ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ්ගේ අභාවය සම්බන්ධයෙන් ලෝක නායකයන් සිය ශෝකය පළ කර තිබේ.
වසර පහක කාලයක් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ ඇය, හෘදයාබාධයක් හේතුවෙන් දිවියෙන් සමුගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නරේන්ද්‍ර මෝදි රජයේ පළමු ධුර කාලය තුළ ඉන්දියාවේ ප්‍රකට අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඇය, මෙවර පැවති මහ මැතිවරණයට තරග නොකළේ පැවති අසනීප තත්ත්වයන් නිසාය.
මිය යනවිට 67 හැවිරිදි වියේ පසුවූ ස්වරාජ් 2016 වසරේදී වකුගඩු බද්ධ කිරීමකට ලක්වූ අතර, එතැන් පටන් වරින් වර ඇය රෝගාතුර වූ බව සඳහන් වෙයි.
සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව දිල්ලි නුවරදී ඇගේ අවසන් කටයුතු සිදුවූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා එම රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
ඇයගේ අභාවය සැලවූ සැණින් ලොව පුරා රාජ්‍ය නායකයන් ඇය වෙනුවෙන් ශෝක පණිවුඩ නිකුත් කරනු ලැබුවේ විදේශ අමාත්‍යවරිය ලෙස ඇය ලෝක දේශපාලනය තුළ ඉන්දීය භූමිකාවට දැක්වූ විශේෂ දායකත්වය නිසා බව කියැවෙයි.