පොපි මල් පුබුදින නොවැම්බරය
රතු පැහැති පොපි මල සංකේතාත්මකව මියගිය හා තුවාල ලැබූ සන්නද්ධ හමුදා රණවිරුවන් සිහිගන්වයි.මෙය දීර්ඝ ඉතිහාස කතාවක ඇරඹුමකි.ලෝකය පුරා සෑම වර්ෂයකම නොවැම්බර් 11වෙනිදා යුද විරුවන් සමරමින් පොපි මලින් සරසයි.
පොපි මලේ ඉතිහාස කතාව පළවන ලෝක යුද සමය දක්වා දිව යයි.ඒ 1914 වර්ෂයයි.
බටහිර ලෝකය තුළ යුධකාමී අදහස් වර්ධනය වෙමින් තිබිණ.ආසියාව සහ අප්‍රිකාවෙන් කොල්ලකා ගත් සම්පත් හා ධනය භාවිතයෙන් වැඩි වැඩියෙන් ආයුධ නිපදවන්නට විය. බටහිර රටවල යුධ නායකත්වයට විශාල බලයක් කේන්ද්‍රගත වීමත් , රටවල් සහ ජාතීන් අතර ගැටලුවලට එකම විසඳුම යුද්ධය ලෙසත් ඔවුන් විශ්වාස කළහ.

එපමණක් නොව යුරෝපය දෙපිළකට බෙදුනහ. බ්‍රිතාන්‍ය ප්‍රංශය සහ රුසියාවේ එක් පිළක විය.ඔවුන් හැඳින්වූයේ මිත්‍ර පාක්ෂිකයින් ලෙසය. අනෙක් පිළ වූයේ ජර්මනිය ,ඔස්ට්‍රියා/ හංගේරියාව ඇතුලත් වූ මධ්‍යම බලවතුන් ය.
මේ පසුබිම තුළ යුරෝපයේ අධිරාජ්‍යවාදී තරඟයක්ද පැවතිණ.හැම යුරෝපා රටක්ම පාහේ තවත් රටක් හෝ කිහිපයක් ඈඳාගෙන අධිරාජ්‍ය ගොඩනැගීමට මාන බැලූහ.සැබවින්ම මෙම තත්ත්වය යුරෝපය තුළ තරගයක් නිර්මාණය කළේය.
බොහෝ රටවල් බොහෝ ජාතීන් තමන්ගේ ජාතිකත්වය, තමන්ගේ භාෂාව, තමන්ගේ සංස්කෘතිය, අනෙක් ජාතීන්ට භාෂාවන්ට හා සංස්කෘතීන්ට වඩා සුවිශේෂී යයි උසස් කොට සිතූහ.තමන් අන් අයට වඩා ශ්‍රේෂ්ඨ යයි සිතූහ.
යුරෝපය තුළ මෙවැනි පසුබිමක් නිර්මාණය වෙමින් තිබිය දී ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා වූ ප්‍රාන්ස් පර්ඩිනන්න්ස් සර්බියානු ජාතිකයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.මෙම ඝාතනය යුරෝපයේ යුධ සූදානමට ගිනි පුළුඟුවක්විය. ඔස්ට්‍රියා හංගේරියාව 1914 ජූලි 28 දින සර්බියාවට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරන ලදී.
පළවන ලෝක යුද්ධය ආරම්භය එය විය.
නමුත් යුද්ධය කිසිදා කිසිවකුට යහපතක් ඉටු නොකළේය.යුද්ධයේ විනාශකාරීත්වය මුළු ලෝකයටම දැනෙන්නට විය.මියගිය යුධ විරුවන් සහ මහජනතාව විනාශ වූ දේපල අති විශාල විය.මේ විනාශයත් සමග හැමගේ සිත් තුළ සාමයේ ප්‍රාර්ථනාව හට ගත්තේය. කව් ගී සාහිත්‍ය නිර්මාණ තුළින් දැවුණු සිත් සනසා ගන්නට බොහෝ දෙනා ඉදිරිපත් විය.
යුද්ධයේදී මරණය ප්‍රාර්ථනා නොකළ, මරණය අබියස සිටි සොල්දාදුවා පමණක් නොව ජීවකග්රහයෙන් අල්ලා ගන්නා සතුරා පවා ජීවත් කරවීමේ වගකීම කරටගෙන සිටි කැනඩා ජාතික වෛද්‍යවරයෙකු වු ලුතිතන් කර්නල් ජෝන් මැක්රේ( Lt. Col . Jone Maccre) තම මිත්‍රයෙකු වු ලුතිතන් ඇලෙක්සිස් හෙල්මර් ( Alecxis Helmar) මියගිය පසු ඔහුගේ සිත උපන් වේදනාව යටපත් කරගැනීම සඳහා සුප්‍රසිද්ධ “In Flanders Fields” නමින් අවට පරිසරය සමග සිතට නැගි අදහස් වචනයට පෙරලූහ.
බෙල්ජියමේ යුද්ධය පැවැති ප්‍රදේශයක්වූ "ප්ලෑන්ඩර්ස් භූමියේ මියගිය සොල්දාදුවන් සැතපී සිටී. යුද වීරයින්ගේ කුරුස සහිත සොහොන් කොත් අතර පේලියෙන් පේලියට ඔවුන්ට ආචාර කිරීම ට මෙන් ස්වභාව ධර්මයා විසින්ම රතු පැහැති පොපිමල් පුබුදුවා ඇති" බව මැක්රේ කියයි. යුද්ධයේ නිමාවක් නුදුටු ඒ මොහොත වන විටත් "පිපුරුම් හා වෙඩි හඬ නිසා වෙන් අහසේ සරණ , තුරුලිය අතර ගැවසෙන, කුරුල්ලන්ගේ කීචි බීචි නාදය නොඇසෙන බවත් " ඔහු කියා සිටි.යුද්ධය ඒ තරමට සොබා දහම පවා විකෘති කර ඇති සැටි මැක්රේ සංකේතාත්මකව ලොවටම හඬගා කියයි.ඒ වගේම මැක්රේ තම සිතුවිලි තුළින් යුතුකමක් හා වගකීමක්ද මතක් කිරීමට අමතක නොකරයි. ඒ අන් කවරක්වත් නොව මියගිය සොල්දාදුවන්ට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම හා ගරුත්වයක් ලබා දීමට නම් සාමය වෙනුවෙන් වූ සටන ජයග්‍රහණය කිරීම ජීවත් ව සිටින සොල්දාදුවන්ගේ වගකීමක් බවයි. එදා මියගිය සොල්දාදුවන්ගේ සොහොන් කොත් අතර රතු පාටින් පිපී තිබුණු මැක්රේ දුටු පොපි මල අදටත් ලෝකයේ සෑම රටක්ම පාහේ මියගිය සොල්දාදුවන් අනුස්මරණය කිරීමේ සහ ගෞරවාචාර කිරීමේ සංකේතය හැටියට යොදාගෙන ඇත.

පොපි මල අද ලෝකයේ වානිජ වගාවක් ලෙස පවත්වාගෙන යයි. නමුත් පොපි දිනයට සෙබලුන් අනුස්මරණය කිරීම සඳහා යොදාගන්නා පොපි වර්ගය අදටත් කැලෑ මලකි . වනගත පුෂ්පයකි.එය හඳුන්වන්නේ වනගත කෝන් පොපි ( wild corn poppy )නමින්ය. මෙම පඳුරු සහිත ශාකය හැදෙන්නේ පාළුවට ගිය අත්හැර දැමූ බිම් ප්‍රදේශවල.මැක්රේ එදා දුටු පොපි මල මේ වනගත රතු පැහැති පොපි මලයි.නමුත් වාණිජ වගාවට යොදා ගන්නා පොපි වර්ග රාශියක් තිබේ. ඒවා ඖෂධීය ගුණයන්ගෙන් යුත් පොපී වර්ග වේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ වේදනානාශක ඖෂධ නිපදවීම සඳහා මෙම පොපි මලින් නිස්සාරණය කරන ද්‍රව්‍යය යොදාගනී. හොරෙයින් නමැති මත්ද්‍රව්‍යත් පොපි පැළෑටියේම නිෂ්පාදනයක්.
පොපි දිනය සමරන සෑම රටකම පොපි මල් හට නොගනියි. සොයාගැනීමට නොහැකි ය. ඒ නිසා අද සැමරුම සඳහා භාවිතා කරන පොපි මල විශේෂ කඩදාසි වර්ගයකින් සකස් කරන ලද කෘතීම මලකි.
පොපි මලේ කතන්දරය විමසීමේදී ඇමෙරිකානු ජාතික මොයිනා මයිකල් ( Moina Michael ) මහත්මියට විශේෂ ගරුත්වයක් හිමි විය යුතුයි. ජෝන් මැක්රේ ගේ " ln Flanders Fields" යුද කාව්‍ය කියවා සාහිත්‍යය රසාස්වාදයෙන් මුසපත් වූ මොයිනා මයිකල් මහත්මිය ගේ සිත තුළ අපූරු සංකල්පයක් පහළ වෙයි. මියගිය සොල්දාදුවන් සිහිකිරීමේ සංකේතයක් හැටියට රතු පැහැති පොපි මල යොදාගන්න ඇය සිතයි. ඒ සිතුවිල්ල සිතුවිල්ලක්ම නොකොට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇය සමත් වෙයි.
පසුව මේ අදහස තවත් ව්‍යාප්ත කිරීමට හා සංවිධානාත්මක ඉදිරියට ගෙන යාමට තවත් කාන්තාවක් ඉදිරිපත් වෙයි .ඇය ප්‍රංශ ජාතික ඇනා ගෙරීන් ( Anna Gerin) මහත්මිය. ඇය පොපි මල ආදායම් උත්පාදනය කිරීමේ වැඩසටහනක් හැටියට ඇනා මහත්මියක්රියාත්මක කරයි . ඒ ලැබෙන ආදායමෙන් සොල්දාදුවන්ගේ සුභසාධනය සහ මියගිය සොල්දාදුවන්ගේ පවුල්වල සුභසාධනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරයි. ඇය මෙම වැඩසටහන නිල නොවන මට්ටමෙන් බ්‍රිතාන්‍ය කැනඩාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් කීපයක ක්‍රියාවට නගයි. මහා බ්‍රිතාන්‍යයේ ෆිල්ඩ් මාෂල් අර්ල් හේග් මුණගැසෙන ඇය 1921 නොවැම්බර් 11 වෙනිදා මහා බ්‍රිතාන්‍ය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල පළවන ලෝක යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් සිහිකිරීම හා සුභසාධන වැඩසටහනක් හැටියට නිල වශයෙන් ආරම්භ කිරීමටසමත් වූවාය.

ලෝක ජනතාව කොතෙක් සාමය ප්‍රාර්ථනා කළ ද 1939 සැප්තැම්බර් පළවෙනිදා නැවත ලෝකය යුද්ධයකට පටලැවුණි.ඒ දෙවන ලෝක යුද්ධයයි.වරින් වර නොයෙක් හේතුන් මත විශේෂයෙන් අධිරාජ්‍යවාදී උමතුව හේතුවෙන් යුරෝපය උණුසුම් වෙමින් පැවතිණ. දෙවන ලෝක යුද්ධයේ ආරම්භය වූයේ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙනි.දෙවන ලෝක යුද්ධය වසර හයක් තිස්සේ සමස්ත ලෝකයම පීඩාවට පත් කරන ලදී.
දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන පාර්ශවශව දෙකකි. එකක් මිත්‍ර පාර්ශවයයි.ඊට ඇමෙරිකාවේ, එක්සත් රාජධානිය,සෝවියට රුසියාව සහ තවත් රටවල් ඇතුළත්වව සිටියහ. අනෙක් පාර්ශවය වූයේ අක්ෂ පාර්ශවයයි. ඊට ජර්මනිය ඉතාලිය ජපානය වැනි රටවල් ඇතුළත්ව සිටියහ.
දෙවන ලෝක යුද්ධයේදී හැටදහසකට අධික පිරිසක් මියගිය බව සඳහන්වේ. ඒ අතරින් වැඩිම පිරිස නිරායුධ සිවිල් වැසියන්ය.
කොහොම නමුත් පළවන ලෝක යුද්ධයෙන් මියගිය රනක්ශ්තියට පත්වූ සෙබළුන් අනුස්මරණය කිරීම සඳහා 1918 නොවැම්බර් මස11 වෙනි දින11.00 පැයට පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් ප්‍රධාන කොටගෙන ආරම්භ කරන ලද යුද්ධයෙන් මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ දිනය අදටත් සමස්ත ලෝකයේම කෘතවේදී ජනතාව විසින් රණ විරුවන් අනුස්මරණය කරමින් පවත්වනු ලබයි. එහි සංකේතය වූ මැක්රේ නම් වූ කැනඩානු වෛද්‍යවරයා දුටු රතු පාට පොපි මල ලෝකය පුරාම ජනතා හදවත් ස්පර්ශ කිරීම නිසා යුද්ධයෙන් මියගිය සෙබළුන් අනුස්මරණය කිරීමේ දිනය පොපි දිනය ලෙසද භාවිතා කිරීමට ජන විඥානය මගින් පොළඹවා ඇත.
අද වන විට පළවන සහ දෙවන ලෝක යුද්ධයේ මියගිය සෙබළුන් අනුස්මරණය කිරීම පමණක් නොව ඊට පසු සාමය වෙනුවෙන් සිදු කරන ලද සටන්වලදී මිය ගිය සියලුම රණවිරුවන් අනුස්මරණය කිරීමට මෙම දිනයේදී කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාවද ශත වර්ෂයකට ආසන්න කාලයක සිට එනම් 1944 වර්ෂයේ ලංකා සේවා මුක්ත භට සංගමය පිහිටුවීමෙන් පසු මේ දක්වා නොවැම්බර් මාසයේ 11 වැනි දිනට ආසන්න ඉරුදින මෙම අනුස්මරණ දිනය පවත්වනු ලබයි. නමුත් ඊට පෙර 1918 වර්ෂයේ සිටම ලංකාව තුළ මෙම සැමරුම ආරම්භ වී ඇත. ඒ පිළිබඳ ඉතිහාසයක් ලංකාවට ඇත.ඉතිහාසය තුළින් පොපි මලට එරෙහි සූරිය මල සංකල්පයක් හා වැඩසටහනක්ද දිවයින තුළ දියත් වී ඇත.
අද රණවිරුවන් සැමරීම හා පොපි මල් දිනය සංවිධානය කිරීමේ වගකීම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමය විසින් දරුණු ලබයි.
සංගමය විසින් මෙම අනුස්මරණ වැඩසටහන සඳහා සෑම වර්ෂයකම ඔක්තෝබර් නොවැම්බර් මාස වලට විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි. පොපි පා ගමන හා පොපි මල් මහජනතාව වෙත අලෙවි කිරීම ඉන් එක් වැඩසටහනකි. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා හා රජයේ ප්‍රධානීන් වෙත පොපිමල් පැළඳවීමත් සියලු මාධ්‍ය හරහා මෙම වැඩසටහන් පිළිබඳ පොදු මහජනතාව දැනුවත් කිරීමත් සිදු කරනු ලබයි.මෙහි ප්‍රධානම වැඩසටහන වන්නේ මෙම වර්ෂයේ නොවැම්බර් 8 වෙනිදා විහාරමහා දේවි උද්‍යානයේ ලෝක යුධ ස්මාරකය අබියස පැවැත්වෙන සැමරුම් උළෙලයි.
එදා මෙදා තුර ලෝක සාමය වෙනුවෙනුත් ශ්‍රී ලංකා ද්වීපයේ සාමය වෙනුවෙනුත් තම ජීවිත කැප කළ විරෝධාර රණවිරුවන් සිහිකරමින් අදත් හෙටත් සැමදාත් නොවැම්බරයේ රතු පැහැති පොපි ලක්ෂ ගණනින් පුබුදිනු ඇත .
- කර්නල් පාලිත මෙන්ඩිස්(විශ්‍රාමික) විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.