ලොව විශාලතම පාවෙන පුස්තකාලය ලෙස හඳුන්වන ලෝගෝස් හෝප් (Logos Hope) නැව මහජන ප්‍රදර්ශනය සඳහා මේ දිනවල ගාල්ල වරාය වෙත පැමිණ තිබේ. 2011 වසරේ මෙම නැව ගාල්ල වරාය වෙත පැමිණි අවස්ථාවේ එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් නැවේ ඇති ප්‍රදර්ශනය නැරඹූ බව වාර්තා වේ.
මෙවර මෙම නැව දෙසැම්බර් 26 වැනි දින සිට ජනවාරි 7 වැනි දින දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා ගාලු වරායේ නවතා තබා ඇත. තට්ටු නවයකින් යුත් මෙම නැව මීටර් එකසිය තිස් දෙකක් දිගය. ජර්මනියේ ලියාපදිංචි අන්තර් ජාතික පුන්‍යාධාර හා සමාජ සංවිධානයක් වන GBA Ships e.V සංවිධානයට මෙම නැව අයත් වේ.
1970 සිට මේ දක්වා ලෝකයේ රටවල් එකසිය හැට හතරක සංචාරය කර ඇති ලෝගෝස් හෝප් නැව ලොව වරායවල් එක්දහස් හාරසියයක පමණ නැංගුරම් දමා තිබේ. දියමත පාවෙන ලෝකයේ විශාලතම පුස්තකාලය යනුවෙන් හඳුන්වන මෙම නැව තුළ ඇති පුස්තකාලයේ වෛද්‍ය විද්‍යාව, භාෂා දර්ශනවාදය, කලාව සහ විද්‍යාව ඇතුළු විවිධ විෂයන්ට අදාළ පන්දහසකට අධික පොත් ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එමෙන්ම දරුවන් සඳහා ශබ්දකෝෂ, සිතියම් සහ පාසලට අවශ්‍ය වෙනත් විවිධ පොත්පත් මිලදී ගැනීමේ පහසුකම් මෙම නැව තුළ ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් හතළිස් පහකට අයත් ජාතීන් නියෝජනය කරමින් හාරසියයක පමණ පිරිසක් මෙහි සේවයේ නිරතව සිටිති. එහෙත් ඔවුන් සියලුදෙනාම ස්වේච්ජාවෙන් සේවය කිරීම විශේෂත්වයකි. ඉංජිනේරුවන්, ජලනළ කාර්මිකයන්, පොත් තබන්නන්, වඩුකාර්මිකයන් සහ අරක්කැමියන් ඇතුළු විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් මෙම කාර්යමණ්ඩලයට අයත්වේ.විවිධ ජාතීන් අතර පවත්නා සංස්කෘතික විවිධත්වය හා එකමුතුකම එම කාර්යමණ්ඩලය විසින් මැනවින් පිළිබිඹු කරනු ලබයි.
ලබන ජනවාරි 7 වැනි දින දක්වා ගාලු වරායේ මෙම නැව නැංගුරම් ලා ඇති කාලය තුළදී සඳුදා සහ අඟහරුවාදා දිනවල පෙ.ව 10.00- ප.ව 3.00 දක්වාද, බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 10.00 - ප.ව 7.00 දක්වාද, ඉරිදා ප.ව.2.00 - ප.ව.7.00 දක්වාද, පොත් ප්‍රදර්ශනය නැරඹිය හැකිය. බදාදා දිනයේ පමණක් නැව වසා තැබේ.නැවට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් සියයකි. වයස අවුරුදු 12 පහළ දරුවන්ට නැව නොමිලේ නැරඹිය හැකිය. එහෙත් ඔවුන් වැඩිහිටියන් සමග පැමිණිය යුතුය.