2020 කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට වැඩපිළිවෙළක් නැහැ
ලෝක සෞඛ්‍යය සංවිධානයේ පෙන්වාදීම්වලට අනුව දියර කිරි මිනිසාට අවශ්‍ය ආහාරයක් බවට පත්ව තිබේ. මේ නිසා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව තුළ 1978 වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කෙරිණි. එහෙත් සිදුව ඇත්තේ දේශීය කිරි කර්මාන්තය පහළ වැටීමට ලක්වීමය.
එසේ තිබියදී 2020 වසර වන විට කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිර තිබෙන බව වර්තමාන දේශපාලන කතාබහ තුළින් පෙන්වා දී තිබේ.
මේ නිසා පවතින අර්බුදකාරී තත්ත්වය හා 2020 දී රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කය පිළිබඳ %අද^ සමස්ත ලංකා සත්ත්ව සංවර්ධන උපදේශක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්.ජේ. එම්. බණ්ඩාර මහතා සමග කතාබහක නිරත විය.
රටේ කිරි නිෂ්පාදනය
ශ්‍රී ලංකාව පශු සම්පතින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් 1978 වසරේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආරම්භ කළා. මේ නිසා ඒ ආසන්න කාලයේදී රටේ අවශ්‍යතාවයෙන් 70෴කට වැඩි කිරි ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබුණා. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ආරම්භ කරලා මේ වන විට වසර 40කට අධික කාලයක් ගතවෙලා තියෙනවා. දැන් සිදුවෙලා තියෙන්නෙ රටේ කිරි අවශ්‍යතාවයෙන් 70෴කට අධික ප්‍රමාණයක් පිට රටින් ගෙන්වීමට සිදුවීමය.
රටින් කිරි ගෙන්වීම
2016 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව රට තුළ දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 384ක් පමණ වෙනවා. මේ නිසා රටේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට රුපියල් බිලියන 34කට අධික කිරි නිෂ්පාදන රටට ගෙන්වලා තියෙන බවට වාර්තා වෙනවා. සමස්තයක් ලෙස විදේශ රටවලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට වසරකට වියදම් කරන්නේ රුපියල් බිලියන 200කට ආසන්න මුදලක්. මෙම මුදලින් හයෙන් එකකට ආසන්න මුදලක් වියදම් කරන්නේ කිරි ආශ්රිත නිෂ්පාදන ගෙන්වීම සඳහා. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරනවා නම්, මෙම මුදල රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා.
ස්වයංපෝෂිත නොවූ රටක කිරි මහපාරේ හැළීම
මේක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. රුපියල් බිලියන 34කට අධික වටිනාකමකින් යුත් කිරිපිටි හා ඒ ආශ්රිත නිෂ්පාදන පිටරටින් ගෙන්වන විට කිරි ගොවියාගේ අස්වැන්න සමහර අවස්ථාවල විසිකරලා දාන්න වෙනවා. මීට අමතරව රජයේ කිරි නිෂ්පාදන ආයතනවල ගන්න දියර කිරි පවා විසි කරලා දාන බවට වාර්තා වෙනවා. සමහර අවස්ථාවල මාධ්‍යයෙන් පවා මෙවැනි අවස්ථා පෙන්වා තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නෙ රට තුළ නිසි කළමනාකරණ වැඩපිළිවෙළක් නැතිවීම. පළමු කාරණය තමයි දේශීය ගොවියාගේ කිරි ටික විධිමත් ආකාරයට සාධාරණ මුදලකට මිලදී ගැනීමට වැඩපිළිවෙළක් නොමැති වීම. දෙවැනි කාරණයය තමයි ලබාගන්නා දියර කිරිවලින් නියමිත ලෙස කිරි අශ්‍රිත නිෂ්පාදන සිදු නොකිරීම. තෙවැනි කාරණය තමයි දියර කිරි සහ කිරි ආශ්රිත නිෂ්පාදන රට පුරා බෙදා හැරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම. මෙම කාරණා නිසි ලෙස සිදු කරනවා නම් රටේ ජනතාවට දේශීය කිරි සහ කිරි ආශ්රිත නිෂ්පාදන නිසි ලෙස ප්‍රමාණාත්මක හා ගුණාත්මකව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
දේශීය කිරි නිෂ්පාදනය අරාජික වීම
රට තුළ දේශීය කිරි නිෂ්පාදනය කරමින් අතුරු නිෂ්පාදන සිදුවීම සාමාන්‍ය දෙයක්. හැබැයි වර්තමානයේ වනවිට දේශීය කිරි ආශ්රිත නිෂ්පාදන සඳහා දේශීය කිරි භාවිත කරනවාද කියන ගැටලුවකුත් ඇතිවෙලා තියෙනවා. මොකද කිරිපිටි ආනයනික බදු ප්‍රමාණය ගත්තොත් අද වන විට එය කිලෝ එකක් සඳහා රුපියල් දෙකක් වැනි සුළු මුදලක්. ඒ නිසා පිටිකිරි පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම හා අඩු මිලට පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම යන කාරණා මත දේශීය කිරි ගොවියාගේ නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. දේශීය කිරිවලින් රට ස්වයංපෝෂිත කරනවා නම්, මුලින්ම දේශීය කිරි ගොවියාට බදු සහන ලබා දෙන්න ඕන. ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දෙන්න ඕන.
කිරි ලීටරයට රුපියල් 70ක සහතික මිලක් ලැබීම
දේශීය කිරි ගොවියාගේ අස්වැන්නට සහතින මිලක් නියම කිරීම සතුටට කාරණයක්. එත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ කිරි ගොවියාගේ අස්වැන්නට මෙම මුදල ලැබෙනවාද කියන කාරණය. මොකද ලීටරයට රුපියල් 70ක් ලබා දෙන බව සඳහන් කළත් බහුතර කිරිගොවීන් ප්‍රමාණයකට මෙම මුදල ලැබෙන්නේ නැහැ. කිරි අලෙවි කරන්න ගියාම තියෙන විවිධ නීතිරීති නිසා ලීටරයට ලැබෙන්නේ රුපියල් 50ක්, 60ක් වගේ මුදලක්. හැබැයි සතුන්ට ලබාදිය යුතු ඖෂධ හා ආහාර ද්‍රව්‍යවල පවතින ඉහළ මිල සහ කිරි ගවයෙකු මිලදී ගැනීමට ඉහළ මිලක් වැය කිරීමට සිදුවීම යන කරුණු මත ලීටරයට රුපියල් 70 ක මුදලත් ප්‍රමාණවත් නැහැ. මේ නිසා සිදුකළ යුත්තේ දේශීය කිරි ගොවියාට පහසුකම් ලබාදී දේශීය නිෂ්පාදන වැඩියෙන් නිෂ්පාදනය කරවීමයි. ඒ සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි.
සත්ත්ව නිෂ්පාදන, සත්ත්ව ව්‍යාප්තිය හා නිෂ්පාදන?
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආරම්භ කරන්නේ දේශීය කිරි කර්මාන්තය දියුණු කරන්න. දේශීය කිරි නිෂ්පාදනය දියුණු කිරීම සඳහා සත්ත්ව සෞඛ්‍ය නිෂ්පාදනය, ව්‍යාප්තිය හා නිෂ්පාදන සහ සත්ත්ව සෞඛ්‍ය සේවාවත් ඒ සමානව දියුණු විය යුතුයි.
හැබැයි 1978 දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට සත්ත්ව කොට්ඨාසය දියුණු කිරීමට බලධාරීන් කටයුතු කළත් අනෙක් ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කළේ නැහැ. දෙපාර්තමේන්තුව ආරම්භ කරන විට පශූ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ නිලධාරීන් හිටියේ 130යි. මේ වන විට එම නිලධාරීන් ප්‍රමාණය 850කට අධිකයි. මේ අය සත්ත්ව සෞඛ්‍යයට වගකිව යුතු අය.
එහෙත් සත්ත්ව ව්‍යාප්තිය සිදුකිරීමට, සත්ත්ව ගහනය වැඩි කිරීමට හා නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමට කිරි ගොවීන් සමග සමීපව කටයුතු කරන සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් ඉන්නේ 600කට අධික ප්‍රමාණයක් පමණයි.
දෙපාර්තමේන්තුව ආරම්භ කරන විට සත්ත්ව සංවර්ධන නිලධාරීන් 1200ක් හිටියා. අද වන විට එම ක්ෂේත්රය ක්‍රමයෙන් කඩා වැටෙමින් තියෙනවා. ආසන්න වශයෙන් රටේ කිරි නිෂ්පාදනය ඉහළ දමා ගැනීමට බලධාරීන්ට සැබෑ වුවමනාවක් තියෙනවා නම්, මුලින් සිදුකළ යුතු වන්නේ සත්ත්ව සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රමාණය දෙගුණයක් බවට පත්කිරීමයි. එසේ නොකිරීමෙන් මේ ක්ෂේත්රය කිසි ලෙසකින්වත් දියුණු කළ නොහැකියි.
දේශීය කිරි ගොවියාගේ තත්ත්වය
ලංකාවේ කිරිගව අභිජනන ක්‍රියාවලිය ගත්තාම ලෝකයේ අනෙකුත් රටවල සිදුවන කටයුතුවල තත්ත්වයටම එය සිදුවෙනවා. ඒ දේ සිදුවෙන්නේ නිලධාරීන්ගේ කැපවීම නිසා. වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදෙන ගව වර්ග ලංකාව තුළ සිටිනවා. උදාහරණයක් විදියට කියනවා නම් දිනකට කිරි ලීටර් 20ත්, 30ත් ගන්න පුළුවන් කිරිගවයන් උඩරට ප්‍ර‘‘දේශයේ ඉන්නවා. අනෙකුත් ප්‍ර‘දේශවලදී පවා කිරි ලීටර් 10ත්, 15ත් වැනි ප්‍රමාණයක් කිරි ලබාගත හැකි සතුන් ඉන්නවා. ප්රශ්නය තියෙන්නේ හොඳ කිරි ගවයෙකු නඩත්තු කරන ආකාරය සහ කිරි අස්වැන්න ලබා ගැනීම පිළිබඳ කිරි ගොවීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් නොමැති වීමයි.
කිරි ගොවීන්ගේ නොදැනුවත්භාවය නිසා හොඳ කිරිගවයන් අධික හිරු රශ්මියට නිරාවරණය කරනවා. වැස්සට තෙමෙන්නට දෙනවා. නිසියාකාරව නඩත්තු කිරීමක් නැහැ. මේ නිසා හොඳ කිරිගවයන් සිටියදීත් කර්මාන්තය දියුණු කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. මීට අමතරව කිරි ලීටර් 20ත්, 25ත් ගන්න පුළුවන් කිරිගවයන් පවා මස්වලට විකුණා දමනවා. මේ තත්ත්වය නවතා දැමීමට රට තුළ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන.
ගව කර්මාන්තය ව්‍යාප්ත වීම
රටක් වශයෙන් ගතහොත් ගවයන් වැඩිපුරම සිටින්නේ උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවල. ඒත් වැඩි කිරි ප්‍රමාණයක් මධ්‍යම පළාත තුළින් නිෂ්පාදනය කරනවා. මධ්‍යම පළාත ගත්තාම දේශීය නිෂ්පාදනයේ කිරි ප්‍රමාණයෙන් 40෴ක් නිෂ්පාදනය කරනවා.
පොදුවේ ලංකාවේ ඕනෑම තැනක ගවයන් ඇතිකරන්න පුළුවන්. හැබැයි ගවයන් ඇතිකිරීම සඳහා තෘණ වර්ග, හොඳ ගවගාල් තිබිය යුතු වෙනවා. මේ නිසා පවතින පහසුකම් උපයෝගී කරගෙන ලංකාවේ ඕනෑම තැනක කිරි කර්මාන්තය සිදු කිරීමට හැකියව තියෙනවා. අවශ්‍ය වන්නේ වැඩපිළිවෙළක් වගේම අවශ්‍ය පහසුකම් කර්මාන්තකරුවන්ට ලබාදීමයි.
රටින් කිරිගවයන් ගෙන්වීම
මේක අනුමත කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සංගමයක් ලෙස මෙම කටයුත්තට විරුද්ධයි. රට තුළ හොඳ අභිජනන ක්‍රම ක්‍රියාත්මක කරලා හොඳ කිරිගවයන් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. අනෙක් එක රුපියල් ලක්ෂ 04ට, 05ට කිරිගවයෙකු ගෙනැවිත් රුපියල් ලක්ෂ දෙකකට ව්‍යාපාරිකයන්ට දෙනවා. සිදුකළ යුතු වන්නේ පිටරට යන මුදල් ටික රට තුළ ආයෝජනය කරලා දේශීය කර්මාන්තය දියුණු කිරීමයි. අනෙක් එක තමයි ලක්ෂ 04ක් 05ක් දීලා ගෙනැවිත් කිරි ලීටර් 18ක්, 20ක් ගන්න පුළුවන් කිව්වා. එත් හරියට හොයලා බැලුවොත් බොහෝ සතුන්ගෙන් ඒ අස්වැන්න ලැබෙන්නෙ නැහැ.
2020 කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළ
මේක සමහර දේශපාලඥයන්ගේ ප්‍රකාශ. මොකද දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව 2020 දී කිරිවලින් රට ස්වයංපෝෂිත කරනවා කියලා කියනවා. අද දවස ගත්තොත් රටේ අවශ්‍යතාවෙන් 30෴කටත් අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නෙ. මේ නිසා 2020 කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට තවත් 70෴ක ප්‍රතිශතයක් අවශ්‍යයි. 2020 වසර අවසන් වනවිට කිරිවලින් රට ස්වයංපෝෂිත කරනවා නම්, වසරකට 23.33෴කට අධික ප්‍රමාණයකින් දියරකිරි ඉහළ දැමිය යුතුයි. බිම් මට්ටමේ එවැනි වැඩපිළිවෙළක් නැහැ. එසේ තිබියදී සමහර නිලධාරීන් බොරු සංඛ්‍යාලේඛන පෙන්වා ජනාධිපතිවරයා පවා රැවටීමට ලක්කරමින් සිටිනවා. මේ නිසා රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට නම් ඒ ආශ්රිත ක්ෂේත්රවල සේවය කරන නිලධාරීන්ගේ ගැටලු විසඳා, කිරිගව කර්මාන්තය දියුණු කිරීමට වැඩකටයුතු කළ යුතුයි.
සත්ත්ව සංවර්ධන නිලධාරීන්ගේ දීමනා හා ගැටලු
රටේ කිරි නිෂ්පාදනය ඉහළ යෑම සැලකිල්ලට ගෙන ආණ්ඩුව නිලධාරීන්ට රුපියල් 7,500ක මාසික දීමනාවක් ලබාදීමට තීරණය කළා. මෙම තීරණයට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහ නගර සභා, නගර සභාවල ඉන්න පශු වෛද්‍යවරුන්ට සහ අනෙකුත් පශු වෛද්‍යවරුන්ට රුපියල් 7,500ක දීමනාවක් ලබා දුන්නා. එ්ත් කිරි කර්මාන්තය සමග ඍජුව සම්බන්ධ ගොවීන් සමග සමීපව රාජකාරි කටයුතු කරන සත්ත්ව සංවර්ධන නිලධාරීන්ට එම දීමනාව තවම ලබා දුන්නේ නැහැ. අදාළ මුදල සත්ත්ව සංවර්ධන නිලධාරීන්ට ලබාදිය යුතු බවට නිලධාරීන් සියලුම දෙනා පිළිගන්නවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


