එක්සත් ජාතික පක්ෂය තුළ කාන්තා නියෝජනය අඩු බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය පවසයි. එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා හෝ පක්ෂයේ කිසියම් නායකයෙකු ඉදිරිපත්ව මහින්ද රාජපක්ෂ මහතාට තරගයක් දිය යුතුය යන ස්ථාවරයේද ඇය පසුවෙයි. මේ ඒ ගැන ලියැවුණු සාකච්ඡා සටහනකි.
-
පසුගියදා අලුත්ගම දර්ගා නගරයේදී ඇති වූ සිද්ධියෙන් අපේ කතාබහ පටන් ගනිමු?
දැනට වසර දෙක තුනක් රටේ වෙන දේවල් බැලුවාම රජය ගතයුතු ක්‍රියාමාර්ග ගත්තාද කියා ප්‍රශ්නයක් තියෙනවා. සංහිඳියාව අවශ්‍ය මොහොතේදී ආගම්වාදය, ජාතිවාදය ඇති කරමින් යන ගමනේ උග්‍ර අවස්ථාවක් තමයි අලුත්ගමදී අපි දැක්කේ. සිදුවීම් වෙද්දි එයට වේදිකාවක් සකසා දීම තුළින් මේ රටේ සුළු ජාතීන්ට හිරිහැර කිරීම කනගාටුදායකයි. මේ සිද්ධියට සම්පූර්ණයෙන් වගකියන්න ඕන වත්මන් රජයයි. මෙතන තනිකරම අන්තවාදය ගමන් කරන්නේ. ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරු, මේ රටේ ප්රභූවරු විද්වතුන් පවා ඒක කියනවා. මම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දරුවෝ කොච්චර බයෙන්ද ජීවත් වෙන්නෙ. හෙට ඒ අයට මොන වගේ ඉරණමක් ඇතිවේවිද කියන බයෙන් තමයි ඔවුන් ඉන්නෙ.
-
තාමත් ඒ තත්ත්වය තියෙනවාද?
තාමත් එහෙම තමයි. බොහෝ අය අපට කතා කරන්නේ ලොකු සැකයකින්. හෙට අනිද්දා මෙතනටත් ඒවිද, පැතිරේවිද කියල බයෙන් ඉන්නේ. මොකද පානදුර, දර්ගා නගරවල ප්‍රධාන වෙළෙඳ සැල් ගිනි තැබීම මෙයට හේතුවයි. මේ සිද්ධියත් එක්ක බුද්ධි අංශ ගැන කතා වෙනවා. මංගල සමරවීර මන්ත්‍රීවරයා ඒ ගැන ප්‍රශ්න කරල තිබුණා.
-
ඔහු කියන කාරණා පක්ෂය දරන මතයමද?
මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ කතාවේ ඇත්ත නැත්ත මම දන්නෑ. එතුමාගේ ප්‍රකාශය ගැන මම හරිහැටි දැනුවත්වීමක් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කැමති නෑ. ඉදිරියේ එන මැතිවරණවලට අලුත්ගම සිදුවීම කොයි ආකාරයෙන් බලපාවිද? සමහරු මේවට උල්පන්දම් දෙන්නේ බහුතර ජනතාවගේ ඡන්ද පදනම බලාපොරොත්තුවෙන්. ඒක මගේ පෞද්ගලික අදහසක්. එහෙම හිතාගෙන යන ගමන ඒ අයට අවාසියක් වෙනවා මිසක් වාසිදායක තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ. මම දේශපාලනයයි, ආගමයි ගෑවෙනවට කැමති නැහැ.
-
මෙතනදි මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ආගමනය කොයි විදියටද දකින්නේ?
මාඳුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් ඉදිරියට ඇවිත් රටේ විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කතා නොකරන ඍජු ප්‍රශ්න කතා කරලා තිබුණා. ඒ ගැන මම සතුටට පත්වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්න සෝභිත හිමියන් සූදානම් බව කියා තිබුණා.
-
මෙහිදී එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ කොයි ආකාරයටද?
ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයකට ඉල්ලන්න පුළුවන්. හෙට මට උනත්, ඔබට උනත් ඉල්ලන්න ඕන නම් ඒ සඳහා අවකාශය තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදිහට පාක්ෂිකයෙක් විදියට අපි අපේ පක්ෂයෙන් නාමයෝජනා දිය යුතු බව මගේ අදහසයි. ඒ සඳහා සුදුසු පසුබිමකයි අපි ඉන්නේ. මගේ අදහසත්, එකම විශ්වාසයත් වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝග කරන්න පුළුවන් නායකයෝ රාශියක් අපේ පක්ෂයේ ඉන්නවා. ගියවර සම්මේලනයට කලින් සම්මේලනයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා කිව්වා නායකතුමා ඉල්ලන්නෙ නැත්නම් එතුමා ඉල්ලන බව. ඒ නිසා අපේ පක්ෂයේ ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් නායකයෝ ඉන්නවා. එහෙම ඉද්දි අපි වෙන තැන්වලට යා යුතු නැහැ.
-
එහෙම වුණොත් සෝභිත හිමියන්ගේ වෑයමට මොකද වෙන්නෙ?
සෝභිත හාමුදුරුවන්ටත් පොදු අපේක්ෂකයෙක් වශයෙන් ඉල්ලන්න අවකාශය තියෙනවා. උන්වහන්සේ මේ රටේ ප්‍රබල ප්රශ්නවලදී ආගම් බේදයකින් තොරව ඒවාට මැදිහත්වෙලා හඬක් නගපු ස්වාමීන් වහන්සේ කෙනෙක්.
-
ඒ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අභියෝගයක් දෙන්නෙ කොහොමද? ඡන්ද පදනම බෙදිල යනවනේ?
මහින්ද රාජපක්ෂට අභියෝග කරන්න එක්සත් ජාතික පක්ෂයේ ඕනතරම් අය ඉන්නවා. සෝභිත හාමුදුරුවෝ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නෙමෙයි. මම කතා කරන්නේ පක්ෂය වෙනුවෙන්. මට පිටස්තරින් කවුද ඉල්ලන්නේ,ජනාතා විමුක්ති පෙරමුණේ අනුරු කුමාර දිසානායක ඉල්ලනවද?, දෙමළ සන්ධානයෙන් විග්නේෂ්වරන් මහඇමතිවරයා ඉල්ලනවාද කියල මට අදාළ නැහැ. නමුත් පක්ෂය තීරණයක් ගත්තොතින් පක්ෂය ඉදිරිපත් නොවී පොදු අපේක්ෂකයෙක් වෙත යාමට සුදුසුයි කියලා, බහුතර පාක්ෂිකයන්ගේ මතයට හිස නමනවා. නමුත් පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝග කරන්න ඕනතරම් නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. ඒ නිසා මේ දැවැන්ත පක්ෂයේ කෙනෙක් අනිවාර්යෙන්ම ඉදිරිපත් විය යුතුයි.
-
ඔබතුමියත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් කියලා ඇමරිකාවේදී කියල තිබුණ නේද?
ඒ මුළු සම්මුඛ සාකච්ඡාවම ජනතාවට දුන්නොත් පැහැදිලිවම තේරෙයි කොතැනටද ඔය ප්රශ්නය ආවේ කියල. ප්‍රශ්න ගණනාවක් අහල අහලා අන්තිමට මගෙන් ඇහුවා ඔබතුමිය කවදාහරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද කියලා. මම ටිකක් කල්පනා කරලා ඒකට උත්තර දුන්නා. මම නැහැයි කිව්වොත් මුළු කාන්තා සංහතියම පසුබෑමකට ලක් කළා වෙනවා. කාන්තාවන්ට සමතැන, නිසිතැන ලබාදිය යුතුයි කියා කටයුතු කරන කෙනෙක් විදිහට එහෙම කළොත් සමස්ත කාන්තා පරපුරම පහතට හෙලුවා වෙනවා. මම කිව්වෙ ඇයි බැරි? ඇයි මම සුදුසු නැත්තේ? කාන්තාවකට ජනාධිපතිවරණයට යාමට හැකි පසුබිමක් ගැන කතා කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවකට ඒ තත්ත්වයට යාමට නොහැකි තත්ත්වයක් තිබෙන බවත් මම කිව්වා. එහෙම නැතිව ජනාධිපති මැතිවරණයට දැන් ඉදිරිපත් වෙන්න කිසිම අදහසක් නෑ.
-
ඒ කියන්නේ පක්ෂය තුළ කාන්තාවකට ඉදිරියට යන්න අවස්ථාවක් නැද්ද?
අපි ප්රතිසංවිධාන කටයුතු කරද්දී කාන්තාවන් වෙනුවෙන් පක්ෂයට යෝජනා ගණනාවක් ගෙනාවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවම වශයෙන් කාන්තාවන් 30% ක් සිටිය යුතු බව මම කීවා. ඒ වගේම සෑම තීන්දු තීරණ ගන්නා මණ්ඩල වල (දේශපාලන මණ්ඩලය, නාමයෝජනා මණ්ඩලය වගේ) කාන්තා නියෝජනය 30%ක් තිබිය යුතුමයි කීවා. ඔය යෝජනාව ගෙනාවාම ප්රතිසංවිධාන කමිටුවේ හිටපු විජේදාස රාජපක්ෂ මහතා එදා ඕක අදාළ නැහැ කිව්වා. එතකොට මම සටන් කළා. මගේ ඒ සටන් කිරීම තුළ කෘත්‍යාධිකාරී මණ්ඩලයට 20%ක කාන්තා නියෝජනයක් දාන්න රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළා. මේ වනවිට 30% ක් නෑ. නමුත් 18% ක් විතර ඉන්නවා. අද නායකත්ව මණ්ඩලය අරගෙන බලන්නකෝ කාන්තාවක් නෑ. ඉතිං රටේ බහුතර ජනතාව කාන්තාවෝ වෙද්දි, මේ රටේ ඡන්ද දායකයන්ගේ බහුතරය කාන්තාවෝ වෙද්දි, කොළඹ දිස්ත්‍රික්කයේම 57% ක් කාන්තා ඡන්දදායකයෝ ඉද්දි ඇයි කාන්තා නියෝජනයක් නැත්තෙ? අන්න ඒක මම ප්‍රශ්න කරනවා. පක්ෂය ඇතුළේ ඉඳගෙන මම ඒකට සටන් කරනවා.
-
පක්ෂයේ නායක මට්ටමේ තනතුරුවලට කාන්තාවෝ ඉදිරිපත් කළයුතු බවද ඔය කියන්නේ?
පක්ෂයේ නායක තනතුරුවලට කාන්තාවක් නිකන් නාමිකව දාලා වැඩකුත් නෑ. මම විශ්වාස කරන්නේ 50%ක් වත් කාන්තාවෝ ඉන්න ඕන. නායකත්ව මණ්ඩලයේ කාන්තාවෝ ඉන්න ඕන, නාමයෝජනා මණ්ඩලයේ ඉන්න ඕන, යොවුන් සංවිධානයේ 50% ක් කාන්තාවෝ සිටිය යුතුයි. අපේ රටේ බහුතරය කාන්තාවෝ නම් ඒ ප්‍රමාණය නියෝජනය කරන පිරිස සිටීම තමයි සෑබෑ ප්රජාතන්ත්රවාදය කියන්නේ. කාන්තාවෝ නියෝජනය වෙන්නෙ නැත්නම් මේ රටේ ප්රජාතන්ත්රවාදයක් තියෙනවද කියා ප්‍රශ්නයක් ඇතිවෙනවා. අපි ප්රජාතන්ත්රවාදය ගැන මහලොකුවට කතා කරන පක්ෂයක් හැටියට, සැබැවින්ම ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනවා නම් බහුතර කාන්තාවෝ නියෝජනය නොවන එක ගැන මම කණාගාටු වෙනවා.
-
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත මුදල් වලට කොන්දේසි දමා තිබීම ගැන ඔබ අදහස් දක්වන ආකාරයක් අපි දුටුවා?
කාන්තාවන්ට සුළු ව්‍යාපාර පටන් ගන්න, සුළු ණයක් ලබාදෙන්න, මහන මැෂිමක් අරන් දෙන්න අපි කැමති වුණාම ඒවාට කොන්දේසි දාල තියෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් මේක සිද්ධ වෙන්නේ. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 300 ක් දෙද්දි, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙන්නෙ ලක්ෂ 50යි. මෙතනදී විපක්ෂයේ අපිට කොන්දේසියක් දැම්මට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඒක අදාළ නැහැ. අපිට තහඩුවක් වත් දෙන්න බැහැ. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඕන හැටියට පාරවල් හදනවා. මේ අය මැති ඇමතිවරුන් නොවේ. අපිට දෙන ලක්ෂ 50න් මෙලෝ දෙයක් කරන්න බෑ. අපි ජනතාව තෝරාපත් කරපු නියෝජිතයන්. ඒ නිසා ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ට දෙන වරප්‍රසාදය අපිටත් ලැබිය යුතුයි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඒ මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමතර ප්‍රතිපාදන නිසා ඒ අය ඒ තුළින් දේශපාලනය කරනවා. ඒකට මම විරුද්ධයි
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු