ශ්‍රී ලංකා පොලීසිය සිය 150 වන සැමරුම් උත්සවය පවත්වනු ලැබුවේ 2016 සැප්තැම්බර් මස 03 වන දිනය. එහෙත් මෙවර ශ්‍රී ලංකා පොලීසිය සමරනු ලැබූයේ 153 වන පොලිස් විරු සමරු දිනයයි.
සංවිධානාත්මක පොලිස් සේවය ආරම්භ කිරීමට වසර දෙකකට පෙර එනම් 1864 මාර්තු මස 21 වන දින කන්ද උඩරටට ප්‍රවේශ වන මාවනැල්ල නගරයට ආසන්න උතුවන්කන්ද ප්‍රදේශයේදී සරදියල් ඇතුළු දාමරිකයන් අත්අඩංගුවට ගැනීමට දියත් කළ ක්‍රියාන්විතයේදී සරදියල්ගේ සහචරයා වූ මම්මලේ මරික්කාර් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල් සහාන් වීර වික්‍රමාන්විතව දිවි පිදුවේ මාර්තු 21 වැනිදාය.
1864 මාර්තු මස 21 වන දින සිදුවූ මෙම සිද්ධිය මුල්කරගෙන සෑම වසරකම මාර්තු මස 21 වන දින පොලිස් විරු දිනය සමරනු ලබයි.
මෙවරද පොලිස් විරු දිනයේ ප්‍රධාන උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස්පති ධුරන්ධර පූජිත් සේනාධිබංඩාර ජයසුන්දර මහතාණන්ගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ඉදිකර ඇති ප්‍රධාන විරු ස්මාරකය අභියසදී පැවැත්වුණ අතර, 1864 මාර්තු 21 වන දින පොලිස් කොස්තාපල් සහාන් වීර ක්‍රියාන්විත ලෙස දිවි පිදූ මාවනැල්ල නගරය අසල පිහිටි ස්මාරකය අභියස විශේෂ විරුසමරු උත්සවයක්ද , 1990 ජූනි 11 වන දින පොලිස් නිලධාරීන් 400ක් දිවිපිදූ අම්පාර රූපස්කුලම් ප්‍ර‘දේශයේ ඉදිකර ඇති විරු ස්මාරකය අබියස විශේෂ විරු සමරු උත්සවයක්ද පැවැත්විණ.
යම් ජන කොටසකගේ සාමය, සුරක්ෂිතභාවය ආරක්ෂා කරනු පිණිස යමෙකු කළ හැකි උතුම්ම ක්‍රියාව වන්නේ ඒ ශ්‍රේෂ්ඨ අරමුණ වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමය. එවැනි උතුම් දිවිපිදුම් සිදුකළ සෑම අයෙකුම ඉතිහාසයට එක්ව ඇත්තේ විරුවන් සහ වීරවරියන් ලෙසය. ඊයේ (21දා) දින අප සිහිපත් කරනු ලැබූයේ එලෙස දිවි පිදූ විරුවන් හා වීරවරියන්ගේ ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියාවයි.
මානව ශිෂ්ටාචාරය ආරම්භක අවධියේ පටන් මේ මොහොත දක්වා අවස්ථා රැසකදී මානව සමාජයේ ශිෂ්ටසම්පන්නභාවය, යහපැවැත්ම උදෙසා දිවි පිදූ විරුවන් සහ වීරවරියන් සැමදා ජනතාවගේ හදවත් තුළ ජීවත් වෙමින් ජනතාව වෙතින් පිදුම් ලැබීම සිදුවන බව අප පසක් කර ගත යුතු සත්‍යයකි.
තම මාතෘ භූමියේ සුන්දරත්වය, සුරක්ෂිතභාවය මෙන්ම මහජනතාවගේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිස් කොස්තාපල් සහාන්ගේ සිට අද දින දක්වා පොලිස් විරුවන් මෙන්ම වීරවරියන් 3111ක් සිය රුධිරයෙන් මෙම මාතෘභූමිය දෝවනය කළ බව ලාංකේය මහජනතාව සැමදා කෘතවේදීව සිහිපත් කරනු ඇත. එසේ දිවි පිදූ පොලිස් විරුවන් අතර විහාර මහා දේවියගේ පරපුර නියෝජනය කරන වීරවරියන් 15 දෙනෙකුද වේ.
1864 සිට 1971 දක්වා වූ වසර 107 තුළ පොලිස් විරුවන් 65 දෙනෙක් වීර වික්‍රමාන්විත ලෙස දිවි පුදා ඇති අතර , 1971 අප්‍රේල් කැරැල්ලට මුහුණ දීමෙන් පොලිස් විරුවන් 38 දෙනෙක් දිවිපුදා ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීමේ අරමුණ පෙරදැරිවය. 1988 -89 වර්ෂයන් තුළ දකුණේ ක්‍රියාත්මක වූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොලිස් විරුවන් මෙන්ම වීරවරියන්ද 357 දෙනෙක් ජීවිත පූජා කරන ලද්දේ භීෂණය තුරන් කිරීම සඳහාය.
1978 පෙබරවාරි මස 14 වන දින කන්කසන්තුරේදී දිවි පිදූ පොලිස් කොස්තාපල් 3164 කරුණානිධි ද්‍රවිඩ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් ජීවිතය පූජා කළ යුද, නාවික, ගගන, පොලිස් සාමාජිකයන් අතර පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්වී ඇත. සමස්ත ද්‍රවිඩ ත්‍රස්තවාදී අරගලය තුළ පොලිස් විරුවන් සහ වීරවරියන් 2594 දෙනෙක් මාතෘ භූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් වීර වික්‍රමාන්විත ලෙස දිවි පුදා ඇති බව නිදහස අත්විඳින සියලු ලක්වැසියන් සිහිපත් කරන්නේ ගෞරවාභිමානයෙනි.
මෙරට ජනතාවගේ සාමය සහ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරිම වෙනුවෙන් දිවි පිදූ පොලිස් විරුවන් 3111ට අමතරව පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් මෙන්ම නිලධාරිනියන්ද 639 දෙනෙකු තම අනාගතය අප මාතෘ භූමිය වෙනුවෙන් කැප කර සිටින බව අප අවබෝධ කරගත යුතු කරුණකි.
දිවි පිදූ විරුවන් මෙන්ම ආබාධිත තත්ත්වයට පත්ව ඇති විරුවන් ඔවුන්ගේ හෙට දවස සහෝදර ජන කොටසකගේ අද දවස සුරක්ෂිත කිරීමේ මහැඟි කාර්යයකට කැපකර ඇත්තේ කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජන පතා නොවේ. එමෙන්ම දිවි පිදූ විරුවන්ගේ සහෘදයන් මෙන්ම ආබාධිත විරුවන් හා ඔවුන්ගේ සහෘදයන් සැමදා සිහිපත් කිරීම, ඔවුන් ආදරයෙන් රැකබලා ගැනීමේ වගකීමද අප සැම ඉදිරියේ ඇති අභියෝගයකි.
පොලිස්පත් පූජිත් ජයසුන්දර මහතාණන්ගේ විශේෂ අවධානය පොලිස් විරු සුබසාධනය පිළිබදව යොමු වී ඇත. ඒ අනුව,
යුද ආබාධිත නිලධරයන් වෙනුවෙන් ගෙවනු ලබන සියලුම දීමනා, නීතිය ආරක්ෂා කිරීමේ රාජකාරී වලදී අබාධිත තත්ත්වයට පත්වන නිලධරයන් වෙනුවෙන්ද ඒ හා සමානව ගෙවීම.
නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටියදී සිදුවන ආබාධ හේතුවෙන් විශ්‍රාම ගන්වා ඇති වසර 10 සේවා කාලයක් සපුර නොමැති නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම.
මීරිගම වල්බෝතලේ පොලිස් රණවිරු ගම්මානයේ පොලිස් විරුවන්ගේ පවුල් සඳහා නිවාස ඉදිකර දීම.
පොලිස් රෝහල් තුළ පොලිස් විරුවන්ගේ යැපෙන්නන් සඳහාද ප්‍රමුඛතාවය හිමිකර දීම.
ආදිය සිදුකිරීමට නියමිත අතර මේ වන විටත් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් වන,
පොලිස් සේවා වනිතා ඒකකය මඟින් ක්‍රියාත්මක කරන පොලිස් විරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් සඳහා නිවාස ආධාර ලබාදීම.
පොලිස් විරු පවුල්වල දරුවන් සඳහා පාසල් අධ්‍යාපන ශිෂ්‍යත්ව හා විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව පිරිනැමීම,
දරුණු රෝගාබාධ සඳහා වෛද්‍ය ආධාර පිරිනැමීම,
වාර්ෂික සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මියගිය පොලිස් විරුවන්ගේ යැපෙන්නන් සඳහා ආහාර සහන මල්ලක් නිවසට ගොස් පිරිනැමීම,
මියගිය නිලධරයන්ගේ යැපෙන්නන් සඳහා හා ආබාධිත නිලධරයන් සඳහා නම් කරන ලද ආයතන 43කින් වරප්‍රසාද හිමිකර ගත හැකි 'විරුසර' නමින් කාඩ්පතක් ලබා දී තිබීම.
පොලිස් පවුල් සුභසාධක සංගමය මගින් පොලිස් විරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පොලී රහිත ණය ආධාර ලබදීම ආදිය සිදුකරන බව විශේෂයෙන් සඳහන් කළ හැක.
ශ්‍රී ලංකා පොලීසිය, වසර 150ක සිය විශිෂ්ටත්ව ගමන තුළ ශ්‍රී ලාංකේය ජනතාවගේ සාමය, සුරක්ෂිතභාවය සුරැකීමේ අභියෝගයට නොපැකිළිව, නොබියව මුහුණ දී සිටී. ලක්වැසියන්ගේ සාමයට අභියෝග එල්ල වූ සෑම අවස්ථාවකදීම පෙරමුණ ගෙන ඇත්තේ පොලිස් විරුවන්ය. එය 1971 දී වැල්ලවායෙන්ද, 1978 දී කන්කසන්තුරෙන්ද, 1988දී කොළඹ ප්‍රදේශය මුල් කරගනිමින් සිදුවූ සිද්ධි වලින්ද පැහැදිලි වේ.
සියලු අභියෝග හමුවේ නොසැලෙන ඉන්ද්‍රඛීලයක් සේ සිටිමින් රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ හා ආබාධයට ලක්වූ පොලිස් විරුවනි, වීරවරියනි හිරු නැගෙන විටත් හිරු බැස යන විටත් සියලුම කෘතවේදී ශ්‍රී ලාංකිකයන් ඔබ සැමව සිහිපත් කරන්නේ හදබැතියෙනි.
දෙන මුත් දිවි රට වෙනුවෙන් - ජාතික දරුවන් ලැබුවෙන්
මිදි නොයෙක් සතුරු මුවෙන් - ලක් මව් සැනසේය සුවෙන්
ප්‍රියන්ත ජයකොඩි - නියෝජ්‍ය පොලිස්පති
පොලිස් මාධ්‍ය ප්‍රකාශක