ජීවිත එකොළහක් බිලි ගත් අංකුඹුර ගල්කොටුව නායයෑමේ ශෝකාන්තය
‘උදේ ඉඳලම ඩොක් ඩොක් ගාල ලොකු සද්දයක් ඇහුණා. අපි හිතුවේ ගහක් වැටෙන්න යනව කියලා. හවස 5. 40 ට විතර ඇස් වහල අරින්න කලින් එක පාරටම කන්ද කඩා ගෙන වැටුණා ජීවිත ගාණක් යට කර ගෙන‘
අංකුඹුර පල්ලේගම ගල්කොටුව ගම්මානයේ එකොළොස් දෙනෙකු බිලි ගනිමින් කන්දක් නාය යෑම ඇසින් දුටු ඒ අසලම නිවසක පදිංචි චිත්‍රා අනුලාවතී මහත්මිය එසේ කීවාය.
රට තුල පැවැති ආපදා තත්වය හේතුවෙන් ප්‍රවේශ මාර්ග පවා අවහිර වී තිබූ මෙම ප්‍රදේශයට යාමට හැකි වූයේ දින කිහිපයකට පසුවයි. මෙම නායයෑමෙන් ජීවිත 11 ක් අහිවි වූ අතර තවත් අට දෙනෙකු විවිධ ආබාධයක්ට ලක්ව රෝහල ගත කරනු ලැබ තිබේ. නායයෑමෙන් ජිවිත බේරා ගත් පවුල් 50 කට අයත් පුද්ගලයින් 205 ක පිරිසක් වැල්ගාල ශ්‍රී සුදර්ශණාමාධිපති පූජ්‍ය බඹරගහකන්දේ ඥාණිසිරි හිමියන්නේ මූලිකත්වයෙන් විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති ආරක්ෂිත මධ්‍යස්ථානයේ රඳවා සිටිති. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 11 දෙනෙකුගේ ඹාත දේහයන් දින හතරක් තුල සොයා ගෙන සියලු දෙනා වරින්වර විහාරස්ථ භූමියේදී එකම ස්ථානයක භූමදානය කරනු ලැබ තිබේ.

මෙම නායයෑමේ සිද්ධිය සියැසින් දුටු චිත්‍රා අනුලාවතී මහත්මිය තව දුරටත් මෙසේද සඳහන් කළාය.
‘ අපේ ගේ ළඟ ඉඳල තමයි මේ නායයෑම පහළට ගියේ.උදේ ඉඳන්ම සද්දයක් ඇහුණා අපි බලා ගෙන හිටියේ ගහක් වැටෙන්න යනව කියලා.ඒත් පහයි හතළිහට පටන් ගෙන ඇහක් වහල අරින්න යන වේලාවක් තුලදී කන්ද කඩා ගෙන වැටුණා.ඊට පස්සේ මම කෑගහගෙන කුස්සිය පැත්තෙන් දිව්වා. උදේ ඉඳලම සද්දයක් ආවා. ඩොක් ඩොක් ගාලා. ඩොක් ගානවා එක වෙලාවක. ඩක් ගානවා. අපි හිතුවේ ගහක් වැටෙන්න යනව කියලා. ගෙවල්වලට වතුර එන හින්දා අපි පාරෙමයි හිටියේ. පහයි හතළිය වෙද්දි තමයි මේ ඔක්කොම වුණේ.‘
මෙම නයයෑම් ඇසින් දුටු ඒ අසලම පදිංචිව සිටි තවත් මවක වන ඩී.ජී.ප්‍රේමලතා මහත්මියගේ මතකයයි මේ.
“ විශාල පිපිරුමක් වගේ සද්දයක් ඇහුණා.ඒ සද්දේ ගලාගෙන ගියා. මුලින් අපේ පුතාලගේ ගේ තමයි ගහගෙන ගිහින් තියෙන්නේ. මගේ ලේලියි මිණිපිරියයි දෙන්නා නැති වුණා.‘
මෙම නායයෑමෙන් තම මව පියා සොහොයුරිය අහිමි වූ ජී.ජී නිමල් ආරියසිංහ (එරංග) මහතා මෙසේ කීය.
‘ මම උඩහ ඉඳන් එන ගමන් හිටියේ. සිද්ධිය හවස පහ හමරට විතර තමයි වුණේ.තත්පර ගාණකින් අපේ ජීවිත වෙනස් වෙලයි තියෙන්නේ.මම ගෙදර ගිහින් බලද්දි අඩි දහයක විතර ලොකු පස් කන්දකින් මුළු ගේම යට වෙලා තිබුණා. දවස් හතරකට පස්සේ තමයි අම්මයි තාත්තයි භූමදානය කළේ. අම්මයි තාත්තයි නංගියි නැති වුණා . මට ආයේ කවුරුවත් නෑ. ඉන්න තැනක්වත් නෑ පන්සලේ තමයි ඔක්කොම ඉන්නේ.‘
ජී.ජී ගුණතිලක මහතා මෙසේ කීය.
‘ මම ගෙදර ඉඳල පිංකම් ගෙදරකට යන්න යන කොට කට්ටිය ඔක්කොම එතැන රැ ඳිල වගේ හිටියා. ලයිට් කම්බියක් එක පාරටම කඩා ගෙන ගියා.පස්සේ ගස් එක දෙක නිකං ගලවාගෙන වාගේ වැටුණා.මම හිතුවේ ටවර් එක කඩා ගෙන එනව ඇති කියලා. පුළුවන් තරම් වේගෙන් දුවල තමයි මම බේරුණේ. ලොකු මඩ වතුර පාරක් එතැම මම දැක්කා. ‘

මෙම නාය යෑම සැලවූ වහාම එම ස්ථානයට ගොස් ජීවිත රැසක් බේරා ගෙන රෝහල් ගත කරන්නට වෙහෙස වූ දැනට අවතැන් වූ සියලු දෙනා තම විහාරස්ථානයේ රඳවා ගෙන අවශය පහසුකම් සියල්ල සපයා දී ඇති වැල්ගාල ශ්‍රී සුදර්ශණාරාමාධිපති පූජ්‍ය බඹරගහකන්දේ ඥාණසිරි හිමියන් මෙසේ සඳහන් කළහ.
‘ අපට මේ සිද්ධිය ආරංචි වෙන කොට පන්සලෙත් කවුරුවත් හිටියේ නෑ. රියදුරු මහත්තයයි තව ස්වාමින් වහන්සේ නමකුයි විතරයි හිටියා.අපි ත්‍රී රෝද රථය අර ගෙන කිලෝ මීටර් ගානක් වටේ ගිහින් ඒ ආසන්නයටම ගියා. බේරිලා හිටපු අය විලාප දිදී හිටියා. ඒ වගේම අවදානම් අය ගැනත් කිව්වා.ඒ ගොල්ල ගලව ගන්න යන්න ක්‍රමයකුත් නෑ.
දෙපැත්තෙන් පස් ගල් ඇවිල්ලා.පස්සේ දුෂ්කර මාර්ග ඔස්සේ ගිහින් පොලීසිය දැනුවත් කළා පොලිස් නිලධාරිනුත් ඇවිත් බැලුවා මොනව හරි කරන්න පුළුවන්ද කියලා ඒ වන විට රෑ වෙලා තිබුණ නිසා මොනවත් කරන්න බැරි තත්වයක් තිබුණෙ. එළිය වැටෙනවත් එක්කම තමයි සිද්ධ වෙලා තියෙන හානිය දැන ගත්තේ. ගෙවල් දහයක් සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිහින් තිබුණා.
තවත් ගෙවල් හතර පහකට අර්ධ හානි වෙලා තිබුණා. මැදිවෙලා හිටපු පිරිස් නිරුපද්‍රිතව බේරා ගත්තා. නායට යට වුණා මිනිස් ජීවිත 11 ක් .ඊට අමතරව තවත් අට දෙනෙක් විවිධ ආබාධවලට ලක් වෙලා තිබුණා. දැඩි වෙහෙසක් දරල ඒ පිරිස රෝහල් ගත කළා. ජීවිත 11 ක් නැති වුණා. ඒවා තියෙන්නේ කොහේද කියල හොයා ගන්න බැරි විදිහට පසට යට වෙලා තිබුණේ. ඒ මෘත දේශයන් දින හතරක් තුල වරින් වර ගොඩ ගෙන මේ විහාරස්ථාන භූමියේ භූමදානය කරන්න කටයුතු කළා යැයිද කීහ.
ජීවිතයේ බොහෝ බලාපොරොත්තු ඇතිව සිටි මේ ජීවිත එකොළහද සුළි කුණාටුවට බිලි වූ අනෙකුත් ජීවිත මෙන්ම අනපේක්ෂිත ලෙස අහිමි වූ ජීවිත වේ. දරුවන්ට මවුපියන් අහිමි වූ මව්පියන්ට දරුවන් අහිමි වූ සහෝදර සහෝදරියන් අහිමි වූ මෙවන් විපත් මිනිස් සිත් පසාරු කරන දුක්ඛ දෝමනස්සන්ගෙන් පිරී පවතී.
මොහොමඩ් ආසික්


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

