එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අද (16දා) පැවැත්වූ මුහුණට මුහුණ සාකච්ඡාවේදී සයිබර් ආරක්ෂණ හා ආයුධ පාලනය ගැන එකඟතාවයකට පැමිණ තිබේ.
ජනවාරි මාසයේ බලයට පත්වීමෙන් පසු බයිඩන්ගේ රුසියානු නායකයා හමුවූ පළමු හමුවේදීම ඔහු පූටින්ගෙන් විමසා තිබුණේ, රුසියානු තෙල් නල මාර්ගයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඔහුට කුමක් සිතෙනු ඇතිද යන්නයි. පසුගියදා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළතීරයේ තෙල් නල මාර්ගයකට එල්ල වූ ප්‍රහාරය ගැන අඟවමින් බයිඩන් මෙම ප්රශ්නය යොමුකර ඇත. කෙසේ වෙතත් පූටින් මුල සිටම මෙවැනි ප්රහාරයන් සඳහා රුසියානු රජයේ සම්බන්ධතාවක් නොමැති බව පුන පුනා කීවේය.
පැය තුනක රැස්වීමේදී තමා තර්ජනයක් නොකළ බව බයිඩන් කියා සිටි අතර, සයිබර් ආරක්ෂාව ඇතුළු එක්සත් ජනපදයේ වැදගත් අවශ්‍යතා ගැන තමා පෙන්වා දුන් බවත්, රුසියාව එම ගැටලු උල්ලංඝනය කළහොත් එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වන බව පූටින්ට පැහැදිලි කළ බවත් සඳහන් කළේය.
මීට අමතරව දෙරටේම විදේශ තානාපතිවරුන් නැවත ඔවුන්ගේ රටවල අගනුවරට යැවීමටද ඔවුහු එකඟ වූහ. පූටින් ඝාතකයෙකු ලෙස පසුගිය මාර්තු මාසයේ බයිඩන් පැවසීමෙන් පසුව රුසියාව සිය තානාපතිවරයා යළි කැඳවූ අතර එක්සත් ජනපදය සිය තානාපතිවරයා ඉන් අනතුරුව කැඳවීය.