැවැති වෙදකමට බෞද්ධ දර්ශනයේ හරයන් එකතු වුණා. බෞද්ධ දර්ශනයේ හිතකාමී පරිසරය තුළ විශ්වාසය අතිනුත් යථාර්ථය අතිනුත් ආයුර්වේදයේ සංකල්පවලට ශ්‍රී ලංකාව වඩාත් වේගයෙන් ව්‍යාප්ත වීමටද හැකිවුණා. එසේ වූයේ බුදුන් වහන්සේ ලෝකයේ ප්‍රථම හා ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයා වීම නිසයි. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඔහු මට උපස්ථාන කරනවා හා සමාන යැයි බුදුන් වහන්සේ විනය පිටකයේ මහා වග්ගයේ විවරක්ඛණ්ඩකයේද සඳහන් කර තිබෙනවා.
සූත්‍ර පිටකයේ (නිකායේ) 560ට අනුව බුදුන් වහන්සේ තමන් විසින්ම තමාව ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වාගෙන තිබෙනවා. එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ මිනිසුන්ගේ රාගාධී ශල්‍යයන් උදුරා දමන නිසා බවයි. ලෝවැඩ සඟරාවේ කතුවරයාද බුදුන් වහන්සේ වෙද නමින් හඳුන්වා තිබෙනවා. සත්හට වනබව දුකට වෙදානන් ලෙස යනුවෙන් එහි දක්වා තිබෙනවා.
මහින්දාගමනයේ ප්‍රතිඵලයක් මත සංඝමිත්තා මහ තෙරණිය විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක් ලංකාවට ගෙනාවා. සංඝමිත්තා තෙරණිය සමග අටළොස් කුලයක පිරිසක් පැමිණි බව මහාවංශයේ 19 වැනි පරිච්ජේදයේ 101 වැනි පිටුවේ සඳහන් වෙනවා. මොවුන් සමග ඉන්දියාවේ මෞර්ය සංස්කෘතික අංගත් පැමිණියා. ලංකාවේ නව සංස්කෘතික පැවැත්මට මේ කුලවලින් පැමිණි අය හේතු වී තිබෙන බව තහවුරු වෙනවා. ඒ අනුව කුල හෝ පවුල් 210ක් පැමිණ තිබෙනවා. මේ බව පාලි බෝධි වංශයේත්, සිංහල බෝධි වංශයේත් සඳහන් වෙනවා.
එහි බ්‍රාහ්මණ කුලයේ 08 දෙනෙක් පැමිණි බව සඳහන්. බ්‍රාහ්මණයන් යනු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතෙරට උගත් අයයි. එයට අමතරව මොවුන් සමග ඔසු දවටු කුල 08ක පිරිසකුත් පැමිණ තිබෙනවා. වෛද්‍යවරුන් නියම කරන බෙහෙත් ශරීරයේ ගල්වන අය, බෙහෙත් සකස් කරන අය ඔසු දවටු කුලවලට අයත් වෙනවා. අශෝක අධිරාජ්‍යයා විසින් මහා භාරතයේ පිහිටුවා ඇති ශිලාලිපි අතරින් ගිරනහාර්-2 ලිපියේ මනුෂ්‍ය චිකිස්සාය, පසු චිකිස්සාය යන වෙදකම් දෙක ගැනත්, බෙහෙත් වර්ග ගැනත් තම රාජ්‍ය අවට ඇති රාජ්‍යයන්වලට ඖෂධ වර්ග වෛද්‍යවරුන් යැවූ බවත් සඳහන් කර තිබෙනවා. තාමුපර්නි රටටද මනුෂ්‍ය චිකිස්සාය, පසු චිකිස්සාය, ඖෂධ යැවූ බව එහි සඳහන්. තාමුපර්නි ලෙස හඳුන්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.
කෙනෙකුට ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගීකම බව බුදුන් වහන්සේ ධම්ම පදයේ සුවච වග්ගයේ 06 වැනි ගාථාවේ සඳහන් කර තිබෙනවා. ඒ නිසාම අශෝක අධිරාජ්‍යයා තමන්ගේ පුතු මිහිඳු හිමියන් ධර්ම දූත මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකාවට එවද්දී දෙවනපෑතිස් රජතුමා වෙත ත්‍රිඵලා ඖෂධයද එවූ බව සඳහන් වෙනවා. ත්‍රිඵලා නමින් හඳුන්වන්නේ අරළු, බුළු, නෙල්ලි යන ඖෂධ තුනයි. මෙම ආයුර්වේද ඖෂධයෙන් ත්රිදෝෂය සමනය වෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ත්රිදෝෂය යනු ශරීරය තැනී ඇති වාත, පිත, කඵ යන කොටස් තුනයි. අශෝක අධිරාජයා බෞද්ධ දර්ශනයත් සමග ස්වස්ථාවෙන් (නිරෝගී බවින්) පිරිපුන් සමාජයක පැවැත්ම අපේක්ෂා කළා විය හැකියි. මෙවැනි පසුබිමක් තුළ බෞද්ධ දර්ශනය පදනම් කරගත් වෛද්‍යවරුන් වූ බුද්ධදාස රජතුමා වැනි අය බිහි වූ බවට අනුමාන කළ හැකියි.
ක්‍රි.පූ 247දී දේවානම්පියතිස්ස රජතුමා ලෝකයේ පළමු ආයුර්වේද රෝහල මිහින්තලා කඳු පාමුල ඉදිකළා. මෙය සංවිධානාත්මක ආකාරයෙන් ඉදිකරන ලද ලෝකයේ ප්‍රථම රෝහල බවට හඳුනාගෙන තිබෙනවා. අදටත් මෙහි නටඹුන් මිහින්තලා කඳු පාමුල දැකිය හැකියි. මෙම රෝහල ගොඩනගන්නට ඇත්තේ මහින්දාගමනයත් සමග පැමිණි ආයුර්වේද විශේෂඥයන්ට සිය රටවැසියන්ට වෙදකම් කරන්නට විය හැකියි.
ක්‍රි.පූ 02 වැනි සියවසට අයත් රජගල සෙල්ලිපියේ ‘යෙ ඉමදීප පටමය ඉදිය අගනන මහිඳ තෙරබව ඉඨික තෙරබව තුවේ’ යනුවෙන් මහින්දාගමනය පිළිබඳ සඳහන් කර තිබෙනවා. මේ බව සමන්ත පාසාදිකාව, ථූපවංශය, මහාවංශය, බෝධිවංශය ආදී පොත්පත්වලද සඳහන් වෙනවා.ආයුර්වේදය යනු ආයුෂ වැඩි කරන විද්‍යාවක්. එය ජීවන දර්ශනයක්ද වෙනවා. ආයුර්වේදය බුදුදහමේ ගුණාංගද ඇතුළුව පෝෂණය වූ නිසා කායිකව, මානසිකව මෙන්ම ආධ්‍යාත්මිකවද පිරිපුන් ජාතියක් ගොඩනැගිය හැකිවී තිබෙනවා.
අපරදිග ජාතීන්ගේ පැමිණීමත් සමග ඉතා වටිනාකම්වලින් සමන්විත ආයුර්වේදය හා හෙළ වෙදකම ක්‍රමයෙන් අභාවයට යන ගතියක් පෙන්නුම් කළා. ආයුර්වේදයත් බෞද්ධ දර්ශනය මෙන්ම දර්ශනයක්. අද ආයුර්වේද දර්ශනය තේරුම්ගත් ආකාරය නිවැරදිද යන්න පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි. වෙද වචනයේ තේරුම වෛද්‍ය යන්නයි. වෛද්‍ය යනු පාලි සාහිත්‍යයේ සකු බසට යෙදුණු වදනක්. පාලි භාෂාව ලංකාවට එන්නෙත් මිහිඳු මහා නාහිමියන්ගේ ආගමනයත් සමග පැමිණි බෞද්ධ දර්ශනයත් සමගයි. වෛද්‍ය යන්න විද්-ඥාතේ එකතු වී සකස්ව තිබෙනවා. එහි තේරුම බුද්ධිමතා යන්නයි. මෙය තවත් ගැඹුරින් විග්රහ කරද්දී අන්‍යෝන්‍ය, අනුන්ට උපකාර කරන්නා යනුවෙන් පෙන්වා දිය හැකියි. සැබැවින්ම වෛද්‍යවරුන් යනු මේ ආකාරයෙන් ක්‍රියාකරන අයයි.
ආයුර්වේද වෙදකම සඳහන් ග්රන්ථයක් වන චරක සංහිතාවේ සුත්රස්ථානයේ සයනයක වැතිරුණ රෝගියෙකුගෙන් ලාභයක් අපේක්ෂා කිරීම සර්ප විෂ හෝ රත් කරන ලද තඹ ගුලි මුඛයට දමාගැනීමක් ලෙස පෙන්වා දී තිබෙනවා. රෝගියෙකුගෙන් ලාභයක් අපේක්ෂා කිරීම උණු යගුලි ආහාරයට ගැනීමක් හා සමාන බවද එහි සඳහන් වෙනවා. වර්තමානයේ වෛද්‍ය ප්‍රතිකාර යනු මිල මුදල් යහමින් තිබෙන අයට පමණක් ලබාගත හැකි දෙයක්ය යන්න සමාජයේ බහුතර මතයයි.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග පැමිණි බෞද්ධ දර්ශනයේ හර පද්ධතියට අනුව අවිහිංසාව, පරානුකම්පාව, පරාර්ථ චර්යාව ආදී ගුණාංගයන්ගෙන් යුත් වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව වර්තමානයේ හොඳින්ම දැනෙනවා.
බටහිර වෙදකම ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ සිටි වෛද්‍යවරුන් මුදල් පෙරටු කරගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය නොකළ බව සාගර කුසුමරත්නගේ වෙද මහතා හා ගැමි සමාජය කෘතියේ සඳහන් කර තිබෙනවා. වර්තමානයේ පොසොන් පොහොය සමරද්දී මිහිඳු මහ රහතන් වහන්සේත් සමග පැමිණි ආයුර්වේදයේ මානුෂීය ගුණාංග පිළිබඳ කල්පනා කළ යුතුයි.
වෛද්‍ය වෘත්තියේ මහානුභාව සම්පන්න ගුණය වඩාත් හොඳින් දැනෙන්නේ වෛද්‍යවරයාට වඩා ඔහුගෙන් ප්‍රතිකාර පතා පැමිණෙන රෝගියාටයි. ඒ නිසාම බුදුදහමේ ගුණාංගවලින් පෝෂණය වූ වෛද්‍යවරුන් සෑමවිටම රෝගීන්ගේ සම්භාවනාවට ලක්වෙනවා. එබැවින් වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය මෙන්ම රෝගියාගේ ප්රතිකාරද එකසේ වැදගත් බවට මත දෙකක් තිබිය නොහැකියි. ප්‍රමිතිය තීරණය කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමක්. ජාතියේ බුද්ධිමතුන් රටේ අවශ්‍යතාව මත නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම්, රෝගියාගේ ගැරහුමට වෛද්‍ය වෘත්තිය කිසිදා පාත්‍ර වන්නේ නැහැ.
071 - 4409727 / [email protected]
අහුන්ගල්ල - තමිඳු මධුසර ලියනගේ