හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන්ගේ ක්‍රියා හේතුවෙන් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් මෙන්ම, එහි සාමාන්‍ය කටයුතු පසුගිය දින කිහිපයේ දැඩි පීඩාවකට ලක්විය.
ලෝකයේ ඉතාම කාර්යබහුල ගුවන් තොටුපොළක් ලෙස සැලකෙන හොංකොං ගුවන් තොටුපොළෙ වෙත රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් ඇතුළු වීමෙන් මෙම කලබැගෑනිය සිදුවිය.
මෙම කලබල හේතුවෙන් පසුගිය 12දා එම ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ගුවන් ගමන් අවලංගු කිරීමට සිදු වූ බවත්, එහි ළඟා වීමෙන් වළකින ලෙස මගීන්ට දැනුම් දුන් බවත් ගුවන් තොටුපොළ බලධාරීහු පවසති.
එමෙන්ම, පසුගිය 13දා ගුවන් මගීන් සෝදිසිය සහ ලියාපදිංචිය අත්හිටුවීමට සිදු වූ බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
හොංකොං ප්‍රධාන විධායක කැරී ලෑම් විසින් කරනු ලබන අනතුරු ඇඟවීම්ද මේ වනවිට විරෝධතාකරුවන් තුට්ටුවකට මායිම් නොකරන තත්ත්වයක් උදාවී තිබේ.
සිය දූපත ඉතාම අනතුරුදායක මට්ටමකට ළංව ඇති බව ඇය සඳහන් කර තිබීමෙන්ම මෙම කරුණ මනාව පැහැදිලි වෙයි.
අපරාධ චෝදනා එල්ල වන හොංකොං වැසියන් චීනයට ගෙන යාමට අවසර ලැබෙන නව නීතියකට එරෙහිම මෙම උද්ඝෝෂණ රැල්ල මුලින්ම ඇතිවිය.